Select Page

අතේ සල්ලි නැද්ද? හැම මාසෙකම සැලරි ඩේට් එක ලං වෙනකොට යාළුවෙක්ගෙන් දන්න කියන අයගෙන් ණයක් ගන්න සිද්ධ වෙනව ද? එහෙමත් නැත්නම්, දැනටමත් අම්බානක ණය වලට ඔබ හිරවෙලා ද? එහෙනම් වොරන් බෆට් කියන මේ කතාවත් එක්ක පටන් ගන්න. පොඩි හරි සහනයක් ගන්න මේකෙන් බැරි වෙන්නේ නෑ.

වොරන් බෆට් කියන්නේ ලෝකයේ ඉන්න සිව් වැනි ධනවතා. 2019 ෆෝබ්ස් වාර්තාවලට අනුව ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 90 කට ආසන්න වුණා. වර්තමානයේ එය $126.4 පමණ වේ. ව්‍යාපාරකරණයේ අති දක්ෂයෙක් වගේ ම, සාර්ථකත්වයේ පාඩම් නොමසුරු ව අනික් අය වෙත බෙදා දෙන්නෙක් විදියටත් වොරන් බෆට් ප්‍රසිද්ධයි. 1930 අවුරුද්දේ වොරන් උපත ලබන්නේ දේශපාලනයට ලැදි පවුලක සාමාජිකයෙක් විදියට. අමෙරිකාවේ නෙබ්‍රස්කා හි ඔමාහා මහජන පුස්තකාලය තමයි වොරන්ගේ ජීවිතය වෙනස් කරපු තැන. අවුරුදු 7 දී ඔහු කියෙව්වේ සුරංගනා කථා නෙවෙයි. ඔහුගේ අතට අහුවුණේ “One Thousand Ways to Make 1000 dollars” කියලා පොතක්. ( ඩොලර් දාහක් හොයන ක්‍රම 1000 ක්). ඔහුට ඕනේ වුණේ ඒකේ කියලා තියෙන විදියට ව්‍යාපාරිකයෙක් වෙන්න. මූලිකව ගෙදරින් ලැබුණු පොඩි මුදලක් උපයෝගී කරගෙන ඔහු යහළුවන්ට චුයින්ගම් විකුණන්න පටන් ගත්තා. පස්සේ Coca Cola විකිණුවා. ඒ වගේ ම ඔහු ගෙදරින් ගෙදරට සඟරා බෙදීමේ වැඩකුත් කලා. ඩොලර් 35 ක් යොදවලා ගත්ත පින්බෝල් ගේම් මැෂීන් එකක් සැලොන් එකක් ගාව දානකොට වොරන්ට වයස අවුරුදු 15 යි. හේතුව ඔහු දැනගෙන හිටියා සැලොන් එකේ වෙයිටින් ලිස්ට් එකේ ඉන්න මිනිස්සු කම්මැලිකමේ ඉන්නේ කියලා. මොක ද ඒ කාලේ ඔබ ඔබ ඉන්න මොබයිල් ෆෝන් තිබ්බා කියල ද? නෑනේ. ඒ නිසා ම, ඔහු සුළු මුදලක් අරගනෙ තමන්ගේ පින්බෝල් මැෂින් එකේ සෙල්ලම් කරන්න දුන්නා එතන ඉන්න මිනිස්සුන්ට. මාස කීපයක් ගතවෙද්දි තවත් පින්බෝල් මැෂින් තුනක් අරගෙන ඒ වගේ වෙන වෙන ස්ථානවල තියෙන සැලොන් තුනක් ගාව තියන්න වොරන් බෆට් සමත් වෙලා තිබුණා. ඔබ දන්නව ද? ඩොලර් 35 ක් වියදම් කරලා පටන් ගත්ත බිස්නස් එක ටික කාලයකට පස්සේ වොරන් බෆට් විකුණා දමන්නේ ඇමරිකන් ඩොලර් 1200 කට. ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකොට වොරන් ගාව එකතු වෙලා තිබුණ මුදල ඩොලර් 9800 ක් බව පැවසෙනවා. ( අද වටිනාකමට ගැලපුවොත් ඇමරිකන් ඩොලර් 100,000 ක්.) 2008 වෙනකොට ඔහු බිල් ගේට්ස්වත් පරාජය කරමින් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පලමුවැන්නා වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 62 ක වත්කම් අත්පත් කර ගනිමින්. අද වෙනකොට ඔහු සිව්වැන්නා වුණත්, බිලියන 89 ක ධනයක් ඔහු සතුව තියෙනවා.

ඔහුගෙන් එක්තරා අවස්ථාවක දී අහනවා මොකක් ද මේ විදියට මුදල් ඉතුරු කිරීමේ රහස කියලා. ඔහු කියන්නේ සිම්පල් තියරි එකක්. හරියටම කිව්වොත් මෙහෙම.

” ඉතුරු කිරීමේ හරි ක්‍රමය නම්, ආදායම වියදම් කර ඉතිරිය ඉතුරු කිරීම නොව, ආදායමින් කොටසක් මුලින් ඉතුරු කර ඉතිරිය වියදම් කිරීමයි”

නමුත් අපි බහුතරයක් දෙනාට වෙලා තියෙන ප්‍රශ්නය තමයි අපි ඉතිරි කරන්න හිතාගෙන ඉන්නේ වියදම් කලාට පස්සේ. අවස්ථා කීයක දි සුපර් මාකට් එකකට ගියා ම, තමන් ගන්න ගිය භාණ්ඩවලට අමතරව වෙනත් භාණ්ඩ මිලදී ගන්න ඔබට සිදුවෙලා තියෙනව ද? සමහරවිට ඒක අත්‍යවශ්‍ය නෑ ඒ මොහොතේ. ඒත් තමන්ගේ අතේ සල්ලි නැත්නම්, ඇතැම් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඒක ගන්න අපි වැඩ කරනවා. ඒකේ තේරුම තමයි ඔබ ගාව මුදල් තියෙනවා නම්, වියදම් කරන්න හිතෙනවා කියන එක. උදාහරණයක් විදියට ඔය සුපර් මාකට් කන්සෙප්ට් එක එන්නේ ම මිනිස්සු තුල තියෙන ඔය ලක්ෂණය නිසා. තමන්ට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පවා දකිනකමට මිලදී ගන්න එක, අතේ මුදල් රැදී ඇති නිසා මිලදී ගන්න එක මිනිස්සුන්ගේ පුරුද්දක් නිසා. වොරන් කියන්නේ මේ පුරුද්දෙන් තමන්ගේ මුදල් බේරා ගනිමින් ඉතුරු කරන්න කියලා.

අතට වැටුප, එහෙම නැත්නම් ආදායම ආපු ගමන් ම ඒකෙන් කොටසක් ඉතිරි කරලා ඒක අමතක කරලා දානවා නම්, ඔබට සිදු වෙනවා අතේ තියන මුදල කළමණාකරණය කරමින් ගේම් එක ප්ලේ කරන්න. එහෙම නැතිවුණොත් වෙන්නේ හැම සතේ ම වියදම් කලාට පස්සේ, අනේ මේ මාසෙත් මම කීයක්වත් ඉතුරු කරගත්තේ නෑනේ කියලා දුක් වෙන්න. තවත් කෙනෙක් ඉස්සරහා ණය වෙන්න. ශ්‍රී ලාංකිකයෝ විදියට ඕක අපි පවත්වාගෙන ආවේ නැති වුණාට, අපේ ආච්චිලා සීයලගේ පරම්පරාව දක්වා ජාතියක් විදියට ඕක කරගෙන ආවා. එදිනෙදා භාවිතාවෙදිත් ප්‍රැක්ටිස් කලා. ඇතැම් අයට අත්දැකීම් ඇති. සහල් ලිප තියන්න කලින් ඒකෙන් මිටක් අරගෙන වෙනම මුට්ටියකට දානවා. මොනයම් හෝ හෙයකින්, දවසක කන්න හාල් ටිකක් ගෙදරට ගේන්න නැති වුණොත්, එතකොට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ. අර ඉතුරු කරපු මුට්ටියේ හරි බඩු තියෙනවා. ඕක අපි පුරුදු කලේ සම්බුද්ධ දේශනාවෙන්. නමුත් ඉතින් ඒක බුද්ධාගම නේ නේද? අපිට වැඩක් නෑ. නමුත් තමන් හම්බ කරන දෙයින් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න කියලා සම්බුද්ධ දේශනාවේ තියෙනවානේ. සිඟාලෝවාද සූත්‍රයේ ඕක කියලා තියෙනවා මෙහෙම.

“ඒකේන භෝගෙ භුඤ්ජෙය- ද්විහි කම්මං පයෝජයෙ
චතුත්ථං ච නිධාපෙය -ආපදාසු භවිස්‌සති”

ආදායම කොටස් හතරකට බෙදන්න. පලමුවැන්න පරිභෝජනයට. කොටස් දෙකක් ආයෝජනයට, රැකියාවේ දියුණුවට. ඉතිරි කොටස ආපදා තත්ත්වයක් ආවොත් ගන්න ඉතුරු කරන්න කියන කාරණයයි මේකෙන් මේ කියලා තියෙන්නේ.

ඉතුරු කරන්න බෑ, අමාරුයිනේ සර් කියාගෙන කතා කරන බොහෝ තරුණ ළමයින්ට මම කියන්නේ මුදල් කවුරුත් ඉතුරු කරලා දෙන්නේ නෑ. ඉතුරුම් කරන එක ආයෝජනය කියන්නේ තමන් විසින් හදාගන්න ඕනේ පුරුද්දක්. ඔය විදියට කතා කරපු එක්තරා දරුවෙකුට මම කිව්වේ වැටුප බැර වෙන බැංකුවට Standing Order එකක් දීලා වෙනම එකවුන්ට් එකකට වැටුපෙන් 20% ක් වත් යන්න ක්‍රමයක් හදන්න කියලා. හැබැයි ඒ ඉතුරුම් යන එකවුන්ට් එකට ATM කාඩ් එකක්වත් හදන්න එපා කියලා. මොකද එයාට තිබුණු ලොකුම දුර්වලකම තමයි අතේ සල්ලි තියෙනවා නම් වියදම් කරන්න හිතෙන එක. අවශ්‍ය දේ අනවශ්‍ය දේ හැමටම වියදම් කරන එක. අවශ්‍යතා ලැයිස්තුගත කරන්න කියන එක. අවශ්‍යතාවන්ට අනුව වියදම් කරන්න කියන එක. මාසේ අන්තිමට මේ මාසෙත් සතයක්කත් ඉතුරු කරගන්න බැරිවුණා කියලා තැවෙනවට වඩා, හොදම දේ අතට මුදල් ආපු ගමන් කොටසක් වෙනම තැන්පතුවක් වෙත හරවලා ඒක අමතක කරලා, අතේ තියෙන වියදමින් ගේම් එක ප්ලේ කරන එක. බැරිම තැනක් ඇවිලලත්, බැරි ම නම් විතරක් අර තැන්පතුවට අත තියන එක.

මම හැමවිට ම කියන දෙයක් තමයි, ඕනෙම හොද දෙයක් හෝ නරක දෙයක් කරන්න කරන්න තමයි පුරුද්දට යන්නේ. පඩිය අරගෙන මුලින් ඉතුරු කරන එක ඇඟෙන් ඇටයක් යනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි, ඒක තමයි ක්‍රමේ. කරලා බලන්න. සාර්ථක වුණොත්, මාස කීපයකින් හරි, මැසේජ් එකක් හරි තියන්න වැඩේ හරි ගියා කියලා. හේතුව එදාට, ඒක මටත් වඩා පහසුවක් දනවන්නේ ඔබට.

Business HUB Sri Lanka පේජ් එකේ දිනපතා ලිපි කියවන්න. කොහොමද ඉතිරි කරන්නේ, දියුණු වෙන්නේ කොහොමද කියන එක පේජ් එකේ අපි නිතරම උගන්වනවා.

භාතිය අර්ථනායක මහතාගේ ලිපියක් ඇසුරින් උපුටාගන්නා ලදි. ඔහු විසින් රචිත කොටස් වල කතෲ අයිතිය ඔහුට හිමිය.

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla