Select Page

ඉන්දියාවේ දිළිඳු පවුලක මවකට ඕනෑ වුණා තමන්ගේ යොවුන් දරුවාගේ නරක පුරුද්දක් අත්හැරවන්න. මේ දරුවාගේ නරක පුරුද්ද වුණේ අන් කිසිවක් නොවෙයි. ගෙදරට ගේන සීනි ටික හොරෙන් කන එක. මේක වලක්වන්න නොයෙකුත් දේ ඈ කලත්, කුඩා කාලයේ සිට පැවත ආ පුරුද්ද අත්හැරගන්න ඔහුට හැකිවුණේ නෑ. සීනි බෝතලේ හංගලා බැලුවා. දරුවාට අවවාද කරලා බැලුවා. ගහලා බැලුවා. මේ කිසිම ක්‍රමේකට මේක නවත්ත ගන්න ඈට බැරි වුණා. අවසානයේ දී ඇය මේ සම්බන්ධයෙන් දැනමුතුකම් ගන්න මහත්මා ගාන්ධි තුමා වෙත යන්න තීරණය කලා. දරුවවත් ලෑස්ති කරගෙන ඇය කිලෝමීටර් ගාණක් පයින් ආවා. අනික ගිණි ගහන රස්නයක් තියෙන දවසක. පැය ගණනාවක විඩාවත් තමන්ගේ මුහුණේ තියාගෙන ඇය ගාන්ධිතුමාට ප්‍රශ්නය තේරුම් කළා.

” අද නම් මට මෙයාට මුකුත් ම කියන්න බෑ. නමුත් සමහරවිට තවත් සති දෙකකින් ඔබ ආවොත්, මට පුළුවන් වේවි ඔහුට ඒ සම්බන්ධයෙන් කිසියම් අවවාදයක් දෙන්න.”

නැවත වතාවක් එන එක යම්තාක් දුරකට දුෂ්කරතාවක්. ඒ නිසා, කියන දෙයක් අද ම කියන්න යැයි ඇය ගාන්ධිතුමාට ඇවිටිලි කලා.

” මම වරක් කිව්වනේ. අද නම් මට මුකුත් ම මේ ගැන කියන්න බෑ. සති දෙකකින් එන්න. ඔය නරක පුරුද්ද අත් ඇරවගන්න අවශ්‍ය මඟ පෙන්වීම මම කරන්නම්.” ගාන්ධිතුමා ඇගේ බලාපොරොත්තු සුන් කලා.

සති දෙකක් ගත වුණා. පුතණ්ඩියාගේ නරක පුරුද්ද එසේමයි. ඒ නිසා ම, ඇය නැවතත් දුෂ්කර ගමනක යෙදෙමින් ඔහුත් සමඟ ගාන්ධිතුමන් බැහැ දකින්නට ආවා. එදා නම්, යොවුන් දරුවාව තමන් ගාවට ගත්තු ගාන්ධිතුමා හරි අපූරුවට දරුවට පැහැදිලි කලා. අධික ලෙස සීනි කෑමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වගේ ම, දුප්පත් දෙමව්පියන්ට එහෙම ඉහළ සීනි පරිභෝජනයක් කරන්නට වාතාවරණයක් නොමැති බවත් ගාන්ධිතුමා ඔහුට පෙන්වා දුන්නා. දරුවා ගාන්ධිතුමාට පොරොන්දුවක් දුන්නා. ” ගාන්ධිතුමනි. මම නැවත එහෙම සීනි කන්නේ නැහැ.”

දැන් අර මවට හරි ම සතුටුයි. ඒත් ඇයට ප්‍රශ්නයක් තිබුණා. ඇය එය කෙලින් ම ගාන්ධිතුමන්ගෙන් ඇහුවා.
” ඔබට අද මේ කරන ටික ම එදාත් කරන්න තිබුණා. ඇයි ඔබ එදා මේ උපදෙස් ටික නොදුන්නේ. මේකෙන් අපි එක ගමනක් එන්න ඕනේ වැඩේට දෙවරක් ඇවිත් රස්තියාදු වුණා වගේ ඔබට හිතෙන්නේ නැති ද?” ගාන්ධිතුමා සැලකිල්ලෙන් කාන්තාව දෙස බැලුවා.

” නෑ. මම එහෙම හිතන්නේ නෑ. ඇරත් එදා මට මේ උපදෙස දෙන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.” කාන්තාව යළිත් විමතියෙන් දෑස් ලොකු කලා. ” ඒ මොකද ඒ?” ගාන්ධිතුමා බැරෑරුම් ස්වරූපයක් මවා ගනිමින් නළල රැලිගන්වා උත්තරයක් දුන්නා.
” හේතුව එදා වෙනකොට මටත් සීනි කෑම අත්ඇරගන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ. පහුගිය සති දෙකේ ම මම කලේ ඒ අධික සීනි කෑමෙන් මිදෙන්න පියවර ගත්ත එක. මම කරන්නේ නැති දෙයක් කරන්න කියලා මට දරුවෙක් ට කියා දෙන්න බෑ.”

මේ කතාව නායකත්වය සම්බන්ධ පුහුණු වැඩමුළුවල දී මම නිතර කියන කථාවක්. මමත් මෙය උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්. නමුත් මේ කතාව ඇතුලේ ලොකු පණිවුඩයක් තිබෙනවා. නායකයා යනු අණ දෙන්නෙක් නොවේ. ඔහු ආදර්ශමත් වන්නාය කියන කාරණාව. අපි හැමෝම ජීවිතයේ යම් මොහොතක නායකත්වය දරනවා. ඔබගේ කාර්යාලයේ ඔබ විධායක ශ්‍රේණියේ රැකියාවක් නොකරනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබට නායකත්වය දරන්නට මොහොතක් එනවා. ඒ තමයි ඔබගේ පවුල තුල. ඔබ දෙමාපියෙක් නම්, ඔබ නායකත්වය දෙන්නේ දරුවාට. නායකයින් ලෙස සෑම පුද්ගයෙකු ම පුරුදු පුහුණු කල යුතුව තිබෙන්නේ අනාගත පරපුර, නායකත්වයේ ලක්ෂණ ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන් නිසා. ඇතැම් අවස්ථාවල දී ඇතැම් දෙමාපියන් මා හමුවෙන්නට පැමිණෙනවා. ඒ දරුවන්ගේ නොයෙකුත් අඩුපාඩු නිරාකරණය කරගන්නට සහය ඉල්ලා සිටිමින්. වරක් පියෙකු පැමිණ තමන්ගේ දරුවාගේ ආවේගශීලී භාවය සම්බන්ධයෙන් යමක් කරන්නැයි ඉල්ලා සිටියා. ගැඹුරට ඔහු හා කථා කරන විට දැනගන්නට ලැබුණ දේ තමයි ඒ පියාත් ක්ෂණික ආවේගයට පත් වෙන පුද්ගලයෙකු බව. දරුවා මුල සිට දැක ඇත්තේ යම් යම් බලාපොරොත්තු කඩවීම්වල දී, තමන්ට ඕනෑ පිරිදි සියල්ල සිදු නොවන විට දී ආවේගයට පත්වෙන පියෙක්. දරුවා ආවේගශීලී වීම අහන්නටත් දෙයක් ද? තවත් මවකට තමන්ගේ දරුවන් කියැවීමට පෙළඹවීමේ දැඩි උවමනාවක් තිබුණා. නමුත්, දරුවන්ට එසේ කරන්නැයි කියන අම්මා තාත්තා විවේකයක් ලබන සෑම මොහොතකදී ම කරන්නේ රූපවාහිනිය බැලීම හෝ ජංගම දුරකතනය සමග කල් ගතකිරීම බව දරුවාගේ පාර්ශවයෙන් කියැවුණා. අද සමාජයේ බොහෝ නායකයින්ගේ ගැටළුව නම්, නායකත්වයේ ආදර්ශය ලබා දෙන්නට ඔවුන් අසමත් වීමයි.

ඔබ දිහා බලමින් ඔබගේ පසුපසින් පැමිණෙන්නා කවරෙකු වූවත්, ඔබගෙන් ඔහු හෝ ඇය ආදර්ශ බලාපොරොත්තු වනවා. පිළිවෙලට ඇදපන් යයි කෙනෙකුට කියන්න නම්, තමන් පිළිවෙලට අදින්නට අවශ්‍යයි. වෙලාවට වැඩට එන්නැයි සේවකයින් තුල පෙළඹවීමක් සිදු කල හැක්කේ වෙලාවට සේවයට වාර්තා කරන නායකයෙකුට පමණයි. නමුත් සමාජය තුල සිටින බොහෝ නායකයින්ගේ ප්‍රශ්නය වන්නේ, ඔවුන්ගේ අණ තුල ඔවුන් හෝ ජීවත් නොවිමයි. අනෙක් අය ඔවුන් අනුගමනය කිරීම ගැන ඉතින් කවර කතාවක් ද?

මම සඳළංකාව ජාතික පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිටිය දී මට එවැනි පාඩමක් මගේ විදුහල්පතිවරයා හරි අපූරුවට ඉගැන්වූවා. අපිට එක් එක් දිනවල දී එක් එක් රාජකාරී පැවරී තිබෙනවා. එක් දිනක් මම ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී සඳහා වාර්තා කල යුතුව තිබුණා. මගේ නිවසේ සිට පාසලට තිබුණේ මීටර් 500 ක පමණ දුරක්. උදෑසන 6.30 වනවිට ගේට්ටුවේ රාජකාරි ආරම්භ කල යුතුයි. නමුත් එක් දිනක් මම ප්‍රමාද වුණා. පාසලේ ප්‍රධාන ගේට්ටුව පසුකරමින් මම පොත් බෑගය තියන්න පන්ති කාමරයට දුවනකොට වෙලාව උදාසන 6.33 යි. නැවත ගේට්ටුවට වාර්තා කරනවිට වේලාව 6.35 වුණා. මගේ විදුහල්පතිවරයා වූයේ M.G.S.රූපස් මහතා. ඔහු පාසලට එන්නේ කිලෝමීටර් 20-30 ක් පමණ ඈතක සිටයි. ඔහු මට බැන්නේ නැහැ. නමුත් ප්‍රශ්න කිහිපයක් ඇසුවා.
” භාතිය. ඉස්කෝලෙට ගෙදර ඉදන් දුර කොච්චරක් තියෙනවා ද?”
” සර්. මීටර් 500 යි.” ඉන් අනතුරුව ඔහු මට කී දෙයින් මගේ කලිසම කඩා වැටෙනවා වගේ මට දැනුනා.

“කිලෝමිටර් 30 ගාණක් ඈත ඉදන් ඇවිල්ලත් අද උදෙත් මම 6.30 වෙනකොට ගේට්ටුව ගාව හිටගත්තා භාතිය.” විදුහල්පතිතුමා හිනා වෙලා කිව්වා. මට මහත් ලැජ්ජාවක් ඇති වුණා. ඔහු මගේ විදුහල්පතිවරයා. මම ශිෂ්‍ය නායකයෙකු විතරයි. එදා ඉදන් මම අප්‍රමාදී වන්නේ කෙසේදැයි ඉගෙන ගත්තා. අවුරුදු 10 ක් ආයතනගත සේවයේ හිටියා. එම කාලසීමාවේ දීත්, වැඩමුුළු සැසිවාර හෝ දේශනවලට සහභාගී වන මේ වෘත්තීය ජීවිතය ඇතුලේත්, මට වෙලාවට වැඩ කරන්නට බැරි වෙනවා නම් එය මා තුල දැඩි අපහසුවක් ඇති කරනවා. මට මගේ විදුහල්පතිවරයා මතක් වෙනවා. අඩුම තරමේ දේශන හෝ සැසිවාර අතර ලබාදෙන විවේකයේ දී පවා දේශන ශාලාවෙන් අවසානයට ඉවත්ව යන්නේ මා වූවත්, අන් සැමට කලින් නැවත දේශන ශාලාවට පැමිණෙන්න මම උත්සාහ කරනවා. ඇයි? මට දෙන බෙහෙත මගේ විදුහල්පතිවරයා හදවතේ ගැඹුරට ම දෙන්න සමත් වුණ නිසා. සමහර විට ඔහු මට ඒ සම්බන්ධයෙන් දඬුවමක් දුන්නා නම්, එය මේ තරම් බලවත් පාඩමක් නොවෙන්නට ඉඩ තිබුණා.

නායකත්වය කියන්නේ ඇත්තට ම අණ දීම් නෙවෙයි. ක්‍රියාවෙන් පෙන්වීමයි. Leadership is not a title. its a collection of good behaviors. ( නායකත්වය යනු තනතුරක් නොවෙයි. එය ඉතාමත් හොද ගුණාංග සමුදායක එකතුවක්) යැයි මා නිතර ම කියනවා. ඔබ ඔබගේ කාර්යාලයේ ලොක්කා නොවෙන්නට පුළුවන්. ඔබගේ යහළුවන් අතර වැඩ්ඩා නොවෙන්නට පුළුවන්. නමුත් ඔබ දිහා බලාගෙන යමෙක් පිළිවෙලට යමක් කරන්නට ඉගෙන ගන්නවා නම්, ඒකේ තේරුම ඔබ ඔහුට නායකත්වය දුන්නා යන්නයි.

ඒ නිසාවෙන්, ඔබට ජීවිතයේ යම් මොහොතක, ඔබගේ රැකියාව තුල දී බැරිවුණත්, ඔබගේ සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, පවුලට හෝ නායකත්වය දෙන්නට සිදු වෙනවා. අන්න ඒ වෙලාවට ඔබට හැකිනම්, අණ නිකුත් කරනවා වෙනුවට ආදර්ශමත් වෙන්න, ඒකේ තේරුම ඔබ සැබෑ නායකයෙක් ලෙස වැඩකලා කියන එකයි.

සැ. යු : භාතිය අර්ථනායක විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලදි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla