by admin | Feb 12, 2024 | Business HUB සිතුවිල්ල
ගඟක් අසල පැල්පතක තරුණ යුවළක් ජීවත් වුණා. මොවුන් ඉතාම දුප්පත්. මේ සැමියා තමන්ගෙ බිරිදට ගොඩක් ආදරය කළා. ඔහුට ඕන වුනේ හැම වෙලාවෙ ම තමන්ගේ බිරිඳව සතුටින් තියන්න. ඔහු ගඟෙන් මාළු අල්ලගෙන ඇවිත්, කැලෑවෙන් පළතුරු ගෙනත් බිරිදට දුන්නා. ඔහු ලද දෙයින් සතුටු වෙන සරල මනුස්සයෙක්.
නමුත් ඔහුගේ බිරිඳ ලද දෙයින් තෘප්තිමත් වන කාන්තාවක් නෙමෙයි. ඇය සෑම විටම සැමියා ගෙන එන දේවල්වල අඩුපාඩු දැක්කා. පළතුරු ගෙනා දවසට, ඇයට මාළු ඕන වුණා. මාළු ගෙනා දවසට පළතුරු ඕන වුණා.
දවසක් මේ සැමියාගේ මාළු දැලට මැජික් මාළුවෙක් අහුවුණා. මාළුවා ඔහුට කතා කළා.
“කරුණාකර මාව මරන්න එපා. මට යන්න දෙන්න” මාළුවා කිව්වා.
කතා කරන මාළුවා ව දැකලා මේ මාළු අල්ලන්නා පුදුම වුණා.
“ඔබ කතා කරන මාළුවෙක්. මම කවදාවත් ඔබව මරන්නෙ නැහැ. බයවෙන්න එපා. මම ඔබට යන්න දෙන්නම්.” මාළු අල්ලන්නා කිව්වා.
“ඔබේ කරුණාව ගැන බොහොම ස්තුතියි. කිසියම් දවසක, ඔබට යම් දෙයක් අවශ්‍ය වුණොත්, ඇවිත් කතා කරන්න”. කියමින් මාළුවා නොපෙනී ගියා.
මාළු අල්ලන්නා ගෙදර ගිහින් තමන්ගේ බිරිඳට මේ සිදුවීම කිව්වා.
“ඕනම දෙයක් ඉල්ලන්න කිව්වා නම්, ඔයා මොනවද ඉල්ලුවේ?” බිරිඳ ඇසුවා.
“මොකුත් නැහැ. මට එහෙම විශේෂ දෙයක් ඕනේ නැහැ.”
“ඇයි ඕනේ නැත්තෙ? අපිට සතුටින් ඉන්න කොච්චර දේවල් ඕනෙද? ඒ දේවල් මාළුවාගෙන් ඉල්ලන්න. මට මේ පැල්පතේ ඉඳලා එපා වෙලා තියෙන්නේ. ගිහින් අපිට හොඳ ලොකු ගෙයක් ඉල්ල ගන්න”
“මම නම් කැමති නැහැ එහෙම ඉල්ලන්න.” මාළු අල්ලන්නා කිව්වා.
“ඔයා මට ආදරේ නම්, ගිහිල්ලා අනිවාර්යෙන්ම මාළුවාගෙන් අපිට ගෙයක් ඉල්ලගෙන එන්න.” බිරිඳ කිව්වා.
මාළු අල්ලන්නා බොහොම අකැමැත්තෙන් ගඟ අසලට ගිහින් මැජික් මාළුවාට කතා කළා.
“මැජික් මාළුවෝ මගේ බිරිඳට ගෙයක් ඕන කියනවා”
“ඔබ යන්න . ගෙයක් ලැබිලා ඇති.” මාළුවා කිව්වා.
මාළු අල්ලන්නා ගෙදර යනකොට, ඔහුව පුදුමයට පත් කරමින් ඔවුන් ජීවත් වුණු පැල්පත විශාල නිවසක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඔහුගේ බිරිඳ බොහොම සතුටින් හිනා වෙමින් ඔහුව පිළිගත්තා.
“දැන් ඔයාට සතුටුද?” මාළු අල්ලන්නා ඇහුවා.
“ඒක මම හිතලා බලන්න ඕනේ” බිරිඳ උත්තර දුන්නා.
විශාල නිවසක් ලැබුන එකෙන් මේ බිරිඳ තෘප්තිමත් වුණේ නැහැ. ඇයට ඕන වුණා රටේ රාජනිය වෙන්න. මාළු අල්ලන්නා බොහොම අකැමැත්තෙන් ඇගේ ඒ ඉල්ලීමත් මාළුවාට කිව්වා. ඒ ඉල්ලීමක් ඉටු වුණා. ඇය රටේ රැජින වුණා.
නමුත් ඇය ඉන් තෘප්තිමත් වුණෙත් නැහැ. ඇයට අවශ්‍ය වුණා සියල්ල පාලනය කළ හැකි, සියල්ලට අධිපතිනිය වෙන්න.
මාළු අල්ලන්නා බොහොම කලකිරීමෙන් හිටියෙ තමන්ගෙ බිරිදගේ මේ ඉවරයක් නොවන ඉල්ලීම් ගැන. ඔහු බොහොම දුකට පත් වුණා, පුළුවන් උපරිම දේ ලබා දීලත්, ඇයව සතුටු කරන්න බැරි වීම ගැන. නමුත් ඔහු බොහොම කණගාටුවෙන් වුනත්, ඇයට ඇති ආදරය නිසා ම, තමාගේ බිරිඳට සියල්ලට අධිපතිනිය වී , සියල්ල පාලනය කිරීමට අවශ්‍යයි. ඇයට එය ලබා දෙන්න කියා ඉල්ලුවා. මාළුවා එම ඉල්ලීමත් ඉටු කරන්න පොරොන්දු වුණා.
මාළු අල්ලන්නා තමන් හිටිය රජ මාලිගාවට යනකොට, බිරිද මාලිගාවේ හිටියේ නැහැ. ඔහු හැම තැනම හොයා බැලුවත් බිරිඳව හම්බ වුනේ නැහැ. අවසානයේ ඔහු බොහොම කලබලයෙන් නැවතත් මාළුවා හම්බවෙන්න පිටත් වුණා.
“මැජික් මාළුවෝ ,මගේ බිරිඳ මාලිගාවේ නැහැ. ඇය කොහෙද ඉන්නේ?”
“සියල්ලට අධිපති, සියල්ල පාලනය කළ හැකි කෙනාව කිසිම කෙනකුට දකින්න බැහැ. ඔබේ බිරිදවත් ඔබට දකින්න බැහැ.” මැජික් මාළුවා හිනාවෙලා පිළිතුරු දුන්නා .
“ඔබ ඇයට ලබාදුන් වරය ඉවත් කරන්න. එතකොට මට මගේ බිරිඳව නැවත දකින්න පුළුවන් වෙයි.”
“කණගාටුයි. මට දුන්න වරයක් ආපහු අයින් කරන්න බැහැ.”
“හොඳයි එහෙනම්, මම මෙච්චර දවසක් ඉල්ලුවේ මගේ බිරිදට අවශ්‍ය දේවල්. අද මම මා වෙනුවෙන් දෙයක් ඉල්ලුවොත් ඔබට එය දෙන්න පුලුවන්ද?”මාළු අල්ලන්නා ඇහුවා.
“අනිවාර්යයෙන්ම. ඒ දවස එනකල් තමයි මාත් බලන් හිටියේ. ඔබට මොකද්ද අවශ්‍ය?” මාළුවා ඇහුවා.
“මට ඕනේ මම සහ මගේ බිරිද සතුටින් එකට ජීවත් වෙන්න. මට එම සතුටුදායක ජීවිතය ලබා දෙන්න ” මාළු අල්ලන්නා කිව්වා.
“ගෙදර යන්න. ඔබේ බිරිඳ සතුටින් ඔබ එනකල් බලාගෙන ඇති. ඔබ ඔබ වෙනුවෙන්, ඔබේ සතුට ලබා ගත්තා. ඔබට නැවතත් මාව අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඔබට බඳුනක් දෙන්නම්, එහි ඔබ වෙනුවෙන් ලියුමක් තියෙනවා, ගෙදර ගිහින් නිදහසේ කියවන්න.” මාළුවා නොපෙනී ගියා.
ඔහු නැවත යනවිට මාලිගාව වෙනුවට කුඩා නිවසක් එතැන තිබුණා. ඔහුගේ බිරිඳ ඉතා සාමාන්‍ය කාන්තාවක් ලෙස ඒ නිවසේ දොර අසල ඔහුගේ පැමිණීම වෙනුවෙන් සතුටින් බලාගෙන හිටියා.
“ඔබ හැම වෙලාවෙම හිතුවේ අනිත් අයගේ තෘප්තිය, සතුට ගැන. ඔබ ඔබේ සතුට ගැන හිතන්නේ නැතුව, අනිත් අයව තෘප්තිමත් කරන්න ගියා. නමුත් ඔබට කවදාවත් අනිත් අයව තෘප්තිමත් කිරීමේ අවසානයක් දකින්න ලැබුණේ නැහැ.
ඔබ ඔවුන්ගේ තෘප්තිය වෙනුවෙන් මොන දේ කළත්, ඔවුන්ට තව තවත් දේවල් ඕන වුණා. අවසානයේ, ඔබ බොහෝ කලකිරීමට සහ වේදනාවට පත් වුණා. අවසාන අවස්ථාවේදී තමයි ඔබ හරි තීරණය අරගෙන, ඔබගේ තෘප්තිය වෙනුවෙන් ඉල්ලීමක් කලේ. එම ඉල්ලීමෙන් තමයි ඔබට ඔබේ සැබෑ තෘප්තිය හා සතුට ලැබුණේ.
මතක තියාගන්න ඔයාට කවදාවත් අනිත් අයව සතුටු කරලා, තෘප්තිමත් කරලා අවසන් කරන්න බැහැ. ඒ නිසා මුලින් ම ඔබ ඔබගේ තෘප්තිය සහ සතුට වෙනුවෙන් වැඩ කරන්න, එයට අවධානය දෙන්න” ලිපියේ ලියා තිබුණා.
බාලිකා හේවගේගේ ලිපියක් ඇසුරින් උපුටාගන්නා ලදි. අයිතිය කතෲ සතුය.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 11, 2024 | Business HUB සිතුවිල්ල
ආත්ම විශ්වාසය වැඩිකරගන්නේ කොහොමද?
ජීවිතේ නොයෙක් අවස්ථාවන් වලදී අපි හැමෝම යම් යම් සිදුවීම් නිසා මානසික ඇදවැටීම්වලට ලක්වෙලා තියෙනවා. නමුත් ඒ ඇදවැටීම් නිසා හැමදාම ශෝකයෙන් ජීවත් වෙන්න අපිට බැහැ. මානසිකව කොයිතරම් ඇදවැටුනත්, ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන ඒ හරහා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් පියවර 8ක් ගැන අද අපි කතාකරමු.
හොඳ ආත්ම විශ්වාසයකින් යුක්ත කෙනෙක්ට බොහෝ දේවල් කරන්න පුළුවනි. ඔබ ඇවිදින, හැසිරෙන, කතාකරන විදියෙන් පවා ඔබගේ ආත්ම විශ්වාසය ප්‍රතිරූපණය වෙනවා. අපි හැමෝගේම ජීවිතවල යම් යම් දුෂ්කර කාල පරිච්ඡේදයන් තියෙනවා. අන්‍යයන් තමන්ව නොසළකාහැරීම, රැකියාව අහිමිවීම, ප්‍රේමයෙන් පරාජය වීම, ආර්ථික දුෂ්කරතා, ළඟම හිතවතෙකුගේ වියෝව, නොයෙක් අසනීප තත්ත්වයන් වගේ දේවල් වගේම තවත් බොහෝ හේතූන් නිසා ඇතිවන මානසික බිඳවැටීම හරහා අපේ ආත්ම විශ්වාසය බිඳී ඇති වාර අනන්තයි. මේ ආකාරයේ ජීවන අත්දැකීම්වලට ඉඳිරියටත් අපිට මුහුණදෙන්නට සිදුවෙන්න පුළුවනි. මොනම ආකාරයක අයහපත් දෙයක් සිදුවුවත්, ආත්ම විශ්වාසය බිඳ නොවැටී තියාගන්න අපි කටයුතු කරන්න අවශ්‍ය ඒ නිසාමයි.
ගිලිහී ගිය ආත්ම විශ්වාසය යළිත් ඇතිකරගැනීම එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි අපේ අදහස. නමුත් එහෙම කරන්න පුළුවන් අයත් ලෝකේ ඕනේ තරම් ඇති. ඒ කොහොම වෙතත්, පහළින් අපි දක්වලා තියෙන පියවර කීපය අනුගමනය කිරීමෙන් ඉතා ඉක්මනින්ම ඔබට පුළුවනි ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන වඩාත් සතුටින් යුතුව ජීවත් වෙන්නට.
1. ඔබ තුළ ඇති ඔබ කැමතිම ගුණාංග ගැන ලියන්න
කොළයක් පෑනක් ගන්න. ඔබ තුළ ඇති ඔබ කැමතිම ගුණාංග ලැයිස්තුවක් සකස් කරන්න. ඒ ගුණාංග මහ විශාල දේවල් වෙන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදියට ඔබට රසට තේ එකක් හදන්න පුළුවන්නම්, ඒක මේ ලැයිස්තුවට ඇතුළත් කරන එකේ කිසිම වරදක් නැහැ. බොහෝවිට මේ ලැයිස්තුව ඒ තරම් දිග ලැයිස්තුවක් නොවෙන්න පුළුවනි. නමුත් ඒ ගැන ඒ තරම් වද වෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ මොහොතේදී අවශ්‍ය වෙන්නේ ඔබතුළ ඇති ඔබ කැමතිම ගුණාංග ලැයිස්තුවක් සකස් කරන එක විතරයි. ඒ වගේම ඒ ලැයිස්තුව ඔබට නිතරම පෙනෙන තැනක තියාගන්න එකත් සිදුකරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.
2. ඔබේ ජීවිතයේ සිටින සෘණාත්මක අදහස් දක්වන පුද්ගලයන්ව ඉවත් කරන්න
ඔබේ හිතට සෘණාත්මක අදහස් විතරක්ම දෙන, ඔබ මොන දේ කෙරුවත් ඔබව විවේචනයම කරන කී දෙනෙක් ඔබේ ජීවිතේ ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න. සමහරවිට ඒ අය ඔබේ ජීවිතේ ළඟින්ම ඇසුරු කරන අය වෙන්න පුළුවනි. නමුත් එයාලව ජීවිතෙන් ටික කාලෙකට ඈත් කරන්න. ඒ තරම් වැදගත් කමක් නැති අය නම්, සදහටම අයින් කරලා දැම්මත් කමක් නැහැ කියන එකයි අපේ අදහස.
3. ඔබට වෙනස් කරන්න බැරි දේ ගැන වදවෙන්න එපා
ඔබේ අක්බඹරු හිසකෙස් වලට ඔබ අකැමැතිද? ඔබේ සමේ වර්ණයට ගැන නොරිස්සුම් සහගතද? ඔබේ කකුලේ ඇඟිලිවල හැඩය කැතද? ඔබගේ උස ප්‍රමාණවත් නැද්ද? ඇත්තම කතාව මේකයි. රුපියල් මිලියන කීපයක් වියදම් කරලා යම්තාක් දුරකට ඔබගේ පෙනුම වෙනස් කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඒ තරම් වියදමක් දරන එක ප්‍රඥාගෝචරද කියන ප්‍රශ්නේ අනිත් පැත්තට එනවා නේද? අපි මුලින් සඳහන් කරපු කිසිම දෙයක් ඔබට වෙනස් කරන්න හැකි දේවල් නෙමේ. ඒ වගේ දේවල් ගැන වදවෙන එක කිසිම තේරුමක් නැහැ කියන එක පැහැදිලියි. එයින් වෙන්නේ ඔබ ගැන ඔබට තිබෙන විශ්වාසය නැතිවෙන එක විතරයි. ඔබට ඇතැම්විට හොඳ කටහඬක්, සහජ හැකියාවක්, හෝ පුහුණු කළ හැකියාවක් ඇති. ඔබ සතුව නැති දේවල් ගැන වදවෙන වෙලාවේ ඔබට තියෙන දේවල් ගැන කල්පනා කරන්න. ඔබේ ආත්ම විශ්වාසය ඒ තුළින් වැඩිවෙනවා සිකුරුයි.
4. වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරගන්න
ඔබ තුළ තිබෙන, ඔබට වෙනස් කරගන්න පුළුවන් මාදිලියේ ඔබ අකැමැති දේවල් වෙනස් කරගන්න දෙපාරක් හිතන්න එපා. උදාහරණයක් විදියට, ඔබේ ශරීරය තරබාරුයි නම් සහ ඔබ එයට අකමැති නම්, ව්‍යායාම සිදුකිරීමෙන් ශරීර හැඩය ක්‍රමවත් කරගන්න ඔබට පුළුවනි. ඔබගේ මිතුරියන් හැමෝටම ලස්සනට නටන්න පුළුවනි ඔබට එය තවමත් බැරි නම්, ගෙවල් ළඟ තියෙන නැටුම් පුහුණු මධ්‍යස්ථානයට ගිහින් ඔබට එය ඉගෙන ගන්න පුළුවනි. ඔබ දැනට කරනා රැකියාවට ඔබ කැමති නැති නම්, ඔබේ සුදුසුකම් වැඩි කරගන්න මහන්සි වෙන අතරේ වෙන රැකියාවක් සොයන්න පුළුවනි.
හොඳින් මතක තියාගන්න, ඔබ සහ ඔබගේ ආත්ම විශ්වාසය වැඩිකරගන්න සිදුකරන්න ඕනේ ක්‍රියාමාර්ග අතරේ සිටින්නේ ඔබම පමණයි. ඔබට වෙනස් කරගන්න පුළුවන් දේවල් වෙනස් නොකර ඒ ගැන විවේචනය කරමින් ඉන්න එකෙන් වෙන්නේ ඔබේ ආත්ම විශ්වාසය තව දුරටත් ගිළිහෙන එක විතරයි. නමුත් ඒ වෙනුවට ඒ අකමැති දේවල් වෙනස් කරන්න ඔබ මහන්සි වෙනවානම්, නිසැකවම ඔබගේ ආත්ම විශ්වාසය ඒ සමඟින්ම ඉහළ යනවා.
5. දිනපතා ව්‍යායාම කරන්න
ව්‍යායාම සිදුකිරීමෙන් සිදුවෙන ශරීර ස්වභාවයේ වෙනස ගැන නෙමේ අපි මෙතනදී සැළකිළිමත් වෙන්නේ. ව්‍යායාම හරහා ඔබගේ මානසිකත්වයේ සිදුවෙන වෙනස විශාලයි. ඔබ අහලා ඇති endorphins කියන හෝමෝන ගැන. මේ හෝමෝන නිපදවෙන්නේ ඔබ ව්‍යායාම හෝ ඒ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවෙන වේලාවේදීයි. මේ හෝමෝන හරහා ඔබගේ ගතේ සිතේ දෙකේම ප්‍රබෝධමත්භාවය වැඩිකිරීම සිදුකරනවා. ඔබ ශාරීරිකව ශක්තිමත් බව දැනෙන තරමටම, ඔබ මානසිකවත් ශක්තිමත් වෙනවා.
6. ඔබගේ ශරීර භාෂාව වෙනස් කරන්න
ඔබේ ආත්ම විශ්වාසය දුර්වල වෙලා තියෙන වෙලාවට, ඔබ නිතරම උත්සාහ කරන්නේ සැඟවී සිටින්නයි. කණ්ඩායමක් අතරේ සිදුවෙන සංවාදයකදී වුවත් ඔබ කතාකරනවා ඉතා අඩුයි නම්, ඔබ සමඟ කතාකරන කෙනාගේ ඇස් දිහා බලලා කතා නොකරනවා නම්, මේ සිරිත් වෙනස් කරන්න දැන් කාලේ හරි. කතා කරන විට පැහැදිලි ස්වරයෙන් සාමාන්‍ය වේගයෙන් කතා කරන්න. හැමතිස්සෙම ඔබත් සමඟ කතාකරන කෙනාගේ දෑස් දිහා බලන්න උත්සාහ කරන්න. ඔබ කියන දේ ගැන විශ්වාසයෙන් යුතුව සිටින බව අන්‍යයන්ට ඇඟවෙන්න ඉඩ හරින්න. මේ හරහාත් ඔබට විශාල වශයෙන් ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවනි.
7. සෘණාත්මකව සිතන එක නතර කරන්න
ඔබ දන්නවාද අපේ හිතේ තියෙන සුවිශේෂීම ගුණාංගයක් ගැන? ඒ තමයි, අපිට පුළුවන් අපිට හිතෙන දේවල් පාලනය කරන්න. සරල උදාහරණයක් ගනිමු. කළුවර තැන්වල හොල්මන් අවතාර සිටිනවායැයි ඔබ හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ කියලා පසුව ඔබ ඉගෙනගන්නවා. ඊළඟ වතාවේදී කළුවර තැනකින් ඔබ යද්දි අර මුලින් ඔබේ හිතට ආව හොල්මන් අවතාර ගැන අදහස යට කරගෙන ඔබට පුළුවනි ඔබ ඉගෙන ගත්ත දේ හිතේ තියාගෙන ඉන්න. ටික වෙලාවකින් ඔබ එහෙම හිතාගෙන ඉන්න දේ ඇත්ත කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. මේක බොහෝ මනෝවිද්‍යාඥයන් විසින් සනාත කරලා තියෙන දෙයක්.
ඔබට ඔබ ගැන සෘණාත්මක දේවල් කල්පනා වෙද්දි ඒ දේවල් වෙනුවට ඔබේ ඇති ධනාත්මක, යහපත් දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම ඔබ ලබපු ජයග්‍රහණ ගැන කල්පනා කරන්න. ඒ ජයග්‍රහණ ලබද්දී ඔබ ලබපු සතුට ගැන කල්පනා කරන්න. එ ජයග්‍රහණ ලබන්න ඔබ කරපු කැපකිරීම් ගැන කල්පනා කරන්න. මේ හරහා ඔබගේ ආත්ම විශ්වාසය විශාල වශයෙන් වර්ධනය කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ යහපත් ගුණාංග ගැන ඔබ ලියූ ලැයිස්තුවටත් මේ ජයග්‍රහණ ගැන කරුණු එකතු කරන්න අමතක කරන්න එපා.
8. ඔබ විසින් ලියන ලද ඔබේ කැමතිම ගුණාංග ලැයිස්තුව යළිත් කියවන්න
අපි මේ ඉඳිරිපත් කරන ලැයිස්තුවේ පළවෙනිම කරුණ ඔබට මතකයි නේද? අන්න ඒක උදව්වට එන්නේ මේ වෙලාවටයි. ඔබ විසින්ම නිර්මාණය කරපු ඔබේ ශක්තීන්, හැකියාවන්, ගුණාංගයන් පිළිබඳ විස්තරයක් දැන් ඔබ සතුව තියෙනවා. ඔබගේ ආත්ම විශ්වාසය දුර්වල වෙන හැම වෙලාවකදීම, ඔබ තුළ ඇති ඔබ කැමතිම ගුණාංග පිළිබඳ ලියපු ලැයිස්තුව කියවන්න. ඔබ විශේෂ කෙනෙක්. මේ ලෝකයට දෙන්න ඔබ සතුව යහපත් දේවල් ගොඩක් තියෙනවා. මේ ගැන හිතද්දි, ඔබේ ආත්ම විශ්වාසය නිරන්තරයෙන්ම ඉහළ යන බව ස්ථිරයි.
ආත්ම විශ්වාසය වර්ධනය වීම සිදුවෙන්නේ, තමන්ගේ යහපත් හැකියාවන් සහ ගුණාංගයන් තුළින් ලෝකයට යහපත් යමක් සිදුකිරීමෙන් සහ තමන්ගේ දුර්වලතාවයන් මගහැර ගැනීමෙනුයි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නැහැ. ඔබ ඔබගේ හැකියාවන් ගැන දැනගන්න තරමටම, ඔබේ ආත්ම විශ්වාසයත් වැඩිවෙන බව මතක තියාගන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න, ජීවිතේ සාර්ථක කරගන්න.
roar .media වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදි. අයිතිය එම වෙබ් අඩවිය සතුය.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 10, 2024 | Business HUB සිතුවිල්ල
ආදරේට බ්‍රේක් නෑ, ජීවිතයට රිවර්ස් නෑ… ඒ හැමෝම හිතන හැටි….
කෙනෙක්, තවත් කෙනෙක් එක්ක ගොඩනගා ගත් ආදරණීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යනකල් ඒ සම්බන්ධතාවයේ සුන්දරත්වය දෙදෙනාම අත් විඳිනවා. හැබැයි කවුරුහරි මේ සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කරපු හැටියෙම ඒක වෛරයක් බවට පත් වන්නේ නිරායාසයෙන්මයි. ඒකයි අපි කියන්න පුරුදු වෙලා ඉන්නේ ආදරේට බ්‍රේර්ක් නෑ කියලා. ආදරය කියන හදවතේ බැඳීම පවත්වාගෙන යනකල් ඒක සුන්දර වගේම, ඒ බැඳීම බිඳුණු පසු ඇතිවන විරහ වේදනාව එක් අයෙකුට හෝ දෙදෙනාටම අසුන්දර වෙන්නත් පුළුවන්. එය වලක්වාගන්න අපි බුද්ධිමත්ව කටයුතු කල යුතුමයි. නැත්නම් සමහර විටෙක ක්ෂණික කෝපය මත අපි ගන්න තීන්දු තීරණ අපව වසර ගණනාවක් සිරගත කිරීමට පවා හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ආදරයට බ්‍රේර්ක් නැති බව දෙන්නම දැන ගෙන හිටියොත් හොඳයි. බ්‍රේර්ක් ගහනවානම් අවබෝධෙන්, පරිස්සමෙන්…
ආදරයට බ්‍රේර්ක් නැත්නම් ජීවිතයට රිවර්ස් තියෙනවද? කියලා කෙනෙක් ඊළඟට අහන එක සාධාරණයි. හැම අවස්ථාවකදීම ජීවිතය රිවර්ස් කරන්න බෑ. කතාව හරි. හැබැයි ජීවිතයෙදි තමුන් ගත්තු තීන්දු තීරණ වෙනස් කරන්නේ නැතුව, ඒ විදිහටම අල්ලාගෙන ඉන්න ඕනේ කොයි වෙලාවටද? ඒ තීරණ රිවර්ස් කරලා හරි මාර්ගයට දාගන්න ඕනේ කොයි වෙලාවටද? කියන එක අවබෝධයෙන් කල යුත්තක්.
ජීවිතයට පාර කියන ගියර් හයේ පාඩම……
සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා වැදගත් පාඩම් මෝටර් රථයකින් පවා ලබා ගත පුළුවන්. වාහනයක ඇති ක්ලච්, බ්‍රේක්, සුක්කානම් සහ ගියර් හය අපගේ ජීවිතයට පහසුවෙන් සම්බන්ධ කළ හැකිය. අද කතාවේ, වාහනයක් සහ සෑම කෙනෙකුගේම ජීවිතයේ කතාව අතර සම්බන්දයක් ගොඩ නගා ඇත.
සාමාන්‍යයෙන් වාහනවලට ඉදිරියට ගමන් කරන ගියර් පහක් හා රිවර්ස් (ප්‍රතිලෝම) ගියරයක් ඇත. මෙම ගියර් පුද්ගලයෙකුගේ ජීවිතයට සම්බන්ධ වන්නේ කෙසේදැයි බලමු.
1️⃣ පළමු ගියරය
මෙය ආරම්භක අවස්ථාවයි. මෙම අවස්ථාවේ එකම අරමුණ වන්නේ වාහනය චලනය කිරීමයි. මෙම අවස්ථාවෙහිදී, මෝටර් රථය මන්දගාමීව ඉදිරියට ගමන් කරන අතර රියදුරුට ඉදිරි ගමනට හැඩගැසීමට හා සූදානම් වීමට කාලය ලැබේ.
ජීවන තත්වයන්ට සාපේක්ෂව ගත් විට අධ්‍යාපන ජීවන චක්‍රය පුද්ගලයෙකු සඳහා වන පළමු අවස්ථාවයි. ශිෂ්‍යයෙකු ලෙස යමෙකු ස්වාධීන වීමට අවශ්‍ය සියලු කුසලතා අත්කර ගනිමින්, තොරතුරු රැස්කර ගනිමින් ජීවිතයේ හා වෘත්තියේ විවිධ අංශවලට අදාළ දැනුම ලබා ගන්නා අවධියකි.
වගකීම් මෙන්ම අපේක්ෂාවන් අඩු වූ විට මෙය කෙනෙකුගේ ජීවිතයේ සාපේක්ෂව පහසු අවධියකි.
2️⃣ දෙවන ගියරය
වාහනය පාරේ ඉදිරියට යාමට පටන් ගත් පසු, මෙම අවස්ථාවෙහිදී ඊළඟ පරමාර්ථය වන්නේ ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කර ගැනීමයි. දෙවන අවස්ථාව රියදුරුට වේගවත් වීමට උපකාරී වේ. රිය පැදවීමේ අරමුණින් මෙය ආරක්ෂිත අදියරක් වන අතර ඕනෑම ආකාරයක රථවාහන දුෂ්කරතා පාලනය කිරීම සඳහා වාහනය පාලනය කිරීමට කෙනෙකුට හැකිය.
ජීවන තත්වයන්ට සාපේක්ෂව සලකා බැලූ විට මෙම අවස්ථාවෙහිදී, යමෙකු තම ජීවනෝපාය තෝරා ගන්නා අවස්ථාවට පිවිසෙයි. එය රැකියාවක් හෝ ව්‍යාපාරයක් සමඟ අත්හදා බැලීමේ අවස්ථාවක් විය හැකිය. මනෝමිතික තක්සේරු කිරීම් හෝ වෘත්තීය මග පෙන්වීම් වැනි හොඳින් පර්යේෂණය කරන ලද නිර්ණායක මත පදනම්ව සමහර සිසුන් තම වෘත්තියේ දිශාව තෝරා ගැනීමට තරම් බුද්ධිමත්ය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවෙහිදී තරුණයින්ගෙන් බහුතරයක් ඔවුන් පැකිලී යන හෝ ලබා ගැනීමට පහසු වූ රැකියා ක්ෂේත්‍රවලට පිවිසේ.
පුද්ගලයෙකු වෘත්තියේ ආරම්භක වසරවල නිරත වී ඉහළ ශක්තියක් සහිතව ධාවනය වන කාලය මෙයයි. මෙම අවස්ථාවෙහිදී, පුද්ගලයෙකුට විවිධ වෘත්තීය අරමුණු, ජීවන අරමුණු, ආශාවන් ආදිය සමඟ අවදානම් සහ අත්හදා බැලීම් කිරීමේ නම්‍යතාවයක් ඇත. වගකීම් සාපේක්ෂව අඩු වන අතර අත්හදා බැලීමේ අවස්ථාවන් බහුල වේ.
3️⃣ තෙවන ගියරය
පාරේ වාහනය ධාවනය කරගෙන යන විට දෙවන ගියරයේ වේගය දිගු කාලයක් තිස්සේ වැඩි වන බවක් නොපෙනේ. ඔබ ගමන් කළත් විනෝදයක් නැත. වේගයෙන් රිය පැදවීමේ සතුට අත්විඳීමට ඔබ දැන් මංමුලා සහගතය. වාහනය වඩා හොඳින් භාවිතා කිරීමට (සම්පතක් ලෙස) ඔබ කලින්ම ගමනාන්තයට පැමිණීමට දැඩි ලෙස ආශා කරයි. වඩා හොඳ වේගයකින් ගමන් කිරීමට ඇති ඔබේ ආශාව තුන්වන අවස්ථාව සමඟ සැබෑ වේ.
ජීවන තත්ත්වයන්ට සම්බන්ධ කිරීමේදී මෙම අවස්ථාව පුද්ගලයෙකු විශ්වාසනීය ක්ෂේත්‍රයකට තල්ලු කරයි. එය පුද්ගලයෙකුගේ මැදි විය හා සම්බන්ධ විය හැකිය. මේ කාලය වන විට, ඔබ මේ ලෝකයේ සූක්ෂම අත්දැකීම් ලබා ඇති අතර විශාල අභියෝග භාර ගැනීමට සහ විශාල ඉලක්ක සපුරා ගැනීමට තරම් දක්ෂ බවක් ඔබට දැනේ.
මෙය පුද්ගලයෙකු විවිධ වගකීම් අත්පත් කර ගන්නා අවධියක් වන අතර, ශක්ති මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින අතර උද්යෝගය උපරිම වේ. පුද්ගලයෙකුට ජීවිතයේ උපරිම අවදානම් දැරීමට සුදුසුම කාලය මෙයයි.
4️⃣ හතරවන ගියරය
වාහනය වේගවත් වීමට හේතු වන මාර්ගයට පැමිණ ඇත. වේගය ස්වයංක්‍රීයව වැඩිවන අතර වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.
ජීවිත තත්වයන්ට සම්බන්ධ කොට බැලීමේදී ඔබගේ ආරම්භක වර්ෂයේ සියලු උත්සාහයන් සහ ඉගෙනීම් සමඟ, මෙම අවස්ථාවෙහි ඇති අවුල් සහගත වචනය ‘කාර්ය සාධනය’ වේ. ඔබ ඔබේ හැකියාවන් ඉටු කර හඳුනාගැනීම් ඉටු කරයි. සේවා නියුක්තියේ විශාල භූමිකාවන් සහ ව්‍යවසායකත්වයේ පුළුල් ව්‍යාප්තිය සාක්ෂාත් කරගනු ලැබේ. මෙය ඔබේ ජීවිතයේ හොඳම අවධීන්ගෙන් එකක් විය යුතු අතර එය ඔබ අත්කර ගැනීමට හා බිඳීමට පමණක් නොව සන්ධිස්ථාන නිර්මාණය කිරීමටද හේතු වේ.
5️⃣ පස්වන ගියරය
ඉහළ වේගයෙන් ගමන් කිරීම සඳහා ඉදිරි මාවත පහසු සහ ආරක්ෂිත වනු ඇති බව ඔබට හොඳටම විශ්වාසයි නම්, ඔබ මෙම ඉහළම පියවරට හෙවත් පස්වන අවස්ථාවට පිවිසේ. මෙම ගියරයේ රිය පැදවීම යන්නෙන් අදහස් වන්නේ ඔබ දිගු ගමනක් සඳහා පාරේ යන බවයි.
ජීවිත තත්ත්වයන්ට සම්බන්ධව ගත් විට, විශාල මෙහෙවරක් සහිත දීර්ඝ කාලීන ක්‍රීඩාවේ යෙදී සිටින අයට පමණක් මෙම අවස්ථාවට මාරුවිය හැකිය. සුවිශේෂී වර්ධනයක්, සුවිශේෂී කාර්ය සාධනයක් සහ නව ගමනාන්ත කරා ළඟා වීමේ අදියර මෙයයි.
බොහෝ දුරට, මිනිසුන් පස්වන ගියරයට ඇතුළු වූ විට ඔවුන් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ අනතුරු වලට මුහුණ දීම. මක්නිසාද යත්, අධික වේගයෙන් ගමන් කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඔවුන් දන්නේ නැත.
0️⃣ උදාසීන ගියරය (Neutral)
ගියර් වෙනස් කළ යුතු සෑම අවස්ථාවකම, ඔබ උදාසීන ලෙස හැඳින්විය යුතුය. වාහනයේ වේගය සහ දිශාව ගැන සැලකිලිමත් වන උදාසීන ස්ථානයකි.
ජීවිත තත්වයන්ට සාපේක්ෂව මෙය සැහැල්ලුවෙන් හා සිහියෙන් යුතුව කටයුතු කරන අවධියකි. පවුලේ කාලය, සංචාරය, විනෝද චාරිකා යනාදිය සාමකාමී විවේකයක් වන අතර එය පුද්ගලයෙකුට පුනර්ජීවනය ලබා ගැනීමට උපකාරී වේ.
↪️ ප්‍රතිලෝම ගියරය (Reverse Gear)
සමහර විට, අනාගත දියුණුව සඳහා පසුබැසීම අනිවාර්ය වේ. ප්‍රතිලෝම ගියරය වාහනයේ ගමන් මග වෙනස් කිරීමට රියදුරුට උපකාරී වේ.
ජීවන තත්වයන්ට සාපේක්ෂව ප්‍රතිලෝම ගියරයකින් තොරව ජීවන ගමන අසම්පූර්ණ වන බව වටහා ගත යුතුය. සමහර විට ඔබ දිනයි, සමහර විට ඔබට අහිමි වේ. මන්දගාමී වර්ධනයේ අදියරයන් ඇත, වර්ධනයක් නැතිවන මෙන්ම ශෝක සහ බලාපොරොත්තු සුන්වීම් යන මේ සියල්ල ප්‍රතිලෝම ගියරයට සමාන වේ. ආපසු යාමෙන් අදහස් කරන්නේ ඔබ ඉදිරියට නොයන බවයි. පහතට වැටීමෙන් නැවත ඉහළට යාමට ඇති නොහැකියාව පිළිබිඹු නොවේ.
මීට අමතරව, අපට ක්ලච් වෙතින් පාඩම් ඉගෙන ගත හැකි අතර, එය සමගාමී අවධියේ වගකීම් වලින් ඔබව නිදහස් කරන අතර වෙනස් ගියරයකට සුමටව සංක්‍රමණය වීමට උපකාරී වේ. ඒ හා සමානව විවේකයක් යනු හදිසි අනතුරකින් ඔබව ආරක්ෂා කිරීම පමණක් නොවේ. ඇත්ත වශයෙන්ම, විවේකයක් යනු ඔබට වේගයෙන් රිය පැදවීමට සහ ගමනේ වැඩි දුරක් යාමට උපකාරී වේ.
ඇත්තටම ජීවිතයට රිවර්ස් නැද්ද ?
ජීවිතයේ තමන් ගත්තු තීරණ වැරදියි කියලා තේරුණාට පස්සෙත්, කිසිම වෙනසක් කරන්නේ නැතුව ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා නම් ඒක ඇත්තටම මෝඩකමක්. මොකද? කල්පනා කරලා ගන්න පුංචි වෙනසකින් කාලාන්තරයක් තිස්සේ කරගන්න බැරිවුණු වැඩක් ඉවරයක් කරගන්නට ඔබට පුළුවන් වේවි. තමන් ගත්තු තීරණයක් රිවර්ස් කරන එක පරාජයක් නෙමෙයි. ඒක අළුත් ක්‍රමයක ආරම්භයක් බව හිතන්න. ඔබ කරන පුංචි වෙනසකින් සමස්ථ අවසාන ප්‍රතිඵලයම වෙනස් කරන්න ඔබට පුළුවන්. අඩියක් ජීවිතය රිවර්ස් කරන්න ඕනේ අඩි දෙකක් ඉස්සරහට පනින්න බලාගෙන මිසක් මානසිකව කඩාගෙන වැටිලා සියල්ල අතහැරලා දාන්න නෙමෙයි. එක අඩියක් පිටිපස්සට ගත්තහම ශරීරයට එන ජිවය වැඩියි. ඕනෙම නම් දුර පනින ක්‍රීඩකයෙකුගේ ඉසව්ව ආරම්භක ඉරියව්ව මතක් කරලා බලන්න.
අමතක කරන්න එපා ! ජීවිතයට රිවර්ස් තියෙනවා. රිවර්ස් විතරක් නෙමෙයි; කඳු, පල්ලම්, වල, ගොඩැලි, තැනිතලා මේ හැම එකක්ම තියෙනවා. ඒ ඒ අවස්ථාවන් දිහා බොහෝම උපේක්ෂාවෙන් බලලා, ඉවසීමෙන් ජීවිතය ඉදිරියට ගෙන යාමයි වැදගත්. නැතුව කරන, කරන හැමදේම පළමු උත්සාහයෙන්ම අතහැරලා දාලා, මේ මගේ කරුමේ… මේ තමයි මම ලබා උපන් හැටි… කිය කියා අතහැරලා දාන එක නෙමෙයි. මතක තියාගන්න, ජීවිතයට රිවර්ස් තියෙනවා. හැබැයි, හැම වෙලාවෙම නෙමෙයි. රිවර්ස් කරන්න ඕන අවස්ථා එහෙම නැත්නම් වෙලාව තෝර ගැනීමයි වැදගත්.
ජීවිතයේ සමහර සිදුවීම් වලදී රිවර්ස් කලාට කමක් නෑ. ඒක ඉස්සරහට පනින්න වැඩි ජවයක් ගන්න කරන (පොඩි) රිවර්ස් එකක් නම් තමා ඒක ජීවිතයට වටින්නේ…
රිවර්ස් කලාට කමක් නෑ. හැමෝටම පළවෙනි පාරෙන් හරියන්නේ නෑ. ලෝකයේ තමුන්ගේ ජීවිත සාර්ථකත්වයට ගෙන ගිය මිනිස්සු කාටවත් පළමු වතාවේ හරි ගිහිල්ලා නෑ. හැබැයි හරි වෙලාවෙදි ආයෙත් ගියර් එක මාරු කරලා Drive එකට දාගන්න මතක තියාගන්න.
මතකනේ… පරිස්සමෙන් !
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 9, 2024 | Business HUB සිතුවිල්ල
අපි හැමෝටම ජීවිතේ සාර්ථක වෙන්න තදබල වුවමනාවක් තියෙනවා කිව්වොත් ඒක බොරු නෙවෙයිනේ. විශේෂයෙන්ම දැන් කාලේ විදිහට ගත්තත්, අපිට එක්කෝ කොහොම හරි සාර්ථක වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම ගොඩක් අයට තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න සිහින තියෙනවා. දැන් ඔය වොරන් බුෆේගේ, ජැක් මාගේ, ස්ටීව් ජොබ්ස්ගේ එහෙම චරිත කතා කියවලා අපිටත් හිතෙනවා ඇයි අපිටත් ඒ විදියට වැඩ කරලා ජීවිතේ දිනන්න බැරි කියලා. ඇත්තටම එහෙම පුළුවන්.
හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ. ඇයි? එක්කෝ අපිට ඒ අවශ්‍ය දක්ෂතාවය නෑ, එහෙම නැතිනම් මඟ පෙන්වීම නෑ. ගොඩක් වෙලාවට අපි එහෙම අති සාර්ථක මිනිස්සු නොවී, සාමාන්‍ය කවුරුත් නොදන්න කෙනෙක් විදියට මැරිලා යන්නේ අපිට අවශ්‍ය කඩාගෙන බිඳගෙන කාගෙන වැඩ කරන හැකියාව නැති නිසා. ඇත්තටම දක්ෂතාවය පවා එහෙම වැඩ කරලා ලබාගන්න ඕනෙ දෙයක්නේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි ගොඩක් අයට තියෙන වැඩ කල්දැමීමේ පුරුද්ද. හරි, වැඩ කල්දැමීමේ පුරුද්ද අත්හැරලා හෙට කරන්න තියෙන දේ අද වෙනකොටම ඉවර කරලා, ෆුල් ඩම් එකෙන් ඉස්සරහට යන මිනිස්සුන්ට සාර්ථක වෙන්න පුළුවන්. අපි ඇත්තටම මීට කලින් කතා කරලත් තියෙනවා කොහොමද ජීවිතේ සාර්ථකත්වය අඩාළ කරවන වැඩ කල්දාන පුරුද්ද අත්හැරගන්නේ කියන එක ගැන.
හැබැයි ඒකට මූලික පියවර වෙන්නේ, තමන්ට ඇත්තටම මේ වැඩ කල්දාන, අද නෙවෙයි හෙට කියන බාලගිරි දෝෂය තියෙනවද කියලා දැනගන්න එක. ආන්න ඒ නිසා, අපි හිතුවා තමන්ටත් වැඩ කල්දාන පුරුද්ද තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන කතා කරන්න.
අවධානය රඳවා ගැනීම ගැටලුකාරී වීම
වැඩ කල්දාන එක මානසික ගැටලුවක් විදියටම පවතින කෙනෙක්ගේ තවත් ලක්ෂණයක් තමයි, එයාට එක වැඩකට එක දිගට අවධානය රඳවා ගන්න අසීරු වීම. හැබැයි වරදවා වටහාගන්න එපා. අවධානය එක දිගට එක තැනකට රඳවාගන්න අසීරු වෙන්න වෙනත් කරුණු කාරණාත් තියෙන්න පුළුවන්. හැබැයි වැඩ කල් දාන කෙනෙක් තමන් කළ යුතු දේ කරනවා වෙනුවට වෙන දහසකුත් එකක් දේවල් කරන්න නොයෙකුත් හේතු තමන් නොදැනුවත්වම හොයාගන්නවා. උදාහරණයක් විදිහට වැඩක් ඉවර කරන්න තියෙද්දි, ෆේස්බුක් යන්න එයා තමන්ටම කියා ගන්න කාරණාව තමයි, අලුතෙන් රටේ ලෝකේ මොනවද වෙලා තියෙන්නෙ කියලා ෆේස්බුක් එකට ගිහිල්ලා දැනගන්න ඕනෙ කියන එක. හැබැයි ඇත්තටම රටේ ලෝකෙ දේවල් දැනගන්න එක වැඩ ඉවර කරලත් කරන්න පුළුවන්. ඒක ප්‍රමුඛතාවයකුත් නෙවෙයි. ඒත් එයාට එහෙම කරන එකෙන් ගැලවෙන්නත් බෑ. අන්න ඒක වැඩ කල් දමන කෙනකුගේ ලක්ෂණයක්.
ප්‍රමුඛතාවයන් තෝරා ගන්න අසමත් වීම
සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ සැලසුම් කරනකොට, දවසේ කළ යුතු වැඩ ටික ලැයිස්තුගත කරනවා වගේම, ඒ වැඩවලින් ප්‍රමුඛතාවය හිමි විය යුතු වැඩ මොනවාද කියන එක හඳුනා ගන්නත් උනන්දු වෙන්න ඕනෙ. අන්න එතකොට තමයි හරිම කාර්යක්ෂමතාවයකින් දවසේ නියමිත වැඩ ටික ප්‍රමුඛතාවයන්ගේ අනුපිළිවෙළට ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි වැඩ කල් දාන කෙනෙක්ට මේ ප්‍රමුඛතාවයන් අඳුනගන්න එක ගැටලුවක්. ගොඩක්ම වෙලාවට සිද්ධ වෙන දේ තමයි වැඩ කල්දාන ලක්ෂණ තියෙන කෙනෙක්, තමන් ප්‍රමුඛතාව දීලා කළ යුතු වැඩේ වෙනුවට, වෙනත් නොවැදගත්, පුංචි පුංචි බොරු වැඩ කරමින් බොරුවට කාලය ගත කරන එක.
පුද්ගලික ජීවිතයත් කල්දාන එක
අපි සාමාන්‍යයෙන් හිතනවා මේ වැඩ කල්දාන නරක පුරුද්ද තියෙන්නේ තමන්ගේ රාජකාරී වැඩ හෝ ඉගෙනුම් වැඩ සම්බන්ධයෙන් විතරයි කියලා. ඇත්තටම එහෙම නෑ. වැඩ කල්දාන පුරුද්ද තියෙන මනුස්සයෙක් තමන්ගේ පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු වුණත් ඒ විදියටම කල්දාන ප්‍රවණතාවයක ඉන්නවා. උදාහරණයක් විදිහට කවුරු හරි නෑදෑයෙක්ට දුරකතන ඇමතුමක් දීලා බලන එක හරිම සරල, විනාඩි කිහිපයක් ගත වෙන වැඩක්. හැබැයි ඒ විනාඩි කිහිපය ගතවන වැඩේ වුණත් අපි කරන්නේ නැහැ සති ගාණක් යනකල්. ඒක කරන්න බෑ බෑ වගේ කියලා හිතනවා. සමහර වෙලාවට අපි ඒ වගේ සුළු වැඩක් කල්දාන්න නිදහසට කරුණුත් හදාගන්නවා. උදාහරණයක් විදිහට අපි හිතනවා ඒ නෑයාට කෝල් එකක් දීලා කතා කරන්න නම්, සම්පූර්ණයෙන්ම වෙන වැඩ නැති නිදහස් වෙලාවක් එනකල් ඉන්න ඕනෙ කියලා. හැබැයි ඒක තමන්ටම කියාගන්න බොරුවක්. ඇයි? තමන්ට ඇත්තටම තියෙන්නෙ වැඩ කල් දාන පුරුද්ද නිසා.
අනාගතය ගැන අනවශ්‍ය විදිහට සිහින මවමින් විතරක් සිටීම
අපි හැමෝටම වගේ අනාගත සිහින තියෙනවනේ. ඒ කියන්නේ, අනාගතයේ මම ලෝක ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් වෙනවා, අනාගතයේ මම හොඳට මුදල් හොයාගෙන ලෝකෙ රටවල් දකින්න යනවා. මගේ රැකියාවෙන් ඉහළටම ගිහිල්ලා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙනවා. ඔන්න ඔය වගේ හීන ඕනෙම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඇත්තටම එහෙම හීන තියෙන එක හොඳයි. හැබැයි අපි ඒ හීන සාක්ෂාත් කර ගන්න නම්, අද ඉඳන්, දැන් ඉඳන්, මේ මොහොතේ ඉඳන් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඕනෙ. තමන්ගේ අනාගත අරමුණුවලට යන්න සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනෙ. කැපවීමෙන් වැඩ කරන්න ඕනෙ. හැබැයි අපි හිතමු අපි හැමදාමත් කරන්නේ වාඩි වෙලා අනාගතේදී තමන්ට වෙන්න ඕනෙ කොයි වගේ වගෙ කෙනෙක්ද, අනාගතයේ තමන් ඉන්න ඕනෙ කොහොම තැනකද කියන එක ගැන නොනවත්වාම සිහින මවන එක විතරයි කියලා. ඒ වෙනුවෙන් වැඩ කිරීම හැමදාමත් හෙට පටන් ගන්න ඕනෙ කියලා හිතනවා කියලා. ඒක තමයි වැඩ කල් දැමීමේ පුරුද්ද කියන්නේ. මතක තියාගන්න. සිහින දැකීම සහ සිහින වෙනුවෙන් දැන් ඉඳන්ම වැඩ කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්.
තේරුමක් නැති නිදහසට කාරණා
සාමාන්‍යයෙන් අපි වැඩ කල් දානවා කියන්නේ, අපිට වෘත්තීය ජීවිතයේදී හෝ අධ්‍යාපන ජීවිතයේදී ප්‍රශ්නවලට ඉක්මනින් හෝ ප්‍රමාද වෙලා හෝ මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක. හැබැයි වැඩ කල්දාන රෝග ලක්ෂණ තියෙන කෙනෙක්, ඒකට විවිධ නිදහසට හේතු හදාගන්නවා. “අය්යෝ අද පැය පහක් පවර් කට්, ඉතින් ඉතුරු වෙලාව වැඩ කළාට වැඩක් නෑ, ඔන්න ඔහේ හෙටම ඔෆිස් වැඩ ඉවර කරනවා”. එහෙම නැතිනම් “ඊයෙ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා අද ඇඟ ටිකක් රිදෙනවා වගේ, ඒ නිසා හෙටම වැඩ කරනවා”. එහෙමත් නැතිනම් “දැන් රෑ වෙලා, මේක ලොකු වැඩක් නිසා මේක ෆ්‍රෙෂ් පිට පටන් ගන්න ඕනෙ, ඒ නිසා හෙටම පටන් ගන්නවා”. හැබැයි නිකමට හිතලා බලන්න. ඔය හැම අවස්ථාවකදීම අපිට ඇඟ ටිකක් රිදුණත්, වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පැය දෙකක් වුණත්, පැය පහක් පවර්කට් තිබ්බත්, ඕනෙ නම් වැඩවලින් කොටසක් හරි ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි නිදහසට හේතු කිය කිය වැඩේ පටන් ගන්න එක කල්දාන්නේ, වැඩ කල්දැමීම ඇබ්බැහියක් වෙලා නිසා.
එලාම් එකටවත් අවනත නොවීම
දැන් අපි උදේට නැඟිටින්න එලාම් එක තියෙනවනෙ. එලාම් එකෙන් කරන්නේ අපිව ඇහැරවන එක. සමහරු එක පාරක් ඇහැරිලා ආයි නිදාගන්න නිසා ඒ අය එලාම් දෙක තුනක්, වේලාවන් කිහිපයකට තියාගන්නවා. හැබැයි අපි හිතමු එලාම් එකට ඇහැරිලා, ආයෙ නිදාගන්නෙත් නැතුව, ඒත් නැඟිටින්න කම්මැලියි වගේ නිසා, එලාම් එක ඕෆ් කර කර ඇඳට වෙලා පෙරළි පෙරළි ඉන්නවා කියලා. ඒක ගොඩක් දුරට වැඩ කල්දාන ඇබ්බැහියේ ලක්ෂණයක්.
සෝෂල් මීඩියා
සමාජ මාධ්‍ය ජාල නැතිනම් සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි. හැබැයි අපි සෝෂල් මීඩියාවල තමන්ගෙ වැඩ අතපහු කරගෙන රැඳිලා ඉන්නවනම්, ඒ සෝෂල් මීඩියාවල රැඳිලා ඉන්න කාලය ඇතුළත කිසිම ඵලදායි දෙයක් සිද්ධ වෙන්නෙත් නැත්නම්, ඒක වැඩ කල් දැමීමේ ඇබ්බැහියේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහරු මේකටත් නිදහසට කාරණයක් හදාගන්නවා, මම ෆේස්බුක් ගියාට එකේ චැට් කර කර කමෙන්ට් කර කර කාලය ගත කරන්නේ නැහැනෙ කියලා. හැබැයි එයා කරන්නේ ඔහේ ෆේස්බුක් එකේ උඩට පල්ලෙහාට යන එක. ඒක වැඩ කල් දැමීමේ පුරුද්ද තියෙනවා කියන ලක්ෂණයක් තමයි.
මේ පුරුදුවලින් ඈත් වෙලා සාර්ථකත්වය කරා වැඩකළොත් ඔයාටත් හොඳ අනාගතයක් තියේවි.
විදුමිණි දිසාකරුණා විසින් tharunie .lk වෙබ් අඩවියට ලියූ ලිපියකි. අයිතිය කතෲ සතුය.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 8, 2024 | Business HUB සිතුවිල්ල
අතේ සල්ලි නැද්ද? හැම මාසෙකම සැලරි ඩේට් එක ලං වෙනකොට යාළුවෙක්ගෙන් දන්න කියන අයගෙන් ණයක් ගන්න සිද්ධ වෙනව ද? එහෙමත් නැත්නම්, දැනටමත් අම්බානක ණය වලට ඔබ හිරවෙලා ද? එහෙනම් වොරන් බෆට් කියන මේ කතාවත් එක්ක පටන් ගන්න. පොඩි හරි සහනයක් ගන්න මේකෙන් බැරි වෙන්නේ නෑ.
වොරන් බෆට් කියන්නේ ලෝකයේ ඉන්න සිව් වැනි ධනවතා. 2019 ෆෝබ්ස් වාර්තාවලට අනුව ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 90 කට ආසන්න වුණා. වර්තමානයේ එය $126.4 පමණ වේ. ව්‍යාපාරකරණයේ අති දක්ෂයෙක් වගේ ම, සාර්ථකත්වයේ පාඩම් නොමසුරු ව අනික් අය වෙත බෙදා දෙන්නෙක් විදියටත් වොරන් බෆට් ප්‍රසිද්ධයි. 1930 අවුරුද්දේ වොරන් උපත ලබන්නේ දේශපාලනයට ලැදි පවුලක සාමාජිකයෙක් විදියට. අමෙරිකාවේ නෙබ්‍රස්කා හි ඔමාහා මහජන පුස්තකාලය තමයි වොරන්ගේ ජීවිතය වෙනස් කරපු තැන. අවුරුදු 7 දී ඔහු කියෙව්වේ සුරංගනා කථා නෙවෙයි. ඔහුගේ අතට අහුවුණේ “One Thousand Ways to Make 1000 dollars” කියලා පොතක්. ( ඩොලර් දාහක් හොයන ක්‍රම 1000 ක්). ඔහුට ඕනේ වුණේ ඒකේ කියලා තියෙන විදියට ව්‍යාපාරිකයෙක් වෙන්න. මූලිකව ගෙදරින් ලැබුණු පොඩි මුදලක් උපයෝගී කරගෙන ඔහු යහළුවන්ට චුයින්ගම් විකුණන්න පටන් ගත්තා. පස්සේ Coca Cola විකිණුවා. ඒ වගේ ම ඔහු ගෙදරින් ගෙදරට සඟරා බෙදීමේ වැඩකුත් කලා. ඩොලර් 35 ක් යොදවලා ගත්ත පින්බෝල් ගේම් මැෂීන් එකක් සැලොන් එකක් ගාව දානකොට වොරන්ට වයස අවුරුදු 15 යි. හේතුව ඔහු දැනගෙන හිටියා සැලොන් එකේ වෙයිටින් ලිස්ට් එකේ ඉන්න මිනිස්සු කම්මැලිකමේ ඉන්නේ කියලා. මොක ද ඒ කාලේ ඔබ ඔබ ඉන්න මොබයිල් ෆෝන් තිබ්බා කියල ද? නෑනේ. ඒ නිසා ම, ඔහු සුළු මුදලක් අරගනෙ තමන්ගේ පින්බෝල් මැෂින් එකේ සෙල්ලම් කරන්න දුන්නා එතන ඉන්න මිනිස්සුන්ට. මාස කීපයක් ගතවෙද්දි තවත් පින්බෝල් මැෂින් තුනක් අරගෙන ඒ වගේ වෙන වෙන ස්ථානවල තියෙන සැලොන් තුනක් ගාව තියන්න වොරන් බෆට් සමත් වෙලා තිබුණා. ඔබ දන්නව ද? ඩොලර් 35 ක් වියදම් කරලා පටන් ගත්ත බිස්නස් එක ටික කාලයකට පස්සේ වොරන් බෆට් විකුණා දමන්නේ ඇමරිකන් ඩොලර් 1200 කට. ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකොට වොරන් ගාව එකතු වෙලා තිබුණ මුදල ඩොලර් 9800 ක් බව පැවසෙනවා. ( අද වටිනාකමට ගැලපුවොත් ඇමරිකන් ඩොලර් 100,000 ක්.) 2008 වෙනකොට ඔහු බිල් ගේට්ස්වත් පරාජය කරමින් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පලමුවැන්නා වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 62 ක වත්කම් අත්පත් කර ගනිමින්. අද වෙනකොට ඔහු සිව්වැන්නා වුණත්, බිලියන 89 ක ධනයක් ඔහු සතුව තියෙනවා.
ඔහුගෙන් එක්තරා අවස්ථාවක දී අහනවා මොකක් ද මේ විදියට මුදල් ඉතුරු කිරීමේ රහස කියලා. ඔහු කියන්නේ සිම්පල් තියරි එකක්. හරියටම කිව්වොත් මෙහෙම.
” ඉතුරු කිරීමේ හරි ක්‍රමය නම්, ආදායම වියදම් කර ඉතිරිය ඉතුරු කිරීම නොව, ආදායමින් කොටසක් මුලින් ඉතුරු කර ඉතිරිය වියදම් කිරීමයි”
නමුත් අපි බහුතරයක් දෙනාට වෙලා තියෙන ප්‍රශ්නය තමයි අපි ඉතිරි කරන්න හිතාගෙන ඉන්නේ වියදම් කලාට පස්සේ. අවස්ථා කීයක දි සුපර් මාකට් එකකට ගියා ම, තමන් ගන්න ගිය භාණ්ඩවලට අමතරව වෙනත් භාණ්ඩ මිලදී ගන්න ඔබට සිදුවෙලා තියෙනව ද? සමහරවිට ඒක අත්‍යවශ්‍ය නෑ ඒ මොහොතේ. ඒත් තමන්ගේ අතේ සල්ලි නැත්නම්, ඇතැම් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඒක ගන්න අපි වැඩ කරනවා. ඒකේ තේරුම තමයි ඔබ ගාව මුදල් තියෙනවා නම්, වියදම් කරන්න හිතෙනවා කියන එක. උදාහරණයක් විදියට ඔය සුපර් මාකට් කන්සෙප්ට් එක එන්නේ ම මිනිස්සු තුල තියෙන ඔය ලක්ෂණය නිසා. තමන්ට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පවා දකිනකමට මිලදී ගන්න එක, අතේ මුදල් රැදී ඇති නිසා මිලදී ගන්න එක මිනිස්සුන්ගේ පුරුද්දක් නිසා. වොරන් කියන්නේ මේ පුරුද්දෙන් තමන්ගේ මුදල් බේරා ගනිමින් ඉතුරු කරන්න කියලා.
අතට වැටුප, එහෙම නැත්නම් ආදායම ආපු ගමන් ම ඒකෙන් කොටසක් ඉතිරි කරලා ඒක අමතක කරලා දානවා නම්, ඔබට සිදු වෙනවා අතේ තියන මුදල කළමණාකරණය කරමින් ගේම් එක ප්ලේ කරන්න. එහෙම නැතිවුණොත් වෙන්නේ හැම සතේ ම වියදම් කලාට පස්සේ, අනේ මේ මාසෙත් මම කීයක්වත් ඉතුරු කරගත්තේ නෑනේ කියලා දුක් වෙන්න. තවත් කෙනෙක් ඉස්සරහා ණය වෙන්න. ශ්‍රී ලාංකිකයෝ විදියට ඕක අපි පවත්වාගෙන ආවේ නැති වුණාට, අපේ ආච්චිලා සීයලගේ පරම්පරාව දක්වා ජාතියක් විදියට ඕක කරගෙන ආවා. එදිනෙදා භාවිතාවෙදිත් ප්‍රැක්ටිස් කලා. ඇතැම් අයට අත්දැකීම් ඇති. සහල් ලිප තියන්න කලින් ඒකෙන් මිටක් අරගෙන වෙනම මුට්ටියකට දානවා. මොනයම් හෝ හෙයකින්, දවසක කන්න හාල් ටිකක් ගෙදරට ගේන්න නැති වුණොත්, එතකොට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ. අර ඉතුරු කරපු මුට්ටියේ හරි බඩු තියෙනවා. ඕක අපි පුරුදු කලේ සම්බුද්ධ දේශනාවෙන්. නමුත් ඉතින් ඒක බුද්ධාගම නේ නේද? අපිට වැඩක් නෑ. නමුත් තමන් හම්බ කරන දෙයින් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න කියලා සම්බුද්ධ දේශනාවේ තියෙනවානේ. සිඟාලෝවාද සූත්‍රයේ ඕක කියලා තියෙනවා මෙහෙම.
“ඒකේන භෝගෙ භුඤ්ජෙය- ද්විහි කම්මං පයෝජයෙ
චතුත්ථං ච නිධාපෙය -ආපදාසු භවිස්‌සති”
ආදායම කොටස් හතරකට බෙදන්න. පලමුවැන්න පරිභෝජනයට. කොටස් දෙකක් ආයෝජනයට, රැකියාවේ දියුණුවට. ඉතිරි කොටස ආපදා තත්ත්වයක් ආවොත් ගන්න ඉතුරු කරන්න කියන කාරණයයි මේකෙන් මේ කියලා තියෙන්නේ.
ඉතුරු කරන්න බෑ, අමාරුයිනේ සර් කියාගෙන කතා කරන බොහෝ තරුණ ළමයින්ට මම කියන්නේ මුදල් කවුරුත් ඉතුරු කරලා දෙන්නේ නෑ. ඉතුරුම් කරන එක ආයෝජනය කියන්නේ තමන් විසින් හදාගන්න ඕනේ පුරුද්දක්. ඔය විදියට කතා කරපු එක්තරා දරුවෙකුට මම කිව්වේ වැටුප බැර වෙන බැංකුවට Standing Order එකක් දීලා වෙනම එකවුන්ට් එකකට වැටුපෙන් 20% ක් වත් යන්න ක්‍රමයක් හදන්න කියලා. හැබැයි ඒ ඉතුරුම් යන එකවුන්ට් එකට ATM කාඩ් එකක්වත් හදන්න එපා කියලා. මොකද එයාට තිබුණු ලොකුම දුර්වලකම තමයි අතේ සල්ලි තියෙනවා නම් වියදම් කරන්න හිතෙන එක. අවශ්‍ය දේ අනවශ්‍ය දේ හැමටම වියදම් කරන එක. අවශ්‍යතා ලැයිස්තුගත කරන්න කියන එක. අවශ්‍යතාවන්ට අනුව වියදම් කරන්න කියන එක. මාසේ අන්තිමට මේ මාසෙත් සතයක්කත් ඉතුරු කරගන්න බැරිවුණා කියලා තැවෙනවට වඩා, හොදම දේ අතට මුදල් ආපු ගමන් කොටසක් වෙනම තැන්පතුවක් වෙත හරවලා ඒක අමතක කරලා, අතේ තියෙන වියදමින් ගේම් එක ප්ලේ කරන එක. බැරිම තැනක් ඇවිලලත්, බැරි ම නම් විතරක් අර තැන්පතුවට අත තියන එක.
මම හැමවිට ම කියන දෙයක් තමයි, ඕනෙම හොද දෙයක් හෝ නරක දෙයක් කරන්න කරන්න තමයි පුරුද්දට යන්නේ. පඩිය අරගෙන මුලින් ඉතුරු කරන එක ඇඟෙන් ඇටයක් යනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි, ඒක තමයි ක්‍රමේ. කරලා බලන්න. සාර්ථක වුණොත්, මාස කීපයකින් හරි, මැසේජ් එකක් හරි තියන්න වැඩේ හරි ගියා කියලා. හේතුව එදාට, ඒක මටත් වඩා පහසුවක් දනවන්නේ ඔබට.
Business HUB Sri Lanka පේජ් එකේ දිනපතා ලිපි කියවන්න. කොහොමද ඉතිරි කරන්නේ, දියුණු වෙන්නේ කොහොමද කියන එක පේජ් එකේ අපි නිතරම උගන්වනවා.
භාතිය අර්ථනායක මහතාගේ ලිපියක් ඇසුරින් උපුටාගන්නා ලදි. ඔහු විසින් රචිත කොටස් වල කතෲ අයිතිය ඔහුට හිමිය.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 7, 2024 | Business HUB සිතුවිල්ල
දිනක් එක් පුද්ගලයෙක් තම බෝට්ටුවක පින්තාරු කිරීමට මිනිසෙකුට බාර දුන්නේය…
ඔහු තම තීන්ත සහ බුරුසු ගෙනැවිත්, හිමිකරු ඔහුගෙන් ඉල්ලා සිටි පරිදි බෝට්ටුව දීප්තිමත් රතු පාටින් පින්තාරු කිරීමට පටන් ගත්තේය…
පින්තාරු කරන අතරතුර, ඔහු බඳෙහි කුඩා සිදුරක් දැක, නිහඬව එය අලුත්වැඩියා කළේය….
ඔහු පින්තාරු කිරීම අවසන් වූ පසු මුදල් ලබාගෙන පිටව ගියේය…
ඊළඟ දවසේ, බෝට්ටුවේ හිමිකරු පින්තාරු කල පුද්ගලයා වෙත පැමිණ, ඔහු ගේවූ මුදලට වඩා බෙහෙවින් වැඩි වටිනාකමක් ඇති චෙක්පතක් ඔහුට පිරිනැමුවේය…
පින්තාරුකරු පුදුමයට පත් වී,
“ඔබ දැනටමත් බෝට්ටුවේ පින්තාරු කිරීම සඳහා මට මුදල් ගෙවා ඇත සර්!”
යැයි පැවසීය…
හිමිකරු පැවසුවේ,
“නමුත් මෙය තීන්ත වැඩ සඳහා නොවේ, ඔබ ඒ බෝට්ටුවේ සිදුර අලුත්වැඩියා කිරීමටයි…”
“ආ…! නමුත් එය සුළු දෙයක්.. ඇත්තෙන්ම එතරම් නොවැදගත් දෙයකට මට මෙතරම් ඉහළ මුදලක් ගෙවීමට අවශ්‍ය නෑ…”
පින්තාරුකරු පැවසීය…
“මගේ හිතවත් මිත්‍රයා, ඔබට තේරෙන්නේ නැහැ, සිදු වූ දේ මම ඔබට කියන්නම්..
ඔරුව තීන්ත ගාන්න කිව්වම මට සිදුර ගැන කියන්න අමතක වුණා, බෝට්ටුව වියළී ගිය පසු, මගේ දරුවන් බෝට්ටුව රැගෙන මාළු ඇල්ලීමට ගියා…
සිදුරක් ඇති බව ඔවුන් දැන සිටියේ නෑ… ඒ වෙලාවේ මම ගෙදර හිටියේත් නැහැ…
මම ආපසු පැමිණ ඔවුන් බෝට්ටුව රැගෙන ගොස් ඇති බව දුටු විට, බෝට්ටුවේ සිදුර මතක් වූ නිසා මා බලාපොරොත්තු සුන් වී ගියා…
ඔවුන් මසුන් ඇල්ලීමෙන් පසු නැවත එනු දුටු විට මගේ සහනය සහ සතුට ගැන ඔබ සිතා බලන්න…
ඊට පස්සේ, මම බෝට්ටුව පරීක්ෂා කළා, ඔබ සිදුර අලුත්වැඩියා කර ඇති බව සොයාගත්තා…!
දැන් පේනවා නේද ඔයා මොකක්ද කළේ කියලා…
ඔබ මගේ දරුවන්ගේ ජීවිතය බේරුවා..!
ඔබ කිවූ ” සුළු දෙයක්” උනත් එය වෙනුවෙන් ගෙවා දමන්නට මා ළඟ මුදල් මදි…”
……………………………………………..
කවුරුන් සදහාද, කවදාද, කෙසේද යන්න කුමක් වුවත්, හැමවිටම උදව් කරන්න, හයියක් වෙන්න, අවධානයෙන් සවන් දෙන්න…
ඔබට ජීවිතේ හමුවන සියලුම ‘බෝට්ටු සිදුරු’ ප්‍රවේශමෙන් අලුත්වැඩියා කරන්න…
යමෙකුට අපව අවශ්‍ය වන්නේ කවදාදැයි ඔවුන් නොදන්නවා වගේම, ඔබගේ එම සැලකිල්ල සහ කරුණාව ඔබ වෙත පුදුම සහගත ලෙස නැවත පැමිණෙන්නේ කවදාදැයි ඔබද කිසිදා නොදනී….
කෙසේනමුත්, ඔබ නොදැන ‘බෝට්ටු සිදුරු’ ගණනාවක් අලුත්වැඩියා කර දීම තුලින්, මේ වනවිටත් කිහිප දෙනෙකුගේම ජීවිත ගණනාවක් බේරගෙන තිබෙනවා ඇති…
වෙනසක් කරන්න…
හොඳම කෙනා වෙන්න…
හමුවන සියලු ‘බෝට්ටු සිදුරු’ ප්‍රවේශමෙන් අලුත්වැඩියා කරන්න….
අපේ Business HUB එක ආරම්භ කලේද හැමෝගෙම මේ “බෝට්ටු සිදුරු” අලුත් වැඩියා කර ඔවුන්ගේ ජීවිත තුළ, සමාජය තුළ ගිලී යාම වැළක්වීමටයි. ඔබගේ බෝට්ටුව අපට අලුත්වැඩියා කරන්න දෙන්න… Business HUB සමඟින් සම්බන්ධ වෙන්න.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla