Select Page
තමන්ට ආපහු ලැබෙන්නේ, තමන් ලෝකයට ඒ දෙන දේම තමයි

තමන්ට ආපහු ලැබෙන්නේ, තමන් ලෝකයට ඒ දෙන දේම තමයි

එක්තරා වැහිබර රාත්‍රියක, වෙනත් නගරයක විශ්වවිද්‍යාලයක දේශනයකට සම්බන්ධ වුණු මහාචාර්යවරියක් ආපසු ගෙදර යමින් සිටියා. සෙනග අඩු පාලු පාරකදි එකපාරටම ඇගේ වාහන නතර වුණා. දුරකථන ඇමතුමකින් කාව හරි සම්බන්ධ කරගන්න උත්සාහ කළත් වැඩක් වුණේ නැහැ. මේ පැත්ත, මේ පාරවල් ඇයට අලුත්. දන්න කියන කෙනෙකුත් නැහැ. ඒ නිසා ඇය බොහොම කලබලයට පත් වුණා…….

මේ වෙලාවේ මේ පාරෙන් වැඩ ඉවර වෙලා ගෙදර යන තරුණයෙක් ආවා . ඔහු දැක්කා තරුණ කාන්තාවක් තමන්ගේ වාහනය හදන්න උත්සාහ කරමින් ඉන්නවා.

“මම ඔබට උදව් කරන්න ද?” මේ තරුණයා ඇහුවා ……

මහාචාර්යවරිය එකපාරටම මේ තරුණයගේ උදව් ගන්න බය වුණා. තරුණයා ඒක තේරුම් ගත්තා.
“බයවෙන්න එපා. කලබල වෙන්න එපා. මම මෝටර් රථ කාර්මිකයෙක්. මට පුළුවන් ඔබට උදව් කරන්න”. තරුණයා කිව්වා……

මහාචාර්යවරිය එම තරුණයා ට ඉඩ දුන්නා…. විනාඩි කිහිපයකට පස්සේ මේ තරුණයා ආපහු කතා කළා…..

“මේ වාහනේ ප්‍රශ්නයක් තියෙනවා. මං ගාව මේ වෙලාවේ ඕන කරන උපකරණ ටික නැති නිසා, මට මේක සම්පූර්ණයෙන්ම හදන්න බැහැ. හැබැයි මං මට පුළුවන් විදිහට මේක හැදුවා . නෝනට පුළුවන්, මේ විදිහට මේකෙන් තව කිලෝමීටර් පහක් විතර ඉස්සරහට යන්න. ඉස්සරහින් හම්බවෙන්න නගරේ තියන ගැරේජ් එකෙන් වාහන හරියටම හදාගන්න.”

“බොහොම ස්තූතියි. ඔයාගේ ගාන කීයද?” මහාචාර්යවරිය ඇහුවා….

“මට සල්ලි එපා . ස්තුතියි කරන්න අවශ්‍යත් නැහැ. මම මේ වෙලාවේ ඔයාට කළේ උදව්වක්. අපි හැම කෙනෙක්ගේ ම තරාතිරම මොකක් උනත් අපි හැමෝටම තව කෙනෙක්ට උදව් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඔබට මට ස්තුතියි කරන්න ඇත්තටම ඕන නම්, ඔයා කරන්න ඕනේ, තවත් උදව් අවශ්‍ය වෙන කෙනෙක් දැක්කහම, ඒ කෙනාට උදව් කරන එක.” තරුණයා කිව්වා….

මොහු හරිම පුදුමයි වෙනස් විදිහට හිතන, වෙනස් මනුස්සයෙක් මහාචාර්යවරිය හිතුවා….

දින කීපයකට පස්සේ , දවසේ ම සම්මන්ත්‍රණවලට සහභාගී වෙච්ච මේ මහාචාර්යවරිය, තමන්ගේ මහන්සිය නිවා ගෙන, රස කෑම ටිකක් කන්න හිතාගෙන අවන්හලකට ගියා….

එතන දි මැයට සේවය සැපයුවේ දරුවෙක් ලැබෙන්න ඉන්න සේවිකාවක්. දවස පුරාම වැඩ කරපු මහන්සිය එම සේවිකාවගේ මුහුණේ තිබුනත්, ඇය උත්සහ කළේ තම සේවාලාභියා ට ඉතා ප්‍රසන්න විදිහට සේවය සපයන්න. ඇය හැම විටම සිනහමුසු මුහුණින් කතා කළා. සේවිකාවගේ සිනහව සහ ප්‍රසන්න බව හින්ද මහාචාර්යවරියගේ මහන්සි අඩු වුනා. හිතට සතුටක් දැණුනා.

“අද උදේ ඉඳන්ම වැඩද?” මහාචාර්යවරිය ඇහුවා….

“ඔව්. රෑ දහයට අවන්හල වහනකල් මම වැඩ කරන්න ඕනේ”. ඇය හිනාවෙලා කිව්වා….

“මහන්සි නැද්ද? මට හිතෙනවා ඔය වගේ තත්වෙක ඉන්න ගමන් දවස පුරාම හිටගෙන ඉන්න එක කොච්චර මහන්සියක් ඇතිද කියලා” මහාචාර්යවරිය නැවත ඇහුවා

“මේක මගේ රස්සාව. මහන්සි දැනුනට මං මගේ රස්සාව හරියට කරන්න ඕනේ . මගේ මහන්සියත් එක්ක තියෙන විඩාව, මගෙ ලගට එන අනිත් මිනිස්සුන්ට පෙන්නන්න හොඳ නැහැ. ඒක නිසා ඒ අයව පීඩාවට පත් වෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට මට සතුටු වෙන්න පුළුවන්, මම මගෙන් වෙන්න ඕන දේ අද දවසේ හරියට ම කළා කියලා.” තරුණිය කිව්වා….

මහාචාර්යවරිය හිස සලමින් ඇයව අනුමත කළා. මේ කතාවෙන් මහාචාර්යවරිය ට එයාගේ වාහනේ හදලා දුන්න තරුණයාවත් මතක් වුණා. එයා කිව්ව දේවලුත් මතක් උනා. මේ සතියේ ම මට හම්බ වෙන්නේ වෙනස් විදියට හිතන වෙනස්ම අය. ඇය සතුටින් හිතුවා.

සේවිකාව බිල ගෙනාවට පස්සේ මහාචාර්යවරිය බිල ගෙවන්න ඕන කරන සල්ලී තරුණියට දුන්නා . තරුණිය ඉතුරු සල්ලි අරගෙන ආපහු එනකොට මහාචාර්යවරිය හිටියේ නෑ. ඒ වගේම තමයි, තරුණියව පුදුමයට පත් කරමින්, ඇය මේසය අස් කරද්දි, පිගාන යට තවත් නෝට්ටු කිහිපයක් එක්ක පොඩි ලියුමක් තියලා තිබුණා….

“මට බොහොම හිතවත් විදිහට සංග්‍රහ කලාට ස්තූතියි. මේ සල්ලි වලින් ඔයාට ඕන කරන දෙයක් ගන්න. මට ස්තුතියි කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට තවත් උදව් ඕන කරන කෙනෙක්ට උදව් කරන්න.” ලිපියේ ලියලා තිබුනා…..

තරුණිය සල්ලිත් අරගෙන මහාචාර්යවරිය ට හිතෙන් ස්තුතියි කළා. “ඔබට බොහොම ස්තුතියි! ඔබ දන්නේ නැහැ මට මේ සල්ලි මේ වෙලාවේ කොච්චර වටිනවද කියලා”. තරුණිය බොහොම සතුටින් ගෙදර ගියා….

මේ තරුණිය ගෙදර ආපු ගමන්ම ඇගේ සැමියා ඇය ගාවට ආවා….

“මට සමාවෙන්න, ඔයාගේ වෛද්‍ය පරීක්ෂණයට ඕන කරන සල්ලි මට අද හොයාගන්න බැරි වුණා. අද අපේ ගැරේජ් එකට ගොඩක් වාහන ආවේ නැහැ. ඒ නිසා මට ඕන කරන සල්ලි ටික හොයාගන්න බැරි උනා. ” මේ තරුණයා කිව්වා…..

“දුක් වෙන්න එපා. මට සල්ලි හම්බ උනා. ඔයා හැම වෙලාවෙම කියනවා වගේ, අපි හොඳ හිතින් කෙනෙක්ට කරන උදව්, ඒ වගේම අවංකව කරන අපේ රස්සාව අපිට ආශිර්වාදයක්. අපි ලෝකෙට දෙන දේ, මොන විදියෙන් හරි අපිට ආපහු ලැබෙනවා. ඔයා නිසා තමයි මමත් ඒ දේවල් ඉගෙන ගත්තේ. ඔයාට ස්තූතියි මට ජීවිතේ කියලා දෙනවට”. තරුණිය කිව්වා….

“මට ස්තුතියි කරන්න ඕනේ නැහැ. ඔයා ඔය දේ තව කෙනෙක්ට කියලා දෙන්න. අපි යහපත් ලෝකයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ යහපත් ලෝකේ ගොඩනගන එක අපේම වගකීමක් කරගන්න ඕන. අපි ඒ යහපත් සිතුවිලි සමාජ ගත කරන්න තමන්ගෙන් පටන් ගමු.” තරුණයා කිව්වා.

හිතන්න ඔයාගේ තත්ත්වය, තරාතිරම මොකක් උනත් , අපි ඔබ හැම කෙනෙක්ටම තව කෙනෙකුගේ උදව් ඕන වෙන වෙලාවල් එනවා……

කෙනෙක් තමන්ට තියෙන නිලතල වලින්, යාන වාහන වලින්, උගත්කමින් තමන් මහා ලොකු මනුස්සයෙක් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. තමන් මොනවා හරි දෙයක් දන්නවා නම්, ඒක මහ ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම වටිනාකමක් තියෙන්නේ, ඒ තමන් උගත්, වටිනවා කියලා හිතන කෙනාව දන්න, එයාගේ උගත්කමට නිලතල වලට ගැලපෙණ මිනිස්සු ඉස්සරහ විතරයි…..

අර කාන්තාව මහාචාර්යවරියක් කියන එක වැදගත් වෙන්නේ එයාගේ විශ්වවිද්‍යාල ළමයින්ට සහ එයාගේ අනිත් ගුරුවරුන්ට විතරයි….

වාහන හදන මනුස්සයාට මහාචාර්යවරියත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒ මනුස්සයා උදව් කළේ අර සාමාන්‍ය මනුස්සයට මිසක් මහාචාර්යවරිය ට නෙමෙයි…

ලෝකෙ ගොඩක් මිනිස්සු තේරුම් නොගන්නේත් මේ දේම තමයි.

අන්න ඒ නිසයි Business HUB අපි කාටත් පොදු නීති රීති ප්‍රතිපක්ති අනුගමනය කරන්නේ…ඔබ කවුරුත් අපිට පොදුයි….

ඒ වගේම තමයි, අපිට අපි ගාව තියෙන දේවල් වලින් තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙලාවලුත් එනවා. එතකොට අපි අනිත් මිනිස්සුන්ට ඒ දේ යොදාගෙන උදව් කරන්න ඕන, ඒකත් මහ ලොකුකමක් කියලා හිතන්න යන්නත් හොඳ නෑ.

වාහන හදන තරුණයාට එයා ගාව තියෙන දැනුමෙන් මහාචාර්යවරිය ට උදව් කරන්න පුළුවන් වුණා.
සේවිකාවට එයාගේ සුන්දර හිනාවෙන් මහාචාර්යවරිය ගේ මහන්සිය නැති කරන්න පුළුවන් වුණා .
මහාචාර්යවරිය ට එයාගේ සල්ලි වලින් සේවිකාවට උදව් කරන්න පුළුවන් වුණා.

මිනිස්සු තමන් ගාව තියන දේවල් හුවමාරු කරගෙන, අනිත් කෙනාට යහපත් දෙයක් දීලා, ජීවිතේ ඉදිරියට ගෙනියන ජීවන චක්‍රයක තමයි අපි ජීවත් වෙන්නේ…..

තමන්ට ආපහු ලැබෙන්නේ, තමන් ලෝකයට ඒ දෙන දේම තමයි…

අපි නම් ඔබගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. මුලින්ම මේ පේජ් එකේ පෝස්ට් සියල්ල කියවා අවසන් කරන්න. දෙවනුව එදිනෙදා පෝස්ට් එදිනෙදාම කියවලා කමෙන්ට් කරලා අවසන් කරන්න. එපමණයි…

තමන්ට ආපහු ලැබෙන්නේ, තමන් ලෝකයට ඒ දෙන දේම තමයි… මෙහෙම කියන්නේ ඇයි කියලා ඔබට තේරේවි ඉක්මනටම…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි, ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි, ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා

ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි, ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි, ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා

ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි, ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි, ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා….

Believe in yourself. You are braver than you think, more talented than you know, and capable of more than you imagine.

ගොඩක් අය තවත් කෙනෙක්ට යම් දෙයක වැදගත් කමක් පෙන්වන්න ලෝකයේ ඉන්න අතිශය දියුණු වුණ පුද්ගලයින්ගේ නම්, ඡායාරූප භාවිතා කරනවා… ඔවුන් කරපු කියපු දේවල් උපුටා දක්වනවා. ඔබටත් මේ වගේ වෙන්න පුලුවන් කියලා…. ඔය වගේ කියලා දුන්න එකම වැඩසටහනකින්වත් ඒ වගේ අය බිහිවුණාද කියලා ඔබේ බුද්ධියෙන් විමසා බලන්න… ඔබ රැවටුනා, නැත්නම් අනාත වුණා…

ඔබට බිල් ගේට්ස්, බැරක් ඔබාමා, ජැක් මා, මාක් සකර්බර්ග්, ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ වෙන්න බැහැ. යමෙක් ඔබට ඔවුන් කල කියූ දෙයක් පෙන්වනවනම් ඒ ලොකු බොරුවක්. බොරු උද්‍යෝගයක් ඔබ තුල මවලා ඔබව වලට ඇදලා දාන්නයි ඔවුන් උත්සාහ කරන්නේ… හැබැයි ඒ වගේ අදහස් පතුරවන ඒ ආයතන වල මහ මොළ කාරයින්ගෙන් 1%ක් විතරනම් අර ඡායාරූප වල පෙන්වන අය වගේ 0.00000000000000001%ක් විතර සාර්ථක වෙලා ඇති. ඒ ඔබ නිසා, එක්කෝ ඔබ තවත් මිනිස්සු 100 ගාණනක ජීවිත විනාශ කල නිසා වෙන්න පුලුවන්.

හැබැයි ඔබ කවදාවත් ඒ තත්වයට එන්නේ නෑ…. මෙසේ කීවේ ඔබව අධෛර්යමත් කරන්න නෙමේ. ඇයි ඔබ වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ….

ඔබ ඔබම වෙන්න…

හොඳම උදාහරණය ලංකාවේ ගමක ඉපදුන, තවමත් ගමක අප්‍රසිද්ධව ඉන්න මං ගැන කියන්නම්….

මගේ ජීවිත කතාව නිසා මෙය තරමක් දීර්ඝ වේවි… නමුත් ජීවිතයට යමක් ඕනනම් ඔබට ලංවෙන්න පුලුවන් කෙනෙක්ගේ ජීවිත කතාවක් ආදර්ශයට ගන්න උත්සාහ කරන්න…

මම ධනේෂ් එදිරිසූරිය. තුල්හිරිය කියන ගමේ ඉපදුනේ 1986 වසරේ… එදා ඉඳන් අද වෙනකම් මට හරි හමන් යාලුවෙක් නෑ… මට වෙන අය ගැන හොයන්න වෙලාවක් තිබ්බේ නැහැ. මං ජීවත් වුනේ මගේම ලෝකෙක මගේ හීන හැබෑ කරගනිමින්…

🍀 නව නිර්මාණ වලට ගත කල ජීවිතය (1995-2012)

පුංචි කාලේ ඉඳන්ම නව නිර්මාණ වලට කාලය වෙන් කලා. 1995-2012 කාලය මම වැඩියෙන්ම ගත කලේ නව නිර්මාණ වෙනුවෙන්… නොකලහැකියි කියන දේවල් නිර්මාණය කරමින්…

🤛 මාගේ කාමරයේ දොර විවෘත කිරීමට මා විසින් නිර්මාණය කල අතේ බඳින පටියක් (WristBand with a Proximity Sensor) භාවිතා කල බව.

📡 මා අනෙක් අය සමඟ සන්නිවේදන කිරීමට මාගේ අතේ බඳින ඔරලෝසුව (Talking Watch) භාවිතා කල බව.

🗣️ මාගේ කාමරයේ බල්බ සහ සමහර ඉලෙක්ට්‍රොනික උපාංග මාගේ කටහඬට (Voice Control Appliances) ක්‍රියාත්මක වූ බව.

👏 කාමරයේ සමහර උපාංග අත්පුඩියක් මගින් (Clap Control Appliances) පාලන වූ බව.

🔆 උදෑසන සියලුම විදුලි පහන් ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වූ බව සහ රාත්‍රියේ ස්වයංක්‍රීයව දැල්වුණ බව (Automatic Light Control System – Light Sensitive Systems)

📲 ජංගම දුරකතනයට ඇමතුමක් ලැබීමට ප්‍රථම (Pre-Call Informing System) එය දැනුම් දීමට පද්ධතියක් නිර්මාණය කර තිබූ බව.

👫 කාමරයට යමෙක් ප්‍රවේශ වන විට/ආසන්න වන විට දැනුම් දීමේ පද්ධතියක් (Motion Sensor control Appliances & Alert system) නිර්මාණය කර තිබූ බව.

👥 කාමර අතර සන්නිවේදනය කිරීමට ක්‍රමයක් (Intercom) නිර්මාණය කර තිබූ බව.

🚴 මාගේ බයිසිකලයට ස්වයංක්‍රීයව මාගේ විධානයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකි බව සහ මා පසුපස පැමිණිය හැකි බව.

🤚 කාමරයේ සමහර තාක්ෂණික උපාංග පාලනය හස්ථ සංඥාවෙන් (Gesture Control) සිදුකල බව.

👞 අන්ධ අයට කතා කරන සපත්තු දෙකක් නිර්මාණය කලා GPS සහිත (Smart Shoes for Blind)

👄 කතා කරන්න බැරි අයට සංඥා භාෂාව කටහඬට හැරවෙන පෑනක් නිර්මාණය කලා. (Sign Language Interpreter)

🙋‍♂️ ChatGPT වලට සමාන ඉංග්‍රීසි සහ සිංහල විධාන වලින් ක්‍රියාත්මක වෙන පරිගණක වැඩසටහනක් 2000-2002 කාලය අතර තුර නිර්මාණය කලා.

ඔබ දන්නවාද තවත් බොහෝ දේ මා විසින් සිදුකල බව සහ ඊට වසර 2-3කට පසු මාගේ පරිගණකය මාගේ කටහඬින් දෙන විධානයන්ට අනුකූලව කටයුතු කිරීමට නිර්මාණය කල බව සහ ඉන්පසු සිය ගණනක් නව නිර්මාණ දිනපතා මා විසින් 2012 වසර අවසාන වන තෙක් නිර්මාණය කල බව සහ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මාගේ ඒ ජීවිතය, විනෝදාංශය අමතක කර සම්පූර්ණ සමාජසත්කාර වෙනුවෙන් ජීවිතය කැප කිරීම ආරම්භ කල බව…. 2012 දී මාගේ මිතුරෙක් මාගේ මේ දේවල් දැකලා මං ගැන පුවත්පතකට ලියූ ලිපියක් නිසා මගේ ජිවීතයේ ලොකු පෙරළියක් සිදු වුණා…

♿ මිනිසුන්ට උදව් කරමින් ගත කල කාලය (2005 – වර්ථමානය දක්වා)

මට හැමවෙලාවෙම ඕන කලේ නිදහස් ජීවිතයක්. උසස් පෙළ අවසන් කල ගමන් මම ගමේ තිබ්බ නැණසල මධ්‍යස්ථානයේ කළමණාකරු ලෙස සම්බන්ධ වුණා. ඒ වන විට ගැණු ළමයි දෙන්නෙක්ට ආදරය කරලා ඒ සම්බන්ධ නතර වෙලා තිබ්බේ.

මං නැණසලෙහි පරිගණක ගුරුවරයෙක් ලෙස කටයුතු කරන විට එක ගෑණු ළමයෙක් මගෙන් ආදරය ඉල්ලා සිටියා… අපේ ගෙදර අයගෙන් අහලා එයා දුන්නා ලියුම ගෙදර අයට පෙන්වලා දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා… එයාගේ නම සමරදිවාකර කරුණානායක චන්ද්‍රසේකර වාසල කුමාරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ DYC.

අපි දෙන්නගේ ආදරය මහ පුදුමාකාරයි. ආදරය ගැන වචනයක් කවදාවත් කතා කරලා නැහැ. දෙන්න එකතුවෙලා අපේ තාත්තගේ උදව්වෙන්, මගපෙන්වීමෙන් ගමේ අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් කරන්න පටන් ගත්තා… ආදර කතාවේ රසවත් දේවල් ගොඩක් තියේ. ඒවා වෙන දවසක කතා කරමු. 2009 ඒ සම්බන්ධය නතර වුණා මම සහ ඇය රැකියාවකට යාමත් සමඟ… මගේ ජීවිතයට ලැබුණ වටිනාම වස්තුවක් වුනේ ඇය. රට වෙනුවෙන් ගොඩක් දේවල් ඇයත් එක්ක සිදුකලා. ඇය වෙන්වුනත් වෙන්වීමෙන් පසුවත් ඇය මට උදව් කලා. දැන්නම් ඇය විවාහ වෙලා. හරි සතුටුයි ඇය ගැන….

2009 මගේ තාත්තා නැතිවුණා. එයා වෙනුවෙන් මට රුපියලක්වත් උපයලා දෙන්න බැරිවුණා. එය මගේ ජිවිතයට ලොකු බලපෑමක් කලා. මුදල් වලට තිබ්බ ආසාව මට නැතුව ගියා. ඒ වෙනකොට මම මගේ TechLabs ආයතනය Nano නමින් ආරම්භ කරලා තිබ්බේ. මගේ හැකියාවන් මත මම ලක්ෂ ගාණක් හෙව්වා. ඔබ දන්නවාද ඒ කාලයේ මාත් එක්ක Client කෙනෙක් කාලය ගත කරන්න මගෙන් වෙලාව වෙන් කරගන්න එක් දිනක් වෙනුවෙන් රු.10,000ක් ගෙවපු අවස්ථාත් තිබුණා. ලැබෙන මුදල් වලින් මං සතුටක් ලැබුවේ නැහැ. ඒ තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න බැරිවුණ නිසා.

ඉතිං මං ඒ මුදල් නැතිබැරි මිනිස්සුන්ට බෙදන්න පටන් ගත්තා… ඒ වෙනුවෙන් මං පදනමක් ආරම්භ කලා. බී. එච්. එදිරිසූරිය ප්‍රජාසත්කාර පදනම නමින්… නමුත් ටික කාලයක් යනකොට හිතට අදහසක් ආවා. ඒ හැමෝම ෆේස්බුක් වැරදි විදිහට භාවිතා කරන නිසා මට අවශ්‍ය වුණා ෆේස්බුක් හරි විදිහට භාවිතා කරලා මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න. අනික මං තනියෙන් කරනවට වඩා එකතු වුනොත් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් කියන හැඟීම මට ආවා.

පදනම ෆේස්බුක් හරහා ආරම්භ කරලා වසරක් යාමට ප්‍රථමයෙන් මට 2013 SUNFO ආයතනය හරහා “සමාජ සේවා” සම්මානය ලැබුණා.

2014දී “ෆේස්බුක්/සමාජ මාධ්‍යජාල භාවිතා කර රටේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් Etisalat ආයතනයෙන් Social Good Award” එක හිමිවුණා.

ඉන්පසු මම මගේ ආයතනය 2015දී SamajaSathkara.lk පදනම නමින් රජයේ ලියාපදිංචි කලා.

2015දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වසරේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා (VAwards – Youth Volunteer of the Year 2015) සම්මානය හිමිවුණා…

ඉන්පසු 2016දී මාව TOYP වසරේ විශිෂ්ටතම තරුණයා සම්මානයේ අවසන් වටයට තේරී පත්වුණා. නමුත් මට වාසනාවක් තිබ්බේ නැහැ විශිෂ්ටතම තරුණයා වෙන්න. උත්සාහය අතහැරියේ නැහැ මම. 2017 වසරේදීත් මම එයට ඉල්ලුම් කලා. 2016 වසරට වඩා සිය ගුණයක් අසරණ මිනිස්සුන්ට 2017 වසරේදි උදව් කලා. අවසානයේදී මම සමාජ සේවා ක්ෂේත්‍රයෙන් “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයා” බවට 2017 වසරේදී JCI ආයතනය මගින් පවත්වනු ලබන TOYP වැඩසටහෙන් තේරී පත්වුණා.

එය මට හිමි වුනේ මගේ නොපසුබට උත්සාහය, කැපවීම සහ මාගේ ෆේස්බුක් මිතුරන්ගේ උදව් උපකාර නිසා…

මට අවශ්‍ය වුණා මගේ ආයතනයට ලංකාවේ හොඳම වෙබ් අඩවිය සම්මානය ගන්න. ලොකු කමට කියනවා නෙමෙයි ඒත් මම දක්ෂ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්. මාගේ නිර්මාණ රටේ හොඳම නිර්මාණ ලෙස තේරී පත් වුවත් මගේම දෙයක් නිර්මාණය කරගන්න මට බැරිවුණා. ඒ මගේම දෙයක් නිසා මගේ අවශ්‍යතාවය වැඩි නිසා. ඉතිං මං ඒ ගැන හිත හිතා ඉන්නකොට මට එක්තරා ගෑණු ළමයෙක් මුණ ගැසුණා. ඇය කීවා ඇගේ ජීවිතෙත් සමාජසත්කාර කියලා. වෙබ් අඩවිය හදන්න උදව් වෙන්න පුලුවන් කියලා. ඇයත් එක්ක සම්බන්ධය වසර 2ක් පැවතුණා. මුණගැහුණු පළමු සතියේ නිර්මාණය කල වෙබ් අඩවියම වසර 2ක් පැවතුනා. විශිෂ්ටතම තියා කිසි වෙනසක් එහි සිදුවුණේ නැහැ. ආයතනය දවසින් දවස ආගාධයට වැටුණා. ඒත් මම උත්සාහය අත හැරියේ නැහැ. පසුව වෙනත් අයගේ උදව් නැතුව මම මගේ අදහසට වෙබ් අඩවිය නිර්මාණය කලා.

2015/16 වසරේ SLT 01Awards තරඟයේ අවසන් ආයතන 3 අතරට සම්පත් බැංකුව වැනි විශාල ආයතනයක්ද පරාජය කරමින් මා තේරුණත් ජයග්‍රහණය කලේ අද වෙනකන් අභිරහසක්ව පවතින ෆේස්බුක් පේජ්, වෙබ් අඩවියක් නැති කවුරුත් නොදන්න ආයතනයක්. හැබැයි මං උත්සාහය අත හැරියේ නැහැ….

2017/2018 වසරේ මා නැවතත් එයට ඉල්ලුම් කලා. මා “වසරේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය” 2 වන ස්ථානය ලබාගන්න සමත් වුණා… හැබැයි මං ඒත් උත්සාහය අත හැරියේ නැහැ. ඇයි මම දෙක වෙන්නේ. මං විශිෂ්ටයි කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා. මගේ අරමුණ නිර්ව්‍යාජයි කියලා මං දන්නවා…

ඉතිං 2018-2019 වසරේදී මා නැවතත් එයට ඉල්ලුම් කලා. අවසානයේදී මා SLT 01Awards හි වසරේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය/වැඩසටහන, වසරේ විශිෂ්ටතම වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම සඳහා යන 3ම වෙනුවෙන් සම්මාන ලබාගත්තා….

ඒ මගේ නොපසුබට උත්සාහය නිසා. පරාජය භාර නොගත් නිසා…

මගේ ජීවිතයට ආව ගොඩක් අය කලේ ජිවිතය විනාශ කරන්න උත්සාහ කල එක. ඔවුන්ට මගෙන් ලබාගන්න අවශ්‍ය දේවල් ලබාගන්න නොහැකි වුණහම ඔවුන් සිදු කලේ මගේ මේ උතුම් කාර්යය විනාශ කරන්න කටයුතු කල එක. අවසන් වරට ආදරය කල ගැහැණු ළමයි දෙදෙනානම් තවත් උත්සාහ කරන්නේ උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මාව විනාශ කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්… මට හිතෙන එකම දේ “හොඳ වෙලාවට මං ඔවුන්ගෙන් ඈත් වුණේ. මන්ද ඔවුන් සමඟ මා ජීවිත කාලයම ගත කලානම් බොරු ආදරයක් සමඟ ජීවත්වෙන්න වෙන්නේ. යමෙක් යමෙක්ට ඇත්තටම ආදරය කලානම් ඔවුන් ජීවිතයෙන් ඈත් වෙලා ගියාට පසුවත් සතුටෙන් ඉන්නවා දකින්න ආසාවක් තියෙන්න ඕන. තමන්ට නැතිනම් විනාශ කරනවානම් එතන ආදරයක් නෑ. ඒ නිසා මං හරිම සතුටු වෙනවා එවැනි අය මගේ ජිවිතයෙන් ඈත් වුණ එකට.

මට ආදරය කලා කියලා ගොඩක් අය මං ලඟින් ඉන්න කාලයේ මං සාර්ථක කෙනෙක් වුනේ නැහැ. හැමෝම තම තමන්ගේ පෞද්ගලික හේතු මත මගෙන් වෙන්වෙලා ගියාට පසුව තමයි මං සාර්ථක වුණේ. විශිශ්ටයෙක් වුණේ…

අද මං ඉන්න තැන ගැන මං සතුටු වෙනවා…
මං විශ්වාස කලේ මාව…
හැම මොහොතෙම මං මට පුලුවන් කියන ස්ථාවරයේ හිටියා. සාර්ථකත්වය 100%ක්ම තිබුණේ මං ගාවමයි. අන්න ඒකයි ජිවිතේ කවුරු හිටියත්, නැතත්, වෙන්වුණත් අද මං සාර්ථක වුණේ.

හැබැයි මට ඒ සාර්ථකත්වය කරා යන්න ලංකාවේ ලක්ෂ ගාණක මිනිස්සුන්ගේ ආශිර්වාදය සහ මගේ පවුලේ අයගේ ආදරය, රැකවරණය ලැබුණා. අන්න ඒ නිසයි මං ශක්තිමත් වුණේ…

හැමවිටම පරාර්ථකාමී වෙන්න…
ඔබ ගැන විශ්වාසය තබාගන්න
ඔබට දිනන්න පුලුවන්…

අද ධනේෂ් එදිරිසූරිය කියන්නේ නමක් නෙමේ Brand එකක්… සමාජසත්කාර නම් ධනේෂ්….

ඔබේ නම Brand එකක් වෙනකම්ම වැඩ කරන්න…

ඔබට පුලුවන්…

අද මම TechLabs Innovative Solutions International (Pvt) Ltd කියන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. 2006 Future Center නමින්ද, 2009 Nano නමින්ද, 2011 TechLabs නමින්ද තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර තිබූ එය 2021 පෙබරවාරි මාසයේ Private Limited ආයතනයක් ලෙස රජයේ සමාගම් මැදුරේ ලියාපදිංචි කලේ Charityshop (Business HUB) වැඩසටහනේ ඔබගේ දිරිමත් කිරීම නිසයි.

විශ්වාසයෙන් ඉන්න, මෙයත් ලංකාවේ ඉහළම තැනකට මං ගේනවා… මං මෙය Earn Money ලෙස 2019 වසරේදීත් ආරම්භ කලා. එයින් කොටසක් අද මේ වැඩසටහනටත් එකතුවෙලා ඉන්නවා. අද ඔවුන් හොඳ ආදායමක් ගන්නවා. ඒ ඔවුන් මාව විශ්වාස කල නිසා. 2019 එය Fail වුණා. ඒ කලේ ශ්‍රී ලංකාව රජ කල ආයතන මගේ ෆේස්බුක් පේජ් රිපෝට් කලා. ඒ නිසා මගේ ප්‍රොෆයිල් වසරක් බ්ලොක් වුණා. හැබැයි මං අත හැරියේ නැහැ.

උතුම් අරමුණක් පෙරදැරි කරගෙන Charityshop (වර්තමානයේ Business HUB) නමින් එය ආරම්භ කලා. අද එයට සමකරන්න පුලුවන්, සාමාජිකයින් වෙනුවෙන් සේවා සපයන ආයතන ලෝකයේ වෙන කොහෙවත් නැති තරම්…. අපි ලංකාවේ 1, නමුත් අපි ලඟට එන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ කාරණා 2ක් නිසා. එක අපි මේ වැඩසටහනින් ලබාදෙන්නේ බොහොමයක් වෙලාවට Active Income පමණයි. Passive Income ප්‍රමාණය අඩුයි. අපේ මුදල් හොයන්න අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න ඕන. ඉගෙන ගන්න ඕන. ඉතිං නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්න අය මෙයට එකතු වෙන්නෙ නැහැ. අන්තිමේදී වැටුණ වලෙන් ගොඩට එන්න වෙන්නේ. නිදාගෙන ඉඳලා නෙමේ. කාත් එක්ක හරි නිදියලා තමයි. දෙවෙනි කාරණාව තමා අපේ ආයතනයේ ලෙවල් නැහැ. පිරමීඩ ක්‍රමයට මුදල් ලබාදෙන්නේ නැහැ. ඉතිං මිනිස්සු පිරමීඩ වලට ලෝකයාට පෙන්න බැන්නත් හොයන්නේ ඒවා… අන්න ඒ නිසයි අපට පිරිස අඩු….

කමක් නෑ…මං අඩුම තරමින් සුළු පිරිසකගේ හරි ජීවිතය වෙනස් කලා. ඒ ඇති මට. මගේ සාමාජිකයෝ ලක්ෂ 10යි කියන්න ඕන නෑ මට. මොකද එහෙම සාමාජිකයෝ ඉන්නවා කියලා කීවත් හැමෝම දන්නවා ඒක බොරුවක් කියලා, අනික එහෙම එකතු කල ආයතන අද මිනිස්සුන්ට සාපයක් වෙලා ඉවරයි. ඒ අය වෙනුවෙන් විරෝධී ගෲප් හදාගෙන ඉවරයි… අපි වෙනුවෙනුත් එහෙම හැදේවි. ඒ අපිට සමාන වෙන්න බෑ කියලා අනික් අයට තේරෙනකොට අපිව විනාශ කරලා දිනන්න උත්සාහ කරාවි…

ඕන කෙනෙක්ට පුලුවන් මාව/අපිව මන්දගාමී කරන්න විතරයි. හැබැයි නවත්වන්න බෑ. ඒකට උත්සාහ කරනන්වත් එපා… මොකද ඔබ තවම දැක්කේ මේ පොඩි කොල්ලගේ වැඩ වලින් 1%ක් විතරයි. තව 99%ක් එහෙම්මම ඉතිරියි. මං අහංකාරයකින් තොරව අවුරුදු 17-18 පොඩි අයගෙන් පවා උපදෙස් ගන්නවා. දවස පුරා මං කැමති මට හැමොම දැනමුතුකම් දෙනවට. මං දවසින් දවස ඉගෙන ගන්නවා…

CharityShop (Business HUB) දවසක විශිෂ්ටතම වැඩසටහන වෙනවා නොඅනුමානයි ! විශ්වාසයෙන් රැඳී සිටින්න. සෙමෙන් ගමනක් යමු. නිදහස් කාලය මාත් එක්ක ගත කරන්න….

ඔබ ගැන විශ්වාස කරන්න.
ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි,
ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි,
ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා….

අපි එකතු වෙලා දිනමු !

ප.ලි : දීර්ඝ වුණාට සමාවෙන්න. ඔබේ ජීවිතයට යමක් එකතු වුණානම් පුංචි කාලයක් වෙන් කරලා එය අකුරු කරන්නත් අමතක කරන්න එපා…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

දිගටම කියවන්න ! අකුරක් නෑර කියවන්න ! නැවත නැවත කියවන්න !

දිගටම කියවන්න ! අකුරක් නෑර කියවන්න ! නැවත නැවත කියවන්න !

එපා ! එපා ! එපා !

ජීවිතයේ එකපාරක්, දෙපාරක් නෙමෙයි, ඕනතරම් අහලා තියෙන වචනයක් නේද? ඔබ ජීවිතයේ වරක්, දෙවරක් නෙමෙයි ඕනතරම් මිනිස්සුන්ගේ වගේම, ස්වභාවධර්මයේ ප්‍රතික්ෂේප කිරීම් වලට ලක්වෙලා ඇති. එහෙම හැමෝම තමාට තමාව එපා කියන කොට ඇතිවන කලකිරීම නිසා කරගෙන යන දේ අත් හැරීමේ ඉඳලා, ජීවිතය නැති කරගන්නා තත්ත්වය තෙක් මිනිස්සු විවිධාකාර දේවල් කරනවා. සමහර විට දරාගෙන ඉන්න බැරිම තැන සියදිවි නසාගන්නවා. ඒ කියන්නේ තමා තමාවම ප්‍රතික්ෂේප කිරීමේ උච්චතම ස්ථානයට පත්වෙනවා. වටේ බලන් ඉන්න අය කොයිතරම් කතන්දර කිව්වත්, ප්‍රතික්ෂේපවීමේ හැඟීම දැනෙන්නේ එහෙම ප්‍රතික්ෂේප වෙච්ච කෙනාට. මේ ලෝකෙ හැමෝටම මේ ප්‍රතික්ෂේපවීම පොදුයි නම්, අපි හොයාගන්න ඕනේ ප්‍රතික්ෂේප වීම ජයග්‍රහණය කරලා සාර්ථක මනුස්සයෙක් විදිහට නැගිටින්න පුළුවන් ක්‍රමයක්…

දිගටම කියවන්න ! අකුරක් නෑර කියවන්න ! නැවත නැවත කියවන්න !

ලෝකෙට තමාව එපා වුනත්, තමාට තමාව එපා කියන හැඟීම දැනුනත් ඒක ජයග්‍රහණය කරලා තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනියන්නේ කොහොමද ?

වැඩිහිටියන්ට පමණයි කතාවක්…

මතක තියාගන්න… කාට එපා වුනත් මේ ලෝකයට ඔබව ඕනේ. ඒකයි ඔබ ඉපදුනේ. අපි හැමෝම දන්නවා, වරකට කාන්තාවක් නිකුත් කරන්නේ එක ඩිම්බයක් වුනාට පිරිමියෙක් වරකට නිකුත් කරන ශක්‍ර තරලයේ එක මිලි ලීටරයක් තුළ ශුක්‍රාණු මිලියන 15 ත් 39ත් අතර හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එක ඩිම්බයක් එක්ක සංසේවනය වෙන්න අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් එක ශුක්‍රාණුවක් පමණයි. එතකොට අර කාන්තාවකගෙන් නිකුත් වෙච්ච ඒ ඩිම්බය ඩැහැගන්න පුලුවන් වෙන්නේ මේ මිලියන 39 ඇතුලේ ඉන්න දක්ෂතම ශුක්‍රාණුවට. අන්න එහෙම මිලියන 39ක් එක්ක තරඟ කරලා ජය අරගෙන යුක්තානුවක් විදිහට සංසේවනය වෙලා, කළලයක් විදිහට නිර්මාණය වෙලා මේ ලෝකයට ආපු ඔබ, මිලියන 39ක් පරදවපු ජයග්‍රාහකයෙක්. ඒකයි ඔබ ඉපදුනේ. මිලියන 39ක් එක්ක තරඟ කරලා ජයගත්ත ඔබට පුලුවන්ද මේ පොඩි ප්‍රතික්ෂේප වීමක් දරාගන්න බැරුව ජීවිතය අතහැරලා දාන්න ? ඒක කොහොමටවත් කරන්න කරන්න බෑ. කරගන්න දෙන්නත් බෑ. ඒකයි අපි ජීවිතය දිනන්න ඕනේ. ඒකයි අපි සාර්ථක, ජයග්‍රාහී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ජීවිතය සුළුවෙන් ගන්නත් එපා ! අතහැරලා දාන්නත් එපා ! මෙතනින් එහාට කතාව පරිස්සමෙන්, අවධානයෙන් කියවන්න… හරියටම තේරුම් ගන්න…

ප්‍රතික්ෂේපණය #Rejection

අඳුරේ අත පත ගාන්නේ නැතුව මුලින්ම මේක හරියට නෙමෙයි, හරියටම තේරුම් ගන්න.

ඇත්තටම මොකක්ද මේ ප්‍රතික්ෂේපණය කියන්නේ ? කෙටියෙන්ම කිව්වොත් තෝරාගැනීම හෝ පිළිගැනීම බලාපොරොත්තුවෙන් සිටි යමෙකු, යම්කිසි ක්‍රියාවක්, අදහසක් හෝ යෝජනාවක් සම්පූර්ණයෙන්ම ඉන් ඉවතට තල්ලු කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය පුද්ගලයෙකු වගේම පුද්ගල කණ්ඩායමක් හෝ ඔවුන් ඉදිරිපත් කරපු අදහසක් හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම වෙන්නත් පුළුවන්. එවැනි අත්දැකීමකට ජීවිතයේ එකවතාවක් හෝ මුහුණ දුන්න හැමෝම කියන විදිහට ප්‍රතික්ෂේප වීමක ප්‍රතිඵල හෝ එමඟින් ඇතිවන හැඟීම් බොහෝවිට වේදනාකාරී වෙන්නත් පුලුවන්. ප්‍රතික්ෂේප වීම බොහෝවිට දැනෙන්නේ මොළයට නොව හදවතටයි. හදවතට දැනෙන හැඟීම් නිසා පුද්ගල ජීවිත කඩා වැටෙන්න වගේම මානසික වශයෙන් දැඩි පීඩනයක් එල්ල වෙන්නත් පුලුවන් !

ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතික්ෂේප වීම

මේ කාරණාව වඩා හොඳින් තේරුම් ගන්න කොටස් දෙකකින් පුළුවන්.

*️⃣ ප්‍රතික්ෂේප කිරීම – තමා විසින් තමාවම ප්‍රතික්ෂේප කිරීම.

#️⃣ මම මහ කාලකණ්ණියෙක්.
#️⃣ මම මහ අවාසනාවන්තයෙක්.
#️⃣ මම අතගහන කිසිම දෙයක් හරියන්නේ නෑ.
#️⃣ මට ජීවිතේ ගොඩදාගන්න පොටක් පෑදෙන්නෙම නැති හැටි.
#️⃣ මම අළුතින් පටන් ගන්න කිසිම දේකට අතදෙන්න, උදව් කරන්න කෙනෙක් නැති හැටි.

යම්කිසි දේකට උත්සාහ කරලා කරලා බැරිම තැන අන්තිමට තමුන්ට මෙන්න මේ වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඒ කියන්නේ තමුන් තමුන්වම ප්‍රතික්ෂේප කරන්න ආරම්භ කරන තැන. කාලයක් මෙන්න මේ සිතුවිලි වල හිරවෙලා, අන්තිමට තමා තමාවම ප්‍රතික්ෂේප කරලා, තමාගේ යටිසිතට පණිවිඩයක් යවනවා, “මම නිකම්ම නිකං නිකමෙක් ! ” කියලා. අන්න ඒ සිතුවිල්ල බොහෝම භයානකයි.

ඒ වගේම ඕකෙම අනිත් පැත්ත. ඒ තමයි;

*️⃣ ප්‍රතික්ෂේප වීම – තමා, තමා නොවන වෙනත් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වීම.

#️⃣ ඔයාට මේ ලෝකේ දෙයක් බෑ.
#️⃣ බලන්න ඔයා මෙතෙක් කාලෙකට කරපු කිසිම දෙයක් හරිගිහින් නෑ.
#️⃣ ඔයාගේ කටහඬ හරියට බෙලෙක්කයක් සූරනවා වගේ.
#️⃣ ඔයාගේ මූහුණ හරියට බෙරිවෙච්ච කිරිබත් හැලියක් වගේ.
#️⃣ මොනවාද ඔට්ටු, ඔයාට මේක කරන්න බෑ.

ඔන්න ඔයවගේ කියුම්, කෙරුම් වලින් මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරනවා. ඕනෑම මනුස්සයෙකුට ඕනෑම දෙයක් කියන්න අදහස් ප්‍රකාශනයේ නිදහසක් තියෙනවා. ඒක නිසා ඒ මිනිස්සු අපිව පිටින් දැකලා පූර්ව නිගමනයන්ට එනවා, වගේම ඒවායින් ඇතිවන ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව අපේ හදවත පසාරු කරගෙන යන විදිහට විවිධාකාර කතා කියලා දානවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුලුවන් වුනාට ඔබ ඒවා බාරගන්නවාද? නැද්ද? යන එක ඔබට අයිති වැඩක්.

මිනිස්සු එකතුවෙලා ඔබට ගල් ගැහුවොත්, ඔබට පුලුවන්කම තියෙන්න ඕනේ, ඒ ගල් ටික එකතු කරලා ජීවිතයේ ඔබ බලාපොරොත්තුවෙන තැනට යන්න පාලමක් හදාගන්න.

මතක තියාගන්න, කලින් කියපු ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතික්ෂේප වීම කියන දෙකෙන් වඩා භයානකම දේ තමයි තමා විසින් තමාව “ප්‍රතික්ෂේප කිරීම”. මොකද යමක් කරන්න කලින් ඔබට දැනෙන හුඹස් බිය (තමා අසාර්ථක වේ යැයි, තමාටම දැනෙන අනියත බිය ) අතහැරලා දාලා දෙයක් පටන් ගන්න ශක්තිමත් ආත්ම ආත්මවිශ්වාසයක් ඔබ ගොඩනඟා ගන්න ඕනේ. මොකද? ඔබ ගැන හරියටම දන්නේ ඔබ. ඔබ තමුන්ට තමුන් ගැන තියෙන විශ්වාසය හෙවත් ආත්ම විශ්වාසය විශ්වාස කරන තාක් ඔබව වට්ටන්න කාටවත්ම බෑ.

මේ ලෝකෙ ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ඉන්නවද?

ඕනෙතරම් ඉන්නවා. අළුත් දේවල් කරපු මිනිස්සු හැමෝම තමුන්ට අතොරක් නැතුව ආපු ප්‍රතික්ෂේප වීම් දරාගෙන ජීවිතය සාර්ථක කර ගත්තු මිනිස්සු. මම ඔබට උදාහරණ දෙකක් කියන්නම්. එකක් අතීතයෙන්, අනිත් එක වර්තමානයෙන්.

#️⃣අතීතයෙන් මම ඔබට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ජනපදයේ 16 වැනි ජනාධිපති (1861-1865) ඒබ්‍රහම් ලින්කන් ගැන…

1831 – ඔහුගේ රැකියාව අහිමි වුනා

1832 – ඉලිනොයිස් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය සඳහා ඉදිරිපත් වෙලා පරාජය වුනා.

1833 – ව්‍යාපාර අසාර්ථක වුනා.

1834 – ඉලිනොයිස් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට තේරී පත් වුනා. (සාර්ථකත්වය)

1835 – තම පෙම්වතිය මිය ගියා.

1836 – ස්නායු බිඳවැටීමක් ඇතිවුණා.

1838 – ඉලිනොයිස් හවුස් කථානායක ධුරය සඳහා පරාජය වුණා.

1843 – එක්සත් ජනපද කොන්ග්‍රසය සඳහා නාමයෝජනා සඳහා පරාජය වුණා.

1846 – කොන්ග්‍රසයට තේරී පත් වුණා. (සාර්ථකත්වය)

1848 – නැවත නම් කිරීමේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.

1849 – ඉඩම් නිලධාරී තනතුර සඳහා ප්‍රතික්ෂේප වුණා.

1854 – එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා පරාජය වුණා.

1856 – උප ජනාධිපති ධුරයට නාමයෝජනා සඳහා පරාජය වුණා.

1858 – එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා නැවතත් පරාජය වුණා.

1860 – ඇමෙරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූණා. (සාර්ථකත්වය)

ඔබේ ජීවිතයේ මෙතරම් ප්‍රතික්ෂේපවීම් වලට ඔබ ලක්වෙලා තිබෙනවාද ? නෑ නේද? එහෙම නම් අන් අය ඔබව ප්‍රතික්ෂේප කරන්නට පෙර ඔබ විසින් ඔබව ප්‍රතික්ෂේප කිරීම නවත්වන්න !

දෙවෙනි උදාහරණය වර්තමානයෙන් කිව්වනේ…

#️⃣ලෝකයේ ධනවත්ම මිනිසුන් අතර 20 – විසි වන ස්ථානය හිමිකරගෙන ඇති, චීනයේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථක් ව්‍යාපාරිකයෙක් වන ජැක් මා (Jack Ma) අවස්ථාවන් ගණනාවකදී ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කලා. නොසලකා හැරිය හැකි තරම් ඉතා කුඩා ප්‍රතික්ෂේප වීමක් හමුවේ මානසික කඩා වැටීම් වලට ලක්වී ඇති ඔබ, නිකමටවත් “ජැක් මා” ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගත්තාද ?

ජැක් මා ඔහුගේ විශාලතම අසාර්ථකත්වයන් 7 – හත ජයගත්තේ කොහොමද ?

1. පාසලේදී බොහෝ විභාග අසමත් වීමෙන් පසු එය අත්හැරියේ නැත.

“මම ප්‍රධාන ප්‍රාථමික පාසල් පරීක්ෂණයකින් දෙවරක් අසමත් වීමි, මම තුන් වතාවක් මධ්‍යම පාසල් පරීක්ෂණයෙන් අසමත් වීමි, විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය දෙවරක් අසමත් වීමි” ඔහු කියන්නේ එහෙමයි.

2. ඔහුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගණිත අංශයෙන් ලකුණු 120 න් 1 ලකුණක් ලබා ගත්තේය.

ජැක් මා පවසන ආකාරයට විභාගයක් අසමත් වීම එක දෙයකි. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයෙන් 1 එක ලකුණක් ලබා ගැනීම තවත් එකකි. අලිබබා තාක්ෂණික සමාගමක් වුවද, අද පවා ජැක් මා ගණිතය සමඟ පොරබදයි. ඔහුම මෙසේ ද පවසයි.

“මම ගණිතයට දක්ෂ නැහැ, කළමනාකරණය හැදෑරුවේ නැහැ, තවමත් ගිණුම් වාර්තා කියවන්න බැහැ.”

ඔබ කුමක් විශ්වාස කලත් ප්‍රකෝටිපතියෙකු වීමට නම්, ගණිතය පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය නොවන බව ඔහුගේ විශ්වාසයයි.

3. ලෝක ප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ඔහු 10 වතාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එය අතහැර දැමීමට ඔහුගේ සූදානමක් නොතිබුණි.

ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයෙන් 10 වතාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුබට නොවී ඔහු සුදුසු ලෙස නම් කරන ලද හැංෂෝ සාමාන්‍ය විශ්ව විද්‍යාලයට ගිය අතර එහිදී ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීනයෙකු බවට පත්විය.

4. රැකියා 30 ක් සඳහා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සුභවාදීව සිටීම.

විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු විවිධ රැකියා 30 කට අයදුම් කළ අතර පසුව ඔවුන් සියල්ලන්ම ඔහුව ප්‍රතික්ෂේප කරන ලදී.

ඔහු පොලිස් නිලධාරියෙකු වීමට පවා ඉල්ලුම් කළේය. සම්මුඛ පරීක්ෂණයේ අවසාන වටයට 5 පස්දෙනෙකු තෝරාගත්තද, අවසානයේදී ජැක් මා හැර අනෙක් හතර දෙනාම තෝරාගෙන ඔහුට දවසේ වේලාවක් පවා ලබා නොදී ඔහුව ප්‍රතික්ෂේප කළහ.

5. KFC විසින් අයදුම් කරුවන් 24 දෙනෙකුගෙන් ප්‍රතික්ෂේප කරන ලද එකම සම්මුඛ පරීක්ෂකයා ඔහු විය.

ඔහුගේ සංචිතයේ සිටි KFC අයදුම්කරුවන් 24 දෙනාගෙන් 23 දෙනෙකු බඳවා ගෙන ඇත. ප්‍රතික්ෂේප කළ එකම තැනැත්තා ජැක් මා විය. ඔහු සිතන්නේ ඔහුට හොඳ පෙනුමක් හා හොඳ පෞරුෂයක් නොමැති වීම එම ප්‍රතික්ෂේප වීමට හේතුව බවයි.

6. අලිබබා සඳහා අරමුදල් සපයන ලෙස සිලිකන් වැලි කණ්ඩායමට එම ව්‍යාපාරික අදහස ඒත්තු ගැන්වීමට ඔහුට නොහැකි විය.

ඔහු අලිබබා ආරම්භ කිරීමෙන් පසුව පවා ඔහු අසාර්ථක විය. පළමු වසර තුනම ලාභයක් වාර්තා කිරීමට ඔහු අසමත් විය. එක් අවස්ථාවක අලිබබා බංකොලොත්භාවයට මාස 18 ක් මෙපිටින් සිටියේය.

ජැක් මා නිහතමානීව පවසන පරිදි; “මම අලිබබා හඳුන්වන්නේ වැරදි 1,001ක් කියායි.”

7. ඔහුගේ අලිබබා හවුල්කරුවන් 18 දෙනාට ඔහු කියා සිටියේ ඔවුන්ගෙන් කිසිවෙකු කළමනාකරණයට බඳවාගත නොහැකි බවයි.

ඔහුගේ සැලසුම වූයේ ඒ වෙනුවට බාහිර කළමනාකරුවන් බඳවා ගැනීමයි. එයද ඉතාමත්ම අසාර්ථක තීරණයක් විය.

නමුත් ලෝක ධනවතුන් අතර අද ජැක් මා අත්පත් කරගෙන ඇති තැන බලන්න. ඔහු ලෝක ධනවතුන් අතර 20 – විසි වන ස්ථානය අත්පත් කරගැනීමෙන් අපට ඉගෙන ගත හැකි පාඩම නම් තමා තමාව ප්‍රතික්ෂේප නොකරන තාක් තමාට ජීවිතයේ ඉදිරි ගමනක් ඇති බවයි.

මා අතීතයෙන් සහ වර්ථමානයෙන් ඔබට ගෙන ආවේ ජනප්‍රිය උදාහරණ දෙකක් පමණි. ඔබ ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් ගැන සොයා බලන්න. ඔවුන් සියළු දෙනාගේ දක්නට ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ තමා විසින් තමාව ප්‍රතික්ෂේප නොකිරීමේ ගුණාංගයයි. මානසිකව ශක්තිමත් වන්න. ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්න. තමා තමාවම ප්‍රතික්ෂේප කිරීම මෙලොව ඇති විශාලතම ප්‍රතික්ෂේප කිරීමයි. ඔබ වැනි කිසිවෙක් මෙළොව නැත. ඔබ සුවිශේෂී පුද්ගලයකු බව අන් අය පිළිගැනීමට ප්‍රථම ඔබ පිළිගන්න. ඔබ ඔබට ආදරය කරන්න. ගෞරව කරන්න. ඔබට යමක් කළ හැකි බව ඔබ විශ්වාස කරන්න.

මානසිකව ශක්තිමත් අය තමන්ගෙන්ම මෙසේ අසාගනිති, “මෙයින් මා ඉගෙනගත්තේ කුමක්ද?” එබැවින් ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන්ට ඉගෙන ගත හැකිය. ඔවුන් හුදෙක් වේදනාව ඉවසනවා වෙනුවට, එය ස්වයං වර්ධනය සඳහා අවස්ථාවක් බවට පත් කර ගනියි. එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන ප්‍රතික්ෂේප වීම් සමඟ ඔවුන් වඩාත් ශක්තිමත් වේ.

ඔබේ ජීවිතයේ දියුණුව අවශ්‍ය ක්ෂේත්‍ර ගැන ඔබ ඉගෙන ගත්තද? නැතහොත් ඔබව ප්‍රතික්ෂේප කිරීම ඔබ සිතූ තරම් භයානක නොවන බව ඔබ හඳුනා ගත්තද? ප්‍රතික්ෂේප කිරීම හොඳ ගුරුවරයෙකු විය හැකිය. ප්‍රතික්ෂේප කිරීම ඔබට වඩාත් පරිපූර්ණ ලෙස ඉදිරියට යාමට අවස්ථාවක් ලෙස භාවිතා කරන්න.

Business HUB (CharityShop) මුල් අදියර ආරම්භ කලේ 2017දී. නමුත් එය කඩා වැටුණා. නොමිළයේ ලබාදුන් සේවාවක් නිසා 20 අඩු පිරිසක් තමයි සම්බන්ධ වුනේ. ගොඩක් අය එය ප්‍රතික්ෂේප කලා. නමුත් අද දිනෙන් දින ඉහළයන සේවා සහ තාක්ෂණික සේවා ගාස්තුත් එක්ක ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අද ලංකාවේ සියලුම eMoney/IT/Business ආයතන වල සේවාවන් අපි ලබාදෙනවා. ඉතිං ප්‍රතික්ෂේප වීම, පරාජය මා නම් බාරගත්තේ නෑ…

ඔබ සාර්ථකයි කියන හැඟීම ඔබ තුලම ඇති කරගන්න….

දැන් ඔබේ අවස්ථාවයි…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඇත්තටම නිකං ඉන්න වෙලාවට මොකද කරන්නේ?

ඇත්තටම නිකං ඉන්න වෙලාවට මොකද කරන්නේ?

ඇත්තටම නිකං ඉන්න වෙලාවට මොකද කරන්නේ?

🔷 ලඟ පාත ඉන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කියව, කියව ඉන්නවා…

🔶 ෆේස්බුක් එකේ වැඩක් නැති පෝස්ට් බල බලා ඉහල, පහල යනවා…

🔷 පාළුව, කාන්සිය මකාගන්න කාට හරි කෝල් එකක් අරගෙන නිකං නිරපරාදේ කතාවට අල්ලා ගන්නවා… ; වගේ දේවල් නේද?

මෙන්න මේ වගේ අයට තමයි කාල+කන්නි කියලා කියන්නේ…

ඇයි, මේ වගේ අයට කාල+කන්නි කියන්නේ? මීට වැඩිය කාල+කන්නි මිනිස්සු කොච්චර ඉන්නවද? කියලා ඔබ මගෙන් ඇහුවොත්…
ඒකට මෙහෙම උත්තරයක් දෙන්නද?

ඇත්තටම මොනවාද එහෙම කියව, කියවා ඉන්නේ?

🔶 එක්කෝ, ඊයේ රෑ TV එකේ ගියපු වැඩසටහනක් ගැන…
🔷 නැත්නම්, දිනපු හරි පැරදුන හරි මැච් එකක් ගැන…
🔶 නැත්නම්, කාගේ හරි පාර්ලිමන්ට් ජෝක් එකක් ගැන…
🔷 එහෙමත් නැත්නම් ෆේස්බුක් ගොසිප් එකක් ගැන… නේද?

ඇයි, දන්නවද මේවා කියවන මිනිස්සු “කාල+කන්නි” වෙන්නේ?

මේ කතා කරන දේවල් වලින් කියන කෙනාටවත්, අහන කෙනාටවත් එහෙම නැත්නම් කියවන කෙනාටවත් කිසිම ප්‍රතිඵලයක් නෑ… අහලා තියෙනවා නේද? “හිස් වචන” කියලා වචනයක්. මෙන්න නියම “හිස් වචන”. අපේ කාලය, ශ්‍රමය, ධනය විනාශවෙන, හිත් දූෂ්‍ය වෙන මෙන්න මේවට තමයි නියම “හිස් වචන” කියලා කියන්නේ…

ඔය අතරේ තවත් සමහරෙක් ඉන්නවා නේද?

🔶 පොතක්, පත්තරයක් සඟරාවක් කියවන…

🔷 හොඳ ෆේස්බුක් ආර්ටිකල් එකක් කියවන…

🔶 යූ-ටියුබ් සර්ච් කරලා හොඳ වීඩියෝ එකක් බලන…

🔷 Google සර්ච් කරලා අළුත් දෙයක් ගැන හොයන… මිනිස්සු.

අන්න, ඒ මිනිස්සු තමයි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න මිනිස්සු… නිකම්ම නිකං හිස් වචන කතා කරලා කාල+කන්නියෙක් නොවී, ඒ වෙලාවට පොතක්, පතක් කියවන එකේ තියෙන වටිනාකම මොන තරම් ද කියලා දන්නේ මේ කරන අයම තමයි…..

පොඩ්ඩක් හිතලා බලන්න අඩුම ගණනේ මේ මාසෙට පොත් කීයක් කියෙව්වද කියලා? කියවීම කියලා කියන්නේ මාසෙකට සීමා කරන්න ඕනේ පුරුද්දක් නෙමෙයි. මුළු ජීවිත කාලයක් පුරා පවත්වා ගත යුතු පුරුද්දක්. මේ පුරුද්ද ඇති කර ගත්තොත් ඔබට ඔබේ ජීවිතයට අමතරව විවිධ චරිත තුල ජීවත් වෙන්න පුළුවන්. සමාජයේදී මුහුණට මුහුණ හමු නොවෙන විවිධ පුද්ගලයන් හඳුනා ගන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් විවිධ ආහාර පානයක ජීවත් වෙන්නත් පුළුවන්. විවිධ රටවල්වල සැරි සරන්න පුලුවන්. අවසානයේදී ගත්තොත් එහෙම සතුටින් ජීවිත කාලය නිමා කරන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ හිමි නමක් වන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ උන්වහන්සේගේ අපවත්වීමට හරියටම අවුරුද්දකට කලින් උන්වහන්සේගේ වයස අවුරුදු එකසිය එකේදි මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා.

“මට ඕනෑම පුරුද්දක් අත්හළ හැකියි. එහෙත් කියවීමේ පුරුද්ද අත්හළ නොහැකියි. දැනුදු මම පැය ගණනක් පොත් කියවමින් මගේ කාලය අර්ථවත් ලෙස ගත කරමින් පසුවෙමි.”
~ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි .

බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ වගේම, ලෝකයේ අතිශය සාර්ථක සහ ජනප්‍රිය ව්‍යාපාරික චරිත, රාජ්‍ය නායකයන් වගේම සාර්ථක පුද්ගලයන් තමන්ගේ ප්‍රධානතම විනෝදාංශය හා දැනුම එක් රැස් කර ගැනීමේ ප්‍රධාන මාධ්‍යය විදිහට සලකන්නේ පොත් කියවීමයි.

සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකය අතිශය ජනප්‍රිය චරිතයක් එහෙම නැත්නම් ව්‍යාපාර ආයතන‍යක ප්‍රධානියෙක් (CEO කෙනෙක්) සාමාන්‍යයෙන් අවුරුද්දකට පොත් 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් කියවලා අලුතෙන් දැනුම උකහා ගන්නවා. ඔවුන් අතර පොත් කියවීම තමුන්ගේ ජීවිතයේම කොටසක් බවට පත් කර ගත්ත ලෝකප්‍රකට ව්‍යාපාරිකයෙක් වන බිල් ගේට්ස්, සුප්‍රසිද්ධ ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වන මාර්ක් කියුබ්න්, ෆේස්බුක් නිර්මාතෘ වගේම අඩුම වයසෙන් ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතු වුන මාර්ක් සකර්බර්ග්, ටෙස්ලා (TESLA); ස්පේස් එක්ස් (SPACE X) වැනි වෙළඳ නාමයන් හරහා වර්තමානයේ අතිශය ජනප්‍රිය ව්‍යාපාරික චරිතයක් වන එලොන් මස්ක්, ඇමරිකානු ආයෝජකයෙක් සහ අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් වන වොරන් බුෆේ, ඇමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි, අතිසාර්ථක රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන ඔපෙරා වින්ෆ්‍රී, ලොව අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්, පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩ්න් වැනි චරිත “කියවීම” ඔවුන්ගේ ජීවිතයෙන් කොටසක් බවට පත් කරගෙන තිබීමම ඔවුන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක්.

ඔවුන් වසරකට කියවන පොත් ප්‍රමාණය පොත් 50ක් 60ක් අතර ප්‍රමාණයක්. අවම වශයෙන් සතියකට එක් පොතක්වත් දළ වශයෙන් කියවන එක ඔවුන්ගේ පුරුද්දක්.

පොතේ පතේ, අන්තර්ජාලයේ තියෙන තොරතුරු මේ වගේ වුණාට ප්‍රායෝගික තත්ත්වයේ දී, සැබෑ තත්ත්වය මීට වැඩිය ගොඩක් ශෝචනීයයි කියන එකයි මගේ ප්‍රායෝගික අත්දැකීම. ඒ කාරණාව සනාථ කරන්න තියෙන ප්‍රධානම සාධකය තමයි; මෑතකදී ඇමරිකානු මනෝ විද්‍යා ආයතනය (American Psychological Association – APA) කරන ලද සමීක්ෂණයකට අනුව ඇමරිකානු තරුණ තරුණියන්ගෙන් 30%කටත් වඩා වැඩි පිරිසක් තම විනෝදාස්වාදය උදෙසා වසරකට එක් පොතක්වත් කියවා නොමැති බව තහවුරු වීම.

ගෝලීය වශයෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වය අතිශය දරුණු හා ඛේදනීය තත්ත්වයක්. ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවද දත්ත අතින් ගත් විට මෙයට නොදෙවැනි බව පෙනෙනවා. සමාජ මාධ්‍ය අතිශයෙන්ම ජනප්‍රිය වීමත් සමඟ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවද පොත්පත් කියවීමෙන් සෑහෙන දුරට ඈත්වී තියෙනවා. අන්තර් ජාලයේ සහ සමාජ මාධ්‍ය වල අනවරත සැරිසැරීමත් සමග ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව ද තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් අනවශ්‍ය ලෙස අතිශයින් කාර්යබහුළ තත්වයකට පත් කර ගෙන තියෙනවා. මේ තත්ත්වය මත දිනකට “කියවීමේ පැයක්” සොයා ගැනීම බොහෝ දෙනකුට ගැටලුවක්.

දවසකට පැයක් කියලා කියන්නේ ලොකු වෙලාවක් ද?

දවසකට පැයක් කියලා කියන්නේ දවසේ මුළු කාලයන් ගත්තොත් 4%ක් (සියයට හතරක්) වගේ පුංචි ප්‍රමාණයක්. දෛනික කාලසටහන අතිශයින්ම කාර්යබහුල කරගන්නා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට, මෙවැනි පැය තුනක් හතරක් අනුන්ගේ ඕපාදූප සෙවීමට සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමට කාලය තිබුණද තමාගේ ජීවිතයේ වැඩි දියුණුව වෙනුවෙන් කියවීමේ පැයක් සොයා ගැනීමට කිසිසේත්ම නොහැකියි.

වර්තමාන තරුණ පරම්පරාවෙන් පොත් කියවීම පිළිබඳ විමසුවහොත් ඔවුන් සඳහන් කරන්නේ කාර්යබහුල ජීවන රටාව තුළ කියවීම සඳහා වෙලාවක් සොයා ගත නොහැකි බවයි. නමුත් තාරුණ්‍යයේ දෛනික ක්‍රියාවලිය පරීක්ෂා කර බලන සෑම කෙනෙකුටම පෙනී යන ප්‍රධාන කරුණක් නම් වෙලාව අවශ්‍ය තරම් ඇති බවත්, වේලාව සොයා ගැනීමට තරම් උවමනාවක් වර්තමාන තරුණ පරම්පරාවට නොමැති බවත්ය.

නමුත් ශ්‍රී ලංකාව තුළ සංචාරය කරන විදේශිකයන්ගේ කාර්ය රටාව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පෙනී යන ප්‍රධාන එක් වැදගත් කරුණක් නම් ඔවුන් කියවීම සඳහා හරි අපූරුවට වේලාව සොයා ගන්නා බවයි. ඕනෑම විදේශිකයෙකු; විශේෂයෙන්ම වැඩිහිටියකු හෝ දරුවෙකු තමාට ඔසවාගෙන යා හැකි මට්ටමේ ගමන් මල්ලක් පාවිච්චි කරන අතර එම ගමන්මල්ලේ ඉහළින්ම පොතක් හෝ කිහිපයක් අනිවාර්යෙන්ම රඳවා තබාගන්නවා. ඔවුන් බසයක ගමන් ගන්නා අතරතුර, කෝපි කෝප්පයක් පානය කරන අතරතුර, දුම්රිය පැමිණෙන තෙක් සිටින කාලය අතරතුර, විනාඩි කිහිපයක සුළු විවේකයක් අතරතුර වගේ ඕනෑම අවස්ථාවක තම ගමන් මල්ලේ ඉහළින්ම රඳවා ඇති පොතක් අරගෙන කියවීමට පටන් ගන්නේ නිරායාසයෙන්මයි. වටාපිටාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් ඔවුන්ට නෑ. නමුත් අප එම කාලය කොපමණ නිරර්ථකාරී ලෙස ගෙවා දමනවා දැයි විශේෂයෙන් පැහැදිලි කර දිය යුතු නෑ. සමාජ මාධ්‍ය තුළ තුල ඉහල පහල යමින්, තවකෙකුට දුරකථන ඇමතුම් ලබා ගනිමින් අප අපේ කාලය කා දමනවා යැයි කීම වරදක් නොවේ.

සෑම වසරකම, බොහෝ අය නිශ්චිත පොත් සංඛ්‍යාවක් කියවීම සඳහා ඉලක්ක තබා ගනී. එහෙත්, බොහෝ අළුත් අවුරුදු යෝජනා මෙන්ම, ඒවාද හුදු වචන බවටම පත්වෙනවා නේද?

හොඳ පොත් කියවීමෙන් බොහෝ වාසි ඇත. හොඳ පොත් ඔබේ මනස ගැඹුරින් කැළඹීමටත්, ඔබේ ක්ෂේත්‍රය ගැන වැඩි යමක් ඉගැන්වීමටත්, ඔබේ කුසලතා මුවහත් කර ගැනීමටත්, ඔබේ කනස්සල්ල මැඩ පැවැත්වීමටත්, සාමාන්‍යයෙන් ඔබට ඊළඟ මට්ටම දක්වා වර්ධනය වීමටත් උපකාරී වේ. ඔබගේ ක්ෂේත්‍රය හෝ රුචිකත්වයන් කුමක් වුවත්, ඔබේ සීමාවන් ඉක්මවා කියවීමට ස්ථාවර රටාවක් සහ පුරුද්දක් ඇති කිරීම ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත්, ඔබ සතුව කියවීමට හා වර්ධනය වීමට පළමුව ගැඹුරු කැමැත්තක් තිබීම වැදගත්ය. කියවීම විනෝදජනක, විනෝදජනක මෙන්ම ජීවිත වෙනස් කරවීමේ ක්‍රියාකාරකමක් ලෙස අවසානයේදී ඔබේ ජීවිතයට බලපායි. මේ ආකාරයේ මානසිකත්වයක් ඇතිව, ඔබේ ජීවිතයේ වැඩි දියුණුවක් අවශ්‍ය වන ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් ඔබ කියවන පොත් ගැන ඔබ උනන්දු වනු ඇති අතර එම ගැටළු සහිත ප්‍රදේශ ඉලක්ක කරගත් නිවැරදි පොත් කියවීමෙන් ඔබේ ජීවිතය ඊළඟ මට්ටමට වර්ධනය වීමට සැලසුම් කරන්න.

“කියවීමේ පුරුද්ද ඇති කර ගැනීම යනු ජීවිතයේ සියලු දුක්ඛිත තත්ත්වයන්ගෙන් මිදීමයි”

~ සමර්සෙට් මෝගම්

ඔබේ කියවීමේ ඉලක්කය තීරණය කරන්න.

කියවීමේ පුරුද්දක් සහ සංස්කෘතියක් ඇති කරගැනීම සඳහා, ඒ වෙනුවෙන් නිශ්චිත වූ ඉලක්කයක් තබාගැනීමෙන්මෙන් ආරම්භ කිරීම වැදගත් වේ. මෙම ඉලක්කය තමුන් විසින් තමුන්ට ප්‍රකාශ කළ යුතු අතර, අරමුණක් ඇතිව එය පැහැදිලිව සටහන් කරගත යුතුය.

අධ්‍යාත්මික ජීවිතය, නොදන්නා යමක් ජීවිතයට අළුතින් ඉගෙන ගැනීම, වෘත්තිය සබඳතා වැඩිදියුණු කර ගැනීම සහ තවත් බොහෝ දේ වෙනුවෙන් ඔබට දෛනික කියවීමේ පුරුද්දක් ඇතිකර ගත හැකිය. ඔබේ ජීවිතයේ විවිධ ක්ෂේත්‍රයන්හි වර්ධනයක් ඇතිකර ගැන්මට ස්ථාවර කියවීමේ රටාවක් ඔබට උපකාර වන්නේ කෙසේද? යන්න ගැන සිතීමෙන් ආරම්භ කරන්න. ඔබගේ ඉලක්කයට නිශ්චිත හේතු සහ අරමුණක් ඔබ සොයාගත් විට, එය දෙසට ඔබ ස්වභාවයෙන්ම තල්ලු වේ. එමෙන්ම එය සාක්ෂාත් කර ගැනීමට ඔබ වඩාත් පෙළඹෙනු ඇත.

ඔබේ කියවීමේ ලැයිස්තුව ගැන හොඳ අවබෝධයකින් සිටීමෙන්, ඔබ ඔබේ අවසාන අරමුණ කෙරෙහි අවධානය යොමු කර ඔබ පසුකර යන ඕනෑම පොතක් ඒ වෙනුවෙන් මිළදී ගැනීමෙන් වළක්වාලයි. අලෙවිකරණ / විකුණුම් පොත් කියවීම ඔබේ වෘත්තීය මාර්ගයට ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔබට හැඟේ නම්, විශිෂ්ට අලෙවිකරණ පොත් ලැයිස්තුවක් ලියා ඒවා අනුගමනය කරන්න.

කියවීමේ ලැයිස්තුවක් ඔබට සංවිධානාත්මකව සිටීමට උපකාරී වේ. ආරම්භක හා අවසන් දිනයන්, එම පොතෙන් උකහාගත් ප්‍රධාන සටහන් හෝ පාඩම් ඇතුළුව එම පොත කියවන අතරතුර සාරාංශගත සටහනක් තබා තවත් පියවරක් ඉදිරියට තබන්න. මෙම පොත් කියවීමෙන් පසුව ඒවායෙන් ඔබ උකහාගත් දැනුම බැහැර නොකිරීම මෙයින් අදහස් වේ. යම් වේලාවක ඔබට යම් කියවීමේ ආශ්වාදයක් අවශ්‍ය වූ විට, ඔබේ සිතුවිලි පිළිබද පසු සටහන් මාස ගණනාවකට පසුව ඒවා කියවා බැලීමට ඔබව දිරිමත් කරනු ඇත…..

ඔබ කියවන විට ඉතා ක්‍රියාශීලී වන්න. ඒ වෙනුවෙන් තේ හෝ කෝපි කෝප්පයක් පානය කිරීම ඔබට වැදගත් වනු ඇති. ඉක්මන් නොවන්න, ඒ වෙනුවට කියවීමේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට සහ ඒවාට සම්බන්ධ වීමට කාලය ගන්න. මේ ආකාරයෙන්, ඔබ ඉගෙනීමට විවෘතව සිටින අතර අවස්ථාව පැමිණි විට එම දැනුම අන් අයට හුවමාරු කර ගැනීමට ඔබට හැකි වේ.

කියවීම දිරිමත් කරන මෙවලම් සඳහා ආයෝජනය කරන්න.

කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ගත් කල, වඩා හොඳ කියවීමේ රටාවක් සඳහා වේගය සැකසෙන නිවැරදි මෙවලම් සඳහා ආයෝජනය කිරීම වැදගත් වේ.

අද බොහෝ මිනිසුන් මේ සඳහා ජංගම දුරකථන යෙදවුම් (Apps), ටැබ්ලට්, ඉලෙක්ට්‍රොනික් පොත් (E-books), ඇසිය හැකි පොත් (Audio Books) වෙනත් සබැඳි මෙවලම් (Kindle) කියවීම පහසු කරවීමට පාවිච්චි කරයි. ලෝකය ඩිජිටල් වන හෙයින්, බොහෝ අය කැමති ඔවුන්ගේ ජංගම දුරකථන තුළ ගබඩා කරගත හැකි කියවීමේ මෘදුකාංග හෝ යෙදවුම් වලටය. ඔබට වඩාත්ම ගැලපෙන මෙවලම් මොනවාදැයි හඳුනාගෙන ඒවා සඳහා ආයෝජනය කරන්න.

සතිය / මාසය සඳහා ඔබට පවරා ඇති පොත සහ ඔබ පිටු සලකුණු කර ඇති වෙනත් ලිපි කියවීමට සෑම දිනකම නිශ්චිත වේලාවන් වෙන් කරන්න. රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීම සහ ඔබේ කියවීමේ වේලාවට බාධාවක් විය හැකි වෙනත් දේ (ජංගම දුරකථන) වැනි අවධානය වෙනතකට යොමු කරන දෑ බැහැර කරන්න. දිනකට අවම වශයෙන් මිනිත්තු 30-40 අතර (පැයක් නම් අගනේය) කාලයක් කියවීමට සුදානම් වීම හොඳ ආරම්භයක් වන අතර ඔබේ කියවීමේ අරමුණ සඳහා සහාය වන ඔබේ ‘My Reading Time’ ලබා ගැනීම කියවීමේ පුරුද්දක් ඇති කර ගැනීමට උපකාරී වේ.

කැපවීමෙන් සිටීමට හෝ ඔබේ ඉලක්ක වෙත ලඟාවීමට ඇති අඩුපාඩු මඟහරින්නට ඔබට කියවීමේ දිනයක් තිබිය හැකිය.

ඔබේ අරමුණු කෙතරම් කුඩා වුවත් ඔබට තනිවම ළඟා කර ගත හැකි යැයි සිතන්න. ඔබේ කියවීමේ අරමුණු පමණක් නොව සාමාන්‍ය ජීවන අරමුණු කෙරෙහි අවධානය යොමු කර ධෛර්යමත් වීමට ඔබට නිවැරදි පුද්ගලයින් අවශ්‍ය වේ.

කියවීමේ සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා, ඔබ පළමුව ඔබේ වර්තමාන කියවීමේ පුරුදු විශ්ලේෂණය කළ යුතුය. ඔබ දැනටමත් කියවනවාද? ඔබ ආරම්භ කර යම් අවස්ථාවක නතර කරනවාද? ඔබ ඔබේ කියවීම සැලසුම් කරනවාද? නැත්නම් අහඹු ලෙස කියවනවාද? ඔබේ කියවීමේ අරමුණු සැබවින්ම සාක්ෂාත් කර ගැනීම සහ ස්ථාවර කියවීමේ පුරුද්දක් ඇති කර ගැනීම සඳහා නිවැරදි කියවීමේ මෙවලම් භාවිතා කිරීම, කියවීම වෙනුවෙන් වගවීමේ හවුල්කරුවන් සොයා ගැනීම ඔබට ඔබේ සුවපහසු කලාපයෙන් ඔබ්බට වර්ධනය වීමට ඉඩකඩ සහ අවස්ථාව ලබා දෙනු ඇත.

Stay Hungry ! Stay foolish !
දැනුම පිපාසාවෙන් පෙළෙන්න ! නිරතුරු දැනුම සොයා යන්න !

අරමුණ : අද සිට කියවීමේ දී දිනකට පැයක් හෝ කියවීමට අරමුණක් තබා ගැනීම ගැන සලකා බලන්න.

“නිකං කියව, කියව ඉන්නේ නැතුව “ජීවිතය කියවන්න” නම් Business HUB පෝස්ට් කියවන්න පුරුදු වෙන්න……..”

අපි මේ පේජ් එක ආරම්භ කල දවසේ ඉඳන් ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි… ඒ මේ පේජ් එකේ සියලුම පෝස්ට් දිනපතා කියවා අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න කියලා. සාමාන්‍යයෙන් විනාඩි 15ක් ඇති දෛනික පෝස්ට් ටික කියවා කමෙන්ට් කරන්න. ඒ විනාඩි 15 අනිවාර්යයෙන් ඔබේ ජීවිතය වෙනස් කරාවි…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

අනුන් එක්ක නෙමෙයි, තමුන් එක්ක තරඟ කරන්න. ජනප්‍රිය දේ නෙමෙයි, හරි දේ තෝරාගැනීම ඔබ සතු යුතුකමක්… වගකීමක්…

අනුන් එක්ක නෙමෙයි, තමුන් එක්ක තරඟ කරන්න. ජනප්‍රිය දේ නෙමෙයි, හරි දේ තෝරාගැනීම ඔබ සතු යුතුකමක්… වගකීමක්…

“ඔබ වතුර බාල්දියක් ගෙන පර්වතයක් මතට එය විසි කරන්න. එයින් පර්වතයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත. නමුත් පර්වතයේ එක් තැනකට දිය බිඳක් දිගින් දිගටම වැටෙන්න සලස්වන්න, එය පර්වතයේ සියුම් සිදුරක් නිර්මාණය කරනු ඇත.”

මේ කතාව ඔබ මීට පෙරත් අසා ඇතුවාට සැකයක් නෑ. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? සමහරු දෙයක් පටන් ගන්නේ රටටම දැනෙන්න. හැබැයි මාසයක්, දෙකක් යනකොට ඒ දේ තිබුන තැන වත් හොයාගන්න නැතිවෙලා යනවා….. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ වරක් දෙවරක් නම් නෙමෙයි. ඕන තරම් අපි මේ අත්දැකීමට මූණ දීලා තියෙනවා. එහෙමනම් මේ කාරණා වලින් අපිට තේරෙන දේ තමයි අමාරු පටන් ගන්න නෙමෙයි, අමාරු අල්ලගෙන ඉන්න. දිනන්න ඕන නම් අල්ලාගෙන ඉන්න ඕනේ….

දිනන්න ඕනේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තමයි, තමුන් කරන දේ දිගටම කරගෙන යන එක, තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාගෙන ඉන්න එක. ඒ තත්ත්වයට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම තමුන් කරන දේ වගකීම සියයට සියයක්ම බාර ගන්න ඕනේ. මොකද, කියමනක් තියෙනවා; “සාර්ථකත්වයට විදුලි සෝපානයක් නොමැත. ඔබ පඩිපෙළ භාවිතා කළ යුතුය.” කියලා.

මේ පඩිපෙළ හැදිලා තියෙන්නේ සාර්ථකත්වයට ඔබ ගමන් කරන දින, සති, මාස, අවුරුදු ගණන් වලින්. මේ කාරණාව කියන්න මම උදාහරණයට ගන්නේ ලෝක ප්‍රකට ආර්ජන්ටීනියානු සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී …….මෙසී හරි අපූරු කතාවක් කියනවා.

“මම හැමෝටම කලින් උදෑසන වැඩ පටන් ගන්නවා. ඒ වගේම අනිත් හැමෝටම පස්සේ මං මගේ වැඩේ ඉවර කරනවා. මේ වගේ දින, සති, මාස, අවුරුදු එකින් එක ගෙවිලා අවුරුදු 17කුත් හරියටම දින 114කට පස්සේ, එක් රාත්‍රියකදී මං ගැන මුළු ලෝකයක් කතා කරන්න පටන් ගත්තා.”

බලන්න මේ කියමන ඇතුලේ තියෙන සැබෑ අරුත මොකක්ද? කියලා…
සාර්ථකත්වය = අඛණ්ඩ කැපවීම
2019දී මේ වයස අවුරුදු 32ක් වන ක්‍රීඩකයාගේ වත්කම ඇස්තමේන්තු ගත කොට තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට වඩා වැඩියි කියලා… දැන් පේනවා නේද? සාර්ථකත්වයේ ප්‍රතිඵලය.

සාර්ථකත්වයේ හිනි පෙත්තටම නැගපු ලයනල් මෙසී වගේම, තමන්ගේ සාර්ථකත්වය තමුන්ගේ අඛණ්ඩ කැපවීම මත ලඟාකරගත් තවත් කෙනෙක් තමයි උසේන් බෝල්ට්….. ජැමෙයිකාවෙන් බිහිවෙච්ච සුපිරි මලල ක්‍රීඩක උසේන් බෝල්ට්. ඔහු ඔහුගේ අඛණ්ඩ කැපවීම ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.

“මම අවුරුදු හතරක් එක දිගට පුහුණුවී මීටර් සීයක් තප්පර 9 නිමා කරනවා. නමුත් සමහර මිනිසුන් තමුන් කරන දේ ප්‍රතිඵල ලැබීමට මාස දෙකක් ගතවූ තැන ඒක අත්හැර දමනවා. සමහරවිට අසාර්ථකත්වය ළඟා කර ගන්නේ තමා විසින්මයි.”

සමහරුන්ට ඕනේ ක්ෂණික ප්‍රතිඵල. ක්ෂණික ප්‍රතිඵල නොලැබුණු ගමන් අතහැරලා දානවා. ඒකයි උසේන් බෝල්ට් කියන්නේ අසාර්ථකත්වය ළඟා කර ගන්නේ තමා විසින්මයි කියලා.

උසේන් බෝල්ට්,ගේ චරිතය අධ්‍යයනයෙන් ඔහුගේ අඛණ්ඩ කැපවීම මෙන්ම කාලය ආයෝජනය කිරීම ගැන ගතහැකි උදාහරණ බොහෝමයි.

ඔහු පසුගිය ඔලිම්පික් උළෙල 3 දී දිනා ගෙන ඇති මුළු රන් පදක්කම් ගණන 9ක්. ඒ වෙනුවෙන් ඔහු ධාවන පථයේ ගතකොට ඇති කාලය තප්පර 115ක්. එය විනාඩි දෙකකටත් වඩා අඩුයි. ඔලිම්පික් පදක්කම් නවයක් වෙනුවෙන් ඔහුගේ මුළු ඉපැයුම ඇමරිකානු ඩොලර් මිලියන 119ක්. ඒ කියන්නේ ඔහු ධාවන පථය තුළ ගත කොට ඇති තත්පරයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන එකකටත් වඩා වැඩියි නේද? හැබැයි ඔහු කියනවා, මේ වෙනුවෙන් ඔහුගේ පුහුණුවීමේ කාලය අවුරුදු 20ක ටත් වඩා වැඩියි කියලා.

පේනවා නේද? “අඛණ්ඩ” කැපවීමේ ප්‍රතිඵල. වටේ බලාගෙන ඉන්න මිනිස්සුන්ට , ඒ කියන්නේ නරඹන්නන්ට පෙනෙන්නේ ප්‍රතිඵල විතරයි. හැබැයි, ඒ වෙනුවෙන් ඔහු කරපු අඛණ්ඩ කැපවීම කාටවත් පේන්නේ නෑ. නමුත් ඒ අඛණ්ඩ කැපවීම දවසක ඔහුව එක් රැයකින් ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් කරනවා.

එහෙමනම් දැන් තේරුම් ගන්න විශිෂ්ටයන් නිර්මාණය කරපු වචන‍ය තමයි “අඛණ්ඩතාවය”; තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාගෙන ඉන්න එක.

ඇත්තටම මෙහෙම අල්ලාගෙන ඉන්නේ කොහොමද ?

මහත්මා ගාන්ධි කියන්නේ මෙන්න මේ විදිහට…

“ඔබේ සිතුවිලි දෙස පරෙස්සමින් බලන්න, මන්ද ඒවා ඔබේ වචන බවට පත්වේ. ඔබේ වචන ගැන සැළකිලිමත් වන්න. මක්නිසාද ඒවා ඔබේ ක්‍රියාවන් බවට පත්වනු ඇත. ඔබේ ක්‍රියාවන් සලකා බලා විනිශ්චය කරන්න. මක්නිසාද …ඒවා ඔබේ පුරුදු බවට පත්වනු ඇත. ඔබේ පුරුදු, වටිනාකම් තේරුම් ගෙන වැලඳ ගන්න. මන්ද ඒවා ඔබේ ඉරණම බවට පත්වේ……

මනුස්සයෙක් කියන්නේ පුරුදු රාශියක එකතුවක්. පුරුදු තමයි අපේ ඉරණම තීරණය කරන එකම දේ. අපේ ඉරණම වෙනස් කරන්න ඕනේ නම්, අපිට කරන්න තියෙන්නේ අපේ දෛනික ජීවිතයේ පුරුදු වෙනස් කරගන්න එක.

නිදර්ශනයක් විදියට ගත්තොත් හුඟක් දෙනා කිසිම අවබෝධයක් නැතුව අවදි වුණු ගමන් දිනපතා එකම දේ කරනවා. ඇඳෙන් බැහැලා නාන කාමරේට ගිහින් දත් මදිනවා. ඒක නිසා දවස් 21ක් පුරා ඔයා ඔයාගේ ඉලක්ක එක්කම හිටියම, දිනපතා ඒ හැම දවසකම එකම වෙලාවකදී ඒ අලුත් වැඩේ කලහම, ඒක ඔයාගේ දෛනික වැඩපිළිවෙළට එකතු වෙනවා. ඔයාගේ අලුත් පුරුද්ද භාවනා කිරීම වෙන්න පුළුවන්, නැත්නම් කලින් අවදිවීම වෙන්න පුළුවන්, එහෙම නම් දිනපතා පැයක කාලයක් කියවීම වෙන්න පුළුවන්… ඒ හැම එකක්ම හරියට ඔයාගේ දත් මැදීම වගේ පහසුවෙන් කෙරෙන්න පටන් ගන්නවා. දවසකට පැයක් කියන්නේ ලොකු කාලයක්ද? නෑ… කොහෙත්ම නෑ… දවසකට පැයක් කියන්නේ දවසකින් 4%ක් වගේ බොහොම පුංචි කාලයක්…

“පහසුව යනු කිසිදු අවස්ථාවක තෝරා ගැනීමක් නොවේ. විවේක ගැනීම මඳකට කල් තබන්න. අතරමඟ අතහැර දැමීමට නොසිතන්න. ස්වභාවයෙන්ම ඔබට හැකියාවන් ඇත. කුසලතා වර්ධනය කරගත හැක්කේ පැයෙන් පැය ක්‍රියාත්මක වීම තුළින් පමණි.”

මේ විදිහට පුරුදු වෙනස් කරගන්න පටන්ගන්නේ කොහොමද? මේ ටික කරලා බලන්න …..

මෙම ක්‍රම 10 ඔබ ප්‍රගුණ කිරීමට සහ ජය ගැනීමට උත්සාහ කරන ඕනෑම එක්ෂේත්‍රයක අඛණ්ඩව හා ස්ථාවරව සිටීමට ඔබට උපකාරීවනු නොඅනුමානයි.

අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි ! සහතිකයි !

1. ඔබට එය කිරීමට අවශ්‍ය නම් එයට අනිවාර්යයෙන්ම කැප වන්න.

2. වරකට එක් ප්‍රධාන දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න.

3. සංකීර්ණ නොවන්න. එය සරල හා කල්පවතින ලෙස සකස් කරන්න.

4. අවශ්‍ය විට නිර්මාණශීලීත්වයට වඩා කාර්යක්ෂමතාව තෝරන්න.

5. අනාගතයේදී ඇතිවිය හැකි ගැටළු තොරතුරු විශ්ලේෂණයෙන් හඳුනා ගන්න.

6. යථාර්ථවාදී ඉලක්ක සහ අපේක්ෂාවන් සකසන්න.

7. වේගයෙන් ගමන් කිරීමට මතක තබා ගන්න. විනෝද වීමට සහ විවේකීව සිටීමට යම් කාලයක් ගත කරන්න.

8. කාර්ය සාධනයට වඩා ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න.

9. නැහැයි කීමට ඉගෙන නොගන්න….

10. යමක් අතහැර නොදැමීම ගැන ඔබට සමාව දී නැවත ඒ කාර්යය මුල සිට අරඹන්න.

හැමෝම යන පාර හරි ජනප්‍රියයි. හැබැයි ඒ හැමෝටම තියෙන්නේ අනුන් එක්ක තරඟයක්. මේ අනවරත තරඟය ඉවර වෙන්නේ කවදාටද?

ඒක ඉවරවෙන්නේ අපේ මරණයත් එක්ක. හැබැයි, අනුන් එක්ක තරඟ කරන කෙනෙකුට තමුන්ගේ මරණය තෙක් කිසිම නිදහසකුත් නෑ… සැනසීමකුත් නෑ…

හැබැයි, තමුන් තරඟ කරන්න ඕනේ ඊයේ හිටපු හොඳම තමුන් එක්ක මිසක් අනුන් එක්ක නෙමෙයි. ඊයේ හිටපු හොඳම තමුන් එක්ක තරඟ කරන කෙනෙක් හැම විටම සංවර්ධනය වෙනවා. පුද්ගල සංවර්ධනය කියන්නේ ඒකට…

ඒක නිසා හැමෝම යන ජනප්‍රිය පාරේ නොගියට කමක් නෑ. තමුන්ගේ පාරට හැරෙන්න. ඒකේ කිසිම තදබදයක් නෑ. සැබෑ ජයග්‍රාහකයෙක් වෙන්නේ අන්න එතකොට…..

අනුන් එක්ක නෙමෙයි, තමුන් එක්ක තරඟ කරන්න. ජනප්‍රිය දේ නෙමෙයි, හරි දේ තෝරාගැනීම ඔබ සතු යුතුකමක්… වගකීමක්…

තවද ,
බොහෝ මිනිසුන් අපට වැරදි කර….
අපි ඔවුනට වැරදි කළා සේ රගපාති….
කණගාටු නොවන්න …
ප්‍රවේශම් වන්න !!
මිනිස් ස්වභාවය එයයි….

මිනිසුන් දෙන ප්‍රසංසා ඔළුවට ගන්න එපා….
මිනිසුන් දෙන විවේචන පපුවට ගන්නත් එපා….

නොසැලී ඔබ ඔබේ ජයග්‍රහණය උදෙසා පිය නගන්න…..

උදාහරණ වලට වෙන කිසිම කෙනෙක් ඕන නැහැ, Business HUB සහ මම ගන්න…. දීර්ඝව විස්තර ඕනනම් දවසේ සිතුවිලිවල මගේ ජීවිත කතාව කියවන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ගඟක් හරහා එගොඩ මෙගොඩ යන්න ඕන ගමක් තිබුණා

ගඟක් හරහා එගොඩ මෙගොඩ යන්න ඕන ගමක් තිබුණා

ගඟක් හරහා එගොඩ මෙගොඩ යන්න ඕන ගමක් තිබුණා. මේ ගමේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි, පාළම ගොඩක්ම අබලන් වෙලා තිබුණ එක. ඉතින් මේ පාලම ඉක්මනින්ම හදාගන්න ඕනේ කියලා ගමේ මිනිස්සු හැමෝම කල්පනා කළා. මොකද මේක පාවිච්චි කරන එක ගම් වැසියන්ට අවදානමක් වෙලා තිබුනේ…

මේ ගමේ හිටියේ ගොඩක් දුප්පත් මිනිස්සු. හැබැයි කොහොම හරි මිනිස්සු සල්ලි එකතු කරලා මේ පාලම හදන වැඩේ ආයතනයකට භාර දුන්නා.

ඉතින් මේ ආයතනයෙන් පාලම හදන්න එව්වේ, වසරේ දක්ෂතම ඉංජිනේරුවරයා විදිහට සම්මාන ගත්ත, තවත් බොහෝ ක්ශේත්‍රවල දක්ෂකම් දක්වන, දක්ෂම ඉන්ජිනේරු වරයෙක්ව…

මේ පාලම හදන්න කලින්, මේ වටපිටාව පරික්ෂා කරන්න ඕන කියලා මේ ඉංජිනේරුවරයා කිව්ව නිසා, ගමේ හිටපු ධීවරයෙක් ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුණා මේ පාලම සහ අවට වටපිටාව මේ ඉංජිනේරුවරයාට පෙන්නන්න…….

දවසක් ඉංජිනේරුවරයා ධීවරයාත් එක්ක ඇවිදින්න පටන් ගත්තා. ගංගාව අවට වටපිටාව බලන ගමන් මේ දෙන්නා පාලම උඩටත් ආවා. පාලම දිගේ ටික වෙලාවක් ඇවිදගෙන යනකොට, වටේම තිබුණු කඳු නිසා ඉංජිනේරුවරයාට, තවත් තමන් කැමතිම විශයක් වෙන, භූ විෂමතාවය, භූ ගෝලීය පිහිටීම ගැන එක එක දේවල් මතක් උනා….. මේ මතක් වෙච්ච දේවල් එක්ක මෙයාට කට වහගෙන ඉන්න හිතුනේ නැහැ.

“ඔයා මොකද රටක භූ විෂමතාවය, භූ ගෝලීය පිහිටීම ගැන හිතන්නේ….? ලෝකෙ තියෙන විවිධ භූ විෂමතා කලාප ගැන ඔයාගේ අදහස මොකක්ද….?” ඉංජිනේරුවරයා ධීවරයාගෙන් ඇහුවා.

“මට ඒ දේවල් ගැන ලොකු දැනුමක් නෑ මහත්තයෝ “. ධීවරයා කිව්වා.

“අයියෝ, අද කාලේ දැනුම ලබාගන්න කොච්චර ක්‍රම තියෙනවද? ඉන්ටර්නෙට් එකෙන් ම කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද? ඔය වගේ සාමාන්‍ය දේවල් වත් දන්නේ නැතුව වැඩක් තියෙනවද ?” ඉංජිනේරුවරයා කිව්වා.

“මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නේ නෑ මහත්තයෝ “. ධීවරයා පිළිතුරු දුන්නා.

“මේ කාලේ ඕනම පොඩි ළමයෙක් උනත් පාවිච්චි කරන්න දන්න දෙයක් තමයි ඉන්ටර්නෙට්. ඒකත් පාවිච්චි කරන්න දන්නේ නැද්ද?” ඉංජිනේරුවරයා උපහාසයෙන් කිව්වා.

“මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. මාව හදාගත්තේ ආච්චි. මට බාල තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ආච්චිට අපි හැමෝටම උගන්වන්නයි, කන්න බොන්න දෙන්නයි හයියක් තිබුණේ නැහැ මහත්තයෝ …….

මට අවුරුදු 10 වෙද්දිම ආච්චිත් නැති වුණා. ඉතින් එදා ඉඳන් මට සිද්ධ වුණේ මේ ගගත් එක්ක හැප්පිලා, නංගිවයි මල්ලිවයි ජීවත් කරලා මාත් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න එක. ඒ නිසා මට ඉගෙන ගන්න බැරි වුණා. මම ගොඩක් ම ලියන්න කියන්න දන්නෙත් නැහැ.” ධීවරයා කිව්වා

“අයියෝ! ඉගෙනගෙනත් නැති කෙනෙක් ද ? ඉගෙනගෙනත් නැති කෙනෙක්ගේ ජීවිතේ ඇති වටිනාකම මොකක්ද ? මොනවද ඔයා දන්නේ…..?” වැඩකට නැති ජීවිත”. ඉංජිනේරුවරයා ආයිත් කිව්වා.

කතාවෙන් කතාවෙන් දෙන්නා පාලම දිගේ ගගේ මැදට වෙන්න ඇවිල්ලා හිටියේ .. ටික වෙලාවකින්, ධීවරයාට පරිසරයේ වෙනසක් දැනුණා. වටපිටාව බලනකොට ධීවරයාට පෙනුනා, අහසේ කළුපාට වළාකුළු ගොඩක් එකතු වෙලා තියනවා, ලොකු හුළගක් එක්ක මහ වැස්සක් කඩා වැටෙන්න යනවා කියලා. එගොඩට යන්න පාලම හරහා තව ගොඩක් දුරක් යන්නත් තියෙනවා, පාළම අබලන් නිසා දෙන්නටම ඒක දිගේ දුවන්නත් බැහැ. සුළඟට පාලම වැනෙන නිසා, කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේ. ධීවරයාට හිතුනා පාලම කඩා වැටෙයි කියලා.

“මහත්තයට පීනන්න පුලුවන්ද?” ධීවරයා ඇහුවා

“මෙච්චර දේවල් කරන්න තියෙන මට, ඔය වගේ පොඩි දේවල් ඉගෙනගන්න ඕන කමක් තිබුනෙ නෑ”. ඉංජිනේරුවරයා කිව්වා ……..

“මේ පාලම වැනෙන විදිහට මේක දැන් කඩාගෙන වැටෙයි වගේ”. ධීවරයා කිව්වා .

“ඔව්. ඒක නම් මටත් හිතෙනවා. අපි ඉක්මන් කරමු”. ඉංජිනේරුවරයා බයෙන් කිව්වා…

“ඉක්මන් කරලා දුවන්න ගියොත්, කොහොමත් මේක කඩන් වැටෙනවා….
මහත්තයා මේ දැන් පොඩ්ඩකට කලින් කිව්වා මගේ ජීවිතේ වැඩකට නැහැ කියලා. මම මොනවද දන්නේ කියලත් ඇහුවා . හැබැයි ඉතින් මේ වෙලාවේ, පාලම කඩාගෙන අපි දෙන්නා ගඟට වැටුනොත් නම්, මට වඩා වටිනාකමක් නැති වෙන්නේ මහත්තයාගේ ජීවිතයට තමයි. මොක ද මහත්තයා ලග තියෙන දැනුමෙන් නම් මහත්තයාගේ වටින ජීවිතය බේරගන්න බැරි වෙයි.”

ධීවරයා තමන්ගේ කතාව ඉවර කරන්නත් කලින් පාලම කඩාගෙන වැටුනා, හැබැයි ධීවරයාට පුළුවන් වුණා, වැටෙන්න කලින් ඉංජිනේරුවරයාගේ අතකින් අල්ලගන්න.

පොඩි කාලේ ඉඳලම ගගත් එක්ක ජීවත් වෙච්ච මේ මනුස්සයා දක්ෂ පිහිනුම් කරුවෙක්. ඒ හින්දා, එදා ඉංජිනේරුවරයා අර වැඩකට නැහැ කියලා හිතපු මනුස්සයට පුළුවන් වුණා තමන්ගෙ ජීවිතයත් බේරගෙන ඉංජිනේරුවරයාගේත් ජීවිතයත් බේරගන්න…..

ඔයාගේ ජීවිතෙත් ඔයාට ඕන තරම් හම්බ වෙලා ඇති, ඒ වගේම ඉදිරියේ දී හම්බ වෙයි,
# ඔයාට මොනවද පුළුවන්,
# මොකක්ද ඔයාගේ වටිනාකම මොකක්ද කියලා අහන මිනිස්සු.
එහෙමත් නැත්නම්,
# ඔයා නම් වැඩකට නැහැ කියලා කියන මිනිස්සු.
ඔයා මොනාහරි දෙයක් දන්නෙ නැහැ කිවුවහම,
# අයියෝ ඕකවත් බැරිද කියලා අහන අය.

එහෙම අහපු මිනිස්සු නිසා, ඔයාට ඔයා ගැන කලකිරීමක් දැනිලත් ඇති, ඔයා වැඩකට නැති කෙනෙක් කියලා මොහොතකට හරි හිතිලත් ඇති. සමහරවිට ඔයාට මේ මොහොතෙත් ඔයාගේ ජීවිතේ වැඩක් නෑ, වටින්නේ නැහැ, වැඩකට නෑ කියලා හිතෙනවා වෙන්නත් පුළුවන්.

හැබැයි මතක තියාගන්න හැම කෙනෙක්ම සුවිශේෂී පුද්ගලයෙක් කියන එක. (Every person is unique). ඒ නිසා තමයි තමන්ට , තමන්ටම ආවේනික වෙච්ච ඇඟිලි සලකුණක් පවා තියෙන්නේ. තමන් වගේ වෙන කවුරුත් නැහැ. ඒ වගේම තමන්ට වෙන කවුරුවත් වගේ වෙන්නත් බැහැ.

හැම මනුස්සයෙකුටම මේ පොළොවේ කරන්න දෙයක් තියෙනවා. තමන්ට ආවේනික වෙච්ච කොටසක් තියෙනවා. තමන් හරියට කරන්න ඕන දෙයක් තියෙනවා. අනිත් අය තමුන් කරන දේ දිහා බලලා, තමුන් නම් වැඩකට නෑ කියලා කියයි. හැබැයි එහෙම කිව්වා කියලා කවදාවත් ඔයා ඔයාව පහතට දාගන්න එපා. ඔයාට කරන්න තියෙන දේ, ඔයාගේ කොටස හරියට කරන්න.

තමන් දන්නේ නැති දෙයක් තියෙනව නම්, අවශ්‍ය නම් ඒක පුළුවන් හොඳම විදිහට ඉගෙන ගන්න බලන්න. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම, හැම දෙයක්ම දැනගන්න ම ඕනි කියල එකක් නෑ.

ඔයා ඇත්තටම වටින කෙනෙක්. ඔයාට වටිනාකමක් තියෙනවා. මතක් කරලා බලන්න ඔයා වැඩකට නෑ කිවුවා කෙනෙක්ට කරන්න බැරි වෙච්ච, ඔයා කරපු දේවල් මොනවද කියලා. ඒක මහ ලොකු දෙයක් කියලා ඔයාට හිතෙන්නේ නැති වෙයි. හැබැයි හිතලා බැලුවොත්, ඔයා කරපු වටිනා දේවල් ඕන තරම් තියෙනවා. කවුරු පිළිගත්තේ නැතත්, ඔයා ඔයාගේ වටිනාකම පිළිගන්න. ඒක ඔයාගේම ම විදිහට වැඩි කරගන්න බලන්න.

ඒ වගේම තමයි,

තමන් අනිත් අයව එක සැරයක් හරි පහත් කරලා කතා කරලා තියනවනම්, ඔයාගේ අතින් නිතර නිතරම ඒ වගේ දේවල් වෙනවා නම්, මතක තියාගන්න ඒ මනුස්සයා ගත කරපු ජීවිතේ, ඒ මනුසයාට විදින්න වෙච්ච අද්දැකීම්, ඒ කිසිම දෙයක් ඔයා හරියටම දන්නේ නැහැ. කිසිම කෙනෙක් තවත් පුද්ගලයෙක් ගැන හරියටම දන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ පුද්ගලයෙක්ව විනිශ්චය කරන්න. (Don’t be judgemental)
ඒ මනුස්සයා යම්කිසි පොඩි දෙයක් ලබාගන්න කරපු කැපකිරීම්. වෙච්ච මහන්සිය ඔයා හරියටම දන්නේ නෑ.

ඔයාට හරිම ලේසියි පිටින් බලලා,
# අයියෝ ඕක නම් මොකද්ද,
# ඕක කොච්චර පොඩි දෙයක් ද,
# ඔයාට තියෙන්නේ පොඩි ගෙයක් ද, පොඩි රස්සාවක් ද,
# ඔය විභාගේ පාස් වෙන එකනම් මොකක්ද
කියලා කියන්න.
හැබැයි ඔයා දන්නේ නැහැ ඒ පොඩි දේ, ඒ විදිහට හරි ගොඩනඟා ගන්න, ඒ මනුස්සයා කොච්චර මහන්සි වුනාද කියලා.

ඔයා කෙනෙක්ට දක්වන වැරදි ප්‍රතිචාර නිසා, ඔයාට නොකිව්වට, හිනාවෙලා නිකන් හිටියට, ඒ මනුස්සයාගේ හිත ගොඩක් රිදෙනවා වෙන්නත් පුළුවන්. ඔයා ඒක දන්නෙත් නැහැ.

ඒ නිසා හැම තිස්සෙම මනුස්සයෙක් ලඟ තියෙන දෙයක් අගය කරන්න.
මේ ලෝකෙ අනිත් මිනිස්සුන්ව පහත් කරන, මනුස්සයෙක්ගේ හිතක් රිදවන,
කෙනෙක්ගෙ වැරදි ම දකින මිනිස්සු අතරේ, මනුස්සයෙක්ගේ තියෙන පොඩි දේ හරි අගය කරන,
මනුස්සයෙකුට වටිනාකමක් දෙන,
වැරදි තියෙන මනුස්සයෙක්ගේ වුණත්, තියෙන එකම හොඳ දේ හරි දකින්න පුලුවන්, ලස්සන ඇස් දෙකක්, ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න………

මම මේ අවුරුදු 37ට මිනිස්සුන්ගේ ඕන තරම් පහත් කතා අහගෙන තියේ. කරන තරමක් මිනිස්සු කලේ හිත රිදවන එක. ඒත් කවදාවත් මම සැලුනේ නැහැ.. මොකද මට එහෙම කල මිනිස්සුන්ගේ හිත් නරක් වුණාට මගේ හිත එහෙම නෑ… මං මගේ හතුරටත් ආදරය කරන මනුස්සයෙක්…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla