හදවතේ රෝගී තත්ත්වයකට එක වතාවක් හරි වෛද්‍යවරයෙක් හමුවෙලා තියෙනවා නම්, ඔබ අනිවාර්යෙන්ම ඊ.සී.ජී පරීක්ෂණයකට භාජනය වෙලා ඇති… මොකද? වෛද්‍යවරයෙක් හදවතේ රෝගී තත්ත්වයක් හඳුනා ගන්න කරන මූලික රෝග පරීක්ෂණය තමයි ඊ.සී.ජී පරීක්ෂණය. ඊ.සී.ජී පරීක්ෂණයකට භාජනය වුනහම ඒකේ වාර්තාව අපේ අතට හම්බ වෙන්නේ ඉහළ පහළ යාම් රාශියක් සහිත හීනි දිග පටියක් විදිහට. මේ විදිහට ඉහළ පහළ යාම් නැතුව, බැරි වෙලාක්වත් මේ වාර්තාව එක දිගට තනි ඉරක් විදිහට තිබුනොත්… ඒ කියන්නේ ඔබේ හදවත නැවතිලා…
ඒ කියන්නේ ජීවිතයේ ඉහළ පහළ යාම හොඳයිද? උත්තරේ “ඔව් !”. පණපිටින් ඉන්න, හදවත වැඩ කරන වගේම ජීවත් වෙන ඕනෙම කෙනෙක්ගේ ජීවිතේ මේ වගේ ඉහළ පහළයාම් රාශියක් තියෙනවා. ඒ ඉහළ පහළයාම් සහිත ජීවිතයට මුහුණ දෙන්න, මනස ශක්තිමත් කරගන්න…
“අපව ඉදිරියට ගෙන යාමට, ජීවිතයේ ඉහළ පහළ යාම් ඉතා වැදගත් වේ. මන්ද ඊ.සී.ජී පටියක පවා සරල රේඛාවකින් පෙන්නුම් කරන්නේ අපි ජීවතුන් අතර නොමැති බවයි.”
~ රතන් ටාටා ~
ජීවිතය සැමවිටම අප බලාපොරොත්තු වූ ආකාරයෙන්ම අපට ප්‍රතිඵල උදා නොකරයි. සමහර ප්‍රතිඵල අප බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ලැබුණු විට අපේ ජීවිතයේ සතුට මෙන්ම බලාපොරොත්තු ද ඉහළ යයි. මෙය පටියකට ආදේශ කර බැලුවහොත් ඊ.සී.ජී පටියක ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ මෙයයි. ඉන්පසු අප බලාපොරොත්තු වන්නේ මේ ආකාරයෙන් දිගින් දිගටම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වීමයි.
නමුත් ජීවිතයේ සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම සිදු නොවේ. සමහර සිදුවීම් වලට අප මුහුණ දුන් විට අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම ප්‍රතිඵල අපට ළඟා නොවේ. අන්න ඒ තත්ත්වයන් තමයි ඊ.සී.ජී පටියක පහල යාම් වලින් පෙන්වන්නේ.
බුදුරජාණන් වහන්සේ අෂ්ඨ ලෝක ධර්මතාව හෙවත් අටලෝ දහමේ දී දේශනා කලේත් මෙයමයි. සෑම දෙයකම වාසි සහගත පැත්ත මෙන්ම අවාසි සහගත පැත්තක්ද
ඇතිබවයි. ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යනුවෙන් දේශනා කළේ මේ යථාර්ථයමයි.
ඉහල පහල යන සෑම අවස්ථාවකදීම සතුටෙන් උද්දාමයට පත් නොවී, පහළට වැටෙන බවද දැන ගෙන ජීවත් විය හැකි නම් අපේ ජීවිත කොයිතරම් සුන්දර අවසානයක් කරා ගෙන යා හැකිද? එමෙන්ම පහලට වැටෙන සෑම අවස්ථාවකදීම, එයද සදාකාලික නොවන බව දැනගෙන එයට සතුටු සිතෙන් මුහුණ දීමට හැකි නම් අපේ ජීවිත ජීවිත සුන්දර අවසානයක් කරා ගෙන යා හැකියි නේද?
අන්න එහෙම පුද්ගලයන්ට තමයි ස්වභාවධර්මය සාර්ථක වෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්නේ. කල් යල් බලලා, ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන එහෙම සාර්ථක වුනු පුද්ගලයන් මේ ලෝකෙ කොයි තරම් නම් ඉන්නවද?
අන්න එහෙම කෙනෙක් තමයි ZOOM Video Conferencing Application එක හඳුන්වාදුන් ZOOM – CEO එරික් යුවාන්…
මෑතකදී ෆෝබ්ස් සඟරාව ඉදිරිපත් කරන ලද ධනවත්ම ඇමරිකානුවන් 400දෙනාගේ ලයිස්තුවේ 43 ස්ථානයත්, ලෝක බිලියනපතියන්ගේ ලයිස්තුවේ දෙසිය 293 ස්ථානයත් හිමිකරගෙන සිටින එරික් යුවාන් යනු එක් රැයකින් සාර්ථකත්වය ළඟා කරගත් පුද්ගලයෙක් නොවේ. ඔහුගේ ජීවිතයේ ඉහළ පහලයාම් රාශියකි.
චීනයේ උපත ලද එරික් යුවාන් ඇමරිකාවේ සිලිකන් වැලි,හි පදිංචියට 1997දී පැමිණෙන්නේ වීසා ලබා ගැනීමට කරන ලද උත්සාහයන් 8ක්ම අසාර්ථක වීමෙන් පසුව 9වන උත්සාහයේදීයි. ඇමරිකාවේ සිලිකන්වැලි වෙත පැමිණෙන ඔහු CISCO සමාගමෙහි පද්ධති කළමනාකරුවකු ලෙස සම්බන්ධ වෙයි. එතැන් සිට දිනෙන් දින තම දක්ෂතාවය පෙන්වන ඔහු සමාගමෙහි, උප සභාපති ධුරය දක්වා ගමන් කරයි. 2007 දී ඔහුගේ මූලිකත්වය යතේ CISCO ආයතනය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මන්ත්‍රණ පැවැත්වීමේ පහසුකම් පද්ධතියක් වැඩි දියුණු කරන ලද Web-Ex සමාගම මිලට ගනියි.
එම පද්ධතිය දිනෙන් දිනම දියුණු කිරීම වෙනුවෙන් ඔහු 2011 වර්ෂය දක්වා ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ලද යෝජනාවන් බොහොමයක් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය ප්‍රතික්ෂේප කරනු ලබයි. තම සමාගම වෙනුවෙන් අතිශය කැපවීමෙන් සේවය කරන එරික් යුවාන්ට තම යෝජනා ප්‍රතික්ෂේප වීම දරාගත නොහැකි වෙයි. මෙසේ කළමනාකාරිත්වයෙන් ප්‍රතික්ෂේප වූ එරික් යුවාන් පද්ධති ඉංජිනේරුවන් 40කට ආසන්න පිරිසක් සමඟ CISCO Web-Ex සමාගමෙන් ඉවත්ව 2011 අප්‍රේල් 21 වන දින “Saasbee” (සාස්බී) නමින් නව සමාගමක් ආරම්භ කරනු ලබයි.
බොහෝ දුර විසූ සිය පෙම්වතිය සමඟ සම්බන්ධ වීමේ ක්‍රමයක් සොයමින් සිටි එරික් යුවාන් දිනෙන් දින ඒ සඳහා නව ක්‍රමවේදයන් අත්හදා බැලීමට පටන් ගනී. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහු සහ ඔහුගේ පෙම්වතිය පැය 10ක දුම්රිය ගමනකින් දුරස් වූ විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපනය ලැබීමය.
“මට ඇයව වසරකට දෙවරක් පමණක් දැකගත හැකි වූ අතර, දුම්රියෙන් එහි යාමට පැය 10 කට වඩා ගතවන බැවින්, එවකට තරුණ වියේ සිටි මගේ කල්පනා වූයේ අනාගතයේදී බොත්තමක් Click කර ඇය සමඟ කතා කළ හැකි උපකරණයක් තිබේනම්…” යනු ඔහුගේ සිතුවිල්ල විය.
ටිකෙන් ටික මේ සිතිවිලි වලට ගොනුවී සිටි ඔහු අවසානයේ දී, ඒ වෙනුවෙන් උපක්‍රම කල්පනා කරන්නට විය. තම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණු කරන අතරතුර ඔවුන් විවාහ වූවේය. පද්ධතියේ වැඩි දියුණුව වෙනුවෙන් ආයෝජකයන් සොයා ගැනීමට මහත් වෙහෙසක් ගත් යුවාන්, තම පද්ධතිය දියත් කිරීම සඳහා මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් මුදල් ණයට ගත් බවද ඔහු පවසයි.
ඉතාමත් ඉහළ පිළිගැනීමක් සහිත රැකියාවක සිට අවදානමක් ගෙන, එවකට තම පෙම්වතියගේද විරෝධතාවය නොතකමින් ඉන් ඉවත් වූ එරික් යුවාන් දැඩි කැපවීමකින් යුක්තව තමා හඳුන්වා දුන් “Saasbee” පද්ධතිය වැඩි දියුණු කොට 2019 අප්‍රේල් මාසයේදී ZOOM ලෙස මහජනයා හමුවට ඉදිරිපත් කළේය.
එතැන් සිට ඔහුගේ සාර්ථකත්වයේ ගමන ආරම්භ වේ යැයි ඔහු පවා නොසිතන්නට ඇත. නමුත් 2019 වර්ෂයේ අවසාන කාලය මුළු ලෝකයම COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි අර්බුධකාරී වටාපිටාවකට යොමු විය. බොහෝ පුද්ගලයන්ට තම නිවසින් පිටතට යා නොහැකි තත්ත්වයක් උද්ගත විය. මෙම නිසා ZOOM වැනි වැඩි දියුණු කරන ලද වීඩියෝ සාකච්ජා මෙවලමක අවශ්‍යතාවය දිනෙන් දින දැනෙන්නට වීම නිසා මුළු ලෝකයම ඒ කරා යොමුවන්නට පටන් ගැනුණි.
වර්තමානය වන විට ඔහු වසර නමයක් තුළ ගොඩනඟාගත් ආදායම ඩොලර් බිලියන 35 ක් දක්වා ඉහළ නැග ඇත. 2020 මාර්තු මාසයේ සිට 2020 සැප්තැම්බර් මස දක්වා අවසන් මාස 6 තුළ පමණක් ඔහුගේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කට අධික මුදලකින් වර්ධනය වී ඇත.
මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන මේ බිලියනපතියාගේ සමස්ත වත්කම කොරෝනා වසංගතය පැතුරුණු කාල සීමාව තුළ ඩොලර් බිලියන 17.7 කින් වර්ධනය වී ඇත. එය පසුගිය වර්ෂයේ මේ කාලසීමාව හා සංසන්දනය කළ විට 396.5% ක වර්ධන අනුපාතිකයකි. ZOOM වසරේ වඩාත්ම සාර්ථක NASDAQ (නැස්ඩැක්) මූලික කොටස් නිකුතුවක් කර ඇති අතර, පළමු දිනය තුළ පමණක් ZOOMහි කොටස් මිල 72% කින් ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් වාර්තා කරයි.
ZOOM මෘදුකාංගය මේ වන විට SAMSUNG, UBER, WALLMART, CAPITAL ONE ඇතුළු ලොව පුරා ආයතනික සේවා දායකයන් 30,000කට අධික සංඛ්‍යාවක් සිටින අති දැවැන්ත සමාගමකි. එමෙන්ම ZOOMහි නිර්මාතෘ එරික් යුවාන් තම සේවකයින් අතර අතිශයින් ජනප්‍රියය. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු තම සේවකයන්ට ඇහුම්කන් දෙන පෞරුෂයකින් යුතු පුද්ගලයකු වීමය. ඔහුගේ ජනප්‍රිය භාවය කොතෙක්ද යත් 2018 දී ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) බවට පත්වූයේ 99% ක සේවක කැමැත්තක් ද සමගිනි.
2019 දෙසැම්බර් සිට ZOOM භාවිතය ඊට පෙර කාලයට සාපේක්ෂව 1,900% කින් වර්ධනය වී තිබේ.
ඔහු ඔහුගේ කාර්ය බහුල දෛනික කාලසටහන නොතකා දරුවන් වෙනුවෙන් කැපවූ පියෙකි. මෙම යුවලට පුතුන් දෙදෙනකු හා දියණියක සිටී.
අවසන ඔහු පවසන ආකාරයට, ඔහුගේ මෙම පිබිදීමට හේතු වූ ප්‍රධාන කරුණ නම් CISCO ආයතනයේ Web-Ex මෘදුකාංගයෙන් ඔහුගේ නික්මීමයි.
“CISCO සමාජ ජාලකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තම ආයතනය ෆේස්බුක් වැනි සමාජ ජලාවක් බවට පත්කිරීමට උත්සාහ කලා. නමුත් මම ආයතනයක් ලෙස වීඩියෝ සම්මන්ත්‍රණ යෙදවුම් අතර ඇති, ඊට වඩා වැඩි දියුණු කළ යුතු සහ අපට අනන්‍ය වූ වෙළෙඳපොළ පෙන්වූවත් ඔවුන් එය තේරුම් නොගෙන කටයුතු කලා. CISCO වැරැද්දක් කලා. මම ඉවත් වෙලා අවුරුදු තුනකට පස්සේ එයාලට තේරුණා මම කියපු දේ හරි කියලා…”
COVID-19 පළමු හා දෙවන ව්‍යාප්තියත් සමඟ ලෝකයම මුහුණ දී සිටින මේ වසංගතයේ දී ලෝකයේ කිසිදු ආයතනයකට නොදෙවෙනිව තම ව්‍යාපාරයේ වර්ධනයත්, ව්‍යාපාරයේ ආදායමේ වර්ධනයත් වාර්තා කළ පුද්ගලයෙක් සිටී නම්, ඒ ZOOM ප්‍රධාන විධායක නිලධාරී එරික් යුවාන්ය.
ඔහුගේ ජීවිතය තුළ අපට උගත හැකි පාඩම කුමක්ද?
ඊ.සී.ජී පටියක් වැනි ඉහළ පහල යන ජීවිතේ තම හඳුන්වා දීම පළමුව සාර්ථකව නොවූවත් උපේක්ෂාවෙන් යුතුව වසර 9ක් (2011 – 2020) වෙළෙඳපොළ සමඟ රැඳී සිටි “බලාපොරොත්තුවයි”. ඉන්පසු තමාට වසර 9කට පසු ලැබුණු අවස්ථාවෙන් උද්දාමයට පත් නොවී, දිනෙන් දින නව්‍යකරණය වෙමින් තම වෙළඳපොල කොටස ග්‍රහණය කරගැනීමට ඔහු දරන උත්සාහයයි.
එම නිසා ඊ.සී.ජී පටියක් මෙන් පහලින් පහලට ගමන් කිරීමට සිදු වුවත්, එය පරාජයක් ලෙස පිළි නොගෙන, තම අවස්ථාව එන තෙක් රැඳී සිට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අතිශයින්ම ප්‍රශංසනීය කාරණාවකි. එයින් අපට මතු කරගත හැකි තවත් කාරණාවක් නම් උත්සාහවන්තයාට අනිවාර්යයෙන්ම ස්වභාවධර්මය හෝ අවස්ථාවක් උදාකර දෙන බවය.
වැදගත්…
ඔබේ නව හඳුන්වාදීම, හඳුන්වාදීමෙන් පසු ඉහළ පහළ ගිය ද, පහළින් පහළට ගිය ද, එය තනි ඉරක් ලෙස පිහිටීමට වඩා අගනේය. මක්නිසාදයත් ඒ ඔබ තරගකාරීත්වයට මුහුණ දෙමින් වෙළඳ පොල තුළ ජීවත්ව සිටින සජීවී පුද්ගලයෙක් වන බැවිනි.
“ප්‍රශංසා සහ විවේචන යන දෙකම පිළිගන්න. මන්දයත්, ගහක් වැඩීමට මෙන්ම මලක් පිපීමට හිරු එළිය සහ පොද වැස්ස යන දෙකම අවශ්‍ය වෙන බැවිනි.”
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla