ගඟක් අසල පැල්පතක තරුණ යුවළක් ජීවත් වුණා. මොවුන් ඉතාම දුප්පත්. මේ සැමියා තමන්ගෙ බිරිදට ගොඩක් ආදරය කළා. ඔහුට ඕන වුනේ හැම වෙලාවෙ ම තමන්ගේ බිරිඳව සතුටින් තියන්න. ඔහු ගඟෙන් මාළු අල්ලගෙන ඇවිත්, කැලෑවෙන් පළතුරු ගෙනත් බිරිදට දුන්නා. ඔහු ලද දෙයින් සතුටු වෙන සරල මනුස්සයෙක්.
නමුත් ඔහුගේ බිරිඳ ලද දෙයින් තෘප්තිමත් වන කාන්තාවක් නෙමෙයි. ඇය සෑම විටම සැමියා ගෙන එන දේවල්වල අඩුපාඩු දැක්කා. පළතුරු ගෙනා දවසට, ඇයට මාළු ඕන වුණා. මාළු ගෙනා දවසට පළතුරු ඕන වුණා.
දවසක් මේ සැමියාගේ මාළු දැලට මැජික් මාළුවෙක් අහුවුණා. මාළුවා ඔහුට කතා කළා.
“කරුණාකර මාව මරන්න එපා. මට යන්න දෙන්න” මාළුවා කිව්වා.
කතා කරන මාළුවා ව දැකලා මේ මාළු අල්ලන්නා පුදුම වුණා.
“ඔබ කතා කරන මාළුවෙක්. මම කවදාවත් ඔබව මරන්නෙ නැහැ. බයවෙන්න එපා. මම ඔබට යන්න දෙන්නම්.” මාළු අල්ලන්නා කිව්වා.
“ඔබේ කරුණාව ගැන බොහොම ස්තුතියි. කිසියම් දවසක, ඔබට යම් දෙයක් අවශ්‍ය වුණොත්, ඇවිත් කතා කරන්න”. කියමින් මාළුවා නොපෙනී ගියා.
මාළු අල්ලන්නා ගෙදර ගිහින් තමන්ගේ බිරිඳට මේ සිදුවීම කිව්වා.
“ඕනම දෙයක් ඉල්ලන්න කිව්වා නම්, ඔයා මොනවද ඉල්ලුවේ?” බිරිඳ ඇසුවා.
“මොකුත් නැහැ. මට එහෙම විශේෂ දෙයක් ඕනේ නැහැ.”
“ඇයි ඕනේ නැත්තෙ? අපිට සතුටින් ඉන්න කොච්චර දේවල් ඕනෙද? ඒ දේවල් මාළුවාගෙන් ඉල්ලන්න. මට මේ පැල්පතේ ඉඳලා එපා වෙලා තියෙන්නේ. ගිහින් අපිට හොඳ ලොකු ගෙයක් ඉල්ල ගන්න”
“මම නම් කැමති නැහැ එහෙම ඉල්ලන්න.” මාළු අල්ලන්නා කිව්වා.
“ඔයා මට ආදරේ නම්, ගිහිල්ලා අනිවාර්යෙන්ම මාළුවාගෙන් අපිට ගෙයක් ඉල්ලගෙන එන්න.” බිරිඳ කිව්වා.
මාළු අල්ලන්නා බොහොම අකැමැත්තෙන් ගඟ අසලට ගිහින් මැජික් මාළුවාට කතා කළා.
“මැජික් මාළුවෝ මගේ බිරිඳට ගෙයක් ඕන කියනවා”
“ඔබ යන්න . ගෙයක් ලැබිලා ඇති.” මාළුවා කිව්වා.
මාළු අල්ලන්නා ගෙදර යනකොට, ඔහුව පුදුමයට පත් කරමින් ඔවුන් ජීවත් වුණු පැල්පත විශාල නිවසක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඔහුගේ බිරිඳ බොහොම සතුටින් හිනා වෙමින් ඔහුව පිළිගත්තා.
“දැන් ඔයාට සතුටුද?” මාළු අල්ලන්නා ඇහුවා.
“ඒක මම හිතලා බලන්න ඕනේ” බිරිඳ උත්තර දුන්නා.
විශාල නිවසක් ලැබුන එකෙන් මේ බිරිඳ තෘප්තිමත් වුණේ නැහැ. ඇයට ඕන වුණා රටේ රාජනිය වෙන්න. මාළු අල්ලන්නා බොහොම අකැමැත්තෙන් ඇගේ ඒ ඉල්ලීමත් මාළුවාට කිව්වා. ඒ ඉල්ලීමක් ඉටු වුණා. ඇය රටේ රැජින වුණා.
නමුත් ඇය ඉන් තෘප්තිමත් වුණෙත් නැහැ. ඇයට අවශ්‍ය වුණා සියල්ල පාලනය කළ හැකි, සියල්ලට අධිපතිනිය වෙන්න.
මාළු අල්ලන්නා බොහොම කලකිරීමෙන් හිටියෙ තමන්ගෙ බිරිදගේ මේ ඉවරයක් නොවන ඉල්ලීම් ගැන. ඔහු බොහොම දුකට පත් වුණා, පුළුවන් උපරිම දේ ලබා දීලත්, ඇයව සතුටු කරන්න බැරි වීම ගැන. නමුත් ඔහු බොහොම කණගාටුවෙන් වුනත්, ඇයට ඇති ආදරය නිසා ම, තමාගේ බිරිඳට සියල්ලට අධිපතිනිය වී , සියල්ල පාලනය කිරීමට අවශ්‍යයි. ඇයට එය ලබා දෙන්න කියා ඉල්ලුවා. මාළුවා එම ඉල්ලීමත් ඉටු කරන්න පොරොන්දු වුණා.
මාළු අල්ලන්නා තමන් හිටිය රජ මාලිගාවට යනකොට, බිරිද මාලිගාවේ හිටියේ නැහැ. ඔහු හැම තැනම හොයා බැලුවත් බිරිඳව හම්බ වුනේ නැහැ. අවසානයේ ඔහු බොහොම කලබලයෙන් නැවතත් මාළුවා හම්බවෙන්න පිටත් වුණා.
“මැජික් මාළුවෝ ,මගේ බිරිඳ මාලිගාවේ නැහැ. ඇය කොහෙද ඉන්නේ?”
“සියල්ලට අධිපති, සියල්ල පාලනය කළ හැකි කෙනාව කිසිම කෙනකුට දකින්න බැහැ. ඔබේ බිරිදවත් ඔබට දකින්න බැහැ.” මැජික් මාළුවා හිනාවෙලා පිළිතුරු දුන්නා .
“ඔබ ඇයට ලබාදුන් වරය ඉවත් කරන්න. එතකොට මට මගේ බිරිඳව නැවත දකින්න පුළුවන් වෙයි.”
“කණගාටුයි. මට දුන්න වරයක් ආපහු අයින් කරන්න බැහැ.”
“හොඳයි එහෙනම්, මම මෙච්චර දවසක් ඉල්ලුවේ මගේ බිරිදට අවශ්‍ය දේවල්. අද මම මා වෙනුවෙන් දෙයක් ඉල්ලුවොත් ඔබට එය දෙන්න පුලුවන්ද?”මාළු අල්ලන්නා ඇහුවා.
“අනිවාර්යයෙන්ම. ඒ දවස එනකල් තමයි මාත් බලන් හිටියේ. ඔබට මොකද්ද අවශ්‍ය?” මාළුවා ඇහුවා.
“මට ඕනේ මම සහ මගේ බිරිද සතුටින් එකට ජීවත් වෙන්න. මට එම සතුටුදායක ජීවිතය ලබා දෙන්න ” මාළු අල්ලන්නා කිව්වා.
“ගෙදර යන්න. ඔබේ බිරිඳ සතුටින් ඔබ එනකල් බලාගෙන ඇති. ඔබ ඔබ වෙනුවෙන්, ඔබේ සතුට ලබා ගත්තා. ඔබට නැවතත් මාව අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඔබට බඳුනක් දෙන්නම්, එහි ඔබ වෙනුවෙන් ලියුමක් තියෙනවා, ගෙදර ගිහින් නිදහසේ කියවන්න.” මාළුවා නොපෙනී ගියා.
ඔහු නැවත යනවිට මාලිගාව වෙනුවට කුඩා නිවසක් එතැන තිබුණා. ඔහුගේ බිරිඳ ඉතා සාමාන්‍ය කාන්තාවක් ලෙස ඒ නිවසේ දොර අසල ඔහුගේ පැමිණීම වෙනුවෙන් සතුටින් බලාගෙන හිටියා.
“ඔබ හැම වෙලාවෙම හිතුවේ අනිත් අයගේ තෘප්තිය, සතුට ගැන. ඔබ ඔබේ සතුට ගැන හිතන්නේ නැතුව, අනිත් අයව තෘප්තිමත් කරන්න ගියා. නමුත් ඔබට කවදාවත් අනිත් අයව තෘප්තිමත් කිරීමේ අවසානයක් දකින්න ලැබුණේ නැහැ.
ඔබ ඔවුන්ගේ තෘප්තිය වෙනුවෙන් මොන දේ කළත්, ඔවුන්ට තව තවත් දේවල් ඕන වුණා. අවසානයේ, ඔබ බොහෝ කලකිරීමට සහ වේදනාවට පත් වුණා. අවසාන අවස්ථාවේදී තමයි ඔබ හරි තීරණය අරගෙන, ඔබගේ තෘප්තිය වෙනුවෙන් ඉල්ලීමක් කලේ. එම ඉල්ලීමෙන් තමයි ඔබට ඔබේ සැබෑ තෘප්තිය හා සතුට ලැබුණේ.
මතක තියාගන්න ඔයාට කවදාවත් අනිත් අයව සතුටු කරලා, තෘප්තිමත් කරලා අවසන් කරන්න බැහැ. ඒ නිසා මුලින් ම ඔබ ඔබගේ තෘප්තිය සහ සතුට වෙනුවෙන් වැඩ කරන්න, එයට අවධානය දෙන්න” ලිපියේ ලියා තිබුණා.
බාලිකා හේවගේගේ ලිපියක් ඇසුරින් උපුටාගන්නා ලදි. අයිතිය කතෲ සතුය.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla