Select Page
පියවරෙන් පියවර හෙමින් දියුණු වෙන්න

පියවරෙන් පියවර හෙමින් දියුණු වෙන්න

අපි ගොඩක් වෙලාවක කරන්නෙ Data නැති උණාම 49 වගේ කාඩ් එකක් දාගන්නවා, ඉතිං ඕකෙන් දවසක් හෝ දෙකක් යන්න පුළුවන් හන්දා ආයෙ Data ගැන අමතක වෙනවා, ඊළඟට ඔන්න ආයෙ Data ඉවරවෙලා කියල Message එකක් ආවම තව 49 එකක් හරි 99 එකක් හරි දාගෙන ඉන්නවා, ඔය දෙකම කරගන්න බැරි උණාම එක්කො Loan එකක් අරන් Data දාගන්නවා නැත්තං කෙලින්ම Data loan එකක්ම ගන්නවා..

අන්තිමට මාසෙ ඉවර වෙනකොට රුපියල් දාහකටත් එහා Data දාල ඒත් ඒ හැටි Data ලැබිලත් නෑ, මොකද ඔයා ටිකෙන් ටික දාල මිසක් ඒ හැටි වටින දෙයක් කරගෙන නෑ, ඒත් ඔයා වැඩිපුරම යන Website වලට අදාල Package එකකුයි රුපියල් 480ක වගේ Package එකකුයි ගත්ත නම් සෑහෙන සල්ලි ඉතුරුයි..

ගොඩක් මිනිස්සු හරි ආසයි ක්ෂණික දේවල් වලට, ඒ කියුවෙ ඉක්මනට කරගන්න පුළුවන් ලාබ දේවල් වලට මොකද ඒවට ඒ හැටි කැපකිරීමක් කරන්න ඕනෙ නෑනෙ, හැබැයි ඒ අය නොහිතන දේ තමයි ඔය ක්ෂණික දේවල් ඔක්කොම වගේම හරිම කෙටිකාලීනයි, ඒකෙ තේරුම එකම වියදම/මහන්සිය සෑහෙන වාර ගාණක් කරන්න ඕන..

හෘදයාබාධ වගේ දරුණු රෝග සුව වෙන්න හා පාලනයට විවිධ වර්ගයේ ප්‍රතිකාර තියෙනවා, ඒ අතරින් මුලටම එන්නෙ පෙති වර්ග කිහිපයක් දිගුකාලීනව පානය කරගෙන යන එක, ඒක ඒ හැටි ක්ෂණික විසදුමක් නොවුනට දිගුකාලීනව පාලනය වෙන්න ලොකු උදව්වක් වෙනවා, ඒත් එහෙම දිගුකාලීනව නොහිතන සමහර අය ඒකෙ උත්සන්න වෙද්දි බෙහෙතක් විදගන්නවා වගේ වැඩ කරනවා, හරියටම කෑම පාලනය කරන්න පුළුවන් කම තියෙද්දි ඒ ගැන සැළකිලිමත් නොවී අවසානයට අනවශ්‍ය ලෙස ඉන්සියුලින් විදගන්න වෙනවා වගේ, කෙටි කාලීන කැපකිරීම නැති හන්ද දිගුකාලීනව සෑහෙන දරුණු තත්ත්වයකට පත්වෙනවා…

ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෙ නම් මූලික Tenses 12යි, අනික් මූලික ව්‍යාකරණ පාඩමුයි දවසට වචන විස්සක් තිහක් එකසැරේ පාඩම් කරන්න නෙමෙයි ඕන, දිගුකාලීනව හිතලා දවසට වචනෙ දෙක ගාණෙ පාඩම් කරන ගමන් මාසෙට ව්‍යාකරණ පාඩම් තුනක් හතරක් ගාණෙ ඉගෙන ගන්න ඒක හොදටම ප්‍රමාණවත් අවුරුද්දකින් වගේ සෑහෙන ඉස්සරහට ගන්න…

“Live like you will die tomorrow and work like you will never die”

කියල කියන්නෙ ඒකයි…

හෙට මැරෙනවා කියල හිතන් ජීවත් උණාට කවදාවත් මැරෙන්න නෑ කියල මානසිකත්වය හදාගෙන ඉන්න වැඩ කරද්දි, අන්න එහෙමයි අනාගතයට වටිනා යමක් නිර්මාණය වෙන්නෙ…

කෙටිකාලීන ක්‍රම වලින් කෝටිපතියෙක් වෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා… දීර්ඝ කාලීන සැලැස්මක් ඇති Business HUB වගේ වැඩසටහනක් සමඟින් එකතුවෙලා ජීවිතය ජයගන්න…

පියවරෙන් පියවර හෙමින් දියුණු වෙන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ජීවිතය ජය ගන්න නම් කිසිම දේකට ප්‍රමාද වෙන්න එපා

ජීවිතය ජය ගන්න නම් කිසිම දේකට ප්‍රමාද වෙන්න එපා

දවසක් යාලුවෝ කට්ටියක් සත්තුවත්ත බලන්න ගියා. සත්තුවත්තේ හැම තැනම ඇවිදින අතරේ, මේ කට්ටිය අලි සදහා වෙන් කරලා තිබිච්ච කොටසටත් ගියා.

“අතන ඉන්න ඇතින්න අමාරුවෙන් වගේ ඉන්නේ” එක්කෙනෙක් කිව්වා.
“පුතා මේ ඇතින්නට පැටියෙක් ලැබෙන්න. අපිත් අද තමයි ඒක ගැන දැනගත්තේ.” සත්තු බලාගන්න මනුස්සයෙක් පිළිතුරු දුන්නා.
“එහෙනම් අපි ආපහු එනකොට අපිට අලි පැටියෙක් බලාගන්නත් පුලුවන් වෙයි “ළමයෙක් කිව්වා.

සත්තු වත්ත බැලුවට පස්සේ මේ ළමයා තමන්ගේ යාළුවන්ව ආච්චිගේ ගෙදරටත් එක්කගෙන ගියා.
“ආච්චි කෝ අද බ්‍රවුනි පේන්නවත් නෑනේ? ළමයා මේ ඇහුවේ ගෙදර ඉන්න බැල්ලිය ගැන.

මීට කලින් මේගොල්ලෝ ගෙදරට යනකොට ඉස්සරහට දුවගෙන එන බැල්ලියක් මේ ගෙදර ඉන්නවා. අද ඒ සතා පේන්න ආපු නැති නිසා තමයි ළමයා ආච්චිගෙන් ඇහුවේ.

“බ්‍රවුනී ට පැටව් හම්බවෙන්න ඉන්නේ. අර මේස යට නිදාගෙන ඉන්නවා.” ආච්චි කිව්වා.

“එහෙනම් අපිට ඊළඟ පාර ඇවිල්ලා බලු පැටව් ගෙදර අරගෙන යන්නත් පුළුවන්”
“බ්‍රවුනි ලස්සන නිසා ලස්සන පැටව් ටිකක් ඉදියි.” තවත් ළමයෙක් කිව්වා.

මාස හතරකට විතර පස්සේ දවසක් මේ කට්ටියගෙන් එක යාලුවෙක් මේ ළමයගෙ ගෙදරට ආවා.

“අපි ඔයාලගේ ආච්චිලගෙ ගෙදර යමුද? මට බලු පැටියෙක් ගන්න ඕනේ. එදා අපි යනකොට හම්බවෙන්න හිටපු පැටව් දැන් ටිකක් ලොකු වෙලත් ඇති” යාළුවා කිව්වා.

මේ වෙලාවේ මේ ළමයා හිටියේ කොහෙවත් යන්න තරම් හොඳ මානසිකත්වයකින් නම් නෙමෙයි. ඒත් යාලුවට බැහැ කියන්න බැරි කමට මෙයා යාලුවත් එක්ක ආච්චිගෙ ගෙදරට ගියා.මේ ගොල්ලෝ යනකොට ලස්සන බලු පැටව් තුන් දෙනෙක් මිදුලේ හිටියා.

” පැටව් හතර දෙනෙක් දැම්මා. එකෙක් මැරුණා. පුතාට කැමති එකෙක් මෙතනින් ගන්න. තව ටික දවසකින් ඇවිල්ල අරගෙන යන්න.” ආච්චි කිව්වා.

කැමති බලු පැටියෙක් තෝරගෙන මේ ළමයි දෙන්න ආපහු එන්න පිටත් වුණා. සත්තු වත්ත පහු වෙනකොට යාළුවා අනෙක් ළමයට කිව්වා සත්තුවත්තට යමු කියලා. යාලුවට බැහැ කියන්න බැරි කමට මේ ළමයා සත්තුවත්තටත් ආවා. වටේම ඇවිදලා අලි ඉන්න තැනට ආවහම මේ යාළුවා අලි බලාගන්න මනුස්සයාගෙන් ඇහුවා ඇතින්නට පැටව් හම්බ වුණාද කියලා.

” ඇතින්නට පැටවු හම්බ වෙන්න තව ගොඩ කාලයක් යනවා. සාමාන්‍යයෙන් ඇතින්නකට පැටව් හම්බවෙන්න මාස විසි දෙකක් විතර යනවා.”මේ මනුස්සය කිව්වා.

“මාස විසි දෙකක් කියන්න ලොකු කාලයක්. හැබැයි ඒ දවස්වලම පැටවු හම්බෙන්න ඉන්නවා කියලා දැන ගත්ත බැල්ලිට නම් දැන් පැටවු ගොඩක් හම්බ වෙලා. මාස විසි දෙකක් යද්දී ඌට තව ගොඩක් පැටව් හම්බ වෙයි” මේ ළමයා කිව්වා.

“ඔව් . ඒකනේ ඉතින් මේ සත්තුන්ගේ වෙනස, ඇතින්නක් පැටව් දාන්නෙ අවුරුදු දෙකකට සැරයක්. ඒ දාන්නෙත් ගොඩක් වෙලාවට එක පැටියෙක් විතරයි. ඒකනෙ අලි ඇත්තු මේ තරම් වටිනාකමක් තියෙන සත්තු වෙලා තියෙන්නෙ”. ඒ මනුස්සයා පිළිතුරු දුන්නා.

“එහෙනම් අපි තව අවුරුදු එකහමාරකින් විතර එන්නම්” යාලුවෝ දෙන්න ආපහු පිටත් වුණා.

“අද මාත් එක්ක ඇවිදින්න ආවට ඔයා ඉන්නේ අවුලකින් නේද?” යාලුවා මේ ළමයගෙන් ඇහුවා
“ඇත්තටම ඔව්. ඔයාට බැහැ කියන්න බැරි කමට තමයි මම ආවෙත්”. අනිත් ළමයා උත්තර දුන්නා

“මම ඒක දැනගෙන හිටියා. ඇත්තටම මට බලු පැටව් ගන්න ඕන කමක් තිබුනෙත් නැහැ. සත්තු වත්තට යන්න ඕන කමක් තිබුනෙත් නැහැ”.
“එහෙනම් මොකටද ඔයා ආවේ” මේ ළමයා ඇහුවා.

“මම දැනගත්තා ඔයා ඉන්නේ ප්‍රශ්නෙක, කලකිරීමකින් කියලා. මට ඔයාට දෙයක් තේරුම් කරන්න ඕන වුණා. ඒකයි කතා කරන්න ආවෙ”

“ඔව්. මම ගොඩක් දේවල් කරන්න උත්සාහ කළා. හැබැයි මම බලාපොරොත්තු වෙන සාර්ථකත්වය මට තවම ලැබුණේ නැහැ . මම ගොඩක් කාලයක් තිස්සේ උත්සාහ කරනවා, හැබැයි මට වඩා අඩුවෙන් උත්සාහ කරපු අයත් මේ වෙද්දි ගොඩක් සාර්ථක වෙලා තියෙනවා . මම තාමත් බලාගෙන ඉන්නවා . මට දැන් මාවම එපාවෙන ගතියක් තියෙන්නෙ”. මේ ළමයා උත්තර දුන්නා.

” මට ඒක තේරුනා. ඒත්, ඔයා ඔහොම හිතුවට, ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දැන් ටිකකට කලින් ඔයාගෙන් ම කියවුණා” යාලුවා කිව්වා.

“මොකක්ද?”

“ඔයාට මතකද සත්තු වත්තේ හිටපු මනුස්සයා කිව්වා ඇතින්නට පැටවු හම්බවෙන අවුරුදු දෙකකට සැරයක් කියලා. ඒ වගේම ගොඩක් වෙලාවට ඒ හම්බ හම්බවෙන්නෙත් එක පැටියෙක්ලු. ”

“ඉතිං ?”

“ඒ වෙලාවේ ඔයා කිව්වා, හැබැයි බැල්ලියෙක් අවුරුද්දකට තුන් පාරක්වත් පැටවු දානවා. ඒ වගේම එක සැරේකට පැටවු හතර පස් දෙනෙක්වත් දානවා කියලා .”

“ඔව් ඉතින්?”

“මේ සත්තු දෙන්නටම තම තමන්ට ආවේනික වෙච්ච දේවල් තියෙනවා. එකිනෙකාට පැටව් ලැබෙන්න ගතවෙන වෙනස්ම කාලයක් තියෙනවා.

ටිකක් හිතන්න, බලු පැටව් ඕන තරම් ඉන්නවා. හැම තැනකම ඉන්නවා. හැබැයි අලියෙක් කියන්නේ ගොඩක් විශේෂ සතෙක්. අලි හැමතැනකම නැහැ.

බලු පැටියෙක් පාරේ ගියා කියලා ගොඩක් මිනිස්සුන්ගෙ අවධානය යොමු වෙන්නෙ නැහැ. මිනිස්සු බලන්නෙත් නැහැ. ඒත් අලියෙක් පාරේ යද්දි කොච්චර මිනිස්සු බලනවද, ඒ සතා කොච්චර වටිනවා කියලා හිතනවද, ඒ වගේ සතෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක් කියලයි මිනිස්සු හිතන්නේ.

ඇතින්නකට පැටියෙක් හම්බ වෙන්න ලොකු කාලයක් යනවා. අවුරුදු දෙකක් පුරාවට ලොකු ඉවසීමකින් බලන් ඉන්න වෙනවා මේ සතාට ජීවිතය දෙන්න. හැබැයි එහෙම අවුරුදු දෙකකට පස්සේ එලිය දකින සතා, අර මාස ගානෙන් ගානට ඉක්මනින් හම්බවෙන බලු පැටවුන්ට වඩා ගොඩක් විශේෂයි.

ජීවිතයේ හොඳ දේවල්වලට, විශේෂ දේවල්වලට, වටිනා දේවල්වලට කාලයක් යනවා.
හැබැයි ඉවසීමක් නැති කෙනෙක් නම්, අවබෝධයක් නැති කෙනෙක් නම්, එයා බැල්ලියක් දිහා බලලා සංසන්දනය කරලා හිතන්න පුළුවන්, මේ සතාට කොච්චර ඉක්මනට පැටව් හම්බවෙනවද, ඒ වගේම කොච්චර පැටව් ගොඩක් හම්බවෙනවද, ඒක කොච්චර හොඳයිද, එහෙම බලද්දි ඇතින්නියකට පැටව් ලැබෙනකම් බලාගෙන ඉන්න එකත් මහා එපා වෙන වැඩක් කියලා.

අපේ ජීවිතයත් එහෙමයි. අපි එක් එක්කෙනාට ජීවිතේ දේවල් ලැබෙන්න, සාර්ථක වෙන්න, බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ගත වෙන්නේ විවිධ කාල සීමාවන්.
මගේ ජීවිතයේ මට ඉක්මනින් ලැබෙන දෙයක්, ඔයාගෙ ජීවිතේ ඔයාට පහුවෙලා ලැබෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒක පහුවෙලා ලැබුනට, ඒ දේ මට ලැබුන දේට වඩා වටින, හැමෝටම ලැබෙන්නැති, හැම තැනකම දකින්න නැති දුර්ලභ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් තමන් ගැන කලකිරෙන්න වත් උත්සාහය අත්හරින්න වත් එපා.” යාළුවා කිව්වා…

ජීවිතය ජය ගන්න නම් කිසිම දේකට ප්‍රමාද වෙන්න එපා..

උත්සාහය , කැපවීම අත්හරින්න එපා…ජීවිතය දිනන්න කරන්න ඕන දේ අදම කරන්න හෙටට කල් දාන්නත් එපා.. නැත්නම් ඔබට පසු තැවීමට හේතු වේවි….

Business HUB Page එකටත් කෙනෙක් ආවහම පහුවදා උදේට බැංකුවට සල්ලි එන ආදායම් ක්‍රම සොයනවා. නමුත් බොහොමයක් අය තේරුම් ගන්නේ නෑ පියවරෙන් පියවර උගන්වන දේවල් ඉගෙන ගෙන තමයි දියුණු වෙන්න ඕන කියන එක. එක රැයෙන් ලක්ෂපතියෝ වෙන්න උගන්වන පේජ් වල මිනිස්සු ලක්ෂ ගණන් එකතුවෙනවා. නමුත් හරි විදිහට දියුණු වෙන්න උගන්වන අපේ පේජ් එකට මිනිස්සු එකතු වෙන්නේ හරිම අඩුවෙන්… මිනිස්සුන්ට වටිනාකම් තේරුම්ගන්න කාලය යනවා…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

සතුටින් ජීවත් වෙන්න

සතුටින් ජීවත් වෙන්න

සතුටින් ජීවත් වෙන්න. ..

1. හැකි සෑම විටම පින් දහම් කරන්න……

පින් කරන්න කොහෙන්ද සල්ලි කියලා මගෙන් අහන්න එපා. සල්ලි නැතුව පින් කරන්න පුළුවන්. පින් කරන්න පංසල් යන්න ඕනමත් නෑ. අපි හැමදාම පුරුද්දක් විදියට තුන් වේල කෑම හදනවා නේද ? ඔබ මොහොතකටවත් හිතුවද අපි කොයිතරම් ප්‍රමාණයක් කෑම අපතේ යවනවද කියලා.. කුණු බාල්දිය කෑම වලින් පිරෙනවා..නමුත් පුංචි කුරුළු ලෑල්ලක් හදලා ඒකට ඔය කෑම ටික දාන්න බැරිද අපිට.. කුරුල්ලෝ ලේන්නු ඇවිත් ඒ කෑම කනවා බලලා ඒ විදින සතුට සල්ලි වලට ගන්න බෑ..

හැමදාම නැතත් අපේ ගෙවල් වල වෙනස් කෑම හදනවානේ. .. ඒවා තනියම නොකා හැම විටම බෙදා ගෙන කන්න. ඒක පුදුමාකාර සතුටක්..අපි දරුවන්ට කොයි තරම් වියදම් කරනවද දරුවෝ ඉල්ලන දේ දෙන්න. .අපි හැම වෙලේම උත්සහ කරනව ඒ දේවල් අපේ දරුවෝ වෙනුවෙන් දෙන්න…

අන්න ඒ වෙලාවට ගමේ පංසලේ පොඩි හාමුදුරුවෝ මතක් වෙන්නේ නැද්ද ? ගමේ දුප්පත් දරුවෙක් මතක් වෙන්නේ නැද්ද? තමන්ගේ දරුවන්ගේ සාර්ථකවත්වය ප්‍රාර්ථනා කරලා ඔවුන් වෙනුවෙන් පුංචි පොතක් පෑනක් දුන්නා කියලා අපි දුප්පත් වෙන්නේ නෑ. තව වැඩි වැඩියෙන් ලැබෙනවා….. නිදහස් වෙලාවක ගිහින් පංසලේ බෝ මළුව අමදින්න…. හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්…ඒ වගේම ඔබ අත් කර ගන්නේ ආනිසංස ලබන පිනක්….. බස් එකේ යද්දි පෙම්වතුන් හමුවෙනවා නේද ? දෙන්නම හිටගෙන කතා කර කර ගිහින් සීට් එකක් හම්බවුනොත් පිරිමි ළමයා ගෑනු ළමයාට කියනවා වාඩි වෙන්න කියලා…එතන එහා පැත්තේ ඉන්නේ ඔයා නම් අනේ තමන් නැගිටලා අර පිරිමි ළමයාට ඔයාගේ තැන දෙන්න…. ඒකත් හිතක් සුවපත් කිරීමේ මහා පිණක්… අනවබෝධය නිසා බිදිලා යන පවුල් ජීවිත කොයි තරම් තියෙනවද ? ඔබ දන්න හදුනන යහළු යෙහෙලියන් ඇති ඕන තරම්…. ඒ වගේ වෙලාවක දෙන්නා ව තවත් කොටවන්නේ නැතුව අවබෝධ කරල දීලා සමගි කරන්න බලන්න… ඒ වගේම ඔබට හමුවෙන හොද වෛද්‍යවරුන් , ජ්‍යොතිෂවේදීන්,වෙදමහත්වරු ,නීතිඥයින් වැනි දැවෙන සිත් වලට සහන සලසන පුද්ගලයන් ගැන නොමිලේ තම සේවය ලබා දෙන මිනිස් සම්පත් ගැන අන් අයවත් දැනුවත් කරන්න. හැකි සෑම විටම අනිත් අයට උදව් කරන්න….

මේ වගේ පුංචි දේවල් කරන්න අපිට ලොකුවට සල්ලි වියදම් වෙන්නේ නෑ. තව ටිකක් හිතන්න මේවනි සුළු සුළු පිං රැස් කරලා දෙන දේ කොපමණ මේ විශ්වය තුළ ඇතිද කියලා. කරන්න දේවල් කොච්චර තියෙද්දි ද අපි බලන් හිටියේ කියලා තමන් ම පොඩ්ඩ්ක් හිතලා බලන්න.

පිං කරන්න ඕන ලෝකේ ට පේන්න දහස් ගනන් වියදම් කරලා නෙමෙයි… සෝබනේට පිං කරලා ආනිසංස බලාපොරොත්තු වෙන්න එපා…..

2. හැකි සෑම විටම පවුලේ අයත් එක්ක ඇවිදින්න යන්න.

ඕවට කොහෙන්ද සල්ලි කියලා අහන්න එපා..හැමදේටම සල්ලි ඉස්සරහට දාලා ජීවිතය දිහා බලන්න එපා…. ඔබේ සැමියා , බිරිද දරුවන් සමගින් බහින්න ගෙදරින් එළියට….තුන් හතර දෙන්නා එක්ක මහ පාරදිගේ හරි ටිකක් දුර යන්න. .. අතරමගදි හමුවෙන පෙට්ටි කඩේකින් හරි වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න. … නැත්තන් පොඩි දරුවන් එක්ක අයිස් පැකට් එකක රස බලන්න…. පයින් යන ගමන් වට පිටාව ගැන අවදානය දෙන්න…. ගිමන් නිවා ගන්න පාර අයිනේ ගල් බංකුවක් උඩ හරි වාඩි වෙලා මොහොතක් ඉන්න…. ඔබේ ආදරණීයයන් සමග නිදහස් පරිසරයේ පයින් ඇවිද යන්න ඔබට මහා වියදමක් යන්නේ නෑ….

3. රහසින්වත් පව් නොකරන්න.

ඔන්න එතනදි කියයි අනේ අපි පව් කරන්නේ නෑ කියලා.. හදවතට එකගවම හිතන්න අපි කොයිතරම් බොරු කියනවද ? හිස් වචන කියනවද ? අනුන්ට ඊර්ෂ්‍යා කරනවද ? අනුන්ගේ දුක දැකලා හොද වැඩේ කියලා හිතනවද ? ඇයි අපිට ඇත්ත කියන්න බැරි. බොරු කියලා ඒ බොරුව වහගන්න උත්සහ කරනවට වඩා දඩුවමක් විදින්න හරි ඇත්තම කියමු.. ඒ වෙලාවට ඒක දුකක් වෙයි… ඒත් පසුකාලීනව එය සතුටු වෙන්න හොද අවස්ථාවක් වෙයි. අනුන්ගේ දියුණුවේදී හදවතින්ම ආශිර්වාද කරන්න එයින් සතුටක් විදින්න. අනුන්ගේ දුකකදී පිහිට වෙන්න එයා ඔයාට තෑන්ක්ස් කරත් නැතත් කමක් නෑ තමන් උදව් කරලා සතුටු වෙන්න…..

4. සුහදත්වය

මෙය බොහෝ දෙනෙක් හිතුවත් අපහසු දෙයක් කියලා හරි පහසුයි. හැමදාම උදේ ට රෑට ගුඩ්මෝනින් ගුඩ් නයිට් කියන්න අපිට වෙලාව නෑ තමයි. නමුත් අපි අනිත් අයට ආමන්ත්‍රණය කරද්දි ඒ අයට ආදරණීය ලෙස කතා කරමු. හිනාවෙද්දි අවංකව සිනාසෙමු. හදවතින්ම අනිත් අයට ආශිර්වාද කරමු. උදව්වක් කලොත් දෙපාරක් නොසිතා ස්තුතියි කියලා කියන්න එහෙම කියද්දි තරාතිරම බලන්න එපා. අපිට හමුවන ආයතන සේවකයින් සියළු දෙනාට සෙසු සමාජයේ සියළු දෙනාට හිනාවකින් සංග්‍රහ කරන්න. ….පුදුමාකාර වටිනා අවස්ථා ඒ ඔස්සේ ඔබට ලැබේවි. ගෙදරට එන අමුත්තන්ට පුළුවන් උපරිමයෙන් සලකන්න.විවේකයක් ලැබුනහම ගමේ දුප්පත් ගෙදරකට ගොඩවෙලා කතා කරන්න..විවේක වෙලාවට පුංචි දරුවොත් එක්ක ඉන්න. යාළුවොත් එක්ක ඕප දූප කියන වෙලාවේ එයාලත් එක්ක හොද මතක හිටින වැඩක් කරන්න… සතුට ඔයාව සොයා ගෙන එයි….

5. මුදල් ජීවිතය කර නොගන්න.

ජීවත් වෙන්න මුදල් අවශ්‍ය බව සැබෑවකි. නමුත් ජීවත් වන්නේ මුදල් උපයන්නට ම නොවේ…..
එවිට ඔබට විදින්න දුන් ජීවිතය විදවන්නට සිදු වේ. මුදලටම යට නොවී කෙනෙකුට ඔබේ සේවාව, උදව්, උපකාර අවශ්‍ය විට ලබා දෙන්න. විදවන ජීවිතයකට අස්වැසිල්ලක් ලබා දෙන්න ඔබට හැකි වේවි….

6. කාලය කළමණාකරනය කර ගන්න.

හැමෝටම ඇති ප්‍රබල ම ගැටළුව අපිට කොහෙන්ද ඕවට වෙලාවක් යන්නයි. වෙලාව අපිට අවැසි පරිදි හැසිරවීමට මුලින්ම ඉගෙන ගන්න.. කාලසටහනකට අනුව වැඩ කරන්න. පුංචි පුංචි වැඩ දරුවන්ට බෙදලා දෙන්න. තමන්ගේ සියළු වැඩ කටයුතු කර ගැනීමට දරුවන්ට උගන්වන්න. සැමියා උපක්‍රමශීලීව තමාගේ වැඩ වලට හවුල් කරගන්න…

දුරකථන ඇමතුම් වලට යොදවන කාලය අඩු කරගන්න. මිලදී ගන්නා සියළු දේට එක දවසක් වෙන් කරගන්න. කෙටි ක්‍රම සහ විධි භාවිත කරන්න.එක වර වැඩ කිහිපයක් කරන්න. අනවශ්‍ය රූපවාහිනී වැඩ සටහන් නැරඹීම සීමා කරගන්න. සතුටු විය හැකි සියළු අවස්ථා මග නොහැරගන්න..

7. ඔබ ඔබම වන්න.

අනුකරණයට ගැති වූ විට අපිට අපි විය නොහැක.. අල්ලපු ගෙදරට ගන්නා සියලු දෙය අපට අවශ්‍ය නැත. අපේ ආර්ථික පසුබිම සමාජ පසුබිම හදුනාගෙන ජීවත් වෙමු එවිට ඔබ තුලින් ඔබ හමුවෙයි.

8. අසාර්ථකත්වයත් ශක්තියක් කර ගන්න…

මේ කතාව කියවා හොදින් අවබෝධ කර ගන්න….

ඉතා දීප්තිමත් පිරිමි ළමයෙක් සිටියා , ඔහු අධ්‍යාපන කටයුතු වලදි සෑම විටම විද්‍යාවට ලකුණු 100% ක් ලබා ගත්තා.
MBA සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් උණා. පසු කලෙක ඇමරිකාවේ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා එහි පදිංචි වුණා.

ලස්සන කෙල්ලෙක් එක්ක විවාහ වුණා. කාමර 5 ක විශාල නිවසක් සහ සුඛෝපභෝගී කාර් මිලදී ගත්තා. ඔහු සාර්ථක කරවන සෑම දෙයක්ම ඔහු සතුව තිබුණද මීට වසර කිහිපයකට පෙර ඔහු සිය බිරිඳට හා දරුවන්ට වෙඩි තබා සියදිවි නසා ගත්තා..

වැරැද්ද කුමක්ද?

කැලිෆෝනියාවේ සායනික මනෝවිද්‍යා ආයතනය ඔහුගේ නඩුව අධ්‍යයනය කළ විට…

“වැරැද්ද කුමක්ද?”

පර්යේෂකයාට පිරිමි ළමයාගේ මිතුරන් හා පවුලේ අය මුණගැසුණු අතර මෑත ඇමරිකාවේ ආර්ථික අර්බුදය (COVID 19 වසංගතය) හේතුවෙන් ඔහුට රැකියාව අහිමි වූ බව සොයා ගත් අතර ඔහුට මාස කිහිපයක් රැකියාවක් නොමැතිව නිවසට වී සිටීමට සිදුවිය.

ඔහුගේ කලින් වැටුප් මුදල අඩු කිරීමෙන් පසුවද ඔහුට රැකියාවක් නොලැබුණි.

එවිට ඔහුගේ නිවාස වාරිකය බිඳී ගිය අතර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට නිවස අහිමි විය.

ඔවුන් මාස කිහිපයකින් අඩු මුදල් වලින් දිවි ගලවා ගත් අතර පසුව ඔහු සහ ඔහුගේ බිරිඳ සියදිවි නසා ගැනීමට තීරණය කළහ.

ඔහු මුලින්ම තම බිරිඳට හා දරුවන්ට වෙඩි තබා පසුව වෙඩි තබා ගත්තේය.

පර්යේෂකයන් නිගමනය කළේ. .

මෙම පුද්ගලයා සාර්ථකත්වය සඳහා හැඩගැසී ඇති නමුත් ඔහු අසාර්ථකත්වය හැසිරවීමට පුහුණු වී නොමැති බවයි…

දැන් අපි ඇත්ත ප්‍රශ්නයට පැමිණෙමු.

ඉතා සාර්ථක පුද්ගලයින්ගේ පුරුදු මොනවාද?

හොඳම සාර්ථක පුරුද්ද වන්නේ….

අසාර්ථකත්වය හැසිරවීම සඳහා පුහුණුව ලබා ගැනීමයි. …

අසාර්ථකත්වය ක්‍රමානුකූලව හසුරුවා ගන්නා පුද්ගලයින් තුළ සෑම ගැටළුවකට ම මුහුණ දීමට ශක්තියමත් මනසක් ඇත….

“සාර්ථකත්වය යනු පිළිකුල් සහගත ගුරුවරයෙකි….”

එම ගුරුවරයා ගුරුමුශ්ටි නොතබාම අසමත් වීම තුළින් ඔබට තවත් බොහෝ දේ උගන්වයි……

විදවන ජීවිතය විදීමක් කර ගන්න නම් ඔබේ ජීවිතය ක්‍රමානුකූලව හැසිරවීමට පුහුණු වෙන්න….

සතුටින් ජීවත් වෙන්න…

සාර්ථක වෙන්න මග පෙන්වන අපේ පේජ් එක නිරතුරුවම බලන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

කැපවීම මහන්සිය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න

කැපවීම මහන්සිය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න

උගත්කමින් පිරිපුන් තරුණයෙකු දැවැන්ත සමාගමක කළමනාකාර තනතුරකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඔහු ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික සමකළ හැකි කිසිවෙක් එතැන වෙන හිටියේ නෑ. ඒ නිසා ඔහු පළමු වැනි පරීක්ෂණයෙන් ඉහළින් ම සමත් වුණා…..

අවසාන සම්මුඛ පරීක්ෂණය කළේ ඒ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයායි.

ඔහු තරුණයාගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු විස්තරය දුටු ගමන් ම ඔහු ගැන පැහැදුණා. තරුණයාගේ අධ්‍යාපනික සුදුසුකම් හැම එකක් ම අනභිභවනීය බව පැහැදිලිව ම පෙනුණා. ද්විතීයක පාසල් අධ්‍යාපනයේ සිට පශ්චාත් උපාධි පර්යේෂණය දක්වා සෑම වසරක ම ඉහළ ම ලකුණු නොලද කිසි අවස්ථාවක් ඔහුගේ අධ්‍යාපනික තොරතුරු අතර සොයා ගන්නට තිබුණේ නැහැ. ඉතාම අඩු වයසකදී ඔහු අනෙක් හැමදෙනාටම වඩා ඉදිරියෙන් සිටිය බව කළමනාකාර අධ්‍යක්ෂවරයාට පෙනී ගියා….

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඒ සියල්ල නිරීක්ෂණය කර අන්තිමේ දී ප්‍රශ්නයක් ඇහුවා.

‘ඔබට පාසලේ අධ්‍යාපනය ලබද්දී මොන යම් හෝ ශිෂ්‍යත්වයක් ලැබුණාද ?’

‘නැහැ’ තරුණයා උත්තර දුන්නා…..

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා….

‘ඔබේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය වියදම් දැරුවේ පියාද ?’

‘නැහැ. මට අවුරුද්දක් වෙද්දී මගේ පියා මිය ගියා. අම්මා තමයි මගේ අධ්‍යාපනයට අවශ්‍ය වියහියදම් සපයා දුන්නේ !’ තරුණයා කීවා…

‘ඔබේ අම්මා කළ රැකියාව කුමක්ද ? ‘කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇසුවා.

‘මගේ අම්මා රැකියාව විදියට කළේ රෙදි සේදීමයි.’ තරුණයා පිළිතුරු වශයෙන් කීවා….

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊළඟට තරුණයාට ඔහුගේ දෙ අත්ල දිග හැර පෙන්වන්නැයි කීවා….

තරුණයා දෑත් දිගු කොට අද අත්ල විදහා කළමනාකාර අධ්‍යක්ෂවරයාට පෙන්නුවා. ඒවා ඉතා පිරිසිදුවට, සුමටව හා මුදු මොළොක්ව තිබෙනු කළමනාකාර අධ්‍යක්ෂවරයා දුටුවා….

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊළඟ ඇහුවේ මෙහෙම ප්‍රශ්නයක්. ‘ඔබ මීට කලින් කවදා හරි දවසක ඔබේ මවට රෙදි සෝදන්න උදවු වෙලා තියෙනවාද ?’

තරුණයා ඊට දුන්නේ මේ විදියේ උත්තරයක්. ‘කවදාවත් නෑ. මගේ අම්මාට හැමදාමත් ඕනෑ වුණේ මං වඩාත් හොඳින් අධ්‍යාපන කටයුතුවලට යෙදෙනවා දකින්නයි. හැම තිස්සේ ම මාව යොමු කළේ පාඩම් කරන්නයි, පොත් කියවන්නයි විතරයි. අනික් අතට මට වඩා ඉක්මනට රෙදි හෝදන්න අම්මට පුලුවන්…’

කළමනාකාර අධ්‍යක්ෂවරයා තරුණයා දෙස බලා මෙහෙම කිව්වා. ‘මං ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අද ඔබ ගෙදර ගියාම ඔබේ අම්මා ළඟට ගිහින් ඇගේ අත් දෙක පිරිසිදු කරන්න. එහෙම කරලා හෙට උදේ ඇවිත් මාව හම්බවෙන්න…..’

කළමනාකාර අධ්‍යක්ෂවරයා තමා හා සුහදව කතා කළ නිසා රැකියාව ලැබෙතැයි විශ්වාසයක් තරුණායා තුළ ඇති වුණා. ඔහු සතුටින් ගෙදර ගොස් මවට සම්මුඛ පරීක්ෂණය ගැන කියා ඒ කළමනාකාර අධ්‍යක්ෂවරයා කරන්න කියූ දේ අම්මාට කීවා. ‘අම්මා මට ඔයාගේ අත් පිරිසිදු කරන්න දෙන්න !’

අම්මාට මහ අමුත්තක් දැනුණා. සතුටක් වගේ ම දුකකුත් ඇතිවුණා. ඒ මිශ්‍ර හැඟීම් එක්ක ඇය පුතා දෙසට දෑත දිගු කර ගෙන හිටියා….

තරුණයා හෙමින් හෙමින් අම්මාගේ දෑත් පිරිසිදු කරන්න පටන් ගත්තා. ඔහු එය කරද්දී ඔහුගේ කඳුළු බිඳුවක් අම්මාගේ අල්ලකට වැටුණා. පළමුවන වතාවටයි ඔහු දුටුවේ, අම්මාගේ අත්ල රැලි වැටී ඇති බව. ඇගේ අතේ කරගැට වගේම දිය පට්ටාත් මතු වී තිබුණා. සීරුම් තුවාල තිබූ තැන් වතුරෙන් පිරිසිදු කරන විට ඇය වේදනාවෙන් වෙවුලා ගිය බව ඔහුට දැනුණා….

එදා තමයි, මුල්වරට, තරුණයාට අවබෝධ වුණේ මවගේ මේ අත් දෙක නේද, දිනපතා රෙදි සෝදමින්, ඔහුගේ පාසල් කටයුතු සඳහා වියහියදම් සපයන්න උදවු වුණේ කියා. ඔහුට උසස් අධ්‍යාපනය සරිකර, සාර්ථක අනාගතයක් ලබාදීමට හිලවු වශයෙන් අම්මාට පෙරළා ලැබු‍ණේ ඇගේ අත්ලේ වැටුණු රැලි, කරගැට හා සීරීම් බව තරුණයාට හොඳටම තේරුණා….

අම්මාගේ දෑත් සෝදා පිරිසිදු කළ තරුණයා හෙමින් සීරුවේ එදා අම්මාට සේදීමට ඉතිරිව තිබූ රෙදි ටිකත් සෝදා දැම්මා….

එදා රෑ අම්මාත් පුතාත් වෙන කවරදාත් නොවූ විදියට බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටියා……

පසුවදා උදෙන් ම තරුණයා කළමනාකාර අධ්‍යක්ෂවරයා සොයා ගියා. තරුණයාගේ ඇස් කඳුළින් පිරී තිබෙනු කළමනාකාර අධ්‍යක්ෂවරයා දුටුවා……..

‘මට කියන්න ඔබ ගෙදර ගිහින් මොකද කළේ. ඒවගේම ඔබ ඊයේ ගෙදරදී ඉගෙන ගත් දේ මොනවද කියලා’ කළමනාකාර අධ්‍යක්ෂවරයා සන්සුන්ව ඇසුවා……

තරුණයා මෙහෙම පිළිතුරු දුන්නා. ‘මං අම්මාගේ දෑත් පිරිසිදු කළා.ඊට පස්සෙ ඉතිරිව තිබූ රෙදි සියල්ලත් පිරිසිදු කළා….’

‘දැන් මට කියන්න ඒ වෙලාවේ ඔබට ඇති වෙච්ච හැඟීම්, වගේ ම ඉගෙන ගත්තු දේ ගැන.’ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියා…..

තරුණයා මෙහෙම කීවා. ‘මං වැදගත් කරුණු තුනක් ගැන ඉගෙන ගත්තා……

අංක 1- මං දැන් දන්නවා සේවය ඇගයීමේ වැදගත්කම ගැන. මගේ අම්මා නොහිටින්න මට මේ තරම් තැනකට එන්න කිසිදාක ලැබෙන්නේ නැහැ….

අංක 2 – අම්මත් එක්ක එකතු වෙලා වැඩි කිරීමෙනුත්, අම්මාගේ වැඩට උදවු වීමෙනුත් මට අවබෝධ වුණා, යමක් කරන එක කොයිතරම් අමාරු දෙයක්ද කියලා…..

අංක 3 – මට දැන් හොඳින් ම වැට‍ෙහනවා පවුල් සබඳකම්වල තියෙන වටිනාකම ගැන…..’

කළමනාකාර අධ්‍යක්ෂවරයා අවසාන වශයෙන් කීවේ මෙහෙම දෙයක්. ‘මට ඕනෑ වුණේ ඔන්න ඔය අවබෝධය තියෙන කෙනෙක්, මගේ කළමනාකාරයා හැටියට. මට ‍බඳවා ගැනීමට අවශ්‍ය වුණේ,

අනික් අයගෙන් ලැබෙන උදවු අගය කරන, වැඩ නිම කරන්න අනෙක් අය දරන වෙහෙස ගැන දැනුමක්, අවබෝධයක් තියෙන, ජීවිතයේ එකම අරමුණ මුදල් හම්බ කිරීම නොවන බව තේරුම්ගත් අයෙක්……

අපි මහන්සි වෙලා Business HUB පේජ් එකේ ලියන පෝස්ට්/ලිපි සල්ලි, තෑගි, දීමනා ලැබෙනවට නෙමේ එහි අන්තර්ගතය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න… අපගේ කැපවීම මහන්සිය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න. පුංචිම පුංචි ලයික් එකක්, කමෙන්ට් එකක් ඔබගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ. නමුත් අපේ ජීවිතය වෙනස් කරාවි.

දිනකට පැය 18ක් තම ආයතනයේ සාමාජිකයින් වෙනුවෙන් වෙහෙසෙන නායකයකු ඔබට කවදවත් නොලැබෙනු ඇත.

සමහර අවස්ථා වලදී කුසට අහරක් නැතිව, දෑතට විවේකයක් නැතිව, දෑසට වේදනා දෙමින් නිදි මරමින් වෙහෙසෙන්නේ ඔබට රුපියලක් හෝ හම්බකර දෙන්නටය. ඔබව වැටෙන්නට නොදී නැගිටින්නට සහයක් වෙන්නට…

මේ අවස්ථාවේ වුවද මාගේ වාහනය හදිසි අනතුරකට භාජනය වී තිබියදීත් වේලාව සොයාගෙන ඔබ වෙනුවෙන් ලිපි පළකරන්නේ එකදු දවසක් හෝ නාස්ති නොකර ඔබව දියුණුව කරා යෑමට මග පෙන්වීමක් අවශ්‍ය නිසාය. ඔබේ ලයික්, කමෙන්ට් වලින් අපට ලාභයක් නොමැත. නමුත් අවබෝධයෙන් කියවීම තුළින් ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් වේවි.

එම කැපවීම අගය කරන්න උත්සාහ කරන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

තමන්ගෙ සාර්තකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න දුක් විදින්න අපි පුරුදු වෙමු

තමන්ගෙ සාර්තකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න දුක් විදින්න අපි පුරුදු වෙමු

සාමාන්‍යයෙන් රාජාලියෙක්ගේ ආයු කාලය අවුරුදු අවුරුදු හැත්තෑවක්. නමුත් අවුරුදු හැත්තෑවක් ජීවත් වෙන්න නම් මේ සත්වයාට ජීවිතය අතරමැදදි ඉතාමත් වේදනාකාරී අපහසු තීරණය ගන්න සිද්ධ වෙනවා. රාජාලියා වයස අවුරුදු 40 විතර වෙද්දි උගේ දිග නියපොතු ඉදිරියට නැමිලා ගොදුරු ඩැහැ ගන්න බැරි වෙනවා. තියුණු හොටේ වැඩිලා ඉදිරියට වක් වෙනවා. පිහාටු වල ඝනකම වැඩි වෙලා ඒව පපු ප්‍රදේශයට ඇලිලා පියාඹන්න බැරි වෙනවා. මේ වෙලාවෙදි රාජාලියා ට ඉතුරු වෙලා තියෙන්නෙ විකල්පය දෙකයි.

තමන්ගේ ශරීරයේ මේ සිද්ද වෙන වෙනසට ඉඩ ඇරලා මිය යනවද එහෙම නැතිනම් දවස් 150ක ඉතාමත් දුෂ්කර කාලයක් ගෙවනවද කියලා . මේ අවස්ථාවෙදි රාජාලියා මොකද කරන්නේ . උස් කඳු මුදුනකට ගිහින් තමන්ගෙ වේදනාව දරාගෙන තමන්ගෙ වක්වූ හොට ගෙවෙන කල් ගලක අතුල්ලනව. ඊට පස්සෙ තමන්ගෙ දික්වූ නියපොතු ඝනකම් වෙලා පපුවට ඇලුන පිහාටු ගලවලා ඉවත් කරනවා . ඉන්පස්සෙ ගලවලා දාපු සියල්ල නැවත වැඩෙන කල් දවස් 150ක් ඉවසීමෙන් දරාගෙන ඉන්න මේ රාජාලියා ට සිද්ද වෙනවා. දවස් එකසිය පනහක් එහෙම නැතිනම් මාස පහක් තිස්සේ මේ විදින වේදනාව ට පස්සේ ඉදිරි වසර 30ක අලුත් ජීවිතයට රාජාලියා පියාඹගෙන යන්න පටන් ගන්නවා.

හිතලා බලන්න අපිත් මේ රාජාලියා වගේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපිටත් දුෂ්කර කාල පහු කරන්න සිද්ධ වෙනවා. සමහර විට මේ ඔයා ගෙවන්නේ ඒ වගේ දුෂ්කර කාලයක් වෙන්න පුළුවන් . හිතන්න රාජාලියාට තමන්ගෙ නියපොතු, පිහාටු ගලවන එක මොන තරම් වේදනාකාරී වෙන්න ඇද්ද . එහෙත් ඒ සත්වයා තමන්ගෙ ජීවිතය වෙනුවෙන් ඒක කරනවා නේ.

ඉතිං ඇයි අපිට බැරි….. අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් මේ වේදනාකාරී කාල කාලසීමාවන් පහු කරන්නම වෙනවා . දුක් විඳින්නම වෙනවා . ඔයා ඒ කරදර වලට මුහුණ දීලා දීල ඉස්සරහට ගියොත් ඔයා අනිවාර්යයෙන්ම ජයගන්නවා .

තමන්ගෙ සාර්තකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න දුක් විදින්න අපි පුරුදු වෙමු…

ඒ නිසා සාර්ථක වෙන්න ඕනනම් කාලය වෙන් කර මේ පේජ් එකේ පෝස්ට් අවබෝධයෙන් කියවා මුලින්ම ඉගෙන ගන්න… සාර්ථක ව්‍යාපාරයක්, හොඳ ආදායම් ලබන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබට විශාල දැනුම් සම්භාරයක් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය දැනුමෙන් විශාල ප්‍රමාණයක් මේ පේජ් එකෙන් ඔබට ලබාගන්න පුළුවන්. 200ට වැඩි පෝස්ට් ප්‍රමාණයක්, 1,000 වැඩි පිටු (A4) ප්‍රමාණයක තොරතුරු මෙහි ගැබ්වෙලා තියේ. එහෙම කියනකොට එපා වෙනවා තමයි. හැබැයි ඔබට ඇත්තෙන්ම ඕන සාර්ථක වෙන්නනම් අමාරුවෙන් හරි ඒ දැනුම ලබාගන්න වෙනවා…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තබන්න

තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තබන්න

එක්තරා තරුණ චිත්‍ර ශිල්පියෙක් තම අධ්‍යාපනය අවසන් කොට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන මැව්වා. ඔහුට තම චිත්‍ර ගැන මිනිසුන් සිතන්නේ කෙසේදැයි බැලීමට සිතුනා.

දිනක් ඔහු චිත්‍රයක් ඇඳ එය මිනිසුන් ගැවසෙන වීදියක තැබුවා. තබා එය යටින් මෙසේ සටහන් කර තැබුවා.

“කරුණාකර මේ චිත්‍රය බලන්න. එහි වරදක් ඇත්නම් එම වරද ඇති තැන කතිරයක් යොදන්න.”

හවස් වී ඔහු මිනිසුන්ගේ ප්‍රතිචාර බැලීමට චිත්‍රය රැගෙන ඒමට ගියා. චිත්‍රය පුරාම මිනිසුන් කතිර ගසා තිබුනා. ඔහු දුටු දෙයින් දැඩි කනස්සල්ලට පත් උනා. ඔහුට චිත්‍ර අදින්න නොහැකි යැයි සිතුනා. ඔහු කණගාටුවෙන් තම ගුරුතුමා හමුවීමට ගියා. සිද්දිය සැල කලා.

“කණගාටු වෙන්න එපා. ඔබ ඒ චිත්‍රයම නැවත අදින්න. අපි නැවත බලමු.”

ගුරුතුමා කිව්වා. ඔහු නැවත එම චිත්‍රයම ඇන්දා. එය ගෙන ගොස් එම වීදියේම තැබුවා. පින්සල් දිය සායම් එතන තබා එය යටින්..

“මෙහි වරදක් ඇත්නම් කරුණාකර එය නිවැරදි කරන්න. කියා ලිව්වා.

එදින හවස ඔහු චිත්‍රය බැලීමට ගියා. චිත්‍රයෙහි කිසිදු වෙනසක් තිබුනෙ නෑ. ඔහු තව දින කිහිපයක් බැලීමට තිරණය කලා. දින කිහිපයක් අවසන් වූ විටත් චිත්‍රයේ වෙනසක් තිබුනේ නැහැ. එය බලා ගුරුතුමා මෙසේ කිව්වා.

“දරුවා… කෙනෙකුට විවේචනය කරන්න ලේසියි. ඒත් යමක් කරන්න අපහසුයි.

තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තබන්න. විශිෂ්ඨයෙක් වෙන්න අවශ්‍ය වන්නේ එපමණයි”

Business HUB අපිත් ඒ වගේ… ගොඩක් ව්‍යාජ eMoney ආයතන අපිව විවේචනය කරන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට අප කරන දේ කරන්න බෑ. මොකද අපේ ආයතනය හැකියාවන් මත පදනම් වුණ ආයතනයක්.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla