Select Page
එක දවසක් පාදයක තුවාලයක් තියෙන දැරියක් බොරලු පාරක ඇවිදිමින් සිටියා

එක දවසක් පාදයක තුවාලයක් තියෙන දැරියක් බොරලු පාරක ඇවිදිමින් සිටියා

ඔන්න එක දවසක් පාදයක තුවාලයක් තියෙන දැරියක් බොරලු පාරක ඇවිදිමින් සිටියා. ඇගේ යටි පතුලේ ඇති තුවාලය නිසා මහත් වේදනාවකින් තමයි ඇවිද්දේ. ඔහොම යනකොට ඇයට පාර අයිනේ ජීවත් වුණු මිනිසෙක් මුණගැහුණා . ඇය තම තුවාල වූ පාදය ඔහුට පෙන්නුවා . මහලු මිනිසා කැලයට ගොස් ගසකින් පට්ටයක් ගලවාගෙන විත් ඇයට පාවහන් යුගලයක් සාදා දුන්නා . ඇය එය පයලා ගත් පසු තුවාලයේ වේදනාව නැති වෙලා ගියා . දැරිය තමාට පාවහන් යුවල සාදාදුන් මහලු මිනිසාට ස්තුති කරමින් ඔහුගේ ගුණ කියමින් ඉදිරියටම ඇවිද ගියා. පාදයේ තුවාලය ක්‍රමයෙන් සුවපත් වන බව ඇයට දැනුනා.

එසේ යද්දී දැරියට තරුණයෙක් මුණ ගැසුණා . ඔහු ඇගේ දෙපා දෙස බලා ඇය පයලා සිටියේ ගස් පට්ටාවලින් සෑදූ පාවහන් බව දැක සිනාසුනා. ඔහු දැරියට අලුත් හම් පාවහන් යුගලක් තෑගි කළා. ඇය මහළු මිනිසා දුන් ගස් පට්ටා වලින් සෑදූ පාවහන් යුගල විසි කර එම හම් පාවහන් යුගල පැලඳ ගත්තා. ඇයට ඔහු ගැන ආඩම්බරයක් ඇති වුණා. මහලු මිනිසාගේ විකාර පාවහන් වලට හිනැහෙමින් ඇය අලුත් පාවහන් පැළඳ සතුටින් ඉදිරියට ඇවිදගෙන ගියා.

එසේ යන විට ඇයට තවත් කෙනෙක් මුණ ගැසුණා. ඔහු ඇයට රිදී පාවහන් යුවලක් පරිත්‍යාග කළා. හම් පාවහන් යුගල ගලවා දැමූ ඇය එම රිදී පාවහන් පැළඳ ඉදිරියට ගියා. එහෙත් ඇයගේ පාදයේ තුවාලයේ වේදනාව වැඩි වෙමින් තිබුණා. ඇය අමාරුවෙන් ඇවිද ගියා.

එසේ යන විට තවත් කෙනෙක් මුණ ගැසී රන් පාවහන් යුගලක් පරිත්‍යාග කළා. ඈ රිදී පාවහන් ගලවා දමා රන් පාවහන් යුගල පැලඳ ගත්තා. ඇය ඔහු ගේ ගුණ වර්ණනා කරමින් ඉදිරියට ඇවිද ගියා . එහෙත් දැරියගේ පාදයේ තුවාලය එන්න එන්නම වේදනා දෙමින් තුවාලයෙන් ලේ ගලන්න පටන් ගත්තා. ඇයට තවදුරටත් ඇවිද ගන්න බැරි වුණා. ඇය වේදනාවෙන් කෑ ගැහුවා. බිම වාඩි වී රන් පාවහන් ගලවා දමා අහස දෙස බලාගෙන කෙඳිරි ගෑවා. එවිට ම අහසේ සිට කවුද ඇයට ඇමතුවා.

“දියණිය නුඹට තව දුර යා නොහැකි වී ඇත්තේ ඔබගේ පාදයේ තුවාලය වැඩි වී ඇති නිසයි. නුඹට මහළු මිනිසා දුන්නේ බෙහෙත් පට්ටා වලින් තැනූ පාවහන් යුගලක්. එය හැඩයකින් යුක්ත නො වුවත් එයින් ඔබගේ පාදය සුව වෙමින් තිබුණා. නුඹ එය විසිකර දමා පැළඳගත් සියල්ලේ තිබුණේ ලස්සන හා මුදල්මය වටිනාකමක් පමණයි. ඒවාවල ඔසු බලයක් තිබුණේ නැහැ ”

“අනේ මට ඒ පාවහන් නැවත ලබා දෙන්න” දැරිය පැවසුවා .

“ඔබ දමා ආ තැනට ආපසු ගොස් එය ගන්නැයි” ඒ හඬ කිව්වා. “මට ආපසු යන්න බෑ මගේ කකුල හොඳටම තුවාල වෙලා. අනේ එය දමා ආ තැන වත් මට මතක නෑ. ඒ මහලු මිනිසාට කියා නැවත පාවහන් දෙකක් හදවා දෙන්න” ඇය ආයාචනා කළා.

“කණගාටුයි ඒ මහලු මිනිසා මිය ගියා” ගුවන දෙසින් ඇසුනා.

මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න ගොඩාක් පාඩම් තියෙනවා. ඔබම තීරණය කරන්න.

අපි Business HUB මේ කතාවට සම්බන්ධ කලොත් මම, ධනේෂ් යනු මහළු මිනිසාය. Business HUB කියන්නේ ගස් පට්ටා වලින් සාදාදුන් ඖෂධීය පාවහන් යුගලයයි. හම්, රිදී සහ රන් පාවහන් යනු අනෙකුත් ඔබව රවටන, විශාල මූල්‍ය වටිනාකම්, හීන පෙන්වන මුදල් උපයන ක්‍රම වේ. බොහොමයක් අය Business HUB සමඟ සම්බන්ධ වෙනවා. අපිව අගයනවා. නමුත් ඉක්මනින් කෝටිපතියෙක් වෙන සිහිනය අපි පෙන්වන්නේ නැහැ. අපි පෙන්වන්නේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා දියුණු වෙන ආකාරය. ඉතිං හීන ලෝක මවන වෙන ආයතන මුණගැහුණහම අපිට ගයපු ගුණ අමතක කරලා ඒ ආයතන වෙනුවෙන් ගුණ ගයනවා. ඊට වඩා හීන පෙන්වන එකක් ලැබුණහම කලින් එක අමතක කරනවා. හැබැයි අවසානයේ ඔබ අතරමං වෙනවා. ඔබට නැවත ආපසු අප ලඟට එන්න බෑ. මන්ද අපි බොහෝ දුර ගිහින් අවසන්…

Business HUB ආරම්භ කරලා මාස 3ට වැඩි. දැනට පෝස්ට් 800ක් පමණ තිබෙනවා. දැන්ම කියවීම ආරම්භ කලොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. තවත් ප්‍රමාද වුනොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන් වුනත්, ඒ සඳහා වැඩි කාලයක් යන්න පුළුවන්.

ඒ නිසා අදම ඔබගේ දියුණුව වෙනුවෙන් පළමු පියවර තබන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ

මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ

යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු කුලියට ගත්හ.

ඔහු ඉහළ සිට පහළට එන්ජිම ඉතා පරිස්සමින් පරීක්ෂා කළේය. සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහුගේ ආම්පන්න ඇති බෑගය විවෘත කර කුඩා මිටියක් එළියට ගත්තේය.

ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස තට්ටු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන විනාඩි 20කට පසු නැවේ එන්ජිම නැවත පණ ගන්වා ගැන්වීමට ඔහු කටයුතු කලේය.

සතියකට පසු ඉංජිනේරුවරයා සඳහන් කළේ යෝධ නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා තමන්ගේ මුළු වියදම ඩොලර් 20,000 ක් බවයි.

“කුමක් ද?!”

අයිතිකරු පැවසීය.

“ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව බිල්පතක් දෙන්න.”

පිළිතුර සරලයි:

මිටියෙන් තට්ටු කරන්න: $ 2 යි.
තට්ටු කළ යුතු ස්ථානය සහ කොපමණ තට්ටු කළ යුතු වාර ගාන දැන ගන්න:
$ 19,998 යි.

කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.

වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම විනාඩි 30 කින් වැඩේ අවසන් කලත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 20 ක් ගතවී තිබෙනවා.

ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.

මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.

බොහොමයක් අය අපි යම් දෙයකට මිළක් කීවහම, උදාහරණයක් ලෙස වෙබ් අඩවි නිර්මාණයක් ගනිමු. “ලක්ෂ 2ක් වෙනවද ඕක හදන්න, මං ෆේස්බුක් එකේ දැක්කා රු.2500ටත් හදාගන්න පුලුවන් තැන් තියෙනවා ඕන තරම් කියලා අවතක්සේරුවට ලක් කරනවා. මමනම් පෞද්ගලිකව සාමාන්‍යයෙන් කිසිම දෙයක වටිනාකමක් අඩු කරන්නේ, මිළ අඩු කරන්නේ නෑ. නැති බැරි අයට, නැගී සිටින්න වෙර දරන අයට උදව් කරන එක එක දෙයක්. නමුත් යම් දෙයක වටිනාකමක් අඩු කරන මිනිස්සු හරිනම් අපේ ජීවිතයට ලං කරගන්නත් හොඳ නෑ. මොකද ඒ දේ අපි ඒ මිනිස්සුන්ට කරලා දුන්නට පසුවත් ඔවුන් ඒක අවතක්සේරුවට ලක් කරන්න උත්සාහ කරනවා.

ලෝගෝ එකක් හදාගන්න රු.1,000ක් ගන්නවද, රු.100ට හදන තැන් ෆේස්බුක් එකේ තියේ. AI Photo එකක් හදන්න සල්ලි ගන්න ඕනද, නොමිළයේ කරලා දෙන්නකෝ ඔයා දන්නවනේ හදන විදිහ වගේ මිනිස්සු ඕන තරම් දේවල් කියනවා…

ඒ වගේම Business HUB PASS එක අපි යම් අයෙක්ට නොමිළයේ දෙන්නේ ඔවුන් අපගේ මහන්සියට, කැපවීමට අගයක් දෙනවනම් පමණයි. නොඑසේනම් එයට අදාල මිළ ඔවුන් ගෙවන්න ඕන. මන්ද අපි මේ උගන්වන දේවල් ඔබට උගන්වන තත්වයට එන්න අපි වසර 30 ගාණක් ඒ පිළිබඳව ඉගෙන ගත්තා. ඒ දැනුමෙන් තමයි ඔබට මග පෙන්වන්නේ…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ජීවිතයේ ඔබට එදිනෙදා හමුවන සියළු දේ දුක්බර, අසතුටුදායක, කරදකාරී දේ නොවේ.

ජීවිතයේ ඔබට එදිනෙදා හමුවන සියළු දේ දුක්බර, අසතුටුදායක, කරදකාරී දේ නොවේ.

ජීවිතයේ ඔබට එදිනෙදා හමුවන සියළු දේ දුක්බර, අසතුටුදායක, කරදකාරී දේ නොවේ.
ඒ අතර සතුට, වාසනාව, සාර්ථකත්වය,
නිදහස් බව, උපකාරීබව, සහයෝගය ඔබට ලැබෙන්න පුළුවන්. අපි එදා සිට හුරු වෙලා තියෙන්නේ ඇදුමෙන් පැළදුමෙන් මිනිස්සු මනින්න. හැමදාම අපි හිතුවේ හොදට ඇද පැළද සිටියොත් සියළුදෙනාම වැදගත් උගත් කෙනෙක් විය යුතුයි කියා. නමුත් ඒ අතර වංචනිකයන්ද අහිංසක පෙනුමක් ලග බුද්ධිමතුන්ද ඔබට මට හමුවේවි. වරද ඇත්තේ ඔවුන් තුළ නොව අප තුලමය. අප මිනිසුන් දෙස බලන කෝණය වෙනස් කර නොගන්නා තාක් කල් අපට වාසනාවන්ත අවස්ථා හමු නොවනු ඇත.

මේ මෑතකදි අහන්න ලැබුණු සත්‍ය සිද්ධියක් කියන්නම්… (උපුටා ගැනීමකි)

එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි ආයතනයකට මමත් පවුලේ අයත් ගියා. මගේ මාමාගේ දුව ඇදන් හිටියේ ලස්සන ගවුමක්. අපි උදෙන්ම ඒ ආයතනයට ගියේ දවල් වන විට සෙනග රැස්වෙන නිසා අපේ කටයුතු අවසන් කොට ඉක්මනින් ඒමේ බලාපොරොත්තු ඇතිව. ඒ අවස්ථාව වෙද්දිත් සේවකයන් තමන්ගේ සේවයට පැමිණෙමින් සිටියේ.සාමාන්‍ය කලිසමක් කමිසයක් හැද ගත් පුද්ගලයෙක් මගේ ලගට ඇවිත්
“එක්ස්කියුස්මී මිස් මේ දුවද ” කියලා මගේ මාමාගේ දුව පෙන්නුවා. මම කිවුවා
“ආ නෑ ඒ මගේ නංගි ” කියලා. ඒ පුද්ගලය නැවත ඇසුවා

” මේ ගවුම ගත්තේ කොහෙන්ද ” අසමින් ඇය හැද සිටි ඇදුම පෙන්නුවා. මම ඒ ගැන මාමාගෙන් ඇහුවම මාමාත් වැඩි ගානක් නැතුව
“මාවනැල්ලේ කඩේකින් ගත්තේ ” කිවුවා . ඔහු බොහොමත් ලෙංගතුව
“නියමයි දුව කලර් එක, ඩිසයින් එකත් හරිම ලස්සනයි ” කියලා අපිට ආචාර කරලා යන්න ගියා. අපි එදා ඇදුම් ගොඩක් අරන් නැවත එද්දි අර පුද්ගලයා ඇදුම් බෑග් අරන් යනවා, ඒවා පිළිවෙලට තියනවා,
“ගොඩක් ඇදුම් ගත්තා නේද, සතුටුද ? කියලා ඔහු අසලින් යන එන පාරිභෝගිකයන් ගෙන් විමසමින් බොහොම සතුටින් ඔහු ආයතනයේ සේවය කරනවා. අපි හැමෝම හිතුවේ ඔහු ආයතනයට ලැදි සේවකයෙක් කියලා . පසුව අපේ බෑග් ටිකත් කවුන්ටරෙන් ගිහින් තියලා
” මෙයාලට ස්පෙශල් කවුන්ටර් එකක් දෙන්න ” කියලා සේවකයෙක්ට කිව්වා. ඒ වෙලාවේ අපි හිතුවේ එයා එතන තරමක් ඉහල නිලධාරියෙක් කියලා. සේවකයාගෙන් මම ඒ ගැන ඇහුවේ ඇත්තටම ඔහුගේ ආයතනයට ඇති අවංක භාවය දුටු නිසා.
“එයා මෙහෙ මැනේජර් කෙනෙක්ද” මම ඇහුවේ බිල් කරන අතරේ කවුන්ටරේ හිටිය සේවකයාගෙන්. ඔහු හිනාවෙමින් පැවසුවේ
“නෑ මිස් ඒ අපේ සර් මේ ආයතනයේ හිමිකරු ” මට ඇත්තටම පුදුම හිතුණා. කෝටි ගානක් ඇදුම් පැළදුම් අතර අපේ මේ පුංචි ගවුම එතුමා නිරීක්ෂණය කළ හැටි. තමන්ගේ ජීවිතේට ලැබෙන පුංචිම අවස්ථාව වුනත් ප්‍රයෝජනයට ගන්න හැටි. තමන් ලොක්කා කියලා පැත්තකට වෙලා අණ දෙණු වෙනුවට තමන්ම සේවකයෝ එක්ක හරි හරියට වැඩ කරන හැටි. මම එතුමා ලගට ගිහින් කතා කළා. මම ඔහු ගැන අගය කරන බව එතුමාට කිව්වම බොහොම ආසාවෙන් මගේ අංකයත් එතුමා ඉල්ල ගත්තා. පසුව ඔහු ඔහුගේ අදහස කිවුවා.

“හුගක් අය හිතන්නේ මම මේ ආයතනයේ සේවකයෙක් කියලා. ඒකට මම හරිම කැමතියි මිස්. මම අර ගවුම ගැන ඇහුවේ අපේ ගාමන්ට් තියෙනවා. ඒවට ඒ ඩිසයින් එක මම දෙනවා. ” අපි තවම ඔය ඩිසයින් එක කරලා නෑ..හරිම සිත් ඇදගන්නා විලාසිතාවක් ඒ ගවුම.

ඔබට හිතා ගන්න පුළුවන් ද එතුමගේ දියුණුවේ රහස තිබුනේ ලොකු දේවල් වල නෙමෙයි. තමන්ට හමුවෙන පුංචි අවස්ථා ප්‍රයෝජනයට ගත් නිසයි.

එදා ඉදන් මමත් දෙයක් ඉගෙන ගත්තා. කෙටි කෑම සහ පළතුරු බීම අවන්හලක් කරන කෙනෙක්. මමත් ඔහුගේ එම ක්‍රියාවන් ක්‍රියාවට නැංවුවා. හමුවෙන සෑම කෙනෙකුටම ලෝභ නැතුව හිනාවෙන් සංග්‍රාහ කරන්න.මාස්ක් එක දාල හිටියත් අපේ හිනාවේ සොදුරු බව අපේ ඇස් වලින් පේනවා. ඒක හරි පුදුම දෙයක් වුණා. මට සීඝ්‍රයෙන් සේවාදායකයෝ වැඩි වුණා. ඒකේ රහස මම හෙවුවා.

හුගක් දෙනෙක් කිව්ව කතාවක් කියන්නම්.

“මිස් එදා අපි දෙන්නට අහවල් කඩේදි හිනාවෙලා ආවා. අපි ඒ කඩෙන් ඇහැව්වා කවුද ඒ කියලා. ඔබ ගැන ඔවුන් අපිට හදුන්වා දුන්නා.ඒ නිසයි අපි ආවේ ” කියලා.

මේක ඇහුවම ඔය ඔස්තාර්ල නම් කියාගෙන එයි. .

“ඒ කියන්නෙ මෙයා හිනාවෙලා මිනිස්සු අන්දගෙන තමන් ලගට ගෙන්න ගන්නවා ” කියලා..

ඔය කියන හැමෝම අසාර්ථකයි.

මොකද ඔවුන් කතාවේ හරයට වඩා අරන් තියෙන්නේ ඔවුන්ට විවේචනය කරන්න, අපහාස කරන්න ඒ තුළ එක වචනයක් හරි තියෙනවද කියලා. තමන්ගේ වටිනා කාලේ අනුන් විවේචනය කරන බොහෝ දෙනෙක්‍ට වාසනාවන්ත අවස්ථා හමුවෙන්නේ නෑ. මොකද ඔවුන් ඉන්නේ එකම මතයක සහ එයින් වෙනස් වෙන්න අකමැති වීම ඒ ගැනත් පුංචි කතාවක් ඔබට කියන්නම්.

මෙය ප්‍රබන්ධයක්… හැබැයි ඊයේ මම ලීව “විශ්ව මාතා” Scam එකට ගැලපෙන තවත් කතාවක් කියන්නම්…

දෙවියන් ගැන අප්‍රමාණ භක්තියක් විශ්වාසයක් තිබුණ එක පුද්ගලයෙක් හිටියා. ඔහු තදින්ම විශ්වාස කරා මට කවදාවත් කරදරයක් වෙන්නේ නෑ දෙවියන් මාව රකී කියලා. හරියට අපේ ලංකාවේ ඉන්න විශ්ව මාතාව හැමදේම කරලා දේවි කියලා බලාපොරොත්තු වෙන සෙට් එකේ කෙනෙක් වගේ….

ඉතින් දවසක මෙයා ජීවත් වෙන පුංචි ගමට ගංවතුර ගැලුවා. හැමෝම අතට අහුවෙන බඩු මුට්ටු අරන් ආරක්ෂිත තැන්වලට යන්න ගත්තා. අසල්වාසීන් මේ පුද්ගලයටත් කිවුවා
“ඔබත් එන්න අප සමග යන්න. නැත්නම් ඔබ ගිලිලා මැරේවි කියලා ”
“නෑ දෙවියෝ මාව බලාගනී මම එන්නෙ නෑ ” ඔහු කිව්වා. අසල්වාසීන් පිට වුණා. මේ පුදගලයගේ නිවස ආසන්නයට වතුර ආවා.

ඒ අවස්ථාවේ ආව බෝට්ටුවක් ඔහුට කතා කරනවා.
“නගින්න මෙයට ඔබ යට වේවි ”
“නෑ දෙවියෝ මාව රකීවි ඔබ යන්න “ඔහුගේ පිළිතුර විය. ඔවුන් පිටවෙනවා.
මොහුගේ ගෙයි පහත මාලයට වතුර පිරෙද්දි මොහු ඉහල මාලයට නගිනවා. එය දකින ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණ
“එන්න අප සමග යන්න ඔබ යට වේවි” කියනවා.
“නෑ දෙවියෝ මට විශ්වාසයි මාව රකී ” ඔහු කියනවා..ඉතිං ඔවුන්ද පිටවෙනවා. ඉහල මාළයට වතුර පිරෙද්දි මොහු වහලය උඩට නගිනවා. ඒ අවස්ථාවෙ හෙලිකොප්ටර් එකක් ඇවිත් මොහු ව ගන්න හදනවා..
“නෑ මට දෙවියෝ විශ්වාසයි. මට මොකුත් වෙන්නෙ නෑ ඔබ යන්න ” ඉතිං ඔවුන්ද පිටවෙනවා.

මේ පුද්ගලයගේ බෙල්ල ලගට වතුර පිරෙනවා. ඔහු දෙවියන්ට කියනවා…

“මම ඔබ ගැන අප්‍රමාණ විශ්වාසයකින් පසු වුණා. මම හැම වෙලේම හිතුවේ ඔබ මාව රකී කියලා ඒත් අවසානයේ මේ මොකක්ද වෙන්නේ ” ඔහු දෙවියන්‍ට චෝදනා කරනවා…

තමන්ගේ අසාර්ථක බවේ වගකීම ඔහු දෙවියන්ට පවරනවා.

දෙවියෝ මෙහෙම කියනවා..

“ඔබ නොදන්නවා වුණා ට මම ඔබට පිහිට වුණා…

පළමු අවස්ථාවේ ගම්වාසීන් ඔබට කී පණිවිඩයත්, දෙවැනි අවස්ථාවේ බෝට්ටුවත් තුන්වෙනි අවස්ථාවේ ගලවා ගැනීමේ කණ්ඩායමත්, හතරවැනි අවස්ථාවේ හෙලිකොප්ටරයත් එව්වේ මම තමයි. නමුත් නුඹ ඒ එක් අවස්ථාවක්වත් ප්‍රයෝජනයට ගත්තේ නෑ.

එය මගේ වරද නෙමෙයි ඔබේ වරදයි.

ඔබ ඔබේ මතයෙම හිටියා. වෙනස් වෙන්න කැමති වුණේ නෑ. ඔබට ලැබුණු වාසනාවන්ත අවස්ථා ඔබ හිතා මතාම මග හැරියා . ඒ වගේම අවසානයේ ඔබේ අසාර්ථකත්වයේ වගකීම ඔබ වෙන අයෙක්ට පවරනවා…

ඔබට උරුම ගිලිල මියයෑම පමණයි…
අවසානයේ මෙම පුද්ගලයා දියේ ගිලී මිය යනවා.

අන්න ඒ වගේ තමයි, ඔබට පිහිට වෙන්න ඔබ වෙතට ආව විශ්ව මාතාව තමයි මේ පේජ් එක. මේ පේජ් එකෙන් අධ්‍යාපනය නොලබා, 5000 නෝට්ටු වෝල් එකේ ශෙයාර් කරගෙන “මම දියුණු වේවා, විශ්ව මාතාවට ස්තූතියි !” කීවට ඔබට දියුණු වෙන්න බෑ…

දියුණු වීමේ පළමු පියවර තබන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය. අප ආයතනයට ගැලපෙන පරිදි වෙනස් කර ඇත.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ලෝකයේ පළමු සහ එකම දෑත් අහිමි ගුවන් නියමුවරිය

ලෝකයේ පළමු සහ එකම දෑත් අහිමි ගුවන් නියමුවරිය

ලෝකයේ පළමු සහ එකම දෑත් අහිමි ගුවන් නියමුවරිය

ඇත්තටම මගේ කකුල් තමයි මගේ අත්…….

ගුවන් යානා පියාසර කිරීමට සිහිනයෙන්වත් හිතුවේ නැහැ……

කුඩා අහිමි වීමකදී අප කෙතරම් අපගේ සිත රිදවා ගන්නවාද? යමක් අසාර්ථක වූ විට පවා බොහෝදෙනා සිදුකරන්නේ අධෛර්යවත් වීම හෝ අවට සිටින්නන්ට ‍ෙදාස් පැවරීමයි. අහිමිවීම්, අසාර්ථකවීම් දරාගත නොහැකිව ජීවිතයෙන් වන්දි ගෙවීමටත් ඇතැමුන් පෙලඹෙනවා. සර්ව සම්පූර්ණ මිනිස් ශරීරයක් සහිතව උපත ලැබූවත් සාර්ථකත්වය කරා පියනැඟීමට හැකියාව ලැබෙන්නේ කිහිපදෙනෙක්ට පමණයි.

නමුත් අහිමිවීම් යනු හුදෙක් සාර්ථක වීමට සිතට ලැබෙන ශක්තියක් බව වටහා ගන්නා පුද්ගලයන්ද මෙලොව සිටිනවා. ඔවුන් අපට පෙන්වා දෙන්නේ සර්ව සම්පූර්ණ නොවුවද අප්‍රමාණ චිත්ත ශක්තිය මිනිසා දියුණුව කරා රැගෙන යන බවයි. උපතින්ම දැත් අහිමි වූ ජෙසිකා නොක්ස් එවැනි උතුම් කාන්තාවක් ලෙස හැඳින්වීම නිවැරැදියි. ඇය ලොව ප්‍රථම සහ එකම දෑත් අහිමි ගුවන් නියමුවරිය. ඇයගේ චිත්ත ධෛර්යයේ පරිමාණය අපට ගණනය කළ නොහැකියි. ඔබත් අහිමිවීම් පිළිබඳ දුක් වන අයකු නම් ඇයගේ කතාව ඔබ කියවිය යුතුමයි.

ජෙසිකා උපත ලබන්නේ 1983 වසරේදීයි. මුල් වරට ජෙසිකා දුටු ඇයගේ මවුපියන් පුදුමයටත්, කම්පනයටත් පත්වන්නේ ඇයගේ දෑත් පිහිටා නොතිබීම නිසයි. ජෙසිකා කුමන ආකාරයකට උපත ලැබුවද ඇය පිළිබඳ ඇයට වෙනසක් නොදැනෙන ලෙස ඇයව රැකබලා ගැනීමට ඔවුන් කැප වෙනවා. එසේම සාමාන්‍ය ළමයින් සමඟ ඉගෙනුම සඳහා ඇයව සාමාන්‍ය පාසලක් වෙතද ඔවුන් යොමු කරනවා. දෑත් අහිමි වුවත් කෘතිම දෑත් පැලඳීමට ජෙසිකා කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සියලු වැඩ දෙපා ආධාරයෙන් තනිව කර ගැනීමටද ඇය පුරුදු පුහුණු වනවා.

ජෙසිකා කුඩා කල සිටම ඉතාමත් දක්ෂ දියණියක් වූවා. ඇය ප්‍රියතාවක් දක්වන සියලුම දේ ඉගෙන ගැනීමට ඇය යොමු වෙනවා. ජෙසිකා කුඩා වියේදීම ජිමිනාස්ටික් ශුරියක්, පිහිනුම් ශුරියක්, ටයිකුන්ඩෝ කළු පටි ධාරිනියක් බවට පත්වන්නේද ඇය සතු දක්ෂතා මතයි.

ජෙසිකාට අවුරුදු 9දී ඇයගේ මවුපියන් ඇයව ආබාධිත පුද්ගලයන් හමුවකට රැගෙන යනවා. ඒ තුළින් ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු ඇති කරගන්නා කුඩා ජෙසිකා කෙදිනක හෝ තමා ජීවිතය දිනන බව ඇයටම පොරොන්දු වනවා. ජීවිතයේ සෑම සෘණාත්මක දෙයක්ම ධනාත්මක ලෙස දැකීමටද ඇය පුරුදු වෙනවා.

හොඳින් අධ්‍යාපනය ලබන ඇය මනෝවිද්‍යාව සහ සන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක් බවට පත්වෙනවා. අධ්‍යාපනයෙන් පසු වෘත්තීයමය අභිප්‍රේරිකාවක් ලෙස අන්‍යයන්ගේ ජීවිත එළිය කිරීමටද ඇය කටයුතු කරන්නේ ඉන්පසුවයි.

ගුවන් යානා පියාසර කිරීම ජෙසිකා සිහිනයෙන්වත් නොසිතූ දෙයක් බවයි ඇය පවසන්නේ. ඇයගේ වැඩකටයුතු අතරදී දිනක් ඇයට ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු රොබින් ස්ටොබර්ඩ් මුණගැසෙනවා. රොබින් ඇයට ගුවන්යානා පියාසර කරනා ආකාරය උගන්වනු ලබනවා. දෙපා ආධාරයෙන් හොඳින් ගුවන්යානය පියාසර කරන ජෙසිකාව පියාසර කිරීම් ඉගෙනීමට ශිෂ්‍යත්වයක් හිමි වන්නේ ඉන් අනතුරුවයි. වසර තුනකට පසු ගුවන්යානා පැදවීමේ බලපත්‍ර ලබා ගැනීමට ඇයට හැකි වන්නේ ලොව ප්‍රථම සහ එකම දෑත් රහිත ගුවන් නියමුවරිය යන ලෝක වාර්තාවේ හිමිකාරිත්වයද සමඟනි. මේ වනවිට ඇය විවාහකයි. ඇය විවාහ වී සිටින පැට්‍ට්‍රික් වෑම්බලෑන් ඇයගේ අතිමහත් ධෛර්යය නිසාම ඇයව විවාහ කරගැනීමට අදහසක් ඇති කරගෙන ඇති බවයි. දැක්වෙන්නේ.

“දෑත් සහිතව ඉපදුණා නම් මගේ ජීවිතය මීට වැඩිය වෙනස් වන්නත් ඉඩ තිබුණා. අනෙක් මිනිසුන් දෑත්වලින් කරන හැමදේම මට කකුල්වලින් කරන්න පුළුවන්. ඇත්තටම මගේ කකුල් තමයි මගේ අත්. කායිකව මොනතරම් අපි දුර්වල වුණත් මනසින් ශක්තිමත් නම් අපිට කරන්න බැරිදෙයක් නැහැ. හැමදෙයටම අපේම කියලා මාර්ගයක් තියෙනවා.”

දෛවය ජෙසිකාට සරදම් කළද දෛවය වෙනස් කිරීමට ජෙසිකාට හැකියාව ලැබුණා. ඇය අපට කියා දෙන්නේ ගමන කෙතරම් දුෂ්කර වුවත් ඔබේ ඉලක්කයට ළඟාවීමට කුමක් හෝ මඟක් තිබෙනවා. යන්නයි.

උපුටාගැනීම gossip.hirufm .lk වෙබ් අඩවිය.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

කොකෝ ෂැනල් විලාසිතා බිහිකළ සිංහධේනුව

කොකෝ ෂැනල් විලාසිතා බිහිකළ සිංහධේනුව

කොකෝ ෂැනල් විලාසිතා බිහිකළ සිංහධේනුව

වයස අවුරුදු 12 දී පමණ ඇයට ජීවත්වීමට සිදුවූයේ අනාථ නිවාසයකය. විලාසිතා ලෝකයට අවතීර්ණ වීමට පෙර කැබරේ ගායිකාවක් වූවාය. මුළු ජීවිත කාලයේදී ඇය හඬා ඇත්​තේ එක් වතාවකදී පමණකි. ජිවිතය ජයගත් පසු තිස් වසරක් ඇය ජීවත්වූයේ සුපිරි හෝටලයකය….

විලාසිතා වෙතින් ලෝකය හැඩ කිරීමට පුරෝගාමී වූ නගර ලෙස නිව්යෝර්ක්, පැරිස්, ලන්ඩන්, මිලාන්, බර්ලින්, බාසිලෝනා, මෙල්බර්න්, රෝමය වැනි අගනගර සඳහන් කළ හැකිය. ඒ අතරින් ප්‍රංශයේ පැරීසිය යනු නේකවිධ විලාසිතාවලට අගතැන්පත් නගරයකි. ලෝකයට අලුත්ම ෆැෂන් හඳුන්වාදෙන තෝතැන්න ලෙස සුන්දර පැරීසිය නම් කළ හැකියි. පවතින කෝවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකය අකර්මණ්‍ය වී අඩපණ වී ඇති මොහොතක විලාසිතා කෙරෙහි මිනිසුන් එතරම් උනන්දුවක් නොදක්වන බව සැබෑය. එහෙත් විලාසිතා යනු ලෝකයේ ඕනෑම තත්ත්වයක් හමුවේ වුවද විකාශය වෙන අංශයකි. අද අප කතා කිරීමට සූදානම් වෙන්නේ ලෝකයේ අංක එකේ විලාසිතා සමාගමක් වන පැරීසියේ කොකෝ ෂැනල් (Coco Chanel) ගැනය.

සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින්, තොප්පියකින්, විලවුන් බෝතලයකින් ඇතුළු විලාසිතා ගොන්නකින් විලාසිතා ලෝකය ඒකාලෝක කළ, ‘කොකෝ ෂැනල්’ ගැන ඔබ දැන ගත යුතුම යැයි අපි හඟිමු. වෙසෙසින්ම කාන්තා විලාසිතා ලෝකය කාන්තිමත් කළ කොකෝ ෂැනල් කාන්තාවගේ ජීවන කතාව අප කවුරුත් කියවිය යුතු වේ. සුපිරි විලාසිතා නිර්මාණයකට, ඉමිහිරි විලවුන් සුවඳකට එහා ගිය ඇයගේ ජීවිත කතාව වෙතින් සමස්ත කාන්තා පරපුරට මෙන්ම, සමාජයට ගත හැකි ආදර්ශවත් වූ හොඳ දේ බොහෝය. ‘‘හොඳ – හොඳම වේ’ ය යැයි කියවෙන්නා සේ, ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප විස්තර කරන්නේ, ඒ හොඳට සාපේක්‍ෂව ‘‘කොකෝ ෂැනල්’’ සහ එය බිහිකළ ව්‍යවසායික කාන්තාව ගැන ය.

1883 අගෝස්තු 19

එළඹ තිබූයේ ගිම්හාන සමයයි. සෑම ගිම්හාන සෘතුවක් එළැඹෙන තෙක් ප්‍රංශ ජාතිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. අව්ව ගත දවටා ගන්නට බොහෝ දෙනා රිසි බැවින් මෙකී සමයේදී තැන තැන බොහෝ දෙනා රොද බැඳ සිටින’යුරු සුලබ දසුනකි. යුරෝපය සංචාරක පරාදීසයක් වී සංචාරකයින්ගෙන් පිරී යන්නේද ගිම්හානයේදීය. 1883 අගෝස්තු 19 වැනිදා ගැබ්‍රියෙල් බොන්හුර් (බොනුර්) ෂැනල් (චැනල්) නම් වූ ඇය උපත ලැබුවේ එවන් වූ ගිම්හාන සමයකදී, ප්‍රංශයේ සෞමුර් මෙන්-එම්. ලොයර් නමැති ප්‍රදේශයේදීය. එය ප්‍රංශයේ බටහිරට අයත් නගරයකි.

‘‘කොකෝ ෂැනල්’’ ලෙස ගැබ්‍රියෙල් නම් වූයේ පසු කාලයකදීය. ඒ ගැන කීමට පෙර ඇයගේ ළමා විය ගැන අපි කියවමු.

වාර්තාවල සඳහන් වෙන පරිදි ගැබ්‍රියෙල්ගේ මව පියා වත්පොහොසත්කම් තිබූ පවුල්වල උදවිය නොවුණි. ඇයගේ පියා කළේ පදික වෙළෙදාමකි. මව ලොන්ඩ්‍රියක සේවිකාවක වූවාය. දරිද්‍රතාවය නිසා වූ උග්‍ර ආර්ථික පීඩනය හමුවේ මේ පවුල දිවි ගෙවා ඇත්තේ ඉතා අසීරුතාවයෙනි. පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් යුතු වූ ඒ පවුලේ දෙවැන්නිය වූයේ අපේ මේ කතාවේ කතා නායිකාව වන ගැබ්‍රියෙල් ෂැනල්ය. එදා මේ පවුල කොතරම් නම් දරිද්‍රතාවයෙන් වෙලී සිටියේද යත්, දුප්පතුන් සඳහා ආධාර ලබා දුන් පුණ්‍ය ආයතනවලින් පවා යැපීමට සිදුවිය. ඔවුනට හරි හැටි ඉන්න හිටින්නට තැනක් ද නොතිබිණි.

ග්‍රැබ්‍රියෙල්ගේ පවුල මුහුණ දුන්නේ දුප්පත්කමේ පීඩනයට පමණක් නොවීය. එවකට ඇයගේ මව පසුවූයේ තිස් දෙවැනි වියේය. දරුවන් සය දෙනෙකු බිහිකිරීමට කැපවීමක් කළ ඒ තුරුණු මව අකාලයේ මියගියේ පෙනහැල්ලේ ඇති වූ ආබාධයක් නිසාය. ඇයගේ අකල් වියෝවින් පසුව ගැබ්‍රියෙල්ගේ පියා පිරිමි දරු තිදෙනා (එක් දරුවකු අකලට මිය ගියේය) තමා බාරයට ගත් අතර, ගැබ්‍රියෙල් ඇතුළු ගැහැනු ළමුන් තිදෙනා අනාථ නිවාසයකට බාර දුන් බව සඳහන් වේ. ඒ වෙන විට ගැබ්‍රියෙල් දැරිය පසුවූයේ එකොළොස්වැනි වියෙහිය. එ් වෙන විට මේ පවුලේ සියලු දෙනා ජීවත් වූයේ නගරයේ එක් කාමරයක් පමණක් තිබූ ඉතා කුඩා ස්ථානයකදීය. (ඇයගේ නම ෂැනල් (Chanel) ලෙස භාවිතා කළද, උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත්තේ ෂැෂනෙල් (Chasnel) යනුවෙනි. උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ඇත්​තේ මව හෝ පියා විසින් නොවූ අතර, ඥ‌ාතියකු ලබාදුන් තොරතුරු මත එය ලියාපදිංචි කරද්දී, ලේඛනගත කළ, නිලධාරියා අතින් එම වැරැද්ද සිදුව තිබේ. මේ හේතුව නිසා උප්පැන්නයේ නම වෙනස් කිරීමට ෂැනල් හට නොහැකි වුණි. ඇය අනාථ නිවසට යොමු කිරීමට පෙර ඇයගේ සහෝදරයින් දෙදෙනා කම්කරුවන් ලෙස රස්සා කරමින් සිටි අතර, නැගණියන් දෙදෙනා හට ගැබ්‍රියෙල් ෂැනල් තරමට අරමුණක් නොතිබි බව කිව හැකිය. මේ නිසා පාසල් අධ්‍යාපනය ගැන පවා ඔවුන් උනන්දු වූයේ නැත.

අනාථ නිවාසයක ගත කළ ජීවිතය සුව පහසු එකක් නොවූවද, ගෙබ්‍රියෙල් ෂැනල් එහි සිට ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තාය. වයස 18 ඉක්මවූ පසු කන්‍යාරාමයකට යාමට ඇය හට සිදුවිණි. එහි සිට ජීවිතයට අලුත් දේ ඉගෙනීමේ අවකාශය ඇය හට ලැබිණ. මැහුම්, ගෙතුම් මෙන්ම ගැයුම් පවා ඉගෙනීමට ඕ උනන්දු වූවාය.

හිත ඇත්නම් මොනවද කරන්න බැරි?

‘‘නරකාදියේ සිට දිව්‍යලෝකයට යාමට නම්, මම මා සොයා යා යුතුය, ජීවිතයේ කාටවත් සොරකම් කළ නොහැකි දක්‍ෂතා ඇතිකර ගත යුතුය.’’

එසේ සිතූ ඇය කන්‍යාරාමයේදී ඉගෙන ගෙන සිටි මැහුම් ගෙතුම් කලාව වෙතින් යමක් කිරීමට ඉටා ගත්තාය. ඒ අනුව ඇඳුම් මැසීමේ ආයතනයක සේවයට ගොස් ඇඳුම් මසන්නියක ලෙස සේවයට එක්ව සිටියාය. එම රස්සාව කරන අතරේ ලැබුණු විවේකයේදී තවත් කීයක් හරි උපයා ගැනීමට අදිටන් කර ගත් ඇය අවන්හලක ගී ගැයීමටද ගියාය.

කැබරේ ගායිකාවක ලෙස අවන්හලක ගී ගැයීම

මෙම අවන්හලට වැඩි හරියෙන්ම ආ ගියේ අශ්වාරෝහක හමුදාවට අයත් සෙබළුන්ය. සිහින් සිරුරැති, ෂැනල් හට තිබුණේ පිරිමි දහසක් වසඟයට ගන්නා තරමේ පෙනුමකි. එහෙත් ඇය නිතරම උනන්දුවූයේ තමාගේ හැඟිම්වලට වඩා ‘අරමුණු’ ජය ගැනීමේ අභිප්‍රාය මුල් කරගෙන කටයුතු කිරීමටය. මෙම අවන්හලේදී ඇය සෙබළුන් පිනවූයේ කැබරේ නැටුමට අදාළව ගී ගයමිනි. එහිදී Ko-Ko-Ri-Ko ලෙස ගායනා කරද්දී ‘Qui-quia vu coco’ ලෙස ඇයට ප්‍රංශයේ පිරිමින් ආමන්ත්‍රණය කර ඇත. ‘කොකෝ’ (CoCo) යන අන්වර්ථ නාමය ඇයට ලැබුණේ එලෙසින් යැයි සඳහන් වේ. අවන්හලට ආ ගිය රසවතුන් කෝ- කොකෝ? යනුවෙන් විමසන්නට වූ නිසා ඒ නම පටබැඳුණු බව සඳහන්ය. එහෙත් ෂැනල් පවසා ඇත්තේ ඒ නම ඇයට පියා විසින් මුලින්ම ආමන්ත්‍රණය කළ බවය. ඒ කොයිහැටි වූවද අවසන ඇය ලෝකයට ගියේ ‘‘කොකෝ ෂැනල්’’ යනුවෙනි.

කොකෝ ෂැනල් (CoCo Chanel) ලෝකය ජය ගැනීම.

ගැයුමෙන් සහ නැටුමෙන් සමාජශාලා වෙත පැමිණෙන මිනිසුන් පිනවමින් සිටි, ඇය ස්ථාන කීපයකදී එම වෘත්තියේ නිරත වී සිටියාය. ඇයගේ ජිවිතයේ එතෙක් ආ ගමන වෙනස් මගකට අවතීර්ණ වූයේ වයස අවුරුදු 23දී පමණය. ධනවත් පිරිමි දෙදෙනෙකු හඳුනාගෙන සිටි ඇය වසර තුනක් පමණ බලිසන් නම් වූ ධනවතා සමඟ එකට ජීවත් වූවාය. ආර්යාවක මෙන් ජීවත්වීමේ සුව පහසු සහ සුඛෝපභෝගී වටපිටාව ඒ නිසා ඇය හට හිමිවුණි. එපමණක්ද නොවී බල්සන් මුතු- මැණික් රන් අභරණ සියල්ල වෙතින් ත්‍යාග දෙමින් ‘ෂැනල්ගේ ජීවිතය වර්ණවත් කළේය. වර්තාවල සඳහන් වෙන පරිදි ‘සුරූපී’ ෂැනල්ගේ සිරුරේ පහස ලැබුවේ බල්සන් විතරක්ම නොවුණි. ඔහුගේ මිතුරකුව සිටි කපිතාන්වරයකු සමගද ඇය පෙමින් වෙලී සිටි බව සඳහන්ය. ඔහුද වංශාධිපතියකු විය. එනිසා ඔහු හට විවාහ වීමට සිදුවූයේ වංශක්කාර පවුලක කාන්තාවක සමගය. එහෙත් ඔහුගේ ලොල් බව, ආදරය තිබුණේ සිහින් සිරුරැති වූ ආකර්ෂණීය පෙනුමින් යුතු වූ ‘ෂැනල් ’ වෙත පමණක්මය.

ඒ වන විට ෂැනල්ද ප්‍රංශයේ උසස් පැළැන්තියක තැනැත්තියක මෙන් ජීවිතය ගෙවමින් සිටි අතර, ඇය නවාතැන සඳහා සුඛෝපභෝගී හෝටලයක මහල් ස්ථානයක් වෙන්කර ගෙන ජීවත් වෙමින් සිටියාය. මේ වෙන විට බල්සන් සමග ගොඩනගා ගෙන සිටි ජීවිතයේදී, ඇය ව්‍යවසායකත්වයේ ගමනට අවතීර්ණ වී සිටියේ කාන්තාවන් (උසස් පැළැන්තියේ) වෙත අලංකාර තොප්පි නිපදවීම (මසා නිම කිරීම) නිසාය. කොහොමටත් උසස් යැයි හැඳින්වූ පැළැන්තියේ නෝනලා තමුන්ගේ උජාරුව පෙන්වීමට විවිධ දේ භාවිතා කළ අතර, ෂැනල්ගේ ‘තොප්පිය’ එවැනි පවුල්වල අය අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඇයගේ අනෙක් අනියම් පෙම්වතාව සිටි වංශක්කාර ‘කැපෙල්’ගේ මූල්‍යමය උදවු ඇතිව (බල්සන්ද උදවූ කළේය) කොකෝ ෂැනල් හට පැරිසීයේ සුපිරි ස්ථානයක් වූ දුවිලිහිදී (Deauville) ඇයගේ නිර්මාණ ඇතුළත් සාප්පුවක් ඇරඹීමට හැකි විණි. එහි අලෙවි කිරීමට තිබුණේ ඉතා උසස් ලෙස නිම වූ තොප්පි (කාන්තා) ජර්සි, පිරිමි යට ඇඳුම්, කාන්තා යට ඇඳුම් ඇතුළු දේ ය. පැරිසියේ සහ ප්‍රංශයේ ධන කුවේරයන් නිතර ගැවසුණු තැනක් වූ මෙතැනදී ඇරඹි සාප්පුව එකී පොහොසතුන් අතර, ප්‍රචලිත වීමට වැඩිකල් ගත නොවීය.

Chanel නාමය යටතේ බොහෝ විලාසිතා නිර්මාණය වෙමින් එළිදැක්වූ අතර, ඒවා ප්‍රචාරය කිරීම වෙනුවෙන්, නිරූපණයට කොකෝ ෂැනල් එක්කර ගත්තේ ඇයගේ සහෝදරියක වූ ඇන්ටනෙට් සහ නැන්දා කෙනෙකි. ෂැනල් (චැනල්) විලාසිතා කා අතරත් ජනප්‍රිය වෙමින් තිබූ අතරේ වංශක්කාර අනියම් පෙම්වතාව සිටි කැපෙල් රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්විය. සුරූපී කොකෝ ෂැනල් ජිවිතයට තෝරාගෙන සිටි හොඳම පිරිමියා යැයි ඇය විශ්වාස කළ කැපෙල් අකාලයේ මියයාම ඇයට ගෙන දුන්නේ දරාගත නොහැකි වූ සන්තාපයකි. සුඛෝපභෝගී රිට්ස් හෝටල පරිශ්‍රයේ ඇය සතු වූ මහලට වී දවසම ඇය හැඬුවාය. ඇය ආදරයට ආදරය කළ ගැහැනියක මිස, කාටවත් මුදලට සිරුර ලබාදුන් කාන්තාවක් නොවූවාය. ඇය වංශක්කාර පවුලකට අයත්ව සිටියේ නම්, නිත්‍ය විවාහය කැපෙල් සමඟ සිදුවීමට ඉඩකඩ තිබිණි.

ෂැනල් තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට සහාය වූ බල්සන් සහ කැපෙල් දෙදෙනා කිසිම විටෙක අමතක නොකළාය. ජීවිතයේ වැටෙන්නට තැනක් නොමැතිව සිටි ඇය ඒ අගහිඟකම් හමුවේ පීඩන හමුවේ හඬමින් ජීවිතයට මුහුණ දුන් කාන්තාවක නොවුණි.

‘‘ඒත් මම කැපෙල් මියගිය දවසේ හොඳටෝම ඇඩුවා.’’ හැබැයි ඒ තමයි ම​ගේ ජීවිතයේ අවසාන හැඬුම. ආයෙත් කවදාවත් මම අඬන්නේ නැහැ.’’

එලෙසින්ම ඇය මියෙනතුරු ඉන්පසු කිසිදාක කඳුළු සලා නැති වග සඳහන් වේ. ‘‘හිමිවීම්- අහිමිවීම්’’ ඇය දරා ගන්නේ කුඩා කල සිටමය. ඇය කියූ පරිදි දෑසින් කඳුළු පිට නොකළාට ඇය හිතින් හඬන්නට ඇත. ඇයද ගැහැනියකි. ඒ හැරත් නිර්මාණශීලිත්වයේ පිරිපුන් ගැහැනියකි. නිර්මාණශීලිත්වය යනු කිසිම ජගතෙකුට ගත හැකි දෙයක් නොවේ. ඕනෑ නම් කළ හැක්කේ නිර්මාණශීලි මිනිසා කෙරෙහි ඊර්ෂ්‍යා කිරීම පමණෙකි.
ජීවිතය ගැන එලෙසින් විශ්වාස කළ කොකෝ ෂැනල් ෂැනල් (Chanel) නාමය වෙතින් ප්‍රංශය ජයගත් පසු ඇමෙරිකාව ඇතුළු යුරෝපය ජයගත්තේ, උසස් පැළැන්තියේ අයට පමණක් වචනයකට සීමා වූ විලාසිතා නිර්මාණ රැසකින් නොවීය. සැබැවින්ම ඒවා ඉතා අගනා නිර්මාණ ලෙස සඳහන් කළ හැකිය. චැනල් (ෂැනල්) නාමයේ විලවුන් යනු ලොව ඉතා අනර්ඝ සුවඳ විලවුන් නිෂ්පාදනයන් යැයි සැලකේ.

රජවරුන්ගේ පුතුන් පවා ඇයට වසඟ වූ හැටි

මේ වෙන විට ඇයට වසඟ වී සිටි තවත් චරිතයක් ලෙස රුසියානු වංශක්කාර රජ පරම්පරාවකට අයත්ව සිටි දමිත්‍රි පව්ලොවිච් නම් කළ හැකිය. කොහොමටත් ෂැනල්ගේ ඇසුර පැවතියේ තම ‘විලාසිතා’ නාමය නිසා වංශක්කාර සහ ධනවත් පවුල්වල උදවිය සමගය. බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ වංශක්කාර පවුල්වල ඇසුර ඇය හට තිබුණි. No- 5 Chanel Paris සුවඳ විලවුන් නිසා වංශක්කාරයෝ ඇයගේ නිෂ්පාදන වටා රොද බැඳ සිටියේය. මේ වසඟවීම කෙසේද යත් වින්ස්ටන් චර්චිල් සහ හිට්ලර් සමඟද ෂැනල් හට මිත්‍රත්වයක් තිබූ බව සනාථ වේ. හිට්ලර්ගේ සිත දිනාගැනීම එතරම් පහසු දෙයක් නොවුණි. නමුත් එදා දෙවැනි ලෝක යුද සමයේදී, ෂැනල් හිට්ලර්ගේ සමීපතම මිතුරියක වූයේ ‘නාසි’ කඳවුරට ඇය ප්‍රියතාවයක් දැක්වූ නිසා යැයි වාර්තාවල සඳහන් වේ. නමුදු එවැනි සබඳතා තිබුණේ කුමන කරුණු අරබයා ද කියා දන්නේ, ඇයම පමණක් ය.
විලාසිතා ලෝකයට අද්විතීය නාමයක් ලබා දී ‘ෂැනල් පැරිස්’ හෙවත් කොකෝ ෂැනල් නමින් ප්‍රකට වී සිටි මේ අපූරු කාන්තාවගේ චරිතාපදානය ලිවීම – කියවීම යනු ඉතා දිගු වූවකි. ඒ අතරින් අප මේ සටහන් කළේ ඇයගේ දිවියේ මහා කතාවෙන් බිඳක් පමණෙකි. අපි මොහොතකට කොකෝ ෂැනල්ගේ දිවියේ අවසානය මොන වගේද කියා බලමු.

විලාසිතාවෙන් ලෝකය හැඩ කළ කොකෝ ෂැනල්ගේ නික්මයාම

Chanel නාමය වෙතින් මුළු ලොවක් වසඟයට ගෙන සිටි ගෙබ්‍රියෙල් ෂැනල් හෙවත් කොකෝ ෂැනල්, සුපිරි තරු පිරිවරා ගෙන එතෙක් ජීවිතය ගත කරමින් සිටියද, ඇයගේ ජීවිතයේ සැඳෑ සමයේදී නම් ඇය ජිවිතය ගත කළේ මහා පාළුවකින්, කාන්සියකින් යැයි සඳහන් වේ. තරුවක් ලෙස බැබලෙමින් සිටියද, වියපත්වෙන විට ස්වභාවය එයම වෙයි. කෙසේ වූවද කාන්තාවක ලෙස ඇයට හොඳ පෞරුෂයක් තිබිණි. ඇයගේ ප්‍රියතම වර්ණ වූයේ කළු පැහැය සහ සුදුය. ලා අළු පාටටද ඇය ඇලුම් කළ අතර රන් සහ රතු අනෙක් පාටය. යමෙකු මියයාමට පෙර, තමාගේ සොහොන්කොත සැලසුම් කරන්නේ කලාතුරකිනි. ‘කොකෝ ෂැනල්’ ජීවත්ව සිටියදීම තමාගේ සොහොන සඳහා වූ නිර්මාණ සැලසුම ඇය විසින්ම සැලසුම් කළාය. සිංහධේනුවකගේ රුවක් මිනිස් රුවකට සමානව ඇය සැලසුම් කළ අතර, සුදු මල් වලින් පමණක් සොහොන සරසන්න යැයි කියා සිටියාය. සිංහ රුව යොදා ගැනීමට හේතුව ඇයගේ උපන් වෙලාවට අනුව ලග්නය ‘සිංහ’ වූ බැවින් යැයි සඳහන්ය. ඒ මොන විදිහට සිදු වුවද, ඇය නම් මිනිස් වෙසින් පෙනී සිටි සිංහ ධේනුවක් ම වූවාය. දරිද්‍රතාවයේ පතුලේ සිට එළියට ඇවිත්, රන් ආලෝකයේ එලිය ලබා තරු අතර බැබලෙන තාරකාවක්ව සිටි ඇය 1971 හීතල ජනවාරියේ 9 වැනිදා වෙනදාට වඩා කලින්ම නින්දට වැටුණේ, අසනීප තත්ත්වයේ සිටි නිසාය.

ඇයි මැඩම් මොකද මේ? ඇයව බලාගත් සේවිකාව විමසා සිටියාය.

‘‘බලන්න මියෙන්නෙ මේ විදියටයි.’’ කියා සේවිකාවට කියූ ඇය අවසන් සුසුම් පොද පිට කළාය. ඒ ඇයගේ මුවින් පිටවූ අවසන් වදන් විය. 1971 ජනවාරි 10 වැනිදා රිට්ස් හෝටලයේ කළමනාකාරිත්වය ඇයගේ මියයාම නිල වශයෙන් ලොවට ප්‍රකාශ කළේය. ඒ ඇයගේ තිස් වසරක නිවහන වූ ස්ථානය එය වූ බැවිනි.

‘‘ජීවිතය කියන්නේ මහා පුදුමයක් නේද?’’

විලාසිතා කරන, විලවුන් ගත දවටන ඔබ මොහොතකට කැඩපත ඉදිරියට ගොසින්, ඔබගෙන්ම අහන්න. ගෙවූ ජීවිතයේදී මොනවද මම කළේ කියා ඔබගෙන්ම විමසන්න. මොනවත්ම කර නැතැයි හැඟුණොත්, හෙටම දැනෙන දෙයක් කරන්න උත්සාහ ගන්න. CoCo Chanel ගේ ජිවිතය දිහා බැලුවාම ඔබට ඒ ගැන වැටහේවි.

පරිවර්තන සටහන : සඳුන් ගමගේ
උපුටාගැනීම ලංකාදීප වෙබ් අඩවිය.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

මගේ ව්‍යාපාර අන්තිම ඩොලරය දක්වා බිඳ වැටුණහොත් අන්තිම ඩොලරය භාවිත කරමින් අමෙරිකාවේ ධනවතුන් ගැවසෙන ආපනශාලාවකට ගොස්, මම ඔවුන් සමඟ ජලය පානය කරමි

මගේ ව්‍යාපාර අන්තිම ඩොලරය දක්වා බිඳ වැටුණහොත් අන්තිම ඩොලරය භාවිත කරමින් අමෙරිකාවේ ධනවතුන් ගැවසෙන ආපනශාලාවකට ගොස්, මම ඔවුන් සමඟ ජලය පානය කරමි

මගේ ව්‍යාපාර අන්තිම ඩොලරය දක්වා බිඳ වැටුණහොත් අන්තිම ඩොලරය භාවිත කරමින් අමෙරිකාවේ ධනවතුන් ගැවසෙන ආපනශාලාවකට ගොස්, මම ඔවුන් සමඟ ජලය පානය කරමි. මෙසේ පවසා තිබුණේ අමෙරිකානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මෙයින් කියැවෙන්නේ ඇසුරු කරන මිනිසුන් මත ඔබගේ සාර්ථක අසාර්ථක බව තීරණය වන බවයි. ඔබ බිඳ වැටුණු වෙලාවක සිටින්නේ අසාර්ථක මට්ටමේ නම්, කළ යුත්තේ අසාර්ථක වූ අය ඇසුරු කිරීම නොවේ. ඔබට වඩා සාර්ථක වූ, දියුණු වූ මිනිසුන් ඇසුරු කිරීමයි.

යහපත් සබඳතා යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ පවා දේශනාකර ඇත්තේ බාලයන් ඇසුරු නොකොට පණ්ඩිතයන් ඇසුරු කරන ලෙසයි. අප වටා ඇති හැම සබඳතාවක් ම යහපත් සාර්ථක සබඳතා නොවේ. ඇතැම් දුර්වල, ඍණාත්මක අදහස් ඇති, පාපකාරී මිතුරන් ඇසුරු කිරීමෙන් ඕනෑම පුද්ගලයකු අයහපත් දේට පුරුදු වී අසාර්ථකත්වයට පත් වේ.

සාර්ථක පුද්ගලයන් සතු හොඳ පුරුද්දක් වන්නේ ජීවිතයට වටිනාකම් එකතුකර ගත හැකි යහපත්, සාර්ථක පුද්ගලයන් සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීමයි. මෙහිදී ආශ්‍රය කරන පුද්ගලයන් විසින් ඔබ ඉහළට ඔසොවා තැබීමක් සිදු කෙරෙයි. එවැනි සාර්ථක පුද්ගලයන් ඔබ සමඟ තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම නිසා ඔබට එම සබඳතා මඟින් අමිල වූ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

මේ නිසා විවිධ වූ සාර්ථක පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් ඔබගේ කාර්යයන් පහසු කරගැනීමට හැකියාව ලැබේ. ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය වන උදවු උපකාර වුවද මේ සබඳතා මඟින් ලබා ගැනීමට හැකි වේ.

එක් පුද්ගලයකුට කළ නොහැකි දේ තවත් අයකුට පහසුවෙන් සිදු කළ හැකිය. ඔබට කළ නොහැකි දේ යහපත් සබඳතා ගොඩනගා ගැනීම මඟින් පහසුවෙන් කරගැනීමට හැකි වේ. ඒ, ඔබගේ යහපත් සබඳතා මත, එම කාර්යය සිදු කළ හැකි අයකුගේ සහයෙනි. එමෙන්ම ජීවිතයට වටිනාකම් ගෙන දෙන අවස්ථා ද එම යහපත් සබඳතා ආශ්‍රයෙන් ඔබට ලැබිය හැකිය. එනම්, යම් ව්‍යාපාරික අවස්ථාවක්, රැකියාවෙන් ඉහළට යාමේ අවස්ථාවක්, තවත් වටිනා පුද්ගලයෙක් දැන හඳුනාගැනීමේ අවස්ථාවක් වැනි ඕනෑම අකාරයේ අවස්ථාවක් ඔබට ලැබිය හැකිය.

මෙලෙස ජීවිතයේ වටිනාකම් වැඩිකර ගැනීමට යහපත් සබඳතා නිසා හැකියාව ලැබේ. ඔබට ව්‍යාපාරිකයකු වීමට අරමුණක් තිබේ නම්, සාර්ථක ව්‍යාපාරිකයන් 10-15ක් වත් ඇසුරු කළ යුතුය. ඔබට කළමනාකරුවකු වීමට අවශ්‍ය නම් අවම වශයෙන් ඔබගේ ආයතනයේ සිටින ඉහළ නිලධාරීන් සමඟ හොඳ සබඳතා ගොඩනගා ගත යුතුය. ඔබට හොඳ ලේඛකයකු වීමට අවශ්‍ය නම් හොඳ ලේඛකයන් කිහිපදෙනකු හෝ ඇසුරු කළ යුතුය. ඔබ ඇසුරු කරන්නේ යමෙක් ද කාලයාගේ අවෑමෙන් ඔබ ද එවැන්නකු බවට පත් වේ. සාර්ථක මිනිසුන් මේ රහස දන්නා බැවින් ඔවුන් විවිධ දක්ෂතා ඇති අය සමඟින් යහපත් සබඳතා ගොඩනගා ගැනීමට පුරුදු වී සිටියි. එමනිසා ඔවුන් එවැනි සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ කරන අතර එවැනි සබඳතා ඇතිකර ගැනීමේ දක්ෂයන් ද වේ. එපමණක් නොවේ, එවැනි යහපත් සබඳතා ඔවුහු හොඳින් පවත්වාගෙන යාමට ද කටයුතු කරති. සබඳතා ගොඩනගා ගැනීමේ දී අප ලාබ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් ම එම සබඳතා ඇතිකර ගැනීම සුදුසු නැත. අනෙක් අයට එය වැටහුණ විට එම සබඳතා පවත්වාගෙන යාමට ඔවුන් අකැමැති වේ. අවස්ථා හෝ යම් යම් ප්‍රතිලාභ ලැබීම එම සබඳතාවල අතුරු ඵලයකි. ඔබ එම සබඳතා පවත්වාගෙන යා යුත්තේ අවංක මිතුරු හැඟීමකින් යුක්තවයි. එකිනෙකාට උපකාර කරගනිමින් යහපත් සබඳතා පවත්වාගෙන ඉදිරියට යාමේ දී ඒ ඒ අවස්ථාවල දී උදවු උපකාර නිතැතින් ම ලැබේ. නමුත් සහය ලබා ගැනීම ලෙස හඳුන්වන්නේ ඔවුන්ගෙන් ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ආධාර උපකාර ලබා ගැනීම නොවේ. අප යහපත් සබඳතා ඇතිකරගෙන ඇති විට ඒ අතුරින් යම් පුද්ගලයෙක් පවසන යම් අදහසක් අපගේ මුළු ජීවිතයම, අනාගතය ම වෙනස් කිරීමට වුවද ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් සිදුකරන දේවල් දැකීම මඟින් ඔබට අලුත් අදහසක් ඇති විය හැකිය.

නමුත් යහපත් සබඳතා පවත්වාගත යුත්තේ, හදිසියක දී මුදල් ලබා ගැනීමට, අවශ්‍යතාවකදී ඔවුන්ගේ වාහනය ඉල්ලා ගැනීමට නොවේ. එමෙන්ම අපිට මෙවැනි වටිනා ඉහළ පුද්ගලයන් සමඟ සබඳතා ඇති බව ලෝකයට පෙන්වීමට ඔවුන් සමඟ ඡායාරූප ලබාගෙන සමාජමාධ්‍යවලට දැමීම වැනි පටු අරමුණු වෙනුවෙන් ද නොවේ.

අපට වඩා ඉහළින් සිටින මිනිසුන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් සිදු වන්නේ අපේ සිතුවිලි පොහොසත් වීමයි. අපි සිතන පතන ආකාරය, සිතුවිලි රටාව වෙනස් වීමයි. එවිට අපට දැන් ඉන්නා මානයෙන් ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ලෝකයේ මිනිසුන් වර්ග තුනකට බෙදිය හැකිය.

* ඉතාම දිළිඳු ලෙස සිතන අය – මෙවැන්නන් කිහිපදෙනකු එක් වූ විට කතා කරන්නේ ඕපදූපය. අනුන්ගැන කතා කරයි.

* මධ්‍යම ලෙස සිතන අය – මෙම පුද්ගලයන් වැඩි වශයෙන් කතා කරන්නේ සිදුවීම් හා සිද්ධීන් පිළිබඳයි.

* ඉහළ සිතුවිලි සහිත මිනිසුන් – මෙවැන්නන් නිතර හමු වූ විට කතා බහ කරන්නේ අනාගතය, සැලසුම්, ඉලක්ක, කළ හැකි දේ සහ එම දේවල් කළ යුතු ක්‍රම පිළිබඳයි. ඔබ යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යනවා යැයි සිතමු. එවිට ඔබ ඇසුරු කරන පුද්ගලයෙක් මෙය අසාර්ථක ක්‍රියාවක් බවත් මේ යුගයේ දී ලංකාවේ ව්‍යාපාර කිරීම සාර්ථක නොවන බවත් පැවසිය හැකිය. එම පුද්ගලයා දිළිඳු සිතුවිලි සහිත අයෙකි. මේ නිසා ආරම්භ කිරීමට ගිය ව්‍යාපාරය අතහැරීමෙන් ඔබ කිසිවක් සිදුනොකරන පුද්ගලයෙක් බවට පත් වේ. නමුත් ධනවත් සිතුවිලි ඇති අයෙක් නම් ඔබගේ අදහසේ ඇති අඩුපාඩු පෙන්වා දී ඒවාට වෙනත් සාර්ථක උපක්‍රම මඟින් විසඳුම් ලබා ගැනීමට ඔබේ සිත පොළඹවයි. ඔබ දිරිමත් කරමින් උපදෙස් ලබා දීමට කටයුතු කරයි. ඒ වෙනුවෙන් ඔහු එක් රුපියලක් හෝ වියදම් නොකළ ද ව්‍යාපාරය ඇරැඹීමට අවශ්‍ය ධෛර්යය ලබා දෙයි. මෙලෙසින් ඔබට ලබා දෙන මානසික පෙලඹවීම් හා උපදෙස් මිල කළ නොහැකි ය.

ප්‍රවීණ දේශක, මොහාන් පල්ලියගුරුගේ උපදෙස් මත අයන්ති උඩුගම්පල විසින් තරුණී .lk වෙබ් අඩවියට සම්පාදනය කල ලිපියකි.

Business HUB කියන්නේ මිනිස්සුන්ට සාර්ථක වෙන්න මගපෙන්වන තැනක්. බොහොමයක් අය Business HUB එකේ ජීවිතය සාර්ථක කරගන්න පළකරන ලිපි නොකියවා වෙනත් විශ්ව ආකර්ෂණ නීතීය සහ විවිධ වූ මිත්‍යාමත දරන ගෲප් වල පෝස්ට් ශෙයාර් කරනවා, කමෙන්ට් කරනවා අපි දැක තිබෙනවා. තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් එකදු හෝ ක්‍රියාමාර්ගයක් නොගෙන සාර්ථකත්වය තමන් ලඟට එනකම් බලාගෙන ඉන්නවා. ඔවුන් පලකරන පෝස්ට් වලට ඔවුන්ට දහස් ගණනින් කමෙන්ට් කර අනුබල දෙන්න අනුගාමිකයන් සිටිනවා. බුද්ධියෙන් විමසා බලන්න. ඔබ සිටින්නේ හරි තැන නොවෙයි. ඔබට සාර්ථකත්වය අවශ්‍යයිනම් ඔබ රැඳිලා ඉන්න ඕන තැනක් තමයි Business HUB කියන්නේ..

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla