ජීවිතය කියන්නේ අපි අමුතුවෙන් ලියාගෙන මේ ලෝකෙට එන දෙයක් නෙවෙයි. නමුත් ඒ තුල සියල්ල සැලසුමකට අනුව වගේ සිද්ධ වෙනවා. ජීවිතයේ අපූරුව නම්, මේ සැලසුම ඕනෑම අවස්ථාවක අපගේ අවශ්‍යතාව පරිදි වෙනස් කරගන්නට ජීවිතය අපට ඉඩ ලබා දී තිබීමයි. මේ බව නොදකින ඇතැම් වංශාධිපතිවරුන්ගේ දරුවන් මහමඟ සියල්ල අහිමි වූ දුප්පතුන් මෙන් මියයනවා අප දැක ඇත්තේත්, ජීවිතයේ සැලසුම ඕනෑම අවස්ථාවක වෙනස් කරගත හැකි බව දකිනා දිළිදු පැල්පත්වල ඉපදුන දරුවන් ධන කුවේරයින් බවට පත් වෙනවා අප දැක ඇත්තේත් ඒ නිසාමයි. අද අප ඔබට කියන්නට යන්නේ එවන් දරුවෙක් පිළිබදව. තමන්ගේ ජීවිතය වෙනස් කරගැනීමෙන් නොසැහී තමා වටා සිටින මිනිසුන්ගේ ජීවිත වෙනස් කල හරි අපූරු මිනිසෙක් පිළිබදව.
අපගේ ජීවිතයේ අපට ලැබී ඇති ප්‍රබලම ශක්තිය කුමක්දැයි කිසිවෙක් ඇසුවහොත් අපට ලැබෙන්නේ එකිනෙකට වෙනස් උත්තර. අයෙක් කියාවි ඒක ආත්ම ශක්තිය කියලා. තවෙකෙක්ට අනුව ඒක දැනුම. කැපවීම කියලා කියන්නෙත් හොද උත්තරයක්. ඒ වගේම තවකෙක්ට අනුව මිනිසාගේ ප්‍රබලම ශක්තිය උනන්දුව වෙන්නටත් පුළුවන්. නමුත් මානසික අභිප්‍රේරකවරයෙක් මෙන්ම පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙක් ලෙස මගේ අත්දැකීම නම් මිනිසා සතු ප්‍රබලම ශක්තිය සිහින දැකීමට ඇති හැකියාව. අනාගතය දැකීමට ඇති හැකියාව. මානව ඉතිහාසයේ මිනිසා තබපු සෑම ඉදිරි පියවරකම පටන් ගැන්ම සිතිවිල්ලක්. වාෂ්ප එංජිම සිතිවිල්ලක්. ගුවන් යානය සිතිවිල්ලක්. නෞකා, වාහන මේ සියල්ලම කාගේ හෝ කිසියම් දවසක සිතේ ඇදුනු සිතිවිලිවලින් පටන් ගත්ත නිර්මාණ.
අද අපේ කතානායකයා බවට පත්වෙන කුඩා දරුවාත් එහෙම සිහින දැකපු දරුවෙක්. ජපානයේ හමාමාට්සු හි ෆුජි ගිනිකන්ද ආසන්නයේ ගම්මානයක සාමාන්‍ය පවුලක සාමාජිකයෙක් ලෙස 1906 දී උපත ලබපු මේ දරුවා පාසල් අධ්‍යාපනයට එතරම් කැමැත්තක් දැක් වූ අයෙක් නෙවෙයි. තරමක අණ්ඩපාලයෙක් විදියට පාසල් ගුරුවරුන් විසින් හදුන්වපු මේ දරුවා අධ්‍යාපනය කෙරෙහි තමාගේ උනන්දුව හීන වූ නිසාම ඇතැම්විට විෂයන්වලට ලබා ගත්තේ අඩු ලකුණු සංඛ්‍යාවක්. ඔහු වැඩිපුර කාලය ගතකලේ සිය පියාට අයත් බයිසිකල් වැඩපලේ. යන්ත්‍ර අතර පාපැදිය කියන්නේ ඉතාමත් මූලික තත්ත්වයේ යන්ත්‍රයක් වූවත්, ඔහුට ඒ ගැන පවා තිබුණේ දැඩි උනන්දුවක්. මේ නිසාම පාසලේ වාර විභාගයන්වල දී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව අතිශයින්ම දුර්වල වුණා. ඇතැම් අවස්ථාවල තමාගේ ප්‍රගති වාර්තාව නිවෙසට පෙන්වීමට තරම් ධෛර්යක්වත් මේ පුංචි දරුවට තිබුණේ නෑ.
