Youtube Channel එකක් නිර්මාණය කරගෙන ලක්ෂ ගණන් උපයන්නේ කොහොමද ? | Scam Alert
මේ පෝස්ට් එකේ අපි Youtube හරහා ආදායම් උපයන ක්‍රමය කියලා දෙනවට ගොඩක් පාඨමාලා කරන ආයතන සහ චැනල් නම් කැමතිවෙන එකක් නැ. ඒත් ඒ හැමෝම සල්ලි හොයන ආකාරය ඔබත් ඉගෙන ගන්න ඕන නිසා අපි හිතුවා ඔබට එය නොමිළයේ කියලා දෙන්න.
1️⃣ මුලින්ම Youtube Channel එකක් නිර්මාණය කරගන්න.
2️⃣ ඉන්පසුව ඔබේ ෆෝන් එකෙන් පොඩි වීඩියෝ එකක් හදන්න. මේ සඳහා පහත ඇප් භාවිතා කරන්න.
ඡායාරූපය සංස්කරණය : Inshot
වීඩියෝ සංස්කරණය : Viva Video / Capcut / Inshot
ස්ක්‍රීන් වීඩියෝ රෙකෝඩින් : XRecorder
3️⃣ වීඩියෝ හදන්න Trending මාතෘකා.
▪️ පරිප්පු පැකට් කරලා ලක්ෂ ගණන් උපයමු
▪️ පෑන් වලට බට දමා මාසිකව රු.90,000ක් හොයන්නේ කොහොමද ?
▪️ ඇඳුම් වල ටැග් ගසා මුදල් සොයන්න ඔබත් කැමතිද?
▪️ තේ කොළ පැකට් කරලා මාසෙට රු.50,000ක් උපයන්නේ මෙහෙමයි.
▪️ බෝතල් වලට ගම් දාලා සල්ලි හොයන්න කැමතිද?
▪️ බයිට් පැකට් කරලා සල්ලි හොයමුද?
▪️ පොත් වලට ස්ටේප්ලර් කටු ගසා මාසෙට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා ඔබ දැනන් හිටියද?
▪️ ලුණු පැකට් කරලා ජීවිතය ජයගන්න කැමතිද?
▪️ ගෙදර ඉඳන් බබත් බලාගන්න ගමන් සෝයා මීට් පැකට් කරලා සල්ලි හොයමු
▪️ කොණ්ඩ කටු පැකට් කරලා සල්ලි හොයමු
▪️ පහන්තිර අඹරලා පැකට් වලට දමලා ලක්ෂපතියෙක් වෙන්න
▪️ හඳුන්කූරූ පැකට් කරලා මාසේ ආදායම හොයාගන්නේ මෙහෙමයි
▪️ ඇසුරුම් සකස් කරලා සහ ලිපිකවර අලවලා මාසෙට රු.50,000ක් උපයන්න.
▪️වදමල් වේලලා රටයවලා සල්ලි හොයමුද?
▪️ රම්පේ ග්‍රෑම් 20ක් $10ට අලෙවි කරන රහස්
▪️ වේළපු කොස්කොල eBay එකේ අලෙවි කරන්නේ මෙහෙමයි
▪️ මේ ස්වයංරැකියාව කලොත් ආයේ ජොබ් ඕන නෑ
▪️ වදමල් වගාවෙන් ලක්ෂ ගණන් උපයන හැටි
▪️ කොට්ටම්බා කොල විකුණා ලක්ෂයක්
▪️ කොට්ටම්බා කොල වලින් සල්ලි මවන හැටි
▪️ මාසෙන් ලක්ෂපතියෙක්, ඕනෑතරම් අපි මිළදී ගන්නවා. කොට්ටම්බා කොල වේලන්න
▪️ කොස් කොල වලින් සල්ලි හොයන්න ඉක්මනට මේ වීඩියෝ එක බලන්න
▪️ කොල 100ක් රු.2800යි. කොස් කොල විකුණන්න
▪️ දෙල් කොල පිටරට යවන හැටි. දෙල් කොල 10ක් රු.3500
ඔය වගේ බොරු ස්වයංරැකියා පිළිබඳව වීඩියෝ එකක් හදන්න, නොඑසේනම් ඔය වගේ කැලෑ කොල, මල් eBay එකේ විකුණන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න. මීට කලින් විකුණන්න දාපු අයගේ ස්ක්‍රීන්ශොට් ටිකක් ගන්න. ඒ සඳහා eBay එකට ගිහින් අදාල මල්/කොල වලට ඉංග්‍රීසියෙන් කියන නම ටයිප් කරලා සර්ච් කරන්න. සාක්ෂි විදිහට ඒ ස්ක්‍රීන්ශොට් දාන්න.
4️⃣ වොයිස් කරනකොට මුලින්ම ඕවගේ වැදගත්කම සහ අනම් මනම් බයිලා ටිකක් කියන්න. වීඩියෝ එක දික් කරගන්න. එතකොට වොච් ටයිම් වැඩියෙන් එකතු කරගන්න පුළුවන් නේ.
5️⃣ වීඩියෝ එක පටන් ගන්නකොටම දාන්න “මේවා කාටද අලෙවි කරන්නේ?
▪️ දේශිය ගැනුම්කරුවන්
▪️ විදේශීය ගැනුම්කරුවන්
වීඩියෝ එක අවසානය තෙක් නරඹන්න කියලා දාන්න. අනිවාර්යයෙන් Watch Time හැදෙනවා. නිකන්ම Monetize Enable වෙයි.
6️⃣ කිලෝ එකක් විකුණන පුළුවන් ගාණ ඊලඟට දාන්න. රු.20,000 – 30,000ක් දාන්න. 100g ට මෙච්චරයි කියලා ලොකු හීනයක් පෙන්වන්න.
7️⃣ මිළ තහවුරු කරන්න කවුරු හරි eBay දාපු ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාන්න. එතකොට මිනිස්සු විශ්වාස කරනවා. ඩොලර් වලින් තියෙන ඒවා රුපියල් වලින් කැල් එකෙන් හදාලා පෙන්වන්න. ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න.
8️⃣ “අපනයනය සඳහා සකස්කරගන්න ආකාරය” කියලා ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ ටිකක් හොයලා දාන්න. කෑලි කපලා පොලිතින් වලට දාලා පැක් කරන ආකාරය. වීඩියෝ හොයාගන්න සයිට් ගොඩක් තියේ. පසුව උගන්වන්නම්.
9️⃣ මේ ටික වොයිස් වලින් කියන්න.
ඊලඟට වැදගත්ම දේ තමයි ගැනුම්කරුවන් පිළිබඳව විස්තරය.
▪️Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
▪️ වැඩිදුර විස්තර අවශ්‍යයි කියලා වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මොකද අපි විස්තර දෙන්නේ මේක අවශ්‍යතාවය, උනන්දුව, කැපවීම තියෙන අයට පමණයි කියලා කියන්න (මෙච්චර වෙලා මිනිස්සු වීඩියෝ එක බැලුවේ ආසාවටනේ… 🤣)
▪️ ගැනුම්කරුවන් සිටින වෙබ් අඩවි ගැන ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්. මගේ චැනල් එකේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබට අප වීඩියෝ එකක් පළකල සැනින් බලාගන්න පුළුවන්.
▪️ කමෙන්ට් කරන අයට අපි Whatsapp විස්තර එවන්නම් කියලා දාන්න.
🔟️ වැඩියෙන් කට්ටියට විශ්වාසය ඇති කරන්න ඕනනම් වැඩිය භාවිතා නොකරන දුරකතන අංකයක් දාන්න. කොස් කොල, රම්පේ, දෙල් කොල, වදමල් ඇති තරමක් අපි ගන්නවා කියලා වීඩියෝ එකේ දාන්න පුළුවන්. කෝල් කලහම කියන්න “මෙච්චර දවසක් අපි ගත්තා, කොරෝනා නිසා දැන් ගන්නේ නෑ. Whatsapp Message එකක් දාලා තියන්න, අපි දැනුම් දෙන්නම්” කියලා කියන්න.
අපේ මිනිස්සු ලේසියෙන් රැවටෙනවනේ…
කඩේකට ගියත් එහෙමනේ “ස්ටොක් තිබිලා දැන් අන්තිම එක අරන් ගියේ, ලබන සතියේ බඩු එනවා” කියනවා. ජීවිතේට ඒ බඩුව ඒ කඩේට ගෙනත් නෑ.
1️⃣1️⃣ දැන් ඔය වීඩියෝ ලින්ක් එක ගෲප් 50ක විතර දාන්න. පිස්සෝ වගේ මිනිස්සු ඩීටේල්ස් අහනවා. එයාලට කියන්න වීඩියෝ එක බලන්න කියලා.
ඔන්න ඔය විදිහට මිනිස්සුන්ගේ හීන එක්ක සෙල්ලම් කරන්න. ස්මාර්ට් ෆෝන් එකක්, ඩේටා පොඩ්ඩක් සහ ඇප් 3ක් පමණයි ඕන.
සතියෙන් Subscribe 1,000, Watch Time පැය 4000 හදාගන්න පුළුවන්.
දැන් තේරෙනවා නේද මිනිස්සු රවට්ටලා, හීන පෙන්වලා සල්ලි හොයන්නේ කොහොමද කියලා…
ඔබත් කා ල ක ණ් නි යෙ ක් නම් ඔහොම එකක් කරන්න. අනුන්ගේ හීන, කාලය සහ මුදල් විනාශ කරලා කීයක් හරි හොයාගන්න….
ආයෙත් වංචා ක්‍රමේකින් මුදල් හොයන හැටි ඉක්මනින්ම කියලා දෙන්නම්. 🤣
◾◾◾◾◾◾◾◾◾◾
අපි ඉදිරියේදී ඔබට කියලා දෙන්නම් වංචා නොකර මිනිස්සුන්ට නිවැරැදි තොරතුරු දීලා ඒ හරහා චැනල් එකකින් ආදායම් ලබන්නේ කොහොමද කියලා. හීන එක්ක සෙල්ලම් කරන්න එපා.
මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කවදාවත් ආයේ Scam එකකටනම් අහුවෙන එකක් නෑ. ඒත් අවාසනාවකට මිනිස්සු මේක කියවන්නේ නෑ. මේ පෝස්ට් එක Skip කරලා ගිහින් ඒකට යටින් News Feed එකේ පෙන්වන රු.ලක්ෂයක් ආයෝජනය කර මාසෙන් ලක්ෂ 10ක් හොයන්න කියන පෝස්ට් එකක් කියවාවි. ඒක තමයි ලංකාවේ හැටි.
මේ පෝස්ට් එකේ අපි Youtube හරහා ආදායම් උපයන ක්‍රමය කියලා දුන්නට ගොඩක් පාඨමාලා කරන ආයතන සහ චැනල් නම් කැමතිවෙන එකක් නැ. හැබැයි දැන් අපිට මඩගහන්න පටන් ගනීවි. ඒත් ඒ හැමෝම ඔබව රවටා මුදල් උපයන ආකාරය ගැන ඔබ දැනගන්න ඕන කියලා හිතුවා. නමුත් මේ ආකාරයට නිවැරැදි තොරතුරු දීලා නිවැරැදිව මුදල් උපයන චැනලුත් ඕනෑ තරම් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒවා තෝරා බේරා බලන්න බුද්ධිමත් වෙන්න…
බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams