ඔබ ගමනක් යද්දී පාරේ ඉන්න බල්ලෙක් ඔබට බුරාගෙන පැන්නොත්, ඇත්තටම ඔබ මොකද කරන්නේ…?
ඇත්තටම කරන්න හිතෙන දේවල් දෙකක් තියෙනවා නේද?
පළවෙනි දේ තමයි, දුවන්න හිතෙන එක. දිව්වොත් බල්ලා පස්සෙන් එළවනවා විතරක් නෙමෙයි, බොහෝ වෙලාවට හපාකනවා. ඇයි ඒ? බල්ලා දැනගන්නවා ඔබ බයයි කියලා…
ඊළඟට අපිට කරන්න හිතෙන දේ තමයි ගලක් අරගෙන ගහලා බල්ලාව එලවන එක. ගලක් ගහන්න ගියොත් දේවල් දෙකක් කරන්න වෙනවා. ගලක් අහුලා ගන්න නතර වෙන්න වෙනවා. ඒ වගේම ගහන ගලට බයේ බල්ලා දිව්වොත් හොඳයි. බැරි වෙලාක්වත් බල්ලා දුවන්නේ නැතුව කඩාගෙන පැන්නොත් මොකද කරන්නේ?
සර් වින්ස්ටන් චර්චිල් වරෙක මෙන්න මෙහෙම කියනවා.
“බුරන බල්ලන්ට ගල් ගැසීමට ඔබ නතර වුවහොත්, කෙදිනක හෝ ඔබ ඔබේ ගමනාන්තයට ලඟා නොවනු ඇත.”
මොකක්ද මේ කියන්නේ ??…….
දිගුකාලීන සැලසුමක් හදාගෙන, යම්කිසි ගමනක් යන්න පටන් ගත්තා කියලා හිතන්න. ඔබේ දිගුකාලීන අරමුණට ලඟාවෙන්න නම් යම්කිසි කාලයක් ඒ වෙනුවෙන් ඔබට වැඩකරන්න වෙනවා. එහෙම වැඩකරගෙන යද්දී ඔබ වටේ ඉන්න පිරිස ඔබට විවිධ දේවල් කියන එක සාමාන්‍ය දෙයක්. මේ කියන දේවල් වලින් අපි ධෛර්යයමත් වෙනවා. ඒ වගේම සමහරු කියන දේවල් වලින් අපි අධෛර්යමත් වෙනවා. තේරෙන බාසාවෙන් කිව්වොත් කඩා වැටෙනවා. මෙහෙම වුණ වාර අනන්තයි, අප්‍රමාණයි නේද?
බොහෝ වෙලාවට, මේ වගේ අවස්ථාවකදී සිදුවන්නේ අපි අධෛර්යමත් වෙන එක. ඒත් එක්කම අපිට කරන්න යන දේ එපා වෙනවා. සැලසුම අත හැරලා දාන්න හිතෙනවා. අන්න එහෙම වුනොත් අපි පාරෙන් එළියට විසි වෙනවා. එහෙම විසිවුනොත් ආපහු Track එකට දාගන්න හරි අමාරුයි. ඒක නිසා අපි එක දෙයක් හොඳින්ම දැනගන්න ඕනේ. අපි මේ ලෝකේ හැමෝම සතුටු කරන්න ගියොත්, අපිට අපේ ගමන යන්න හම්බවෙන්නේ නෑ. ඒකට හේතුව එකම ප්‍රශ්නයක් දිහා විවිධ අය බලන්නේ විවිධ විදියට… විවිධ පැති වලින්. සමහරුන් කරන්න පුලුවන් කියලා හිතාගෙන වැඩට බැස්සත්, සමහරු වැඩකට බහින්නේම කරන්න බෑ… මේක හරියන්නේ නෑ කියන මානසිකත්වයෙන්. මේ වගේ දිගුකාලීන ගමනක් යද්දී, වඩා වැදගත් වෙන්නේ, ඒ ගමන යන කෙනාගේ මානසිකත්වය මිසක්, වටේ ඉන්න අය කියන දේවල් නෙමෙයි…
මේ කතාව සමහර විට විවිධ විදිහට ඔබ අහලා ඇති…
ඔන්න එකෝමත් එක කාලෙක කුඩා ගෙම්බන් කණ්ඩායමක් එකතු වෙලා නගරයේ තියෙන උසම කුළුණේ මුදුනට ළඟා වීමට තරඟයක් සංවිධානය කලා.
තරඟය සඳහා දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම, සෑම තැනකම ප්‍රවෘත්ති පැතිර ගිය අතර විශාල පිරිසක් තරඟය නැරඹීමට කුළුණ වටා රැස්ව සිටියා. මෙම කුඩා ගෙම්බන්ගෙන් කිසිවෙකු එම කුළුණේ මුදුනට යනු ඇතැයි බලා සිටි පිරිස විශ්වාස කළේ නෑ. ඒ වුනාට ඔවුන් කුතුහලයෙන් බලාගෙන සිටියා.
තරඟය ආරම්භ වුනා. ගෙම්බන් ඉක්මනින් කුළුණට නැගීමට පටන් ගත් අතර බලා සිටි පිරිස ඔල්වරසන් දුන්නා.
මොහොතකට පසු, වටේ බලාගෙන හිටපු අයගෙන් කෙනෙකු කෑ ගැසුවේ,
“ඒ ගොල්ලෝ කොහොම ඔය කුළුණට නගින්නද? ඔය කුළුණ උස වැඩියි !”
තවත් ප්‍රේක්ෂකයෙක් පැවසුවේ,
“ඔව්, ඔවුන් කිසි විටෙකත් ඉහළට යන එකක් නෑ. ඒ මාර්ගය ඉතා අපහසු එකක් !”
තරගය දිගටම කරගෙන යද්දී සමහර කුඩා ගෙම්බන් කඩා වැටෙන්නට පටන් ගත්තා. එකින් එකා… වෙහෙසට පත්වුණත්… තරඟය දිගටම කරගෙන ගියා. තවමත් සටනේ ඉතිරිව සිටින කීපදෙනා, උද්‍යෝගයෙන් දිගින් දිගටම ඉහළට නගින්න උත්සාහ කලා.
උද්යෝගයෙන් හා කනස්සල්ලෙන් බලාගෙන හිටපු පිරිස දිගින් දිගටම කෑ ගසමින්,
“ඒක ඉතා අපහසු වැඩක්. කාටවත් ඕක කරන්න හම්බවෙන්නේ නම් නෑ !” කිව්වා.
අවසාන අදියරේදී ඉතිරිව සිටි ගෙම්බන් අතරින් බොහෝ දෙනා තරඟය අතහැර දැමුවා. තරඟයේ ඉතිරිව ඇත්තේ එක් කුඩා ගෙම්බෙකු පමණක් වන තෙක් ඔවුන් සියල්ලෝම එකින් එක තරඟය අතහැර දැමුවා.
“කවුරු උත්සාහය අතහැරියත් මම මේක අත්හරින්නේ නෑ !
” විශාල උත්සාහයකින් පසු ඉහළට පැමිණි එකම කුඩා ගෙම්බා ජයග්‍රාහකයා වුණා
ඔබට දැන් හිතුනා වගේම, හැමෝටම
අවශ්‍ය වුනේ මේ කුඩා ගෙම්බා අනෙක් සෑම තරඟකරුවෙකුම තරඟය අතහැර දමන විට, දිගටම තරඟයේ රැඳී සිටිමින් එය ජය ගැනීමට සමත් වුනේ කොහොමද කියලා දැනගන්නයි. සෑම කෙනෙකුම දැන ගැනීමට අවශ්‍ය වූයේ මෙම කුඩා ගෙම්බාට මෙම ඉලක්කය කරා ළඟා වීමට ශක්තිය ලැබුණේ කෙසේද යන්නයි. ඉතින්, ඔවුන් ප්‍රශ්න ඇහුවා.
දැන් මේ ගෙම්බා කියනවා. තරඟය පටන් ගන්නකොට මට හොඳ සැලසුමක් තිබුණා. හැමෝම තරඟය අතහැරලා දාද්දී මම දිගින් දිගටම තරඟය අල්ලාගෙන හිටියා.
ඉතින්…
වටේ හිටපු අය අත් ඔසවලා… කෑ ගහලා… මාව දිරිමත් කලා. ඒක මට දිනන්න ගොඩක් උපකාරී වුනා.
එතකොට වටේ හිටපු අය මොනවා කියලද, ඔබව දිරිමත් කලේ…?
මම හිතුවේ ඒ ගොල්ලෝ අත් ඔසවලා කෑගහන්නේ මාව දිරිමත් කරන්න කියලයි. අවාසනාවට මගේ කන් දෙකම ඇහෙන්නේ නෑ. මම උපතින්ම බිහිරියි.
ජයග්‍රාහකයා උපතින්ම බිහිරි බව හැමෝම තේරුම් ගත්තා. දැන් ඔබට තේරෙනවා නේද?
බැරිවෙලාවත් වටේ හිටපු අය කියපු දේවල් ඇහුණා,නම් මොනවා වෙයිද? මේ ගෙම්බා උපතින්ම බිහිරිවුනේ අවාසනාවටද? වාසනාවටද?
එහෙමනම්, “සාර්ථක මිනිහෙක් වෙන්න බිහිරි මැඩියෙක් වෙන්න.”
එහෙමනම් ඔබට ගමනක් යද්දී හමුවන මෙම බුරාවැටෙන බල්ලන්ගෙන් සංකේතාත්මකව දක්වන්නේ කවුරුන්ද?
අර ඉස්සරවෙලා කියපු ගෙඹි කතාවේ හිටපු, වටේ බලාගෙන ඉඳලා කරන්න බෑ කියලා හිතන, ඒ වගේම කරන්න බෑ කියලා කියන කට්ටියටම තමයි. මඟ දෙපස බුරාවැටෙන බල්ලන්ට බුරාගන්න දීලා ඔබ ඔබේ පාඩුවේ ඔබේ ගමන යන්න. ගල් ගහන්න නතර වෙන්න එපා !
ගමනක් යද්දී බාධාවන් ඇතිවෙන එක ස්වභාවිකයි. ඒ වගේම ගමන ලස්සන වෙන්නේ බාධාවන් ඇතිවෙන තරමටයි. කවදාහරි දවසක මතක් කරලා සතුටුවෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මතකයන් මතකයන්ම නොවී සුන්දර මතක සටහන් වෙන්නේ එතකොටයි.
ඔබේ සිහින හා අරමුණු ඉටු කර ගත නොහැකි බව මිනිසුන් ඔබට පැවසන විට බිහිරි වන්න. ඔබගේ සිහින හා අරමුණු සම්බන්ධයෙන් අනෙක් අයගේ අදහස් මොනවාද? යන්න ජයග්‍රාහකයින් කිසි විටෙකත් අවධානය යොමු කරන්නේ නෑ. ඔබගේ ඉලක්කය කෙරෙහි අවධානය යොමු කර විශ්වාසයෙන් යුතුව ගමන් කරන්න. ඔබේ ගමනාන්තයට ළඟා වීමට ඔබට උදව් නොකරන පුද්ගලයින්ගේ අදහස් සැමවිටම ඍණාත්මක එකක් වනු ඇත. ඔවුන් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන්න. ඔබගේ ගමනාන්තය පිළිබඳ ස්ථිර එමෙන්ම දැඩි විශ්වාසයක් ඇතිකරගන්න. දැන් එම විශ්වාසයෙන් ගමන යන්න. ඔබ දිනුම් කණුවට ලඟාවනු නොඅනුමානයි.
එහෙනම් ගමන හරියට යන්න Business HUB පේජ් එක දිනපතා බලන්න, දැනුම ලබාගන්න…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla