ඔන්ලයින් මුදල් වංචා…
🔴 මොකද්ද මේ Online මුදල් වංචාවක් කියන්නේ?
Online මුදල් වංචාවක් කියන්නේ, ඔබේ අතේ තියෙන මුදල් සොරාගන්නවා වෙනුවට Online ක්‍රම ඔස්සේ ඔබේ බැංකු ගිණුමේ තියෙන මුදල් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් සොරාගන්නා වංචා සහගත ක්‍රියාවන්ට.
🔴 Online මුදල් වංචාවන් සිදුකරන්නේ කව්ද?
Online ගනුදෙනු සිදුවන තාක්ෂණික ක්‍රමවේද ගැන මනා දැනුමක් ඇති, එම දැනුම වංචා සහගත ක්‍රියා සඳහා යොදාගන්නා වංචාකරුවන් තමයි මෙම වංචාවන් සිදු කරන්නේ. හරියට බැලුවොත් ඔවුන්ව ස්මාට් හොරුන් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්.
🔴 Online මුදල් වංචාවන් සිදුකරන්නේ කොහොමද?
Online ක්‍රම ගැන මිනිස්සුන්ගේ ඇති දැනුම අඩුකම සහ තමන්ට යම් වාසියක් ලැබෙනවා නම් ඕනෙම දෙයක් කිරීමට ලේසියෙන් පෙළඹීමේ මිනිස් දුර්වලකම යොදාගෙන තමයි වංචාකරුවන් මෙම Online මුදල් වංචාවන් සිදුකරන්නේ.
🔴 බහුලව සිදුවන Online මුදල් වංචාවන් මොනවද?
එක උදාහරණයක් ගත්තොත්, ඔබට යම් දිනුමක් ඇදිලා කියලා දැනුම්දීලා නොයෙකුත් ආකාරයේ Email හෝ SMS ලැබෙන්න පුළුවන්. මෙවැනි දිනුම් ගැන ඔබ විශ්වාස කරලා එම දිනුමට අදාළ තෑගි මුදල ලබාගන්නා අරමුණින් ඔවුන් කියන දේවල් කළොත් මෙවැනි වංචාවන්ට ඔබ පහසුවෙන් හසුවෙන්න පුළුවන්.
🔴 දිනුම් ඇදීම් ගැන පණිවිඩ එවලා කොහොමද මුදල් සොරාගන්නේ?
ඒක වෙන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට ඔය විදියට එවන Email හෝ SMS වල සඳහන් වෙනවා, ඔබ දිනා ඇති දිනුමට අදාළ තෑගි මුදල ලබාගන්න නම්, ඔබේ තොරතුරු මෙතනට ලබා දෙන්න කියලා link එකක්. ඒ වෙලාවේ ඔබ ඉන්නේ තෑගි මුදල ලබාගන්න මානසිකත්වයෙන් නිසා, ඔබ පහසුවෙන් පෙළඹෙන්න පුළුවන් එවැනි links click කරලා ගිහිං, ඔවුන් ඉල්ලන තොරතුරු ලබාදෙන්න.
ඔබේ නම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි පෞද්ගලික තොරතුරු වගේම, ඔබේ මුදල් තෑග්ග බැර කළ යුතු බැංකු ගිණුමේ විස්තරත් ලබාදෙන්න කියලා එවැනි link වලට ගියාම ඔබෙන් ඉල්ලන්න පුළුවන්. ඒ මොහොතේ ඔබත් ඉන්නේ තෑගි මුදල ලබාගන්න අරමුණින් නිසා, ඒවා විශ්වාස කරලා ඔබේ බැංකු ගිණුමේ විස්තරත් ලබාදෙන්න පුළුවන්. මෙසේ ඔබම ඔවුන්ට ලබාදෙන ඔබේ තොරතුරු තමයි මෙම වංචාකරුවන් මුදල් වංචාවන් සිදුකරන්න යොදාගන්නේ.
🔴 බැංකු ගිණුම් විස්තර තිබූ පමණින් එයින් මුදල් වංචාවක් කරන්න පුළුවන්ද?
බැහැ. ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුමේ විස්තර තිබූ පමණින්, ඒවා යොදාගෙන කිසිවෙකුට ඔබේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්න බැහැ.
🔴 එහෙනම් කොහොමද ඔවුන් එම තොරතුරු වලින් මුදල් වංචාවක් කරන්නේ?
මෙතැනදි ඔවුන් පාවිච්චි කරන්නේ Online ගෙවීම් ක්‍රම ගැන ඔබේ ඇති නොදැනුවත්කම. ඔබ නොදන්නා දෙයක් ගැන බොරු කියා ඔබව රවට්ටා ගැනීමෙන්, ඔවුන් Online මුදල් ගනුදෙනුවකට අවශ්‍ය අනෙකුත් රහස්‍ය තොරතුත් ඔබෙන් උපක්‍රමශීලීව ලබාගන්නවා. එය කරන ආකාරය පසුව පැහැදිලි කරන්නම්. ඊට කලින් අපි බැංකු ගිණුම් හරහා Online ගනුදෙනු සිදුවන ආකාරය ගැන ඔබ දැන සිටිය යුතු මූලිකම දෑ දැනගමු.
🔴 බැංකු ගිණුම් විස්තර වලට අමතරව Online ගනුදෙනුවකට අත්‍යවශ්‍ය මොනවද?
මේ වෙනකොට ලංකාවේ තියෙන Online ගෙවීම් ක්‍රම ඔස්සේ ඍජුවම බැංකු ගිණුමෙන් මුදල් ගෙවීමක් කරන්න නම්, ඊට කලින් අදාළ බැංකු ගිණුම යම් payment app එකකට connect කරගත යුතුයි. එසේ connect කරගන්න නම්, බැංකු ගිණුමක ගිණුම් අංකය, ගිණුම අයත් බැංකුව සහ එම ගිණුම අයත් පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය වගේම, ගිණුම හිමි පුද්ගලයා බැංකුවට ලබා දී ඇති ජංගම දුරකථන අංකයට, බැංකුවෙන් එවෙලෙ එවන OTP අංකය ලබා දීම අත්‍යවශ්‍යයි. අනෙකුත් තොරතුරු වංචාකරුවන් සතුව තිබුණත්, එවෙලෙ ඔබට ඔබේ බැංකුවෙන් එවන OTP අංකය නැතුව ඔවුන්ට කිසිඳු වංචාවක් කරන්න බැහැ.
🔴 මොකද්ද මේ OTP අංකයක් කියන්නේ?
OTP (One-time Password) කියන්නේ ගොඩක් වෙලාවට යම්කිසි දෙයක් සඳහා ඔබේ අවසරය ලබා දීමට භාවිතා වන, එක්වරක් පමණක් භාවිතා කළ හැකි password එකක්. ඔබේ බැංකු ගිණුම යම් payment app එකකට connect කරන්න යාමේදී වගේම, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වැනි internet accounts වලට sign in වීමේදීත්, ඔබට OTP අංක SMS හරහා ලැබෙනවා දැකලා ඇති. එසේ ලැබෙන්නේ, එම කාර්ය සිදුකරන්නේ ඔබම කියන එක තහවුරු කරගැනීමට සහ ඊට ඔබේ අවසරය ලබාගැනීමටයි. එමනිසා OTP අංකයක් කියන්නේ කිසිදු විටෙක වෙනත් කෙනෙකුට ලබා නොදිය යුතු දෙයක්.
🔴 OTP අංකයක් නැතිව වංචාකරුවන්ට බැංකු ගිණුමක ඇති මුදල් සොරාගන්න පුළුවන්ද?
කොහොත්ම බැහැ. නමුත් ඔබට ලැබෙන OTP අංකය ඔවුන් උපක්‍රමශීලි ලෙස ඔබෙන්ම දැනගන්න කටයුතු කරන්න පුළුවන්. ඔබ වඩාත්ම පරිස්සම් විය යුත්තේ මෙන්න මේ ගැනයි.
🔴 ඔබට ලැබෙන OTP අංකය වංචාකරුවන් ඔබෙන් දැනගන්නේ කොහොමද?
මේ සඳහා ඔවුන් ඔබේ අර මිනිස් දුර්වලකමම ප්‍රයෝජනයට ගන්නවා. ඉහත කී දිනුම් ඇදීම ගැන උදාහරණය සැලකුවොත්, ඔවුන් කියනවා ඔබ අර link එකට ගොස් ලබාදුන් ඔබේ බැංකු ගිණුමට දැන් ඔවුන් අදාළ තෑගි මුදල බැර කරන්න යන්නේ, එහෙම බැර කරද්දි ඔබට OTP අංකයක් ලැබෙයි, ඒ OTP අංකය ඔවුන්ට අවශ්‍යයි අදාළ තෑගි මුදල බැර කරන්න, ඒ නිසා ඔවුන්ට එය ලබාදෙන්න කියලා.
ඒ අවස්ථාවේ ඔබ ඉන්නේ තෑගි මුදල ලබාගැනීමේ අරමුණින් නිසා, ඔවුන් කියූ දෙය විශ්වාස කරලා සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔබට එවෙලෙ SMS හරහා ලැබෙන OTP අංකය ඔවුන්ට ලබා දෙන්න පෙළඹෙන්න පුළුවන්. ඔබේ නොදැනුවත්කම ඔස්සේ ඔබව රවට්ටා ඔබට ලැබෙන OTP අංකය ඔවුන් උපක්‍රමශීලීව ඔබෙන්ම දැනගන්නේ ගොඩක් වෙලාවට එහෙමයි.
🔴 වංචාකරුවන් Online මුදල් වංචාව තාක්ෂණිකව සිදු කරන්නේ කොහොමද?
මේ සඳහා ඔවුන් ඔවුන්ගේ දුරකථනයක install කරගෙන ඇති කුමක් හෝ payment app එකක් යොදාගන්න පුළුවන්. මුලින්ම ඔවුන් ඔවුන්ගේ දුරකථනයේ ඇති payment app එකට ඔබ අර link එක click කරලා ගිහිං ලබාදුන් ඔබේ බැංකු ගිණුමේ තොරතුරු ඇතුළත් කරනවා.
ඔබේ නම, ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුම් අංකය ඊට ඇතුළත් කර ඔබේ බැංකු ගිණුම ඔවුන්ගේ payment app එකට connect කරන්න උත්සාහ කරනවා, එවිට එම තොරතුරු ගැළපෙනවා නම් ඊට ඔබෙන් අවසර ලබාගැනීම සඳහා ඔබේ බැංකුව ඔබට OTP අංකයක් එවනවා.
වංචාකරුවන් කරන මෙම ක්‍රියාවලිය ගැන කිසිත් නොදන්නා ඔබ එකපාර දකින්නේ ඔබේ බැංකුවෙන් ඔබට SMS හරහා ඇවිත් තියෙන OTP අංකය පමණයි. නමුත් එවෙලෙම වංචාකරුවන් ඔබට දුරකථන ඇමතුමක් ලබාදී හෝ WhatsApp ඔස්සේ අර බොරුව කියනවා, ඔවුන් ඔබේ ගිණුමට මුදල් තෑග්ග බැර කරන්නයි යන්නේ, ඒ සඳහා ඔබට ලැබෙන OTP අංකය ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒ බොරුවට හසුවන ඔබ ඔබේ කැමැත්තෙන්ම අර OTP අංකය ඔවුන්ට ලබාදෙනවා.
එය ඔවුන් ඔවුන්ගේ payment app එකට ඇතුළත් කළ වහාම ඔබේ බැංකු ගිණුම සාර්ථකව ඔවුන්ගේ payment app එකට connect වෙනවා.
ඉන්පසු ඔවුන්ට පුළුවන් එසේ connect කළ ඔබේ බැංකු ගිණුමෙන් නොයෙකුත් ආකාරයෙන් Online මුදල් ගනුදෙනු සිදුකරලා, ගිණුමේ ඇති මුදල් සියල්ල වංචා සහගතව සොරාගන්න. තාක්ෂණිකව මෙවැනි Online මුදල් වංචාවන් සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි.
🔴 මෙවැනි වංචාවන් වෙන්නේ දිනුම් ඇදීම් සහ මුදල් තෑගි ගැන දැනුම්දීලා විතරද?
නැහැ. ඒ එක උදාහරණයක් පමණයි.
තව උදාහරණයක් ගත්තොත්, ඔබ යම් දෙයක්, උදාහරණයක් විදියට ඉඩමක්, වාහනයක්, ෆෝන් එකක් වැනි දෙයක් අන්තර්ජාලයේ විකුණන්න දැන්වීම් දාලා තියෙනවා නම් (ikman වැනි වෙබ් අඩවි වල), ඒ දේ මිලදී ගන්න එන ගැනුම්කරුවකු ලෙස ඔබට ඔවුන් ඇමතුම් ලබාදෙන්න, SMS හෝ WhatsApp කරන්න පුළුවන්.
ඉන්පසුව ඔබ විකුණන්න දමා ඇති දෙය මිලදී ගැනීමට කැමති බව පවසා එයට advance payment එකක් දැමීමට ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුමේ විස්තර ඉල්ලන්න පුළුවන්. ඔබ ඒ බව විශ්වාස කර ඔබේ බැංකු ගිණුමේ විස්තර ඔවුන්ට ලබාදුන් පසු, ඉහත උදාහරණයේ පරිදිම අදාළ මුදල බැර කරන්න නම් OTP අංකයක් ලැබෙයි එය ඔවුන්ට කියන්න කියලා රවට්ටාගෙන, ඔබ OTP අංකය ලබාදුන් පසු ඔබේ බැංකු ගිණුම ඔවුන්ගේ payment app එකකට connect කරගෙන එහි ඇති මුදල් සොරගන්න පුළුවන්.
🔴 තවත් ඒ වගේ වංචාවලට උදාහරණ මොනවද?
මීට අමතරව Online මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් පවත්වාගෙන යන අය ලෙසත් ඔවුන් පෙනී ඉන්න පුළුවන්. එතනදි මුලින්ම ඔවුන් ඔබේ විශ්වාසය දිනාගැනීමට ඔබට මුදල් උපයන්න නම් මෙන්න මේ දේවල් කරන්න කියලා යම්කිසි වැඩ (tasks) එවන්න පුළුවන්.
උදාහරණයක් විදියට YouTube channel වලට subscribe වෙන්න, Google reviews දාන්න වගේ දේවල්. ඒවා ඔබ සම්පූර්ණ කළ පසු ඒ සඳහා ඔබට ලැබෙන payment එක දැමීමට කියා ඔබේ බැංකු ගිණුමේ විස්තර ඉල්ලන්න පුළුවන්. ඔබ ඒවා ලබාදුන් පසු ඇතැම් විට තවදුරටත් ඔබේ විශ්වාසය දිනා ගැනීමට පොඩි මුදලක් ඔබේ ගිණුමට ඇත්තටම බැර කරන්නත් පුළුවන්. එයින් ඔබ උද්දාමයට පත්වෙලා, ඔවුන්ව විශ්වාස කරන තැනට ඔබ මානසිකව ආවට පස්සෙ තමයි ඔවුන් ඔබට ඊළඟ payment එක දැමීමට නම් OTP එකක් අවශ්‍යයි කියා හෝ එවැනි බොරුවක් ගොතා ඔබව රවට්ටා ඔබේ බැංකුවෙන් ඔබට ලැබෙන OTP අංකය ඔබෙන්ම දැනගන්නෙ. ඉන්පසු ඒ හරහා ඔබේ බැංකු ගිණුම ඔවුන් connect කරගෙන අර දාපු පොඩි මුදලට වඩා ලොකු මුදලක් ඔබෙන් සොරාගන්න පුළුවන්.
🔴 මෙවැනි Online මුදල් වංචාවල පොදු ලක්ෂණ මොනවද?
ඉහත උදාහරණ කිහිපයෙම ඇති පොදු ලක්ෂණ ඔබටම පෙනෙන්න ඇති. මෙවැනි වංචාවන් සිදුකිරීම සඳහා ඔවුන්ට ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුම් අංකය අත්‍යවශ්‍ය නිසා, ඔවුන් කුමන හෝ උපක්‍රමශීලී ක්‍රමයකින් ඔබෙන් මේ තොරතුරු ලබාගන්න උත්සාහ කරනවා.
ඒ වගේම ඒ තොරතුරු වලට අමතරව ඔවුන්ට ඔබේ දුරකථන අංකයට එවෙලෙ ලැබෙන OTP අංකයත් අත්‍යවශ්‍ය නිසා, ඔබ එවෙලේ සිටින මානසික තත්ත්වය සහ මිනිස් දුර්වලකම් ප්‍රයෝජනයට ගෙන ඔබව රවට්ටා ගැනීමෙන් එම OTP අංකයත් ඔබෙන්ම ලබාගන්න උත්සාහ කරනවා. මේ කාරණා දෙක බොහෝ විට මෙවැනි වංචාවලට පොදුයි.
🔴 මෙවැනි Online මුදල් වංචාවන්ට හසු නොවී ඉන්නේ කොහොමද?
මුලදිම සඳහන් කළ පරිදි, මෙවැනි වංචාවන්ට හසුවීමට මූලික හේතුව (root cause එක) Online මුදල් ගෙවීම් ක්‍රම ගැන මිනිස්සුන්ගේ ඇති නොදැනුවත්කම සහ තමන්ට වාසි වන දේ ගැන ලේසියෙන් රැවටීමේ මිනිස් දුර්වලකම. එම නිසා ඒවා ගැන සැලකිලිමත් වී සිටියහොත් මෙවැනි වංචාවන් වලට හසු නොවී ඉන්න පුළුවන්.
🔴 ඒවා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් මොනාද?
⚠️️ කිසි විට නොදන්නා කිසිවෙකු ඉල්ලූ පමණින්, ඔබේ බැංකු ගිණුම් විස්තර ලබාදෙන්න එපා.
⚠️️ නොදන්නා අයගෙන් ඔබට ලැබෙන SMS හෝ Email වල ඇති links click කරන්නට යන්න එපා.
⚠️️ ඔබේ බැංකුවෙන් ඔබට ලැබෙන OTP අංක ඔබේ ප්‍රයෝජනයට භාවිතා කරනවා විනා, කිසිවෙකුට මොනම හේතුවක් නිසාවත් නිරාවරණය කරන්නට හෝ දැනගන්නට ඉඩ තියන්න එපා. (පෙර කරුණු දෙකම ඔබට මඟ හැරුණත් මේ ගැන හොඳින් සැලකිලිමක් වුනොත් ඔබට වංචාවන්ට හසු නොවී ඉන්න පුළුවන්)
⚠️️ විශ්වාස කළ නොහැකි ආකාරයේ (Too good to be true) වාසි ලැබීම් ගැන විශ්වාස කරන්න එපා.
මෙම කරුණු ගැන ඔබ හැමවිටම අවදානයෙන් හිටියොත් මෙවැනි Online මුදල් වංචාවලින් ඔබට බේරී ඉන්න පුළුවන්.
🔴 Payment apps භාවිතා නොකර සිටීමෙන් මේවා වළක්වා ගන්න පුළුවන්ද?
ඔබ යම් payment app එකක් භාවිතා කිරීම හෝ නොකිරීම මෙයට අදාළම නැති කාරණයක්. මොකද වංචාකරුවන් ඔබේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළත් කර මුදල් වංචාව කරන්නනේ ඔවුන්ගේ දුරකථනයක ඇති payment app එකකින් නිසා, ඔබ කිසිදා payment app එකක් භාවිතා නොකළ අයෙක් වුවත් මෙවැනි Online මුදල් වංචාවකට හසුවෙන්න පුළුවන්.
ඒ නිසා payment apps භාවිතා නොකර සිටීමට වඩා, ඔබ ඒවා භාවිතා කර බලා ඒවා ක්‍රියාකරන ආකාරය ගැන ඔබේ ස්ව-අත්දැකීමෙන්ම දැනුම ලබාගෙන සිටීම මෙවැනි Online වංචාවලින් වැළකී සිටීමට ඔබට උදව් වෙයි.
🔴 මෙවැනි Online මුදල් වංචා වැළැක්වීමට payment apps වලට මුකුත් කරන්න බැරිද?
අප නිර්මාණය කළ හෙළPay ඇතුළු ලංකාවේ තියෙන සෑම payment app එකක්ම නිර්මාණය කර තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ තාක්ෂණික කමිටුවක් මගින් නිර්දේශ කර ඇති Mobile Payment Security Standards වලට අනුකූල වීමෙන් සහ ඒ බව ස්වාධීන security audit එකක් මඟින් තහවුරු කිරීමෙන් පසුවයි. තාක්ෂණිකව ඔබ එම payment apps හරහා සිදුකරන Online මුදල් ගනුදෙනු සුරක්ෂිත කිරීමට සෑම payment app එකක්ම ඒ හරහා කටයුතු කරනවා.
නමුත් ඉහත සඳහන් කළ ආකාරයේ Online මුදල් වංචාවන් සිදු වෙන්නේ, payment apps වල ඇති කිසිඳු දුර්වලකමක් නිසා නොව, එය භාවිතා කරන පරිශීලකයින්ගේ ඇති මිනිස් දුර්වලකම් හේතුවෙන් නිසා, තාක්ෂණිකව Online ගනුදෙනු කොතරම් සුරක්ෂිත කළත්, ඒවා භාවිතා කරන්නන් ඒ ගැන දැනුවත්ව නොසිටියොත් සහ සැලකිලිමත් නොවුනොත් මෙවැනි Online මුදල් වංචාවන් වළක්වා ගත නොහැකියි.
මෙම ලිපියේ අරමුණ එම දැනුම සහ අවබෝධය ලබාදීම තුළින් මෙවැනි Online වංචාවන්ගෙන් වැළකීමට ඔබව සවිස්තරාත්මකව දැනුවත් කිරීමයි. ඔබ මෙයින් දැනුවත් වී නම්, ඒ දැනුම අන් අය සමඟත් බෙදාගන්න. තව කෙනෙක් මෙවැනි වංචාවලට හසු වීම වැළැක්වීමට ඔබටත් එයින් දායක විය හැකියි! ❤️
✍️ සැ. යු : ධනික පෙරේරාගේ ලිපියක් ඇසුරින්. අයිතිය කතෲ සතුය.
මෙවන් වැදගත් දේවල් බලන්න Business HUB Sri Lanka ෆලෝ කරන්න…