by admin | Nov 16, 2023 | Business HUB සිතුවිල්ල
ඔබට ජීවිතේ අමාරුවෙ වැටුණු වෙලාවක හිතිලා තියෙනවද අනේ දෙයියනේ මට කවුරුහරි ඇවිත් උදව් කරනවා නම් කියලා…
මේ කතාවත් ඒ වගේ කතාවක්….
එක්තරා තරුණ පුද්ගලයෙක් හිටියා තමන්ගෙ ව්‍යාපාර වලින් දියුණුවේ හිණිපෙත්තටම ගිය. පස්සෙ කාලෙකදි ව්‍යාපාර බිද වැටිලා සම්පූර්ණ බංකොලොත් භාවයට පත් වෙනවා. ඉතාමත් චිත්ත පීඩාවකින් යුක්තවූ මේ තරුණයා වීදියක් දිගේ ඇවිදගෙන වීදිය කොනේම තියෙන පාක් එකේ බංකුවක් උඩ ඉදගෙන ඉන්නවා. ඔහු කල්පනා කරනවා මම කොච්චර ව්‍යාපාර වලින් ලාභ ලබපු කෙනෙක්ද, මේ වෙලාවෙ මට උදව් කරන්න දෙවි කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට බෑ.
ඔහොම ඉන්නකොට හොදින් හැඳ පැලදගත්ත පෙනුමෙන් ධනවත් පුද්ගලයෙක් මොහු වාඩිවෙලා ඉන්න බංකුව ලගට සමීප වෙනවා.
ඔහු අහනවා… “පුතා මොකද්ද ප්‍රශ්නේ?” අර තරුණයා ඔලුවවත් උස්සලා බලන්නෙ නෑ. ඒ තරමටම දුකෙන් ඉන්නෙ ඔහු.
“ඒක කියලා වැඩක් නෑ”. ඒත් අර පුද්ගලයා කියනවා, “මට කියන්න. සමහරවිට මට ඔබට උදව් කරන්න පුලුවන් වෙයි.” මොනවා උනත් හිතේ බර හරි සැහැල්ලු කරගන්න පුලුවන් වෙයිනෙ කියල හිතල තරුණයා තමන්ගෙ කතාව කියනවා.
“පුතා මෙන්න මේක තියාගන්න. ඔයාගේ ව්‍යාපාර ආයෙ පටන් ගන්න. තව අවුරුදු තුනකින් නැවත මම මෙතනට එනවා. එදාට මේ වෙලාවෙම ඒ මුදල මට ආපහු ගෙවන්න.”
කියලා චෙක් පතක් අර තරුණයාට දෙනවා. තරුණයා චෙක් එක දිහා බලනවා. ඔහුට අදහගන්න බෑ. ඩොලර් ලක්ෂ 10ක චෙක් පතක්. එතකොටයි ඔහු ඔලුව උස්සලා බලන්නෙ කවුද මේ කියලා. එතකොටත් ඒ පුද්ගලයා එතනින් ගිහින් ඉවරයි.
තරුණයා අධිෂ්ඨාන කර ගන්නවා තවත් වසර තුනකින් මේ මුදලටත් වැඩියෙන් පොළියත් සමග ලබා දෙනවා කියලා. ගෙදර ගිහින් කල්පනා කරනවා දැන් මගේ ලඟ ඩොලර් ලක්ෂ 10 ක් තියෙනවා, දැන් බය වෙන්න දෙයක් නෑ. මට ව්‍යාපාර පටන් ගන්න පුලුවන්, කියලා. ඔහු එක්තරා වෙනස් තීරණයක් ගන්නවා. ඔහු අර චෙක් එක වියදම් කරන්නෙ නැතුව ඔහුගේ සේප්පුවෙ දාලා ලොක් කරනවා.
තමන් ලග මුදල් තිබෙන බව විශ්වාසයෙන් ධෛර්යමත් වෙලා තමන්ගෙ නැති වුන ව්‍යාපාර එකින් එක පුංචියට පටන් ගන්නවා. ඔය විදිහට වසර 2 කට වැඩි කාලයක් යද්දි තමන් හිටපු තැනටත් වඩා හොදට ව්‍යාපාර දියුණු කරගන්නවා. මෙම තරුණයාට මතක් වෙනවා ඩොලර් ලක්ෂ 10 ක චෙක් පතක් දුන්නු පුද්ගලයා. ඒ අදාල දිනය තව සති කීපයකින් පැමිණෙනවා.
ඉතිං නියමිත දිනයේ අදාල වෙලාවට ඒ මනුස්සයා දීපු චෙක් පතයි තව මුදලුයි අරන් එදා වාඩිවෙලා හිටපු බංකුවටම වෙලා වාඩිවෙලා ඉන්නවා ඒ මනුස්සයා එනකල්. හරියටම වෙලාවට අර මහලු මනුස්සයා ඒ ස්ථානයට එනවා. හැබැයි එදා වගේ හොදට ඇඳගෙන නෙවෙයි. ඒ පුද්ගලයා තරුණයා සමීපයේ නතර වෙනවා. ඒ පුද්ගලයව දැකලා තරුණයා අසීමිතව සතුටු වෙනවා. ඒත් එතකොටම වාහනේකින් ආපු හෙදියෙකුයි, තවත් පුද්ගලයෙකුයි මේ මහලු මනුස්සයාව එක්කගෙන වාහනේට යනව. හෙදිය නැවත තරුණයා ලගට ඇවිත් කියනවා, “අපි මහලු නිවාසයෙන්. මේ තාත්තා හිතාගෙන ඉන්නෙ ඔහු ඉතා ධනවත් කෙනෙක් කියලා. සමහර දවසට මහලු නිවාසෙන් පැනලා එනවා. අපි ගොඩක් අමාරුවෙන් හොයාගන්නේ. එයාගෙන් ඔබට කරදරයක් උනානම් සමාවෙන්න”.
තරුණයා අහනවා. “ඔහු ධනවත් කෙනෙක් නෙවෙයිද ?” හෙදිය කියනවා, “ඔහුගෙ ලඟ ඩොලර් එකක් වත් නෑ” කියලා.
තරුණයා බංකුවේ ඉන්දවෙනවා. එතකොට මේ චෙක් එක බොරු එකක්ද? එතකොට මේකේ සල්ලි නැද්ද?
ඔබට තේරුනාද මොකද උනේ කියලා. තරුණයාගෙ හිතේ තිබුණු විශ්වාසය, ආත්ම ශක්තිය සහ හිතේ ධෛර්යය තමයි ඔහුව මේ තැනට ගෙනාවේ.
අන්න ඒ වගේ ඔබත් Business HUB සමඟින් එකතු වී කටයුතු කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන්.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 14, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා මහලු මවක් හිටියා, ඇයට දූවරු දෙන්නෙක් හිටියා. දෙන්නම විවාහ වෙලා. ලොකු දුව කුඩ වෙළෙන්දෙක් සමග සහ පොඩි දුව නූඩ්ල්ස් හදලා විකුණන වෙළෙන්දෙක් එක්කයි විවාහ වෙලයි හිටියේ. හැබැයි මේ මහලු මව හැමදාම කල් ගත කළේ ඇඬූ කඳුළින්. මුහුණේ කවදාවත් හිනාවක් තිබුණේ නෑ. හැම වෙලාවෙම කල්පනා කර කඳුළු සැලුවා.
හොඳින් ඉර පායලා තියෙන දවස් වල ඈ මෙහෙම හිතමින් දුක්වුණා.
“වැහි පොදක් නැහැ, ලොකු දුවගේ සැමියගේ කුඩ ගන්න කිසිම කෙනෙක් එන එකක් නෑ එහෙම පාඩු වෙලා කඩේ වහන්න වුනොත් එයාලට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති වෙයි ” කියලා.
ඒ වගේම වැහිබර දවස් වලදීත් ඇය දුක් උනා ඇගේ පොඩි දුව ගැන සිතමින්.
“මෙහෙම වැස්සොත් පොඩි දුවගෙ සැමියාට නූඩ්ල්ස් ටික වේලගන්න බැරි වෙයි. කඩයට එන මිනිස්සුන්ට හරි වෙලාවට නූඩ්ල්ස් ටික විකුණගන්න බැරි වෙලා එයාලට පාඩු විඳින්නේ වෙයි. එහෙම වුනොත් එයාලට ජීවත් වෙන්න ආදායමක් නැති වෙනවා නේ .”
ඉතින් මේ විදිහට වැස්සත්, පෑව්වත් මේ මහලු මව ඉන්නෙ හැඬූ කඳුළෙන්. කිසිම කෙනෙක්ට බැරිවුණා ඇයව සතුටු කරන්න. මූණට හිනාවක් ගේන්න.
එක දවසක් මේ විදියට හඬමින් පාරේ යද්දි ඇයට එක්තරා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් මුණගැසුණා. ඔහු ඇය හැඬීමට හේතුව විමසා බලා සියල්ල තේරුම් ගෙන ඇයට සතුටින් සිටීමට වටිනා උපදෙසක් දුන්න.
“අම්මෙ අද ඉඳලා ඔයා දුවලා ගැන හිතලා කිසි දෙයකට දුක් වෙන්න එපා. මම ඔයාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳලා දෙන්නම් . ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.
ඔයා හිතන විදිය වෙනස් කරන්න. පායන දවස් වලට ලොකු දුව ගැන හිතන්න එපා, පොඩි දූ ගැන හිතන්න. පායන දවස්වලට ලොකු දුවගේ කුඩ වෙළදාම ගැන නොහිතා පොඩි දුවගේ නූඩ්ල්ස් විකුණ ගන්න හැකිවීම ගැන හිතන්න. නූඩ්ල්ස් වැඩිපුර විකුණලා ලබන ලාභය ගැන හිතලා සතුටු වෙන්න.
ඒ වගේම වැහිබර දවස් වලට පොඩි දුව ගැන වෙනුවට ලොකු දුවගෙ කුඩ වෙළදාම ගැන හිතන්න. ලොකු දුවගේ කුඩ වැඩිපුර විකුණල ලැබිය හැකි ලාභය ගැන හිතලා සතුටු වෙන්න”.
මහලු මවට තේරුම් ගියා මෙච්චර කාලයක් එයා දුක්වුනේ එයා තෝරගත්ත වැරදි චින්තන රටාව නිසා බව. ඇය එදින සිට ම ප්‍රඥාවන්ත මිනිසා උපදෙස් දුන් ආකාරයට තමන්ගේ චින්තනය වෙනස් කර ගත්තා . ඉන්පසු කිසි දා ඇගේ ඇසේ කඳුළක් තිබුණේ නෑ. හැමදාම සතුට ඉතිරෙන සිනහව පිරුණු මුහුණකින් ජීවත් වුණා .
අපේ ජීවිතයේ හැම සිදුවීමකම පැති දෙකක් තියෙනවා. හරියට කාසියක පැති දෙකක් තියෙනවා වගේ. ඒ පැති දෙකෙන් තෝරගත්ත පැත්ත අනුව තමයි අපිට ඒ සිදුවීම පේන්නේ . අපි ඒ ගැන සතුටු වෙනවද, දුක් වෙනවද කියන දේ තීරණය වෙන්නේ අපි ඒ බලන විදිය අනුව. මේ කතාවේ මහලු මවට හැමදාම සතුටින් ජීවත් වීමට හේතුව උනේ අව්වේ හෝ වැස්සේ වෙනස් වීම නෙවෙයි. දුවලාගේ වෙළදාම් වල ඇති වූ වෙනස් වීමකුත් නෙවෙයි. ඒ මවගේ සිතිවිලි වල සහ ජීවන දර්ශනයේ ඇති වූ වෙනස් වීමම පමණි.
ඔබත් අද සිටම ඔබ සිතන ආකාරය වෙනස් කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන් වේවි.
Business HUB අපි ඔබට මග පෙන්වන්නම්…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 13, 2023 | Business HUB සිතුවිල්ල
ජීවිතයේ ඔබට එදිනෙදා හමුවන සියළු දේ දුක්බර, අසතුටුදායක, කරදකාරී දේ නොවේ.
ඒ අතර සතුට, වාසනාව, සාර්ථකත්වය,
නිදහස් බව, උපකාරීබව, සහයෝගය ඔබට ලැබෙන්න පුළුවන්. අපි එදා සිට හුරු වෙලා තියෙන්නේ ඇදුමෙන් පැළදුමෙන් මිනිස්සු මනින්න. හැමදාම අපි හිතුවේ හොදට ඇද පැළද සිටියොත් සියළුදෙනාම වැදගත් උගත් කෙනෙක් විය යුතුයි කියා. නමුත් ඒ අතර වංචනිකයන්ද අහිංසක පෙනුමක් ලග බුද්ධිමතුන්ද ඔබට මට හමුවේවි. වරද ඇත්තේ ඔවුන් තුළ නොව අප තුලමය. අප මිනිසුන් දෙස බලන කෝණය වෙනස් කර නොගන්නා තාක් කල් අපට වාසනාවන්ත අවස්ථා හමු නොවනු ඇත.
මේ මෑතකදි අහන්න ලැබුණු සත්‍ය සිද්ධියක් කියන්නම්… (උපුටා ගැනීමකි)
එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි ආයතනයකට මමත් පවුලේ අයත් ගියා. මගේ මාමාගේ දුව ඇදන් හිටියේ ලස්සන ගවුමක්. අපි උදෙන්ම ඒ ආයතනයට ගියේ දවල් වන විට සෙනග රැස්වෙන නිසා අපේ කටයුතු අවසන් කොට ඉක්මනින් ඒමේ බලාපොරොත්තු ඇතිව. ඒ අවස්ථාව වෙද්දිත් සේවකයන් තමන්ගේ සේවයට පැමිණෙමින් සිටියේ.සාමාන්‍ය කලිසමක් කමිසයක් හැද ගත් පුද්ගලයෙක් මගේ ලගට ඇවිත්
“එක්ස්කියුස්මී මිස් මේ දුවද ” කියලා මගේ මාමාගේ දුව පෙන්නුවා. මම කිවුවා
“ආ නෑ ඒ මගේ නංගි ” කියලා. ඒ පුද්ගලය නැවත ඇසුවා
” මේ ගවුම ගත්තේ කොහෙන්ද ” අසමින් ඇය හැද සිටි ඇදුම පෙන්නුවා. මම ඒ ගැන මාමාගෙන් ඇහුවම මාමාත් වැඩි ගානක් නැතුව
“මාවනැල්ලේ කඩේකින් ගත්තේ ” කිවුවා . ඔහු බොහොමත් ලෙංගතුව
“නියමයි දුව කලර් එක, ඩිසයින් එකත් හරිම ලස්සනයි ” කියලා අපිට ආචාර කරලා යන්න ගියා. අපි එදා ඇදුම් ගොඩක් අරන් නැවත එද්දි අර පුද්ගලයා ඇදුම් බෑග් අරන් යනවා, ඒවා පිළිවෙලට තියනවා,
“ගොඩක් ඇදුම් ගත්තා නේද, සතුටුද ? කියලා ඔහු අසලින් යන එන පාරිභෝගිකයන් ගෙන් විමසමින් බොහොම සතුටින් ඔහු ආයතනයේ සේවය කරනවා. අපි හැමෝම හිතුවේ ඔහු ආයතනයට ලැදි සේවකයෙක් කියලා . පසුව අපේ බෑග් ටිකත් කවුන්ටරෙන් ගිහින් තියලා
” මෙයාලට ස්පෙශල් කවුන්ටර් එකක් දෙන්න ” කියලා සේවකයෙක්ට කිව්වා. ඒ වෙලාවේ අපි හිතුවේ එයා එතන තරමක් ඉහල නිලධාරියෙක් කියලා. සේවකයාගෙන් මම ඒ ගැන ඇහුවේ ඇත්තටම ඔහුගේ ආයතනයට ඇති අවංක භාවය දුටු නිසා.
“එයා මෙහෙ මැනේජර් කෙනෙක්ද” මම ඇහුවේ බිල් කරන අතරේ කවුන්ටරේ හිටිය සේවකයාගෙන්. ඔහු හිනාවෙමින් පැවසුවේ
“නෑ මිස් ඒ අපේ සර් මේ ආයතනයේ හිමිකරු ” මට ඇත්තටම පුදුම හිතුණා. කෝටි ගානක් ඇදුම් පැළදුම් අතර අපේ මේ පුංචි ගවුම එතුමා නිරීක්ෂණය කළ හැටි. තමන්ගේ ජීවිතේට ලැබෙන පුංචිම අවස්ථාව වුනත් ප්‍රයෝජනයට ගන්න හැටි. තමන් ලොක්කා කියලා පැත්තකට වෙලා අණ දෙණු වෙනුවට තමන්ම සේවකයෝ එක්ක හරි හරියට වැඩ කරන හැටි. මම එතුමා ලගට ගිහින් කතා කළා. මම ඔහු ගැන අගය කරන බව එතුමාට කිව්වම බොහොම ආසාවෙන් මගේ අංකයත් එතුමා ඉල්ල ගත්තා. පසුව ඔහු ඔහුගේ අදහස කිවුවා.
“හුගක් අය හිතන්නේ මම මේ ආයතනයේ සේවකයෙක් කියලා. ඒකට මම හරිම කැමතියි මිස්. මම අර ගවුම ගැන ඇහුවේ අපේ ගාමන්ට් තියෙනවා. ඒවට ඒ ඩිසයින් එක මම දෙනවා. ” අපි තවම ඔය ඩිසයින් එක කරලා නෑ..හරිම සිත් ඇදගන්නා විලාසිතාවක් ඒ ගවුම.
ඔබට හිතා ගන්න පුළුවන් ද එතුමගේ දියුණුවේ රහස තිබුනේ ලොකු දේවල් වල නෙමෙයි. තමන්ට හමුවෙන පුංචි අවස්ථා ප්‍රයෝජනයට ගත් නිසයි.
එදා ඉදන් මමත් දෙයක් ඉගෙන ගත්තා. කෙටි කෑම සහ පළතුරු බීම අවන්හලක් කරන කෙනෙක්. මමත් ඔහුගේ එම ක්‍රියාවන් ක්‍රියාවට නැංවුවා. හමුවෙන සෑම කෙනෙකුටම ලෝභ නැතුව හිනාවෙන් සංග්‍රාහ කරන්න.මාස්ක් එක දාල හිටියත් අපේ හිනාවේ සොදුරු බව අපේ ඇස් වලින් පේනවා. ඒක හරි පුදුම දෙයක් වුණා. මට සීඝ්‍රයෙන් සේවාදායකයෝ වැඩි වුණා. ඒකේ රහස මම හෙවුවා.
හුගක් දෙනෙක් කිව්ව කතාවක් කියන්නම්.
“මිස් එදා අපි දෙන්නට අහවල් කඩේදි හිනාවෙලා ආවා. අපි ඒ කඩෙන් ඇහැව්වා කවුද ඒ කියලා. ඔබ ගැන ඔවුන් අපිට හදුන්වා දුන්නා.ඒ නිසයි අපි ආවේ ” කියලා.
මේක ඇහුවම ඔය ඔස්තාර්ල නම් කියාගෙන එයි. .
“ඒ කියන්නෙ මෙයා හිනාවෙලා මිනිස්සු අන්දගෙන තමන් ලගට ගෙන්න ගන්නවා ” කියලා..
ඔය කියන හැමෝම අසාර්ථකයි.
මොකද ඔවුන් කතාවේ හරයට වඩා අරන් තියෙන්නේ ඔවුන්ට විවේචනය කරන්න, අපහාස කරන්න ඒ තුළ එක වචනයක් හරි තියෙනවද කියලා. තමන්ගේ වටිනා කාලේ අනුන් විවේචනය කරන බොහෝ දෙනෙක්‍ට වාසනාවන්ත අවස්ථා හමුවෙන්නේ නෑ. මොකද ඔවුන් ඉන්නේ එකම මතයක සහ එයින් වෙනස් වෙන්න අකමැති වීම ඒ ගැනත් පුංචි කතාවක් ඔබට කියන්නම්.
මෙය ප්‍රබන්ධයක්… හැබැයි ඊයේ මම ලීව “විශ්ව මාතා” Scam එකට ගැලපෙන තවත් කතාවක් කියන්නම්…
දෙවියන් ගැන අප්‍රමාණ භක්තියක් විශ්වාසයක් තිබුණ එක පුද්ගලයෙක් හිටියා. ඔහු තදින්ම විශ්වාස කරා මට කවදාවත් කරදරයක් වෙන්නේ නෑ දෙවියන් මාව රකී කියලා. හරියට අපේ ලංකාවේ ඉන්න විශ්ව මාතාව හැමදේම කරලා දේවි කියලා බලාපොරොත්තු වෙන සෙට් එකේ කෙනෙක් වගේ….
ඉතින් දවසක මෙයා ජීවත් වෙන පුංචි ගමට ගංවතුර ගැලුවා. හැමෝම අතට අහුවෙන බඩු මුට්ටු අරන් ආරක්ෂිත තැන්වලට යන්න ගත්තා. අසල්වාසීන් මේ පුද්ගලයටත් කිවුවා
“ඔබත් එන්න අප සමග යන්න. නැත්නම් ඔබ ගිලිලා මැරේවි කියලා ”
“නෑ දෙවියෝ මාව බලාගනී මම එන්නෙ නෑ ” ඔහු කිව්වා. අසල්වාසීන් පිට වුණා. මේ පුදගලයගේ නිවස ආසන්නයට වතුර ආවා.
ඒ අවස්ථාවේ ආව බෝට්ටුවක් ඔහුට කතා කරනවා.
“නගින්න මෙයට ඔබ යට වේවි ”
“නෑ දෙවියෝ මාව රකීවි ඔබ යන්න “ඔහුගේ පිළිතුර විය. ඔවුන් පිටවෙනවා.
මොහුගේ ගෙයි පහත මාලයට වතුර පිරෙද්දි මොහු ඉහල මාලයට නගිනවා. එය දකින ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණ
“එන්න අප සමග යන්න ඔබ යට වේවි” කියනවා.
“නෑ දෙවියෝ මට විශ්වාසයි මාව රකී ” ඔහු කියනවා..ඉතිං ඔවුන්ද පිටවෙනවා. ඉහල මාළයට වතුර පිරෙද්දි මොහු වහලය උඩට නගිනවා. ඒ අවස්ථාවෙ හෙලිකොප්ටර් එකක් ඇවිත් මොහු ව ගන්න හදනවා..
“නෑ මට දෙවියෝ විශ්වාසයි. මට මොකුත් වෙන්නෙ නෑ ඔබ යන්න ” ඉතිං ඔවුන්ද පිටවෙනවා.
මේ පුද්ගලයගේ බෙල්ල ලගට වතුර පිරෙනවා. ඔහු දෙවියන්ට කියනවා…
“මම ඔබ ගැන අප්‍රමාණ විශ්වාසයකින් පසු වුණා. මම හැම වෙලේම හිතුවේ ඔබ මාව රකී කියලා ඒත් අවසානයේ මේ මොකක්ද වෙන්නේ ” ඔහු දෙවියන්‍ට චෝදනා කරනවා…
තමන්ගේ අසාර්ථක බවේ වගකීම ඔහු දෙවියන්ට පවරනවා.
දෙවියෝ මෙහෙම කියනවා..
“ඔබ නොදන්නවා වුණා ට මම ඔබට පිහිට වුණා…
පළමු අවස්ථාවේ ගම්වාසීන් ඔබට කී පණිවිඩයත්, දෙවැනි අවස්ථාවේ බෝට්ටුවත් තුන්වෙනි අවස්ථාවේ ගලවා ගැනීමේ කණ්ඩායමත්, හතරවැනි අවස්ථාවේ හෙලිකොප්ටරයත් එව්වේ මම තමයි. නමුත් නුඹ ඒ එක් අවස්ථාවක්වත් ප්‍රයෝජනයට ගත්තේ නෑ.
එය මගේ වරද නෙමෙයි ඔබේ වරදයි.
ඔබ ඔබේ මතයෙම හිටියා. වෙනස් වෙන්න කැමති වුණේ නෑ. ඔබට ලැබුණු වාසනාවන්ත අවස්ථා ඔබ හිතා මතාම මග හැරියා . ඒ වගේම අවසානයේ ඔබේ අසාර්ථකත්වයේ වගකීම ඔබ වෙන අයෙක්ට පවරනවා…
ඔබට උරුම ගිලිල මියයෑම පමණයි…
අවසානයේ මෙම පුද්ගලයා දියේ ගිලී මිය යනවා.
අන්න ඒ වගේ තමයි, ඔබට පිහිට වෙන්න ඔබ වෙතට ආව විශ්ව මාතාව තමයි මේ පේජ් එක. මේ පේජ් එකෙන් අධ්‍යාපනය නොලබා, 5000 නෝට්ටු වෝල් එකේ ශෙයාර් කරගෙන “මම දියුණු වේවා, විශ්ව මාතාවට ස්තූතියි !” කීවට ඔබට දියුණු වෙන්න බෑ…
දියුණු වීමේ පළමු පියවර තබන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය. අප ආයතනයට ගැලපෙන පරිදි වෙනස් කර ඇත.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 12, 2023 | Business HUB සිතුවිල්ල
දිනක් zen ගුරුවරයෙක් මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියා…
ඔහුගේ වටිනා කම දන්න එක් තරුණයෙක් ඔහුව සොයාගෙන එනවා….
“ගුරුතුමනි , මට සාර්ථක වෙන්න උගන්වන්න”
ගුරුතුමා නිසොල්මනේ කිසි කලබලයක් නැතිව අතේ තිබූ යශ්ඨියෙන් පොලවෙහි ඉරක් ඇන්දා…
තරුණයා, මට මේ ඉර කෙටි කර පෙන්වන්න..
තරුණයා මදක් කල්පනා කරල ඉරෙන් කොටසක් මකා දැමුවා…
ගුරුතුමා මෙසේ පැවසුවා…
තරුණයා, යන්න ගිහින් ඉගෙනගෙන එන්න…
තරුණයා ටිකක් තරහෙන් උනත් වෙන කරන්නට දෙයක් නැති නිසාවෙන් ආපසු හැරුනා…
කාලයක් ගතවුනා..
තරුණයා නැවත දවසක් ගුරුතුමා සොයා පැමිනියා..
අද නම් හරියටම උත්තර දෙනවා, ඔහු ඔහුටම කියාගත්තා…
“ගුරුතුමනි මට සාර්ථක වෙන්න උගන්වන්න”
නැවතත් ගුරුතුමා වෙරළේ ඉරක් ඇන්දා…
“මට මේ ඉර කෙටි කර පෙන්වන්න,”
ම්ම්ම්ම්ම් හරි ගුරුතුමනි , තරුණයා ඉරෙහි කොටසක් අතින් වසාගෙන සිටියා…
” යන්න තරුණයා, ගිහින් ඉගෙනගෙන එන්න ”
දැන් නම් තරුණයාට ටිකක් කේන්තියි , ඒත් කරන්න දෙයක් නෑ… ආපහු ගියා..
ආයෙත් කල්පනා කරල, ටිකක් කල් අරගෙන ආයෙමත් ගියා…
“ගුරුතුමනි , මට සාර්ථක වෙන්න උගන්වන්න ”
නැවතත් ගුරුතුමා වෙරළේ ඉරක් අඳිනවා..
” තරුණයා, මට මේ ඉර කෙටි කර පෙන්වන්න ”
තරුණයා මොහොතක් අරගෙන ඒ ඉරට ටිකක් ලඟින් ඊට වඩා දිග ඉරක් අඳිනවා…
එතකොටම අර ඉර කෙටි ඉරක් බවට පත් වෙනවා… !
හරියටම හරි තරුණයා,
සාර්ථක වෙන්න අවශ්‍ය නම් අනිත් ඉරි අතින් වහන්නවත්, අතින් මකල දාන්න වත්, යන්න එපා..
ඔයා ඊට වඩා දිග ඉරක් වෙන්න…
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
ඔයා සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙක්ද ? ජීවිතේ වෙනස් කරන්න ඕන, දිනන්න ඕන කියල හිතන කෙනෙක්ද ? මේ ලෝකයේ නම කතා කරන, මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වෙන්න ඕනද ?
එහෙනම් කිසිම දවසක අනිත් අයගේ දක්ෂතාවයන් , හැකියාවන් මකන්න, වසා තබන්න උත්සාහ කරන්න එපා…
ඔයා ඔයාගෙ හැකියාවන්, දක්ෂතාවයන්, ගුනාංග, වැඩි කරගන්න, තවත් කෙනෙකුට වඩා ඔයා තුල ඇති විභවයන් වැඩි කරගන්න, දැනුම එකතු කරන්න,හොඳින් පුහුණු වෙන්න…
ව්‍යාපාරයකට උනත් මේක අදාලයි,
ඔයාට තරඟ කරන ව්‍යාපාර ගොඩාක් බිහිවේවි, ඒ ව්‍යාපාර වට්ටල දාන්න, කඩල බිඳල දාන්න, ඔයා උත්සාහ කරන්න එපා, ඔයාම තමයි ඒකෙන් පිරිහිලා යන්නේ…
එහෙනම් ඔයා වෙන්න ඕන, ඔයා හිතන්න ඕන, ඇයි ඔයා ලඟට පාරිභෝගිකයන් එන්න ඕන, මොකක්ද එයාල මගෙ ලඟටම එන්න ඕන හේතුව, මොනවද අනිත් අයට වඩා ඔයා ලඟට එන පාරිභෝගිකයන්ට ඔයාගෙන් ලැබෙන්නේ.
එහෙනම් ඔයා වෙන්න ඕන දිග ඉරක් !
හැමදාම ඒ ඉර දිග වැඩියෙන් තියාගෙනම ඉන්න නම් හැමදාම ඔයා ලඟ වැඩියෙන් යමක් ගොඩනගා ගන්න …
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 11, 2023 | Business HUB සිතුවිල්ල
පැන්සලකට මකනයක් සවිකිරීම එක් දහස් අටසිය පනස් ගණන්වල නව සොයාගැනීමක්.
දැන් ඉතින් සමහරු හිනා වෙයි.පැන්සලකට මකනයක් සවි කිරීම මහ ලොකු දෙයක් ද කියලා ….. හැබැයි ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා වගේම, ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙනවා…
1817 දී ජැමෙයිකාවේ උපත ලබන හයිමන් ලිප්මන් තමයි මේ විප්ලවීය සොයා ගැනීම කරන්නේ. ඒ 1858 මාර්තු 30 වැනිදා. ඔහු තමයි මකනයක් සවි කරන ලද පැන්සලකට ලෝකයේ පේටන්ට් බලපත්‍රය ලබා ගත් තැනැත්තා. ඒක ඒ කාලේ හැටියට බොහෝම ලොකු, නව සොයාගැනීමක්. අවුරුදු හතරකට පස්සේ, ඒ කියන්නේ 1862 දී, ලිප්මන් මේ පේටන්ට් බලපත්‍රය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට ($ 100,000) ජෝසප් රෙක්කෙන්ඩෝෆර්ට විකුණනවා. තම විප්ලවීය බුද්ධිමය අදහස ලිවීම අනාගතයට මෙතරම් බලපෑමක් කරන බව ලිප්මන් දැනගෙන හිටියා නම් ඔහු කවදාකවත් මේ පේටන්ට් බලපත්‍රය ජෝසප්ට විකුණන එකක් නෑ…
මකා දැමීම කියන්නේ වැරැද්දක් ඉවත් කිරීමට පහසු ක්‍රමයක්. බැරිවෙලාකවත් මේ විප්ලවීය අදහස එදා ලිප්මන්ට ආවේ නැත්නම්, කුඩා වැරැද්දක් නිවැරදි කරන්න සම්පූර්ණ ලේඛනයම වෙනස් කරන්න හෝ විනාශ කරන්න වෙන්න පුළුවන්කම තිබුණා. කුඩා දෝෂයක් නිසා ලියමන සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීම වෙනුවට ඔබට ඔබේ මකනය භාවිතා කර බොහෝම පහසුවෙන් වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්…
“සෑම පුද්ගලයෙකු අතින්ම වැරදි සිදුවේ. සෑම පැන්සලකම අග මකනයක් පිහිටා තිබීමෙන් අදහස් වන්නේ එම වැරදි නිවැරදි කළ හැකි බවයි.”
සාමාන්‍යයෙන් එදිනෙදා ජීවත් වීමේදී පුද්ගලයන් අතින් අත් වැරදීම් සිදුවේ. මීට අමතරව දුර දිග නොබලා කටයුතු කිරීමෙනුත් තවත් සමහරුන් අතින් වැරදි සිදු වේ. මෙවැනි අත්වැරදීම් හෝ වැරදි සිදු වූ විට ජීවිතය නිවැරදි කරගත නොහැකි යැයි සිතන අයට හොඳ පාඩමක් මෙයින් ජීවිතයට කියා දෙයි. ඒ එම වැරදි නිවැරදි කර, එතැනින් අලුත් ආරම්භයක් ගෙන ජීවිතය අළුත් ඉසව්වක් කරා ගෙන යා හැකි බවයි. එනම් ජීවිතයට දෙවැනි අවස්ථාවක් ඇති බවයි. පළමු අවස්ථාව වරද්දා ගත් පසු මකනය, එම වැරැද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර අපට දෙවන අවස්ථාව සඳහා ඉඩ ලබා දෙයි. එම නිසා දෙවන අවස්ථාව වගකීමෙන් භාවිතා කිරීමට අප වග බලා ගත යුතුය.
මේ කතාව කියාගෙන යද්දී මට පැන්සලයි මකනයයි අතර ඇතිවුණා කියලා කියන සංවාදයක් මතක් වුණා. ඒක පැන්සලයි මකනයයි විතරක්ම නෙමෙයි, ජීවිතයටත් පාඩමක් නිසා ඒක මෙතනින් ලියන්නම්…
එක්වරෙක පැන්සලක් හා මකනයක් එකිනෙකාගේ රැකියාව ගැන කතා කර කර හිටියා. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ වෙහෙස මහන්සි වීම ගැන එකිනෙකාට ප්‍රශංසා කළා. ඔවුන් එකිනෙකාට එකිනෙකා නොමැතිව කාටවත් කිසි දෙයක් කළ නොහැකි බව ඔවුන් දැන සිටියා.
වැඩි කල් නොගොස් පැන්සල සරල රේඛාවක් අදින්න පටන් ගත්තා. මකනය පැන්සල දෙස බලා සිටියා. හදිසියේම පැන්සලෙහි සමබරතාවය ගිලිහී ගොස් පැන්සල විසින් නිර්මාණය කරපු සරල රේඛාව ඇද වුණා. දැන් පැන්සල ඉතා කනගාටුවට පත් වුණේ ඔහුගේ වැරැද්ද නිසා මකනයට දුක් විඳීමට සිදුවන බව දැනසිටි නිසාවෙන්…
පැන්සල හිමින් සැරේ තමන්ගේ කට හඬ අවදි කරලා කතා කරන්න පටන් ගත්තා.
“මට කණගාටුයි ! මා නිසා ඔබට රිදෙනවා. මම වැරැද්දක් කළ සෑම විටම එය මකා දැමීමට ඔබ ඉදිරිපත් වෙනවා. නමුත් මගේ වැරැද්ද මම නිවැරදි කරගන්න විට ඔබෙන් කොටසක් ඔබට අහිමි වෙනවා. පැන්සල බොහොම දුකින් පැවසුවා.
මෙය ඇසු මකනය සෙමෙන් තම කටහඬ අවදිකරමින් කතා කලා.
“ඒක ඇත්ත… ඒත් ඔයාලට පේනවද, කොයි මොහොතකදිවත් මම දුකෙන් කනගාටුවෙන් ඉන්නවා. මාව හදලා තියෙන්නේ ඔයාලගේ මොකක් හරි වැරැද්දක් වුණු හැම වෙලාවකම ඔයාලට උදව් කරන්න. මම දන්නවා, කවදහරි දවසක මම නැති වෙලා යනවා කියලා. මම ඇත්තටම මගේ රැකියාව ගැන සතුටුයි. ඒනිසා කරුණාකරලා කරදර වීම නවත්වන්න. දුක් වෙන්න එපා. ඔබට උදව් කරන්න ලැබුණ එක ගැන මම ඉන්නේ සතුටින්…”
මේ කතාවෙන් අපිට ජීවිතය ගැන ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද?
අපේ දෙමව්පියන් හරියටම මකනයක් වගේ… නමුත් අපි හැසිරෙන්නේ පැන්සලක් වගේ… දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් සෑම විටම ඔවුන්ගේ වැරදි නිවැරැදි කිරීමට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඔවුන්ගේ වැරදි නිවැරැදි කරන්න කරන කැපවීම අතිමහත්. කාලය ගතවෙද්දී, දරුවන් වයසින් මුහුකුරා යද්දී, දෙමව්පියන් ටිකෙන් ටික වයස්ගත වෙනවා. දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කරන දේ ගැන සෑමවිටම සතුටුවන අතර ඔවුන් කිසිවිටෙකත් තම දරුවන් දුකෙන් සිටිනවා දකින්න කැමති වෙන්නේ නෑ. එම නිසා ඔබට සෑම විටෙකම යහපත පෙන්වා දෙමින්, ඔබව නිවැරැදි කරන දෙමාපියන් වෙනුවෙන් ඔබේ කාලය වෙන්කරන්න. කරුණාවෙන් ඔවුන්ට උදව් කරන්න.
ඔවුන්ට හදවතින්ම ආදරය කරන්න.
ඊළඟට ජීවිතයේ වැරදි නිවැරදි කරගන්න අපිට ලැබෙන අවස්ථා ගැනත් කතා කරමු…
“පැන්සලක් අග මකනයක් රැඳවීමෙන් සංකේතවත් වන්නේ ඔබට ජීවිතය ජය ගැනීමට දෙවන අවස්ථාවක් ද ඇති බවයි. නමුත් එයට එරෙහිව ඇති ප්‍රධානතම තර්කය නම්, පැන්සල මත ඇති මකනය කුඩාවට නිර්මාණය කිරීමෙන් පෙන්වා දෙන පණිවිඩය වන්නේ එම දෙවන අවස්ථාවන් බොහෝ සීමිත බවයි.”
මේ සියළු කතාවන්ගෙන් අපට ගත හැකි පණිවිඩ රාශියක් ඇතත්, තවත් එක් වැදගත් කාරණාවක් නම් ඔබට අනෙකාට උදව් කළ හැකි ආකාරයයි…
“ඔබට යමෙකුගේ සතුට සටහන් කළ හැකි පැන්සලක් විය නොහැකි නම්, යමෙකුගේ දුක අතුගා දැමිය හැකි මකනයක් වන්නට උත්සාහ ගන්න.”
අප හැම විටම උත්සාහ ගත යුතු වන්නේ තවත් අයෙකුගේ ජීවිතයට සතුටක් මෙන්ම සිනහවක් එක් කිරීමටයි. එවිට අප ඔවුනගේ සතුටුදායක පණිවිඩයක කොටස්කරුවෙක් වනු ඇත. නමුත් ඔවුනට සතුට දණවන පණිවුඩයක් රැගෙන යන්නකු වීමට ඔබට සෑම විටම අවස්ථාවක් නොලැබුණු ඇත. එවිට ඔවුනට යම් කිසි දුකක් දැනෙනු නොඅනුමානයි. එවිට ඔබ ඔවුනගේ දුකට සවන් දෙන හෝ ඔවුන්ගේ ජීවිතයෙන් දුක අතුගා දමන චරිතයක් ලෙස ඔවුන්ට සහාය වීමට හැකිනම් පෙරටත් වඩා ඔවුනගේ මතකයේ රැඳෙන පුද්ගලයකු වීමට ඔබට හැකි වනු ඇත.
ඉහත කරුණු සියල්ලගෙන්ම පෙනී යන ප්‍රධාන කරුණක් නම්, ජීවිතයේ අප සෑම සියළු දෙනා විසින්ම සිදුකරන සියළු උත්සාහයන් එක්වරම සාර්ථක විය නොහැකි වනවාක් මෙන්ම, එවැනි අවස්ථාවලදී අපි මානසික වශයෙන් කඩා නොවැටී සිටීමට හැකිවන පරිදි අපගේ මනස ශක්තිමත් කර ගත යුතු බවයි. එසේම එවැනි අත්වැරදීමක් හෝ වැරදීමක් යනු ජීවිතය අතහැර දැමිය යුතු අතිශය විනාශකාරී සිද්ධියක් නොව, අපේක්ෂා සහගත මනසකින් එම සිද්ධිය දරාගෙන එයින් ජීවිතයට උගත හැකි පාඩම ඉගෙන ගනිමින් සාර්ථක ජීවිතයට මඟ එළි පෙහෙළි කර ගැනීමට අප සැබැවින්ම වගබලා ගත යුතු බවයි. එසේ වන්නේ නම් අප එකම වැරැද්ද නැවත නැවතත් සිදු කරමින් ජීවිතයේ අනර්ථය කරා ළඟා නොවනු ඇතිවාක් මෙන්ම වැරැදි නිවැරැදි කර ගනිමින් සාර්ථක, අර්ථවත් ජීවිතයකට මග පාදා ගැනීමට අප සියළු දෙනාටම හැකිවනු ඇත. එනම් සෑම විටම දෙවැනි අවස්ථාවක් ඇති බවත්, වැරදි නිවැරදි කර ගනිමින් දෙවැනි අවස්ථාව පිළිගැනීමට අප සූදානමින් කටයුතු කළ යුතු බවත්ය. එවිට එම දෙවන අවස්ථාව, ජීවිතයට අමතක නොවන මතක සටහනක් කර ගැනීමට හැකි වනවා පමණක් නොව සතුටුදායක ජීවිතයකට ඔබට මඟ පෙන්වනු නොඅනුමානය.
පැන්සලක කෙළවර මකනයක් සවිකිරීමෙන් අර්ථවත් වන්නේ, ජීවිතයේ දී මිනිසා විසින් වැරදි සිදුකරන බවත් ඒවා සරළ රබර් මකනයක් මෙන් නොව ජීවිතේ වන වැරදි ඉවත් කිරීමට ඊට වඩා සංකීර්ණ විය හැකි බවකි. නමුත් සාර්ථක මෙන්ම අර්ථවත් ජීවිතයක් ගත කිරීමට නම් එම වැරදි නිවැරදි කර ගැනීමට ඔබ මහන්සි විය යුතුය. ඔබගේ එදිනෙදා ජීවිතයේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදීමක් සිදු වුවහොත් ජීවිතයෙන් පළා යාමට උත්සාහ නොගන්න. ඔබ එම වැරදි වලින් ඉගෙන ගන්නා තාක් කල් පසුකාලීනව ඒ හා සමාන වැරදි වලට ජීවිතය හසු වීම වළක්වා ගත හැකිය.
කරුණාවන්තකම, සහයෝගය සහ හදවතේ අනෙකා කෙරෙහි උපදින මානුෂීය හැඟීමෙන් මිනිසුන්ට මෙම වැරදි මකා දැමිය හැකිවේ. වරදක් සිදුවේ යැයි බියෙන් යමක් නොකර සිටීමට වඩා උත්සාහ ගැනීම වඩා වටිනා දෙයක් බව තේරුම් ගැනීමට ඔබට මෙයින් හැකිවනවා ඇත. වරදක් සිදු වූ විටදී එය නිවැරදි කර ගනිමින් දෙවන අවස්ථාව හොඳම අවස්ථාව කර ගැනීමට එවිට ඔබට හැකිවනු ඇත.
Business HUB යනු මකනයක් වැනිය. නිතරම ඔබේ වැරදි හරිගස්සයි. නමුත් ඔබ අවධානයෙන් ලිවීම කලානම් එකම වැරැද්ද කිහිපවරක් නොකලානම් මකනය අවසන් වන්නේ නැත. ඔබ සිතාමතාම කරන වැරදි නිසා දිනෙන් දින මකනය එහි අවසානයට ලඟාවේවි. ඒ වගේම Business HUB ද එහි අවසානයට ලඟාවේවි. එම නිසා උත්සාහ කරන්න ඔබේ වැරදි අවම කරගන්න… එවිට සහයෝගයෙන් අපට ඔබේ ජීවිත කතාව ලියා අවසන් කල හැක.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 10, 2023 | Business HUB සිතුවිල්ල
මේ කතාව ටිකක් පරණයි. එක ගමක බේකරි හිමියෙකුයි බටර් නිෂ්පාදකයෙකුයි හිටියා. හැමදාම පාන් රාත්තලක් බටර් නිෂ්පාදකයාට දීලා බටර් රාත්තලක් අරන් ගෙදර යන්න බේකරි හිමියා පුරුදු වෙලා හිටියා. ටික දවසක් යද්දි අර බේකරි හිමියට තේරුණා තමන්ට ලැබෙන බටර් රාත්තල එන්න එන්නම අඩු වෙන බව. මේ ගැන බේකරි හිමියා බටර් නිෂ්පාදකයාට කිව්වා. ඒත් බටර් නිශ්පාදකයා කිව්වේ තමන් ලබා දෙන බටර් ප්‍රමාණයේ කිසිම අඩුවක් කළේ නැහැ කියලයි. ඒත් බේකරි හිමියට හොඳටම පැහැදිලියි තමන්ට ලැබුණු බටර් ප්‍රමාණය එන්න එන්නම අඩු වුණු බව. ඉතින් ඔහු තමාට වෙච්ච අසාධාරණය උසාවියට අරගෙන ගියා. උසාවියේ දී නඩුකාරතුමා අර බටර් නිෂ්පාදකයාගෙන් මෙහෙම ඇහුවා.
“ඔබ කොහොමද බටර් ප්‍රමාණය මනින්නෙ?”
එතකොට බටර් නිෂ්පාදකයා මෙහෙම කිව්වා.
“හාමුදුරුවනේ මං ළඟ තරාදියක් තියෙනවා හැබැයි මට රාත්තලක් මනින මිනුම් පඩි නැහැ . උදේට මට බේකරියෙන් පාන් රාත්තලක් ලැබෙනවා . ඒ පාන් රාත්තල තරාදි යේ එක පැත්තකට දාලා ඒ බරට සෑහෙන්න බටර් මම අනිත් පැත්තට දානවා. බටර් වල බර අඩු වෙලා නම් ඒ කියන්නේ බේකරි හිමියන්ගේ පාන් රාත්තලේ බර අඩු වෙලා කියන එකයි . ඒක මගේ වැරැද්දක් නෙමෙයි”
අද වෙද්දි නම් අපි ගන්න පාන් ගෙඩියෙත් රාත්තලක් බර නැහැ . ඒකයි මම මේ කතාව ටිකක් පරණයි කියල කිව්වෙ.
කොහොම උනත් අපි මතක තියාගන්න ඕන එක දෙයක් තියනවා අපි දෙන ප්‍රමාණයට තමයි අපිටත් ලැබෙන්නේ කියන එක . අපි කෙනෙක්ට හොඳින් සැලකුවොත් ඒකෙනාත් අපිට හොඳින් සලකනවා. අපි කෙනෙක්ට හොඳින් කතා කළොත් තමයි එයත් අපිට හොඳින් කතා කරන්නෙ. අපි කෙනෙක්ට උදව් නොකර ඒ පුද්ගලයා අපිට උදව් කරයි කියලා හිතුවාට ඒක කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ව රවට්ටන්න උත්සාහ කරන්න එපා මොකද අන්තිමට ඔයාටමයි රැවටෙන්න සිද්ධ වෙන්නේ …
ඒ වගේම මේ පේජ් එකට ඔයා අවධානය දෙන ආකාරයට තමයි අපි ඔබට සලකන්නේ. මොකද ඔබේ දියුණුව ඔබම සලසාගන්න ඔබ කැපවෙන ආකාරයට තමයි අපි ඔබට දියුණු වෙන්න උදව් කරන්නේ…
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla