පහුගිය දවස්වල හරියට වැස්ස. දැනුත් අඩුවක් කියලත් නෑ. ඒ වැස්ස අස්සේ ඇහුන කතා ගොඩක් තියෙනවා. සමහරු වැස්ස එනකල් බලාගෙන ඉඳලා. වැස්ස ආපුවහම සතුටු වෙනවා. විශේෂයෙන්ම ගොවිතැන් කරන අපේ ගොවි මහත්වරු. හැබැයි ඔය අතරෙම තවත් සමහරු වැස්සට දෙස් දෙවොල් තිය තියා සාප කරනවා,
අපි හැමෝම දන්නවා කාලයක් එක දිගට පෑව්වොත් තව කාලයක් එකදිගට හරි, කඩින් කඩ හරි වැසි ලැබෙන බව. මේක තමයි, මේ ලෝකෙ තියෙන පරම සත්‍යය. කිසිම දෙයක්, කිසිම කාලෙක එකදිගට පවතින්නේ නෑ. හැබැයි සමහරු මේක දන්නවා වුනාට, නොදන්නවා වගේ වැඩකරලා අන්තිමට වටේ පිටේ ඉන්න හැමෝටම බැන-බැන, සාප කර-කර තමුන්ගේ වටිනා ජීවිත කාලය කිසිම දෙයක් නොකර නිකං නිරපරාදේ ගෙවලා දානවා.
එතකොට මොකක්ද? මේ අව්ව තියෙද්දී පිදුරු වේලන කතාව…අහලා තියෙනවා ද එහෙම කථාවක්…..
අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා, ඒ වෙලාවට කරන්න ඕන වැඩේ ඒ වෙලාවට කරන්නේ නැතුව කල් දම දමා ඉන්න. අන්තිමට ඒ වැඩේ ප්‍රතිඵල දකින්න ඕන වෙලාවට තමා අපිට මතක් වෙන්නේ අපරාදේ… කලින් ඒ වැඩේ කලා නම් කියලා… අන්න ඒ වැඩ කල් දැමීමේ පුරුද්ද, එහෙම නැත්තන් ඉංග්‍රීසියෙන් කියනවා නම් “Procrastination”. අපි දැනගන්න ඕනේ, අව්ව තියෙද්දි පිදුරු වේලාගන්නේ නැතුව අව්ව කාලෙදී පිදුරු ගොඩ ගහලා තියාගෙන ඉඳලා වැහිකාලේ ආපුවහම පිදුරු වේලාගන්න බැරි වුණා කියලා, දුක් වෙන එකේ කිසිම තේරුමක් නෑ. ගොඩක් මිනිස්සුන්ට සාර්ථකත්වය කරා ළගා වෙන්න බැරි එක හේතුවක් තමයි මේ “වැඩ කල් දැමීමේ පුරුද්ද…”.
වැඩ කල් දමන්නේ ඇයි?
එකම වැඩේ කරලා ඉවර කරන්න ඕන තරම් කාලයක් තියෙද්දිත් කරන්නේ නැතුව කල් දානවානම් ඒක අපේම වැරැද්දක්. සැමවිටම අපිට ඒ වෙලාවේ කරන්න තියෙන වැඩේට වඩා වැඩි වැදගත්කමක් තියෙනවා වගේ පෙනෙන වෙනත් වැඩක් තියෙනවාමයි. ඒක නිසා අපි අනිවාර්යෙන්ම කරන්නේ අර මුලින් කියපු වැඩේ කල් දාන එක. ඒක ඇත්තටම ප්‍රමුඛතාවය (Priority) සම්බන්ධ ගැටලුවක්… මේ විදිහට අපිට අතහැරෙන, එහෙම නැත්නම් missed වෙන වැඩ ඕන තරම් තියෙනවා නේද? අපි හිතාගෙන ඉන්නේ මේ වැඩේට එච්චර වෙලා යන එකක් නෑ… ඒක නිසා අන්තිම මොහොතේ වුනත් කරලා ඉවර කරන්න පුළුවන් කියලා නේද? ඒත් වැඩේ පටන් ගත්තමයි තේරෙන්නේ ඒක අපි හිතන තරම් ලේසියෙන් ඉවර කරන්න බෑ කියලා…
2015 දී කරපු සමීක්ෂණයකින් ඔප්පු වුනේ සාමාන්‍ය මනුස්සයෙක් වසරකට දින 55ක් වැඩ කල් දැමීමේ පුරුද්ද නිසා අපතේ යවන බව. මුලු දවසටම තියෙන්නේ මිනිත්තු (විනාඩි) 1440යි. මේ වැඩ කල් දැමීමේ පුරුද්ද නිසා දවසකට මිනිත්තු 218 ඔවුන් විසින් අපගේ හරිනු ලබනවා. දවසට මිනිත්තු 218ක් දවස් 55ක් වෙන්නේ මෙන්න මෙහෙමයි.
මිනිත්තු 218
———————— X දින 365 = දින 55
මිනිත්තු 1440
දවස් 365ක් තියෙන අවුරුද්දකින්, දවස් 55ක් අපතේ යවනවා කියලා කියන්නේ කොච්චර කාලයක්ද? ඒක අවුරුද්දෙන් 15% ක් තරම් විශාල කාලයක්.
මෙන්න මේ අපතේ හරින කාලේ ඉතුරු කරගන්න තියන එකම ක්‍රමය තමයි වැඩ කල් දැමීමෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵල ගැන දැනුවත් වෙන එක. එතකොටයි අපිට ඒ අපතේ හරින කාලය ඉතුරු කරගන්න හිතෙන්නේ…
වැඩ කල් දමන්නන් ප්‍රධාන වර්ග 5කට වෙන් කරන්න පුළුවන්. ඔයා අයිති වෙන්නේ මොන කාණ්ඩයටද?
1. පරිපූර්ණවාදියා. (The Perfectionist)
2. සිහින දකින්නා. (The Dreamer)
3. මඟ හරින්නා. (The Avoider)
4. අර්බුද සාදන්නා. (The Crisis-maker)
5. කාර්යයබහුල කල්දමන්නා (The Busy Procrastinator)
පළමු කණ්ඩායම තමයි පරිපූර්ණවාදියෝ – The Perfectionists
නොසලකා හරින්න පුළුවන් තරම් ඉතාමත්ම සුළු තොරතුරක් කෙරෙහි අවධානය යොමු කරන්නේ මෙන්න මේ අය. ඉතාමත්ම කුඩා කොටස් වලට අවධානය යොමු කරන නිසා යමක් ආරම්භ කිරීමට පරිපූර්ණවාදියා හරි බයයි. පටන් ගන්න එක දවසෙන් දවස කල් දාන එක තමයි මේ ගොල්ලන්ගේ ප්‍රධාන ලක්ෂණය. ඒක නිසා කිසිම දවසක මේ ගොල්ලන්ට කිසිම වැඩක් පටන් ගන්ඩ වත් වෙන්නේ නෑ…
☑️ පරිපූර්ණවාදයෙන් ගොඩ ඒමට පුංචි උපදෙස් ටිකක්…
නොසලකා හරින්න පුළුවන් තරම් පුංචි දේ ගැන නොසලකා හරින්න. ඔබට කරන්න තියෙන වැඩේ ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔබට කරන්න තියෙන කාර්යයේ අවසානය ගැන පැහැදිලි චිත්‍රයක් මවන එකත් හොඳ උපක්‍රමයක්. සම්පූර්ණ වැඩේ කුඩා කුඩා කොටස් වලට කඩා ගන්න පුළුවන්, ඒ කුඩා කොටස් වලට නිම කිරීමේ කාලයක් (Deadline) එක්කම. අන්න එතකොට, ඒ වෙලාවේ කරන වැඩේට විතරක් අවධානය යොමු කරන නිසා ඔබේ කාර්යය අවසන් කරන්නට ඒකම ඔබට පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියාගන්න. එහෙත් අවසාන ඉලක්කය සපුරා ගන්න ඔබට උදව් නොකරන නොසලකා හැරිය හැකි ඉතා කුඩා දේවල් නොසලකා හරින්න.
දෙවෙනි පිරිස තමයි සිහින දකින්නන් – The Dreamers
මේ අයගේ තියෙන විශේෂත්වය තමයි, දෙයක් පටන් ගන්න කලින් උවමනාවටත් වඩා (Too much of planning) සැලසුම් සකස් කරන එක. මේ ගොල්ලන්ගෙ තියෙන්නෙ තියෙන්නේ පුදුමාකාර නිර්මාණශීලී සැලසුම්. ඒත් කිසිම අවස්ථාවක ඒ නිර්මාණශීලී සැලසුම් පටන් ගන්නේ නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැති නිසා මේ ගොල්ලන්ටත් කිසිම වැඩක් පටන් ගන්ඩවත්, ඉවර කරන්නවත් ලැබෙන්නේ නෑ.
☑️ සිහින දැකීමෙන් නොනැවතී ඒ සිහින සැබෑ කරගන්න උපදෙස් ටිකක්…
සෑම දවසකටම නිශ්චිත හා අත්පත් කරගන්න පුළුවන් කුඩා ඉලක්ක තබා ගන්න. ඒ දවසට අදාල සැලසුම ක්‍රියාත්මක කරලා ඒ දවස අවසානයේ ඒ දවසට අදාල ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. දවසගානේ කුඩා කොටස් වලට වැඩේ බෙදාගන්න නිසා දවසකට ඉවර කරන්න තියෙන්නෙ බොහොම පුංචි කොටසක් විතරයි. ඒ වගේම දවස ගානෙ තමුන්ගේ ප්‍රගතිය මැන බලන්නත් පුළුවන්. අන්න එතකොට ඔයාටම කිසිම වැදගත්කමක් නැති, කාලය කා දමන කාර්යයන් පහසුවෙන් තෝරා මඟහරින්න පුළුවන්. ධනාත්මක එහෙම නැත්නම් හොඳ ප්‍රතිඵල ගෙනත් දෙන දේවල් වලට විතරක් අවධානය යොමු කරන නිසා ඔයාගේ ඵලදායීතාවයත් එන්න එන්නම වැඩි වෙනවා.
මඟ හරින්නන් (The Avoiders) තුන්වන වර්ගයයි.
තමුන්ට කළමනාකරණය කරන්න බැහැයි කියල හිතන අභියෝගාත්මක කාර්‍යයන් භාර ගැනීමට මගහරින්නන් ගොඩක් බයයි. තමුන් කරන කාර්යයෙහි වැරදි අන් අය දකිනකොට මොවුන් ඒ බව උලුප්පා දමමින් කිරීමට ඇති කාර්යය මඟහරිනවා.
☑️ ඔබ මඟහරින්නෙක් (The Avoiders) නම්, එය ජයගැනීමට උපදෙස් කිහිපයක්…
පළමුව ඔබට සිදුවීමට ඇති නරකම දේ පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබට වඩාත්ම අභියෝගාත්මක යැයි හැඟෙන දේ සඳහා ඔබේ උදෑසන වැදගත්ම කාලය ගත කරන්න. මේක අනිවාර්යෙන්ම ඔබට ඔබේ ජීවිතේ ජයග්‍රහණය පිළිබඳව හැඟීමක් ලබා දෙනවා විතරක් නෙමෙයි ඵලදායි දිනයක් වෙනුවෙන් වැඩකරන වේගය වැඩි කිරීමටත් උපකාරී වෙනවා. කරන්න තියෙන වැඩේ කුඩා කුඩා කොටස්වලට බෙදා ගන්නත් පුළුවන්. අමාරුම දේවල් වලට තියෙන බය නැති කරන්න අමාරුම දෙයින් පටන් ගන්නත් පුළුවන්. මට මේ වැඩේ ඉවර කරන්න කොච්චර කාලයක් ගත වෙයිද? මං මොන වගේ උත්සාහයක් ගන්න ඕනෙද? තමුන්ගෙන්ම අහන්න. දැන් ඔබට කරන්නට තියන විශාල ම කාර්යය සම්පූර්ණයෙන්ම හිතින් අමතක කරල දාල කුඩා කුඩා කොටස් ඉවර කරනකොට අනිවාර්යෙන්ම ඔබ ජයග්‍රහනය කරා ළඟා වෙනවා.
ඊළඟට එන්නේ අර්බුද සාදන්නන් (The Crisis-makers).
අර්බුද සාදන්නන්ගේ විශේෂම ලක්ෂණය තමයි, සිතාමතාම අවසන් මොහොත දක්වා වැඩ කල් දැමීම. දවස ගානෙ ඉවර කරන්න තියෙන කුඩා කොටස් හිතාමතාම මඟහරින නිසා, අවසාන මොහොතේ ඔවුන් ඔවුන්ගේ අර්බුදය ඔවුන් විසින්ම සාදා ගන්නවා. අන්තිමට වෙන්නේ පඹගාලක පැටලුණු මනුස්සයට වෙච්චි දේ. කොහෙන් පටන් ගන්නද? කොහෙන් ඉවර කරන්නද? හිතාගන්නවත් බැරි හින්දා අන්තිමට තමන් කරන වැඩේ පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම අතහැරලා දාන එක.
☑️ ඔබ අර්බුද සාදාගන්නෙක්ද? එහෙමනම් ගොඩඑන්න මේ උපක්‍රම ටික පාවිච්චි කරන්න.
අර්බුද සාදාගන්නෙකුට ගොඩ ඒමට ඇති එකම උපක්‍රමය තමයි, අවසාන මොහොත දක්වා තම කාර්යය මඟහරින්නෙ නැතුව තමුන්ට පුළුවන් කියලා හිතෙන ඕනෙම කුඩා කොටසකින් පටන් ගන්න එක. අන්න ඒ කොටස මුලින්ම ඉවර කරන එක. එක දිගට වැඩක් කරගෙන යන්න ඔබට අදහසක් නැත්නම්, ඒ තත්ත්වය මඟ හරින්න ඔබට පොමොරෝඩෝ උපක්‍රමය (Pomorodo Technique) පාවිච්චි කරන්න පුළුවන්. ඔබට වැඩේ කරන්න යන කාලය විනාඩි 30ක් කොටස් වලට බෙදා ගන්න පුළුවන්. එක දිගට විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක පුංචි විවේකයක් ගන්න පුළුවන්. මේ වගේ අවස්ථා හතරක් එක දිගට කරලා පැය බාගයක විවේකයක් ගන්න පුළුවන්. නොදැනිම වැඩෙත් කරනවා, විවේකයකුත් ලැබෙන නිසා එක දිගට වැඩ කරන ගතියක් කොහොමටවත් දැනෙන්නෙ නෑ. අන්න එහෙමයි ඔබ වැඩ කරන්න ඕනේ.
දැන් ඔන්න අවසාන කාණ්ඩය, ඒගොල්ලෝ තමයි කාර්යබහුල කල්දමන්නන් (The Busy Procrastinators).
මේගොල්ලෝ කිසිදු පිළිවෙළක්, කිසිදු කාලරාමුවක් අනුව වැඩ නොකරන නිසා වැඩ ලැබෙන විට තැනින්, තැනින් තමුන්ට කරන්ඩ තියෙන දේවල් කරන්න පටන් ගන්න අය. ඒක නිසා කරන්ඩ තියෙන හැම වැඩක්ම බාගෙට බාගයක් කරල තියන අය. හැබැයි විශේෂත්වය තමයි කිසිම වැඩක් අවසානය දක්වා ඉවර කරලා නෑ. ඒක නිසා බාගෙට කරපු වැඩ ගොඩ ගැහිලා. කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා කිසිදු අදහසක් මේගොල්ලන්ට නැති නිසා බොහොම මානසික පීඩාකාරී තත්වයක තමයි ඉන්නේ.
☑️ ඔබ කාර්යබහුල කල්දමන්නෙක් නම් මේ ටික කරල බලන්න…
ඔබේ ප්‍රමුඛතාවයන් අනිවාර්යෙන්ම අනුපිළිවෙළින් තබා ගන්න ඕනේ. ඔබේ අදාල කාර්යයේ අරමුණ හා ලඟාකර ගන්න ඕන ප්‍රතිඵලය හඳුනාගන්න එකත් වැදගත්. වැදගත් වෙන්නේ කාලයත් එක්කලා අනුපිළිවෙලට තියෙන වැඩ ටික නිමා කරන එක. ඔබේ කාර්ය බහුලත්වය නිසා සමහර විටක මගහැරී යන්නේ වැදගත්ම කාර්යයක් වෙන්න පුළුවන්. ඒක නිසා හදිසි (Urgent) සහ වැදගත් (Important) අවස්ථා වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. ඒ කොටස් දෙකෙන්ම ඉහළට එන, ඒ කියන්නේ හදිසි සහ වැදගත් අවශ්‍යතාවයන් මුලින්ම සපුරාලන්න පුළුවන්.
“කල්දැමීම” දැන්ම පරාජය කරන්න…
අව්ව තියෙද්දි පිදුරු වෙලාගන්න…
අව්වේ නැති වුණාට පස්සේ වැස්සට බැනලා වැඩක් වෙන්නේ නෑ…
අන්න ඒක හොඳට මතක තියාගන්න…
කල් දැමීමේ ක්‍රමයේ බොහෝ ලක්ෂණ තම තමුන්ගේ මානසිකත්වයට සම්බන්ධ බව ඔබට මේ තුළින් පේනවා නේද? වැඩක් පටන් ගන්න මිනිස්සුන්ගේ තියෙන අනියත බය නිසා තමයි වැඩ ප්‍රමාද වෙන්නේ. රැකියාව පිළිබඳ අපේ ආකල්පය වෙනස් කිරීමට නම් අපි කල් දැමීම අනිවාර්යයෙන්ම නවත්වාගන්න ඕනේ.
ඔබේ මානසිකත්වය වෙනස් කිරීම බොහෝ කුඩා වැඩක් සේ පෙනුනත් වැදගත් වෙන්නේ ඔබ හිතන-පතන විදිහ ඔබ විසින්ම ටිකෙන් ටික වෙනස් කරන්න පටන් ගන්න එක. හැම වැඩකරන දවසකටම කුඩා හෝ ඉලක්ක සැකසීම, තමාගේ අනියත බිය පරාජය කිරීම, මින් පෙර සිටි හොඳම තමා සමඟ තරඟ කිරීම සහ තමාගේ පුද්ගලික වාර්තා බිඳ දැමීම, එක් එක් කාර්යයේ ප්‍රතිඵල ඇගයීම දක්වා පුරුදු වුනොත් ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් !
මෙම විශේෂිත පුරුද්දට එළඹෙන කොට ඔබට හෙට කියලා කියන දවස ටිකෙන් ටික නැතිවෙලා අද කියන දවස, මේ මොහොත ඉතා වැදගත් ලෙස පේන්න පටන් ගන්නවා. ඔයාට දැන් තරඟයක් තියෙන්නේ අනුන් එක්ක නෙමෙයි, මීට කලින් හිටපු හොඳම තමුන් එක්ක. එහෙනම් පටන්ගමු !
මොකද හිතන්නේ තවත් පරක්කු නොවී Business HUB එකේ සියලුම පෝස්ට් කියවලා කමෙන්ට් කරමුද?
කල් දමන්න එපා. මේ දැන්ම කියවන්න පටන්ගන්න. මගහැරුණ එකක් හරි තියේනම් කියවලා කමෙන්ට් කරන්න. කෙටි කමෙන්ට් යොදපුවා තියේනම් නැවත කියවලා අවබෝධයෙන් දිග කමෙන්ට් එකක් දාන්න. කල් දාන්නනම් එපා. මොකද ඔබ ජයග්‍රහණය මායිමේ ඉන්නේ. උත්සාහ කලොත් ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්…
සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය. සමහර වචන වල තේරුම සහ නිරවද්‍යතාවය පිළිබඳව වැඩි දැනුමක් නොමැත. අදහසේ තිබෙන විශිෂ්ට බව නිසා පළකරන ලදි.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla