Select Page

එක්තරා දැනුමැති මිනිසෙකු වෙත නිතර එන මිනිසුන් තමන් ජීවිතයේ විදින නොයෙකුත් දුක් ගැහැට ගැන කියමින් ශෝක වුණා. ඇතැම් අය හැමදාම කිව්වේ එකම ගැටළුව. නමුත් ඔවුන්ගේ ශෝකයේ නිමක් නොතිබූ බව මේ මිනිසා තේරුම් ගත්තා. හැමදාමත් දුක් වෙමින් ඉන්න, මේ මිනිස්සු වෙනුවෙන් යමක් කළ යුතු යැයි ඔහුට හැඟී ගොස් තිබුණා.

දිනක් ඔහු මෙලෙස දිනපතා ශෝක වන්නන් රැස් කලා. ඔහු සියල්ලන්ට සිනහ යන විහිළු කතාවක් කිව්වා. සියල්ලෝම හිනා වුණා. විනාඩි ගණනාවක් ඒ හිනාව තිබුණා. හැමෝම සතුටු වුණා. අඬමින් ඉන්න මිිනිස්සුන්ට හිනාවක් ජනිත කරවන යමක් කියන්නේ ම ලොකු අස්වැසිල්ලක්. හැබැයි ඒ හිනාව එක්තරා මොහොතක නැවතුනා.

දැන් මම තව එකක් කියන්නම් කියූ දැනුමැති මිනිසා, කලින් කල කථාවම නැවත කිව්වා. එවර ඒ කථාවට කීප දෙනෙක් සිනාසුනා. ඒ සිනාසෙන මිනිසුන් දිහා බලමින් පලමු වාරයේ සිනාසුන අය, ඒ අවස්ථාවේ දී කථාවට නොවෙයි, අර සිනාසෙන මිනිසුන් සමඟ සිනාසෙන්නට වුණා.

තුන් වැනි වතාවේ නැවතත් ඒ කතාවම කියූ මහළු දැනුමැති මිනිසා, තමාම සිනාසෙන්නට වුණා. ඒ සභාවේ සිටි කිසිවෙකුත් සිනහා නොවූ බැවින්. සභාවේ සිටි සියල්ලෝම ඔහු දෙස විමතියෙන් බලා සිටියා. “මොකක්ද මේ මනුස්සයා එකම විහිළුව නැවත නැවතත් කරමින් කරන මේ විකාරය.” තැනින් තැනින් කථාවන් නැගෙන්නට වුණා.

“ඇයි ඔබ කිසිවෙකුත් සිනා නොවෙන්නේ?” මහළු දැනුමැත්තා මේ වෙලාවේ සභාවෙන් ඇහුවා.
එවිට අයෙක් උත්තර දෙන්න නැගී සිටියා.

“හිනාවෙන්න? ඔබ එකම විහිළුව කීප වතාවක් කලාම අපිට හිනා යයි ද?” ඔහු උපහාසයෙන් කිව්වා.

මහල්ලා සිනාසුනා.

“මගේ දරුවනේ. උඹලා එකම කතාවට දෙපාරක් හිනාවෙන්නේ නෑ. නමුත් උඹලා එකම සිදුවීමක් සම්බන්ධයෙන් ඇතැම් විට දහස්වර දුක් වෙනවා. හඩා වැලපෙනවා. වසර ගණනාවක් ගොහිල්ලත් උඹලා වැළපෙන වෙලාවල් තියෙනවා. එකම කතාවට දෙපාරක් හිනා නොවෙන උඹලා, එකම කතාවට දහපාරක් අඩන්නේ ඇයි?”

අද මේ ඡායාරූපයේ දැක්වෙන ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳපු මනුස්සයෙක්. නමුත් අදත් අමෙරිකාවේ විශිෂ්ඨත ම ජනාධිපතිවරයා කිව්වා ම කාගෙත් මතකයට එන්නේ ලින්කන්. දිළිඳු ලින්කන්, කිසිදා පාසල් නොගිය ලින්කන්, අදින්නට ඇඳුම් නොතිබූ ලින්කන්, පොතක් වෙනුවෙන් අනුන්ගේ ගොවිබිම්වල දින ගණනාවක් කඹුරපු ලින්කන්, මව මියගිය ලින්කන්, ආදරය කළ පෙම්වතිය මිය ගිය ලින්කන්, ඡන්දෙන් පැරදුන ලින්කන්, විවාහ වූ බිරින්දෑගේ අඩන්තේට්ටම් වලට ලක් වූ ලින්කන් කිසිවිටෙක තමන්ගේ හීනවලට පිය මනින එක, පසුතැවීම නිසා අතහැරලා දැම්මේ නෑ. ඔහු පසුතැවෙමින් සිටියා නම්, ඔහුට ජයග්‍රාහී මිනිසෙක් බවට පත්වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

– පසුතැවිලි වීම ඇතැම්විට පැද්දෙන පුටුවක් වැනිය. එය ඔබට කිසියම් චලනයක් පෙන්වූවත් කිසි විටෙකත් ඉදිරියට හෝ පසුපසට නොයන්නේය. එහි තේරුම ඔබ එකම තැන යන්නයි. එකම සිදුවීමට දෙතුන්වර පසුතැවිලි නොවන්න. පසුතැවීම ඔබට කිසිවක් ලබාදෙන්නේ නැත. පසුතැවීමට ‍හේතු මතක තබා ගන්න. ඒවා යළිත් සිදු නොවීමට වග බලාගන්න. පසුතැවීම කිසිවක් ඔබට ලබා දෙන්නේ නැත. නමුත්, ඔබ උගත් පාඩම ඒ පසුතැවීම් යළි ඇතිවීමෙන් ඔබව මුදාලනු ඇත. ආත්ම විශ්වාසය ජනනය වීමට නම්, පළමුව අභිමානය ඔබ තුල ජනනය විය යුතුය. නොවරදින, පසු නොතැවෙන කිසිවෙකුත් ලෝකයේ නැත. නමුත් දිනන්නේ, පසුතැවීම අත්හැර එහි පාඩම් උගෙන, ඉදිරියට පියවරක් හෝ ඔසවන අයයි.

ඔබේ දියුණුව Business HUB සමඟින් ආරම්භ කරන්න. අපි සූදානම් ඔබට මගපෙන්වන්න. වැරදුන තැන් හදාගෙන ගොඩ යමු…

Story © Bhathiya Arthanayake

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla