by admin | Dec 15, 2023 | Business HUB තෙවන පාර්ශවීය තොරතුරු (News Feed)
අලුතෙන් VAT එකතුවෙන භාණ්ඩ හා සේවාවන් මෙන්න 👇
VAT වැඩි කිරීම ගැන ඔබ දැනගත යුතු ම කරුණු 5ක් මෙතැනින් කියවන්න
https://www.bbc.com/sinhala/articles/c04293jzk9po
Source / Credit : BBC News සිංහල
Follow Business HUB Sri Lanka
by admin | Nov 27, 2023 | Business HUB තෙවන පාර්ශවීය තොරතුරු (News Feed)
ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි (මිතුරන් සමඟ ශෙයාර් කරගන්න)
අයදුම් කළ හැකි විභාග ලැයිස්තුව බලා ගැනීම මෙන්ම අදාළ විභාගය සඳහා අයදුම් කිරීමට පහත ලින්ක් එක ඔබන්න : https://applications.doenets.lk/
සැ. යු : විභාගයට අදාළ ගැසට් නිවේදනය “Gazette” මගින්ද, මාර්ගගත අයදුම්පත පිරවීම සඳහා වන උපදෙස්, “Instructions” මගින්ද බාගත කර ගත හැක. එම උපදෙස් පිළිපදිමින් මාර්ගගත අයදුම්පත පුරවන්න. උපදෙස් වලට පටහැනිව යොමු කරන ලද අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. වෙබ් එකේ ඔබට අදාල විභාගය යටතේ තොරතුරු බලාගත හැක.
Source : Government Information Center of Sri Lanka – 1919 Facebook Page
මේ වගේ වටිනා තොරතුරු ඉදිරියටත් බලන්න Business HUB Sri Lanka Page එක ෆලෝ කරන්න…
#ICTA #GIC #2k23 #SriLanka #governmentinformationcenter #departmentofexamination #GovernmentTeachers #recruitment
by admin | Nov 27, 2023 | Business HUB තෙවන පාර්ශවීය තොරතුරු (News Feed)
Online Business Academy | Z පන්තිය : A-Z Business ගැන දැනගන්න
ව්‍යාපාරයක් පටන් ගන්න වගේම සාර්ථකව පවත්වා ගෙන යන්න නිරන්තරයෙන් අලුත් දැනුම තොරතුරු ලබා ගැනීම බොහොම වැදගත්. සිව් දෙසින් තොරතුරු ගලා ගෙන ආවත් අවශ්‍ය වෙලාවට ගැලපෙන ආකාරයට ඒවා ලැබෙනවා නම් හරිම පහසුයි.
විවිධ ආයතන වලින් වගේම අත්දැකීම් සහිත පුද්ගලයින්ගේ අදහස් යෝජනා වගේම දැනුම ඉතා පහසුවෙන් නොමිලේ ලබා දෙන්න තමයි අපි “Z පන්තිය” ආරම්භ කරන්නේ. සතියේ දවස් පහේම උදේ 10 ට පටන් අරගෙන දවල් 12 වෙන කල් මාර්ගගත ක්‍රමයට මේ පන්තිය එහෙම නැත්නම් වැඩසටහන පැවැත්වෙනවා.
මාස දෙකකට වැඩි කාලයක් අකණ්ඩව පවත්වා ගෙන ආ මේ වැඩසටහන් මාලාවට බොහෝ සම්පත්දායකයන් සම්බන්ධ වුණා. සජීවීව පැවැත්වෙන මේ වැඩසටහනට zoom තාක්ෂණය මගින් සම්බන්ධ වෙන්න පුලුවන්. Facebook live විදියට “Kirana Radio” පිටුව ඔස්සේ ඒවා නරඹන්නත් ඕනැම කෙනෙකුට අවස්ථාව තියෙනවා.
මෙම වැඩසටහන පටිගත කරලා “SED Tv” Youtube නාලිකාවට ඇතුළත් කරලා තියෙනවා. මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න ඕනෑම කෙනෙකුට පුලුවන්. www.sed.gov.lk වෙබ් අඩවිය මගින් ලියාපදිංචි වෙන්න හැකියාව තියෙනවා.
මේ වැඩසටහනට ඇතුළත් විය යුතු අලුත් දේවල් මොනවද කියලා ඔබට යෝජනා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබට හෝ ඔබේ ආයතනයේ දැනුම අත්දැකීම් ව්‍යාපාර දියුණු කරන්න යොදවන්න කැමති නම් සම්පත්දායකත්වය ලබා දෙන්න කියලා අපි ආරාධනා කරනවා.
ජීවිතය වෙනස් කරගන්න ඕනනම් පහත රේඩියෝ චැනල්, යූටියුබ් චැනල් සහ වෙබ් එකත් ප්‍රමාණවත්….
📻 Kirana Radio : https://www.facebook.com/kiranaredio
🔴 Youtube : https://youtube.com/@sedtv9535
🌐 Web : http://www.sed.gov.lk/
උපුටාගැනීම : Sudheera Jayarathne මහතාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන්… සියලුම හිමිකම් කතෲ සතුය.
මේ වගේ තවත් වැදගත් දේවල් බලන්න Business HUB Sri Lanka Page එක Follow කරන්න…
by admin | Nov 27, 2023 | Business HUB තෙවන පාර්ශවීය තොරතුරු (News Feed)
ලංකීය ඉතිහාසයේ කර්මාන්ත උදෙසා වූ ප්‍රථම රූපවාහිනී නාලිකාව | Industry TV
“Industry TV රූපවාහිනි නාලිකාව” – (Your Winning Line – ඔබේ ජයග්‍රහණයේ රේඛාව )
කර්මාන්ත අමාත්‍යංශයත්, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් එක් ව අත්වැල් බැදගනිමින් දැයේ කර්මාන්තකරුවා වෙනුවෙන් පිදෙන දස්කම් විස්කම් සපිරි ඇසි දිසි රූ පෙරහැර…
නොවැම්බර් 21 දා සිට Peo TV නාළිකා අංක 130 ඔස්සේ ඔබේ ආලින්දයටත්…
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ගරු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය සමඟ එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව වන Industry TV රූපවාහිනි නාලිකාව, ලෝක රූපවාහිනි දිනය යෙදෙන නොවැම්බර් 21 වෙනිදා ජනගත කරන ලදි.
එහි සමාරම්භක උත්සවය ගරු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේත්, ගරු ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් හා ගරු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේත්, ගරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතුතුමාගේත්, ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මැතිතුමාගේත් සහභාගිත්වයෙන් පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පෙ.ව. 9.00ට Industry TV රූපවාහිනි නාලිකාව දැයට පිරිනැමීමට නියමිත ය.
නොවැම්බර් 21 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා හදුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News, කර්මාන්ත කතා, වැඩබිම් රසෝඝය, Plus Mind, Help Desk, ව්‍යවසායකත්ව රජ දරුවෝ, Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40කට අධික ප්‍රමාණයක් Industry TV නාලිකාව තුළ විකාශය කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.
නැවුම් මුහුණුවරකින් නිර්මාණාත්මක අවකාශයක් තුල ජාතික කර්මාන්තකරුවා නගා සිටුවීමට ගන්නා මෙම ප්‍රයත්නය සැබවින්ම කාලෝචිත ය.
“Industry TV රූපවාහිනි නාලිකාව” – ( Your Winning Line – ඔබේ ජයග්‍රහණයේ රේඛාව )
උපුටා ගැනීම : Source : National Enterprise Development Authority – NEDA (අයිතිය කතෲන් සතුය)
මේ වගේ වැදගත් තොරතුරු ඉදිරියටත් බලන්න Business HUB Sri Lanka Page එක ෆලෝ කරන්න.
#MinistryOfIndustries #IndustryTv #IDB
by admin | Nov 10, 2023 | Business HUB තෙවන පාර්ශවීය තොරතුරු (News Feed)
අකුණු⚡
මේ පේජ් එකේ ගොඩක් අය ඔන්ලයින් මුදල් හොයන අය, Freelancing කරන අය. මේ දිනවල වර්ෂාව සහ අකුණු නිසා දවසට පැය කිහිපයක් හැමෝගෙම වගේ නාස්ති වෙනවා. අකුණු ගහන වෙලාවට වැඩ කරන එක හොඳද? පෝස්ට් එක අවබෝධයෙන් කියන්න…
තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.
සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.
ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.
වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.
ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.
ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.
අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.
හැබැයි යන්නෙ “පොළොවට සම්බන්ධ” සන්නායක දිගේ.
උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,
ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),
මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).
අකුණු වළාකුලකට වෝල්ට් “මිලියන” 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.
ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).
ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.
අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.
>දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.
අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.
ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ. හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.
ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.
තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?
>Return Stroke
අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?
>Trip Switch
“අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා” ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.
එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ 😛 . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් “එන වතුර ලීටර් ගානයි” නාලා රෙදි හෝදල කානුවෙන් “යන වතුර ලීටර් ගානයි” අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.
ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).
ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.
හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.
ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.
>Phone එකටත් අකුණු වදිනවද?
වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.
Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.
“ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ”
අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.
ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්‍යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.
>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?
කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).
කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්‍යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්‍රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්‍යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)
අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.
සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.
කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.
සංවෘත වාහනයක හිටියොත්
වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.
ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි)
සැ. යු : අන්තර්ජාලයට අනුව ලිපියේ මුල් කතෲ රෙහාන් මෙන්ඩිස් වේ. අයිතිය කතෲ සතුය. තොරතුරු කිසිවක් වෙනස් කර නැත.
තව කෙනෙක්ට දැන ගන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා…
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා #thunder #අකුණු
by admin | Nov 9, 2023 | Business HUB තෙවන පාර්ශවීය තොරතුරු (News Feed)
Dark Web එක ගැන හරියට දැනුවත් වෙමු! 👇
🔴 මොකද්ද මේ Dark Web එක කියන්නේ?
Dark web එක කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Internet එකෙන් හැංඟිච්ච, සාමාන්‍ය web browsers වලින් access කරන්න බැරි සයිබර් අවකාශයේ තැනක්. හැංඟිච්ච websites එකතුවක්. Dark web එක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට hackers ලා. ලෝකෙ පුරාම නොයෙකුත් වෙබ් අඩවිවලට අනවසරයෙන්, ඒ කියන්නේ හොරෙන් ඇතුළු වෙලා hackers ලා විසින් සොරාගන්නා දත්ත තමයි මේ dark web එකේ ගොඩක්ම තියෙන්නේ. ඔවුන් ඒවා dark web එකේ පළ කරන්නේ නිර්නාමිකව. ඒ පළ කරන දත්ත එතන ඉන්න අනෙකුත් hackers ලා නැවතත් ඔවුන්ගේ අනීතික කටයුතු වලට යොදාගන්නවා. හරියට බැලුවොත් dark web එක කියන්නේ hackers ලගේ තිප්පොලක් වගේ තැනක්.
🔴 Dark Web එකේ ඔබේ දත්ත තියෙන්නෙ පුළුවන්ද?
ගොඩක් දුරට පුළුවන්. ඒ මොකද ඔබ Internet එකේ නොයෙකුත් සේවා භාවිතා කරනකොට, ඒවට register වෙද්දි හෝ ඇණවුම් කිරීමෙදි ඔබේ පුද්ගලික දත්ත ලබාදෙනවා. ඔබේ නම, ගම, Email ලිපින, දුරකථන අංක වගේ දත්ත තමයි “පුද්ගලික දත්ත” (PII – Personally Identifiable Information) විදියට සැලකෙන්නේ. Gmail account එකක් හදනකොට, Facebook, TikTok, LinkedIn, WhatsApp වගේ සමාජ මාධ්‍ය ගිණුම් හදනකොට වගේම, ඔබ අන්තර්ජලයෙන් නොයෙකුත් දෑ මිලදී ගන්නකොට, ඒවා bill කළයුතු නම, ගම, Email ලිපින, Phone Numbers වගේම deliver කළ යුතු Address එහෙමත් ඔබ ලබාදෙනවා. එහෙම ඔබේ පුද්ගලික දත්ත ලබා දීපු මොනයම් හෝ website එකක් hack උනොත්, ඒ website එකට ඔබ ලබා දුන් ඔබේ පුද්ගලික දත්ත hackers ලා අතට පත් වී, dark web එකේ පළ වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම සිදුවීම Data breach එකක් ලෙස හැඳින්වෙනවා.
🔴 ඔබේ දත්ත Dark Web එකේ තියෙනවද කියලා බැලුවද?
මේ වෙනකොට Google One වෙතින් සැපයෙන Dark Web Search වැනි security services හරහා ඔබට බලාගන්න පුළුවන් ඔබේ පුද්ගලික දත්ත dark web එකේ තියෙනවද කියලා. Dark web එකට ඔබේ දත්ත නිරාවරණය වුනේ මොන websites hack වෙලාද කියලා සහ ඒ hack වීම් හරහා dark web එකේ hackers ලා පළ කරලා තියෙන්නේ ඔබේ මොන මොන පුද්ගලික දත්ත ද කියලත් Dark Web Search එකෙන් බලාගන්න පුළුවන්. තවමත් ඔබ එහෙම search කරලා බැලුවෙ නැත්නම් https://one.google.com/u/3/dwr/setup_profile ගිහිං search කරලා බලන්න.
මේ පහළ screenshot එකේ තියෙන්නේ මගේ Gmail address එකෙන් Dark web search එකක් කළාම ආපු result එක. ඊට අනුව මගේ පුද්ගලික දත්ත dark web එකට නිරාවරණය වීම්, එහෙමත් නැත්නම් Data breaches 54 ක් වෙලා කියලා පෙන්වනවා. ඒවා වෙලා තියෙන්නේ මොන websites වලින්ද කියලත් “View all results” button එක ඔබලා ගිහිං බලාගන්න පුළුවන්. ඔබේ search result එකේ data breaches කීයක් පෙන්නනවද කියලත් comment කරගෙන යමු අනිත් අයට දැනගන්න.
🔴 ඔබේ දත්ත Dark Web එකේ තිබ්බොත් ඊළඟට මොනා වෙයිද?
Dark web එකේ ඔබේ දත්ත තියෙනවා කියලා result එක ආවොත්, ඔබ ඊළඟට කරන්න ඕනේ ඔබේ මොන දත්තද dark web එකට නිරාවරණය වෙලා තියෙන්නෙ කියලා සොයා බලන එක. Google One සපයන Dark Web Search එකෙන්ම ඒ ගැන ඔබට දැනගන්න පුළුවන්. එතනදි ඔබ වඩාත්ම සැළකිලිමත් වෙන්න ඕනෙ ඔබේ බැංකු කාඩ්පත් අංක හෝ Passwords නිරාවරණය වෙලා තියෙනවද කියන එක.
බැංකු කාඩ්පත් අංක නිරාවරණය වෙලා තිබුනොත්, ඒ කාඩ්පත් තොරතුරු Dark web එකෙන් අරගන්න අනෙකුත් hackers ලා ඒ හරහා ඔබේ බැංකු ගිණුමේ ඇති මුදල් සොරාගන්න පුළුවන්. ඔබේ Password එකක් නිරාවරණය වෙලා තිබුනොත්, ඒ password එකම ඔබ පාවිච්චි කරපු වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් හෝ අන්තර්ජාල ගිණුම් තියෙනවා නම්, hackers ලා ඒවායේ access එක ඔවුන් අතට ගන්න පුළුවන්. Facebook ගිණුම් hack වෙන සිදුවීම් ගැන අපිට නිතර අහන්න ලැබෙනවනේ. ඒකට මේ විදියට තමන්ගේ passwords dark web එකේ නිරාවරණය වී තිබීම එක හේතුවක් වෙන්න පුළුවන්.
ඒවා නැතුව, ඔබේ නම, Email ලිපින, දුරකථන අංක වැනි contact details පමණක් dark web එකට නිරාවරණය වී තිබුනොත්, ඒවයින් නම් වෙන්න පුළුවන් හානිය අවමයි. Spam සහ phishing emails, sms ලැබෙන එක තමයි ඉන් වෙන්න පුළුවන් හානි විදියට සැලකෙන්නේ.
🔴 ඔබේ දත්ත Dark Web එකේ තියෙනවා නම් කරන්න ඕනෙ මොකද්ද?
Dark web search එකේ පෙන්වන මොනම හෝ Data breach එකක් හරහා ඔබේ බැංකු කාඩ්පත් දත්ත dark web එකේ තියෙනවා කියලා පෙන්නුවොත්, වහාම ඔබේ බැංකුවට කතා කරලා ඒ website එකට ඔබ මුදල් ගෙවූ බැංකු කාඩ්පත cancel කරගන්න. බැංකුවේ Card Center ඇමතීමෙන් ඔබට ක්ෂණිකව card එක cancel කරගෙන, ඒ වෙනුවට අලුත් කාඩ්පතක් ලබාගන්න පුළුවන්. ඔබ එහෙම කරන්න පරක්කු වුනොත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුළුවන්.
Dark web search එකෙන් ඔබ මොනම හෝ website එකක භාවිතා කරපු password එකක් dark web එකට නිරාවරණය වෙලා තියෙනවා කියලා පෙන්නුවොත්, ඔබ ඒ website එකේ දාපු password එක වහාම වෙනස් කරගන්න. ඒ වගේම ඒ password එකට යොදපු වචනයම ඔබේ වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් හෝ අන්තර්ජාල ගිණුම්වල password එක විදියට ඔබ භාවිතා කරලා තියෙනවා නම්, අන්න ඒ හැම ගිණුමකටම ගිහිං ඒ හැමතැනින්ම අර expose වෙච්ච password එක වෙනුවට අලුත් password එකක් දාගන්න. ඔබට කලින් ඔබේ පරණ password එක අතට ගන්න hacker කෙනෙක් ඉස්සර උනොත් ඒ ගිණුම් ඉන්පස්සේ එයාගේ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ passwords dark web එකේ තිබුනත් නැතත්, ඔබේ හැම ගිණුමකම 2 Factor Authentication enable කරගන්න. ඔබ එසේ කළොත්, ඔබේ password එකක් අන්සතු වුවත් ඒ password එක භාවිතා කළ ගිණුම් hackers ලා අතට පත්වීම වළක්වාගන්න පුළුවන්.
Dark web search එකෙන් ඔබේ නම, email ලිපිනය, Phone number එක වගේ contact details dark web එකට නිරාවරණය වෙලා තියෙනවා කියලා පෙන්නුවොත්, ඔබට එන email සහ SMS ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. ඒවා අතට ගන්න hackers ලා ඔබට නොයෙකුත් links තියෙන spam සහ phishing emails එවන්න පුළුවන්, ඔබව නොයෙකුත් websites වලට ගෙන්වා ගන්න. නොදන්නා කෙනෙකුගෙන් ලැබෙන emails වල links click නොකර සිටීමට වගබලා ගත්තොත් එයින් ඔබට කිසිඳු හානියක් සිදු නොවෙයි. ඒ වගේම ඔබේ දුරකථන අංකයට එන OTP අංක කිසිඳු හේතුවක් නිසා වෙනත් කෙනෙකුට කියන්න එපා. OTP (One-time Password) අංකයක් කියන්නේ ඔබම පමණක් දැනගත යුතු, ඔබේ අවශ්‍යතාවයට පමණක් ඔබ විසින් භාවිතා කළ යුතු password එකක් කියන එක හැමවිටම මතක තියාගන්න.
🔴 Dark Web එකට ඔබේ දත්ත නිරාවරණය වීම වළක්වන්න පුළුවන්ද?
කලින් පැහැදිලි කළ පරිදි Dark Web එකට ඔබේ දත්ත නිරාවරණය වෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමේදී websites වලට ලබාදෙන දත්ත, යම් website එකක් hack වීමකට ලක් වීමෙන් hackers ලා අතට පත් වූ විටයි. ඔබ එසේ දත්ත ලබාදුන් websites කිසිවක් කිසිදා ඔවුන් දැනුවත්ව hack වීමකට ලක් වෙන්නෙ නැහැ. නමුත් cyber security කියන්නේ ලෝකෙ තියෙන හොඳම තාක්ෂණයන් භාවිතා කළත් 100% ක් තහවුරු කළ දෙයක් නොවන නිසා, අවාසනාවන්ත ලෙස ලෝකයේ බොහෝ websites නිරන්තරයෙන් hack වීමට ලක් වෙනවා. අප දන්න ලොකයේ සුප්‍රසිද්ධ websites වගේම ලංකාවෙ රාජ්‍ය සහ රාජ්‍ය නොවන බොහෝ websites වරින්වර hack වීම් ගැන අපිට අහන්න ලැබෙන්නෙ ඒ නිසයි.
කෙසේ නමුත් ඔබ භාවිතා කරන websites වලට ඔබේ පුද්ගලික දත්ත ලබාදීමෙන් තොරව register වන්නට හෝ Online මිලදී ගැනීම් කරන්නට නොහැකි නිසා සහ එම websites කවදා කොයි මොහොතේ hack වේදැයි ඔබ නොදන්නා නිසා, dark web එකට ඔබේ දත්ත නිරාවරණය වීම ඔබට පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබට කළ හැකි එකම දෙය වන්නේ එසේ ඔබේ දත්ත dark web එකට නිරාවරණය වී ඇත්දැයි සොයා බලා, එසේ වී ඇත් නම් ඉහත සඳහන් කළ පරිදි ඊට අදාළ ආරක්ෂිත පියවර ගැනීම පමණයි. Google One සපයන Dark Web search වැනි security services ඔවුන් සපයන්නෙත්, පරිශීලකයින්ට ඒ ගැන දැනුවත් වී ඊට අදාළ පියවර ගැනීමට සහය වීමේ අරමුණෙන්.
🔴 හෙළකුරු හරහා ඔබේ දත්ත Dark Web එකට නිරාවරණය වුනාද?
Google One සපයන Dark web search පහසුකම හරහා මෙවන් දෙයක් සිදු වී ඇත්දැයි ඔබටම දැනගන්න පුළුවන්. හෙළකුරු හරහා ඔබේ දත්ත Dark web එකට නිරාවරණය වී ඇත්නම් ඔබ Dark web search එකක් කළ පසු “Helakuru” නම search result එකෙහි දිස් විය යුතුයි. නමුත් එහි එවැන්නක් නොපෙන්වන බව ඔබටම පෙනෙයි. එනම්, හෙළකුරු හරහා ඔබේ දත්ත dark web එකට නිරාවරණය වීමක් සිදු වී නැති බව ඔබටම දැන් වැටහෙයි. එවන් දෙයක් සිදුවන්න හැකියාව ඇත්තේ අපගේ හෙළකුරු මෘදුකාංග පද්ධතීන් hack වීමකට ලක් වුනොත් පමණයි කියන එක මෙතෙක් වේලා ඉහත විස්තරය කියවා Dark web ගැන හරි හැටි දැනමුතුකම ලබාගත ඔබ දැන් දන්නවා. හෙළකුරු මෘදුකාංග පද්ධතීන් මෙතෙක් කිසිදා hack වීමකට ලක් වී නැති බව පමණක් වගකීමෙන් සඳහන් කරන්න පුළුවන්.
🔴 එහෙනම් හෙළකුරු සහ Dark web ගැන ගිය කතාව මොකද්ද?
පසුගිය වර්ෂයේ (2022) අප්‍රේල් මාසයේ අප ආයතනයෙන්ම සපයන වෙනත් සේවාවක් වන PayHere සේවාව අවාසනාවන්ත ලෙස hack වීමකට ලක්වුනා. එහිදී hackers ලා අතට පත්වුනු දත්ත ඔවුන් විසින් වරින් වල dark web එකට නිරාවරණය කරනවා. ඒ විදියට මේ වසරේ ජූලි මාසයේදී ඔවුන් නිරාවරණය කළ දත්ත එකතුවක් මේ වෙනකොට Google One සපයන Dark Web Search එකේ පෙන්වනවා. එය ජූලි මාසයේ සිට Dark Web Search එකේ පෙනුනත්, ඒ පිළිබඳ කතාබහක් ඇති වුනේ යම් අයෙකු විසින් හෙළකුරු ලාංඡනයත් සමඟ ඒ පිළිබඳ post එකක් facebook හි පළ කළායින් පසුවයි. එය පළ කළ කෙනා හෙළකුරු ලාංඡනය භාවිතා කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ “හෙළකුරු නිෂ්පාදනය කරන සමාගමේම වෙනත් නිෂ්පාදනයක් වන PayHere හරහා” dark web එකට දත්ත නිරාවරණය වී ඇති බව වුනත්, එම post එකේ හෙළකුරු ලාංඡනය සඳහන් වීම නිසා, ඉන්පසුව එය වැරදි ලෙස ප්‍රචාරය වුනේ හෙළකුරු නිසා සිදුවුනු දෙයක් ලෙසයි. මේ ගැන අප facebook post එක පළ කළ අයව දැනුවත් කර, ඔහුගේ post එකෙන් හෙළකුරු ලාංඡනය ඉවත් කර, එය නිවැරදි කරන්නට කටයුතු කළත්, ඒ වෙනකොටත් අවාසනාවන්ත ලෙස වැරදි ප්‍රචාරය බොහෝ දෙනෙකු විසින් share කර අවසන්. හෙළකුරු සහ Dark web ගැන අසත්‍ය ප්‍රචාරයක් පැතිරුණේ අන්න එහෙමයි.
🔴 PayHere hack වීමෙන් ඔබේ දත්ත dark web වෙත නිරාවරණය වුනාද?
මේ ගැනත් ඔබට Google One සපයන Dark web search පහසුකම හරහා දැනගන්න පුළුවන්. Dark web search එකේ පෙන්වන results අතර “PayHere” ලෙස result එකක් පෙන්වනවා නම්, ඉන් අදහස් වන්නේ ඔබේ දත්ත PayHere hack වීම හරහා dark web එකට නිරාවරණය වී ඇති බවයි. එයින් නිරාවරණය වී ඇත්තේ ඔබේ මොන දත්තද කියන එකත් ඔබට Dark Web Search එකෙන් බලාගන්න පුළුවන්. බොහෝ දෙනෙකුට එහි පෙන්වන්නේ Name, Email, Phone Number සහ Address යන පුද්ගලික දත්ත PayHere Data breach එක හේතුවෙන් නිරාවරණය වී ඇති බවයි. එම දත්ත වලට අදාළව ඉහතදී දැනුවත් කළ ආරක්ෂිත පියවර ගැනීමෙන් ඔබට එයින් සිදුවිය හැකි අපහසුතාවයන්ගෙන් මිදෙන්න පුළුවන්.
කෙසේ හෝ අසත්‍ය ප්‍රචාරයන් හි සඳහන් වූ පරිදි ඔබේ බැංකු කාඩ්පත් දත්ත PayHere hack වීම නිසාවත් dark web වෙත නිරාවරණය වී නොමැති බව ඔබට එයින් තහවුරු කරගන්න පුළුවන්. ඔබේ search result එකේ PayHere වලට අදාළව පෙන්වන්නේ මොන දත්තද කියලත් කැමතිනම් comment කරගෙන යන්න අනිත් අයටත් දැනගන්න.
🔴 PayHere ඔබ භාවිතා නොකළත් Dark Web Search එකේ දත්ත තියෙන්න පුළුවන්ද?
මෙය බොහෝ දෙනෙකුට මතු වී තිබුණු ප්‍රශ්නයක්. “මම PayHere කියලා එකක් use කරලා නැහැ, හෙළකුරු විතරයි use කළේ, ඒත් මගේ දත්ත Dark Web එකේ තියෙනවා” කියන එක. ඔබ දැනුවත්ව PayHere භාවිතා කර නොතිබුණත් බොහෝ විට ඔබ නොදැනුවත්ව PayHere payment gateway එක හරහා අන්තර්ජාලයේ කුමන හෝ website එකකට මුදල් ගෙවා තිබිය හැකියි. PayHere කියන්නේ ඇප් එකක් නෙමෙයි. එය අන්තර්ජාලයේ භාණ්ඩ හෝ සේවා අලෙවි කරන websites විසින්, ඔවුන්ගේ පාරිභෝගිකයින්ගෙන් Online Payments ලබාගන්න භාවිතා කරන payment gateway සේවාවක්. දැනට ලංකාවේ 5000 කට වැඩි websites ප්‍රමාණයක් Online Payments ලබාගන්න PayHere භාවිතා කරන නිසා, ඔබ website එකකින් යම් දෙයක් මිලදී ගැනීමේදී හෝ ඔබේ දරුවාගේ class fees Online ගෙවීමේදී බොහෝ විට PayHere payment gateway එක හරහා Online ගෙවීම් සිදුකර තිබෙන්න පුළුවන්. PayHere hack වීම හරහා dark web එකට නිරාවරණය වී ඇත්තේ ඔබ එවැනි අවස්ථාවල ලබා දුන් දත්තයි. Dark Web search එකේ පෙන්වන ඔබේ දත්ත අතර Address කියලා සඳහන් වෙනවා නම්, බොහෝ විට එය ඔබ අන්තර්ජාලයේ යම් භාණ්ඩ මිලදී ගැනීමක් කරන විට ලබා දුන් delivery address එක වෙන්න පුළුවන්.
🔴 PayHere සිදුවීමට අදාළව අපි ගත්තු පියවර මොනවද?
PayHere සේවාව අවාසනාවන්ත ලෙස hack වීමට ලක්වූ දවස්වලම අපි ඒ සම්බන්ධව විස්තරාත්ම Incident Report එකක් පළ කිරීම මඟින් ඊට අදාළ සියලු දෙනා දැනුවත් කරන්නට කටයුතු කළා. තවමත් අප යාවත්කාලීන කරමින් පවතින එම Incident Report එක ඔබට මෙතැනින් කියවන්න පුළුවන්: https://blog.payhere.lk/ensuring-integrity-on-payhere-cybersecurity-incident/.
ඒ වගේම එම සිදුවීම නිසා අපහසුතාවට පත්වූ සැමගෙන් අප නිහතමානීව සමාව අයැදීමටද කටයුතු කළේ මෙලෙසින්: https://blog.payhere.lk/an-apology-the-way-forward/.
ඉන් අනතුරුව අප එම සිදුවීම නිසා PayHere භාවිතා කළ කිසිවෙකුට මූල්‍ය හානියක් නොවන්නට අවශ්‍ය සියලු පියවර ගත්තා වගේම එවන් සිදුවීමක් යලිත් නොවන ලෙස අපගේ PayHere සේවාවේ දත්ත ආරක්ෂාව පසුගිය වසර පුරාම ජාත්‍යන්තරව පිළිගත් සයිබර් ආරක්ෂණ තාක්ෂණයන් යොදාගනිමින් අඛණ්ඩව වැඩිදියුණු කර, ඒ පිළිබඳව ස්වාධීන ආරක්ෂණ විගණනයක් (Independent Security Audit) හරහා තහවුරු කරගත්තා.
🔴 ඔබ හෙළකුරු භාවිතා කිරීම ආරක්ෂිතද?
හෙළකුරු සහ Dark Web සම්බන්ධව මෑතකදී ගෙනගිය ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙම දැනුවත්කිරීම මුල සිට අගට කියවූ ඔබටම දැන් වැටහෙනවා ඇති. ආයතනයක් ලෙස අප පසුගිය වසරේ PayHere සම්බන්ධයෙන් සිදු වූ අවාසනාවන්ත සිදු වීමෙන් උගත් පාඩම් ඇසුරින් හෙළකුරු ඇතුළු අපගේ සියලුම නිෂ්පාදනයන්ගේ දත්ත ආරාක්ෂාව තහවුරු කිරීමට සියලු තාක්ෂණීක පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අපගේ සියලු නිෂ්පාදන වල දත්ත ආරක්ෂාව ඉතාම ඉහළ තත්ත්වයක ඇති බව වගකීමෙන් ඔබට සහතික වෙන්න පුළුවන්.
හෙළකුරු වෙත ලබාදෙන ඔබේ පුද්ගලික දත්තවල සුරක්ෂිතතාවය අප තහවුරු කරන ආකාරය අපගේ හෙළකුරු FACTS හි (https://facts.helakuru.lk/security/personal-data) විස්තරාත්මකව සහ විනිවිදව අප සඳහන් කර තිබෙනවා වගේම හෙළකුරු Privacy Policy (https://www.helakuru.lk/privacy) හරහා ඒ වෙනුවෙන් අප නෛතිකව බැඳි සිටිනවා. ඒ නිසා අඛණ්ඩව ඔබට විශ්වාසයෙන් හෙළකුරු භාවිතා කරන්න පුළුවන්.
නවීන තාක්ෂණයෙන් ලෝකයත් එක්ක අපේ රට ඉස්සරහට අරගෙන යන්න, ඒ තාක්ෂණයෙන් මහජනයා සවිබලගන්වන්න, හෙළකුරු අපේ මෙහෙයුම අප ඉදිරියටම අරගෙන යනවා. ඒ අතරම ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය පසුගිය වසර 12 පුරාම අප රැකගත්තා සේම, ඉදිරියටත් ඒ විශ්වාසය අඛණ්ඩව රැකගැනීමට අප කැපවී කටයුතු කරනවා.
හෙළකුරු නිර්මාතෲ Dhanika Pereraගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් උපුටාගත් ලිපියකි. හිමිකම කතෲ සතුය.
Original Post Link : https://m.facebook.com/story.php?story_fbid=860853022147524&id=100046685032830&mibextid=Nif5oz
💙 මෙවන් පැහැදිලි කිරීමක් සිදු කිරීම සම්බන්ධව බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා… අප කවදත් හෙළකුරු සමඟින්…
මේ වගේ තවත් තොරතුරු බලන්න Business HUB Sri Lanka පේජ් එක ෆලෝ කරන්න…
Helakuru Logo & App Screenshot used for promotional and awareness purposes only.