ඒත් පාසලෙන් නීතියක් පණවා තිබුණා ප්‍රගති වාර්තාව දුටු බවට දෙමාපියන්ගේ සහතිකය එහි දමා නැවත එය පාසලට භාර දිය යුතු බවට. මේ දරුවා කරපු පලවෙනි සොයාගැනීම තමයි පාපැදියක තිරිංගවලට යොදන රබර් කොටසක ආධාරයෙන් තමන්ගේ දෙමාපියන්ට අයිති යැයි පාසලට හැගෙන විදියට රබර් මුද්‍රාවක් කැපීම. ඔහු තමන්ගේ අඩු ලකුණු සහිත වාර්තාවේ තබාගෙන ගියේ මේ රබර් මුද්‍රාව. හැබැයි ඔහුට මේක කරන්න පුළුවන් වුණේ හරිම ටික කාලයයි. තමන් විතරක් ගලවාගන්න යාමෙන් වැලකිලා ඔහුට අවශ්‍ය වුණා තවත් දරුවන්ට මේ විදියට මුද්‍රා කපලා දෙන්න. අන්න එතැනදි පාසල ඔහුගේ මේ හොරය අල්ලා ගත්තා.
කුඩා සොචිරෝ තුල අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොමැති බව වටහා ගන්නා දෙමාපියන් ඔහුට කැමති දේ කරන්න ඉඩදුන්නා. තාත්තාගේ බයිසිකල් වැඩපලේ වැඩපල ඉගෙන ගන්න අතරතුරේ ඔහු විවිධ යන්ත්‍ර පිළිබද සැලසුම් ඇන්දා. ඇතැම්විට කෙනෙක්ට ඒවා විකාරයක් විදියට පෙනුනත්, ඔහු මේ සියල්ල අනාගතයේ දී සැබෑවක් වෙන ආකාරය දැක්කා. මේ අතරතුරේ දවසක සොචිරෝගේ ගම්මානයට පලමු වතාවට මෝටර් රථයක් ආවා. මේ කියන්නේ 1920 ට ආසන්න කාලයක් ගැන. මේ වාහනේ බලන්න සොචිරෝ වගේම ගමේ කොලු කුරුට්ටන් පෙල ගැහුණා. නමුත් නිසැකවම කියන්න පුළුවන් එක දෙයක්. ඒ තමයි මේ වාහනේ දිහා බලාගෙන එවැන්නක් තමන් විසින් නිර්මාණය කරනවා යැයි ඒ මොහොතේ සිතුවේ ඒ අතර සිටි දරුවන්ගෙන් සොචිරෝ පමණයි. ඔහුට ඇත්තටම ඕනෑ කලා ඒ වගේ වාහනයක් හදන්න.
“මම ඒ වාහනයේ ඉන්ධන දැවෙද්දි එන සුවඳට වශී වුණා. මාව ඉදිරියට ඇදුනේ ඒ ඉන්ධන සුවඳත් එක්කයි. ”
පස්සේ කාලයක සොචිරෝ කියන්නට පෙළඹුනා.
මේ ඉන්ධන සුවද හොයාගෙන සොචිරෝ වයස අවුරුදු 15 වෙත්ම පාසල් අධ්‍යාපනයට සමු දීලා ටෝකියෝවට එනවා. ඒ ගරාජයක අත්උදව්කාරයෙක් විදියට. ඒත් පලවෙනි දවසේ ඉදන්ම ඇණ මුරිච්චි ගලවලා වැඩ පුරුදු වෙන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. පලමුව ඔහුට පැවරෙන රාජකාරිය තමයි ගරාජය ඇමදීම. වැඩකරන කාර්මිකයින්ට තේ ඇතුලු අඩුම කුඩුම සැපයීම. කෑම හදන්න දායක වෙන එක. ඒත් තමන්ට දිනෙක කාර්මිකයෙක් වෙන්න තියෙන ආශාව නිසාම, ඔහු මේ දේවල් කරන්න මැලි වෙන්නේ නෑ. කාලයක් ගතවෙනකොට, ගරාජ හිමියාගේ සිත දිනාගන්නට සමත් වෙනකොට සොචිරෝට අවස්ථාව ලැබෙනවා ටිකෙන් ටික, යතුරු කෑලි, ආයුධ අතට අරගෙන වැඩ කරන්න. අර දැවෙන ඉන්ධන සුවද වඩාත් ලංවෙලා විඳින්න. ඒ ඔස්සේ තමන්ගේ හීනවලට තෙල් ගහගෙන දුවන්න. සොචිරෝ ආයෙත් ගමට එන්නේ අවුරුදු හයක් ඒ ගරාජයේ බැල මෙහෙවර කරලා තමන්ගේම ව්‍යාපාරයක් අරඹන්න තරම් මුදලක් උපයගෙන. ඒ වගේම ඒකට ලොකු දැනුමක් උපයගෙන.
අවුරුදු 22 වෙද්දි සොචිරෝට පුළුවන් වෙනවා තමන්ගේම ගරාජයක් පටන් ගන්න. තමන්ට අවුරුදු 31 ක් වෙද්දි සාමාන්‍ය අලුත්වැඩියා කටයුතු වලින් ඉදිරියට ඇවිල්ලා මෝටර් රථ එංජින් සදහා පිස්ටන් වළලු නිර්මාණය කිරීමේ ව්‍යාපාරයකට සොචිරෝ අතගහනවා. ඇත්තටම කිව්වොත් කෙටි කාලයක් ඇතුලත ටොයෝටා සමාගමට පිස්ටන් වළලු සපයන්නන් අතර පෙරමුණට එන්න සොචිරෝගේ ආයතනය සමත් වෙනවා.
නමුත් මේ ව්‍යාපාරයට කණකොකා හඬන්නේ 1944 දී දෙවැනි ලෝක යුද සමයේ දී ඔහුගේ එක් නිශ්පාදන ආයතන පරිශ්‍රයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමත් එක්ක. දෙවැනි නිෂ්පාදන පරිශ්‍රයත් සැලකිය යුතු ලෙස විනාශයට පත්වෙන්නේ 1945 වසරේ ඇතිවුණ භුමි කම්පාවකින්. තමන්ගේ දෛවය මෙන්ම ස්වභාව දහමත් ව්‍යාපාරයට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරද්දි වැටෙන එක සොචිරෝගේ පුරුද්දක් වුණේම නැහැ. ඔහුට ඕනෑ කලේ මේ විනාශයත් තමන්ගේ වාසියට යොදා ගන්න. අබලන් වූ නිෂ්පාදන පරිශ්‍රයන් ටික ටොයෝටා සමාගමටම පවරා දෙන ඔහු එලියට බහින්නේ ඒ වෙනුවෙන් ලැබෙන මුදල් නව සමාගමක් වෙනුවෙන් ආයෝජනය කිරීමේ සිත් ඇතිව. 1946 වසරේ දී සොචිරෝ විසින් හොන්ඩා කාර්මික පර්යේෂණ ආයතනය බිහි කරන්නේ අර මුදල් යොදාගෙන. ඔහුගේ අතේ ව්‍යාපාරය පටන් ගද්දි තිබුණේ යෙන් පන් ලක්ෂයකට ආසන්න මුදලක් විතරයි.
ඔහු සිය පලමු යතුරු පැදිය නිර්මාණය කරන්නේ 1948 වසරේ දී. ඒක යතුරු පැදියකට වඩා පාපැදියක හැඩය ගත්තා කිව්වොත් නිවැරදියි. පාපැදියකට මෝටර් එංජිමක් සවිකලා වගේ තිබුණු මේ නිර්මාණය ඔහු විකුණනවා 1951 වසර දක්වා. එහෙත් එකම දේ හැමදාම විකුනන්න බැරි බව ඔහු නොදන්නවා නොවෙයි. මේ නිසාම, ඔහු අලුත් අලුත් විදියේ යතුරු පැදි හැඩයන් අත්හදා බලන්නට පෙළඹෙනවා. ඒ වගේම ඒ නිර්මාණ ලෝකය විසින් ආදරයෙන් වැළද ගන්නවා. ජපානයේ මෝටර් එංජින් කර්මාන්තයට අලුත්ම ගැම්මක් දෙමින් 98 cc කාණ්ඩයේ යතුරු පැදියක් 1951 වසරේ දි එලිදක්වන්න සොචිරෝ හොන්ඩාට හැකිවෙනවා. අලුත් විදියට හිතන එක අලුත්ම යමක් එලියට දාන්න සිහින දැකීම නිසාම සොචිරෝගේ නිෂ්පාදන එන්න එන්නම ජනප්‍රිය වෙනවා. 1959 වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේත් සිය සන්නාමය ප්‍රචලිත කිරීම අරඹන සොචිරෝ හොන්ඩා, හොන්ඩා නාමය ලෝකයේ රටවල් 140 ක් දක්වා ව්‍යාප්ත කිරීමට සමත් වෙනවා. පස්සේ කාලයක මෝටර් රථ නිෂ්පාදනයටත් අත තියන සොචිරෝ හොන්ඩා, මෝටර් වාහන කර්මාන්ත ක්ෂේත්‍රය තුල තමන්ගේ නාමය පැලකරන්නේ ආයෙත් ගලවලා දාන්න බැරි දැවැන්ත ගහක් විදියට.
හොන්ඩා ව්‍යාපාරයට අයත් නිෂ්පාදනාගාර අද ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. අති නවීන වාහන දිනෙන් දින ලෝකයට හදුන්වාදෙන හොන්ඩා ව්‍යාපාරයේ සේවකයින් ගනන ලක්ෂ 2 ක් ඉක්මවනවා. 2016 අවුරුද්දේ විතරක් හොන්ඩා ව්‍යාපාරයේ ලාභය දැක්වුණේ යෙන් බිලියන 345 ක් විදියට. ඒ වගේම ඔවුන්ගේ වත්කම් ප්‍රමාණය දැක්වුණේ යෙන් ට්‍රිලියන 18 ක් විදියට. සොචිරෝ හොන්ඩා කියන්නේම හීන මත විශ්වාසය තබපු හීනවල ශක්තිය ගැන අසාමාන්‍ය විදියට හිතපු කෙනෙක්. 1906 දී පෙලපත් නාමයක් පමණක් වෙන හොන්ඩා නාමය ඔබ අද පාරට බැස්සාම නිතර ඇස ගැටෙන ලෝකයේ ප්‍රබල සන්නාමයක් බවට පත් කරන්නේම මේ දැක්ම කියන එක තමයි බොහෝ දෙනාගේ පිලිගැනීම වෙන්නේ.
අද ලෝකයේ බොහෝ මිනිසුන්ගේ ප්‍රශ්නය වෙන්නේ ජීවිතයේ දැනෙන ජයග්‍රහණ ලබා ගන්න තමන් තුල හැකියාව නොමැති එක නෙවෙයි. මිනිසුන්ගේ ප්‍රශ්නය වෙන්නේ තමන්ට කුමක් කල හැකි ද යන්න පිළිබදව ඔවුන් තුල තක්සේරුවක් නොමැතිකමයි. ඒ සිහිනය දකින්නට හැකිනම්, ඒ තක්සේරුව හදා ගන්න පුළුවන් නම්, ජයග්‍රහණ දිනා ගැනීම අසීරුවක් නොවෙයි. ඒ බව සොචිරෝ හොන්ඩා තමන්ගේ ජීවිත කතාවෙන් අපූරුවට පෙන්වා දී තිබෙනවා. වයස 84 ක් ආයු වැළදු සොචිරෝ හොන්ඩා 1991 වසරේ දී අභවප්‍රාප්ත වුණා. ඒ වසරේ දීත් ඔහු විසින් ලෝකයට නිතරම කියූ එක දෙයක් තිබුණා. ඒ තමයි “එක් වරක් සාර්ථක වීම සදහා දහස් වරක් අසමත් වීමට බිය නොවන්න” කියන කාරණය. අසමත් වීමට බිය නැති මිනිසුන් අසමත් භාවය ඔස්සේ යමින් සමත්වීමේ ක්‍රමය හොයා ගන්නවා. පලමුව හීනය දකින්න. දෙවැනුව වැඩ කරන්න. වරද්දා ගැනීම්වලින් ඉගෙන ගමින් සාර්ථක වෙන්න. සොචිරෝ හොන්ඩා ලොව පැතිරී ගිය දැවැන්ත ව්‍යාපාරයක් ඔස්සේ අපට ලබා දෙන පණිවිඩය එයයි.
සැ. යු : භාතිය අර්ථනායක විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලදි. අයිතිය කතෲ සතුය.
Business HUB සමඟින් එකතුව ඉන්න ඔබත් අසාර්ථත්වයට බිය නොවන්න… මොකද වැටෙන විට නැගිටින්න අත දෙන්න අපි ඉන්නවා…
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla