by admin | Jan 26, 2024 | Business HUB සිතුවිල්ල
විශාල ලෙස සිහින, අරමුණු සහ ඉලක්ක හඹායන ඔබ ඒවා යථාර්ථයක් බවට පත්කරගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා ඇති.එමෙන්ම සිහින විශාල බැවින් එවන් සිහින යථාර්ථයක් කරගැනීම අපහසු බවත් විටෙක ඔබට හිතෙනවා ඇති.එවන් සිතිවිලි සහිත ඔබටත් ,නොනැවතිවම අරමුණු සහ ඉලක්ක පසුපස හඹායන ඔබටත් වැදගත් වන ඉතාමත් කෙටි නමුත් අතිශයින් වැදගත් රීති කිහිපයක් පිළිබඳවයි මෙම සටහන…
01 ) ඔබේ ඉලක්ක මොනවාදැයි දැනගෙන ගමන ආරම්භ කරන්න.ඔබට ඇති ඉලක්ක පිළිබඳව සියල්ලන්ටම පෙර ඔබ හොඳින් දැනුවත්ව සිටිය යුතුයි.
02) ඔබට යම් සිහිනයක් සාක්ෂාත් කරගැනීමට අවැසි නම් එය හැබෑකරගැනීමට අවශ්‍ය වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට නිසි පිළිතුරක් ඔබ සතුව තිබිය යුතුයි.ඊට වලංගු සහ නිසියාකාර පිළිතුරු ඔබ සතුව ඇත්නම් සිහින සාක්ෂාත් කරගැනීමට ඇති අවස්ථා නිරායාසයෙන්ම වැඩිවනු ඇත.
03) කාලය විශ්වාස කරන්න.ඔබ ඔබේ ජීවිතය තුළ කාලය පිළිබඳව විශ්වාස කරන්න.කාලය කියන්නෙම අපූරු නිර්මාණකරුවෙක්.ජීවිතයේ බොහෝ දෑ කාලය විසින් නිර්මාණය කරාවි.
04) ඔබ දකින ඕනෑම විශාල ඉලක්කයක් කුඩා පියවරවලට වෙන්කරමින් ක්‍රමයෙන් ඉදිරියට යන්න.එවිට දිනක ඔබට විශාල සිහිනයන් යථාර්ථයක් කරගත හැකිය.
05) අරමුණු කරා යන තෙක්ම ඔබ ඔබට හැකි උපරිමය ගැන ලෝකයාට පෙන්වීමෙන් වළකින්න.සෑම විටම උපරිමයට වඩා මදක් අඩුවෙන් කියන්න ,පෙන්වාදෙන්න.අවස්ථාව පැමිණි විගස ඔබට ඔබේ සියල්ල පිළිබඳව අනෙකාට කිවහැකිය.පෙන්වාදිය හැකිය.
06) ඔබ සාර්ථක වන්නේ ඔබ ලබන ප්‍රගතිය මත මිස අන් අය ඔබ ගැන සිතන දේවල් සහ අනුමාන කරන දේවල් මත නොවේ.එබැවින් සෑමවිටම ඔබ ඔබේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමුකරන්න.
07) ඔබට ඕනෑම දෙයක් සාක්ෂාත් කරගත හැකිය, නමුත් ඒ සියල්ලම නොවේ.
08) ඔබට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, සෑම දෙයකදීම තරඟකාරී වන්න.නමුත් එක් දෙයකදී සුවිශේෂී වන්න.එනම් ඔබේ විෂය තුළ සුවිශේෂී අයෙක් බවට පත්වන්න.
09) සාර්ථකත්වය යනු ස්වයං ක්‍රීඩාවකි.එහිදී ඔබ දිනන්නේ ඔබවම ජයග්‍රහණය කර ඇතනම් පමණයි.එනිසාම සෑමවිටම තමාව දිනවීමට උත්සාහ ගන්න.
10) යමක් නිම කිරීම සෑම විටම පාහේ එයින් පරිපූර්ණත්වයට පත්වීමට වඩා හොඳය.මේ වනවිටත් ඔබ නිම නොකළ දේවල් පිළිබඳව සොයාබලන්න.වසර තුළ ඔබට නිම කිරීමට තිබූ දෑ කොයිතරම් නම් සාර්ථක ලෙස අවසන් කළේද යන්න සොයාබලන්න.ස්වයං අධ්‍යනයක යෙදෙන්න.
11) යමක් ආරම්භ කිරීමට හොඳම කාලය ඊයේ වියහැකියි.නමුත් එය කළ නොහැකි වූවා නම් කණගාටු නොවන්න.මන්ද ඊට යෝග්‍ය දෙවන හොඳම කාලය අදයි.දැන් නැවත ආරම්භ කරන්න.
12) ඉලක්ක කරා යන ගමන සාර්ථක ගමනක් වීමට නම් සමහර විට ඔබට අතීතය මරා දැමීමට සිදුවනු ඇත.එනම් ඇතැම් අතීතයන් වර්තමානය තුළ ඔබව වෙහෙසවනවා පමණි.අනාගතයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව සලසා නොදෙයි.
13) ඔබට යා යුතු තැනට ඔබව රැගෙන නොයන සෑම දෙයකටම ” එපා “යැයි පැවසීමට තරම් ශක්තිමත් අයෙක් බවට පත්වන්න.එනම් බාධාවක් වන සෑම තැනක්ම මඟහැර ඔබ ඔබේ අවසාන ඉලක්කය සාක්ෂාත් කරගන්න.
14) මූලිකවම ඔබ බලාපොරොත්තු වූ දෑ තවදුරටත් වෙනස් වී නොමැති නම් ඔබ ඔබේ ඉලක්කය වෙනස් නොකරගන්න.
15) සෑමවිටම කාර්යබහුල වීම ( busy ) සහ ඵලදායී වීම ( productive ) අතර ඇති වෙනස ඉගෙන ගන්න.එනම් ඔබ ඵලදායි යමකට කාර්‍යබහුලවීමත් වෙනත් දෑ වෙනුවෙන් අනවශ්‍ය ලෙස කාර්‍යබහු වීමත් එකක් නොව දෙකක් බව සිහිතබා ගන්න.
16) කාලයක් තිස්සේ වැඩකිරීමෙන් ලද වෙහෙස නිවාගැනීමට හෝ යම්කිසි කාලයක් වෙනුවෙන් මදක් විවේක ගැනීම සාමාන්‍ය දෙයකි.නමුත් එලෙස ගන්නා විවේකය තුළදී මෙතෙක් ගොඩනඟාගත් වටිනාකම් අත්හැරීමට උත්සාහ නොගන්න.
17) යම්කිසි ගැටලුවක් ඇති වූ විගස එම ගැටලුව පැහැදිලිව නිර්වචනය කරගැනීම ඊට ඇති විසඳුමෙන් හරි අඩකි.එනම් ඔබ ගැටලුවෙන් බොහෝදුරට නිදහස්ව සිටියි.
18) ඔබට හැකි සෑම තැනකදීම අන් අයට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උදව් කරන්න.සහය වන්න.එවිට ඔබ ඔබේ කටයුතුවලදී ද සාර්ථක ලෙස තම ඉලක්ක සපුරාලනු ඇත.
19) ඔබ හා සමාන ගමනක සාර්ථක ලෙස ගමන් කරමින් සිටින පුද්ගලයින් සමඟ පමණක් ඔබේ ඉලක්ක බෙදා ගන්න.ඇතැම්විට ඔබට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැකිය.
20) සාර්ථකත්වය යනු ඉලක්කම් සහිත ක්‍රීඩාවක් හා සමානය.එය ඔබ කොපමණ වාර ගණනක් උත්සාහ කිරීමට කැමතිද යන්න මත ජයග්‍රහණය තීරණය කරයි.
21) ඔබට සතුටක් ගෙන දෙන යමක් වේ නම් එය වෙනත් කෙනෙකුට ද අනිවාර්යයෙන්ම අර්ථවත් විය යුතුය යනුවෙන් නියමයක් නැත.එනම් සතුට යනු සාපේක්ෂ දෙයකි.ඔබට සතුටක් ගෙනෙන යමක් තවකෙකුට කිසිදු අර්ථයකින් තොර දෙයක් වුවද වියහැකිය.
22) ඔබට ඇති ඉලක්ක තුළ විඳීමටද යමක් තිබිය යුතුය.
23) කොහෙත්ම ඔබ උපදෙස් ලබා ගැනීමට නොයන අයෙකු විසින් කරනු ලබන හුදු විවේචන බාරනොගන්න.ඒවා තුළ ඇත්තේ හිස් බවම පමණක් යන්න කාලයත් සමඟ ඔබට වැටහෙනු ඇත.
24) ඔබ දකින ඉලක්ක හැබෑවෙන අයුරු නිරන්තරයෙන්ම දෘශ්‍යමාන ( Visualize ) කරන්න.එය ඔබට ඔබේ අරමුණු කරා යාමට ධනාත්මක උත්තේජනයන් සපයයි.
25) ඔබ අද දවස සාර්ථක ලෙස ප්‍රයෝජනවත් ලෙස ගතකළා නම් ඔබට ක්‍රමයෙන් සතිය, මාසය, වසර ජයග්‍රහණය කරමින් අවසානයේ ඔබේ ජීවිතය ද සාර්ථක ලෙස ජයගත හැකිය.
26) හෙට කරන දේ පිළිබඳව අද සටහනක් තබාගන්න.එය ඔබට හෙට දවස සාර්ථක කරගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැකිය.
27) යකඩය රත් වූ විගස එය තලා මුවහත් ආයුද තැනිය යුතුය.එනම් අවස්ථාව පැමිණි විගස මදක් හෝ ප්‍රමාද නොවී එයින් ලැබිය හැකි උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය.
28) ඔබ කවුද සහ ඔබ කරන්නේ කුමක්දැයි මිනිසුන් නොදනිති.නමුත් අවසානයේ ඔබ ලබන ජයග්‍රහණයන් ඔබ පිළිබඳව කතා කිරීමට මාතෘකා නිර්මාණය කරයි.
29) යමක් ආරම්භ කිරීමට යාමේදී ඔබට නොයෙකුත් ගැටලු තිබිය හැකිය.නමුත් ඒ සියලු ගැටලු සඳහා පිළිතුරු අවශ්‍ය නොවේ.ඊට පරිපූර්ණ පිළිතුරු සොයමින් සිටියහොත් ඔබට කිසිවක් ආරම්භ කිරීමට කාලයක් හෝ අවකාශයක් නොලැබෙනු ඇත.
30) ජීවිත කාලය පුරාවටම දිගුකාලීනව ඉගෙනගන්න.එනම් සාර්ථකව ජීවිතය ගෙනයාමට අවැසි කුසලතා මොනවාද යන්න මැනවින් ඉගෙනගන්න.
31) ඔබ කළ යුතු දේ කුමක්ද යන්න දන්නේ නම් එය එලෙසම ක්‍රියාත්මක කරන්න.නමුත් ඔබ කුමක් කළ යුතු දැයි නොදන්නේ නම් එය කළ යුතු ආකාරය පිළිබඳව නොපමාව ඉගෙන ගන්න.
32) වරින්වර ඔබ තබන කුඩා පියවරවල් අසාර්ථකව ගිය විට එයින් ලද අත්දැකීම් පන්නරයක් කරගනිමින් ඊළඟ මොහොත තුළ ඉතාමත් සාර්ථක ලෙස ඔබට ඕනෑම විශාල ඉලක්කයක් සාක්ෂාත් කරගත හැකිය.
33) නිරන්තරයෙන්ම ඔබ ඔබේ ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කරන්න.එවිට ඔබට ඔබේ අඩුපාඩු ,දුර්වලතා ,මඟහැරීම් වඩාත් පැහැදිලිව පෙනෙනු ඇත.
34) ඔබට අවශ්‍ය අරමුණු සහ ඉලක්ක ඔබ විසින්ම තෝරා ගත යුතුය.ඒවා තවත් අයෙකුගේ තේරීමක් නොවී පැහැදිලිවම ඔබේම තේරීම් වියයුතුය.
35) සෑම දිනකම ඔබ ඔබෙන්ම මෙසේ අසන්න.එනම් ” මගේ ඉලක්කයට මාව වඩාත් සමීප කරවන මේ මොහොතේ මට කළ හැකි කුඩා දෙය වුව කුමක්ද ? “.ඊට ඔබ තුළින්ම ලැබෙන ධනාත්මක ප්‍රතිචාරය අනුව එසැනින්ම ක්‍රියාත්මකවන්න.
36) ඉලක්කයක් සපුරා ගැනීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්න පළමුව නිර්වචනය කරගන්න.
37) ඔබේ අරමුණු ඔබ විසින් සාක්ෂාත් කර ගත් විට ඔබ එය පිළිබඳව දැන ගන්නේ කෙසේදැයි නිර්වචනය කරගන්න.සරලවම ඔබ ඉලක්කයක් සපුරාලීම පිළිබඳවත් එකී ඉලක්කය සපුරාගෙන ඇති බව ඔබ විසින්ම දැනුවත් වන ආකාරයත් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගන්න.
38) ඔබට ඔබේ අරමුණු සාක්ෂාත් කරගත හැකි බව දැඩිව විශ්වාස කරන්න.
39) ඔබේ ඉලක්ක වෙත අවධානය යොමු කරන්න.එය සෑමවිටම පාහේ වියයුතු දෙයකි.ඔබට ඒ පිළිබඳව ඇති අවධානය ගිලිහී ගිය විට මෙතෙක් ඔබ දුටු ඉලක්ක සහ අරමුණු ද ඔබෙන් සෑහෙන දුරකට ගමන් කරයි.
40) කාලයට සෑමවිටම වටිනාකමක් ඇත.එනිසාම එවන් වටිනා කාලය මිලදී ගැනීමට සහ කාලය විකිණීමේ කලාව ඉගෙන ගන්න.එනම් ඔබ කාලයට නිසි වටිනාකමක් දෙමින් එයින් උපරිම ප්‍රයෝජන ලැබිය යුතු බවයි.
41) ඔබ යමක් පිළිබඳව විශ්වාස නොකරන බව ඔබ විශ්වාස කරන්නේ නැහැ, ඔබ එසේ කරන විට, ඔබට ඔබව රැගෙන නැවත යාමට හැකි වනු ඇත.
42) ඔබ ස්ථීර ලෙස කරන ලද සාමාන්‍ය කාර්‍යන් ඔබ විසින් වරකට වරක් පමණක් කරන ලද අසාමාන්‍ය කාර්යය අභිබවා යයි.
43) ඔබ සතුව ඇති මූල්‍ය හැකියාව සම්පූර්ණ වශයෙන්ම පිටතට පෙන්වීමට උත්සාහ නොකරන්න.
44) යමක් ක්‍රියාත්මක කිරීමේදී එයින් සැබෑ ප්‍රගතියක් ඇති වන්නේ ඔබ අභිප්‍රේරණය වෙමින් තවමත් එම කාර්යයේ නිරතව සිටින විටය.
45) තවමත් ඔබ ඉලක්ක සපුරා නොමැත.ඔබට මෙම ක්‍රීඩාව තුළ ඔබ බලාපොරොත්තු වන ජයක් ලැබෙන තුරුම අත්නොහරින්න.
46) ඔබේ ජීවිතය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් කැමරා කණ්ඩායමක් විසින් රූගත කරන බව මවාපාන්න.එසේ නම් ඔබ ඊට උපරිම සාධාරණයක් ඉටුකළ යුතුයි !
47) වියදමකට පෙර ඊට අදාළ පිරිවැය සොයා ඔබ එය ගෙවීමට කැමති දැයි බලන්න.
48) සෑම දෙයක්ම සාකච්ඡා කළ හැකිය.ඔබ තුළ ඇති සාකච්ඡා කළ නොහැකි දේ මොනවාදැයි යන්න දැනගන්න.
49) සෑම ප්‍රතික්ෂේප වීමක් හා සෑම බාධාවක්ම ජයග්‍රහණයට අභියෝගයක් වියහැකිය.නමුත් එලෙස ප්‍රතික්ෂේප වීම හා බාධාවන්ට සාර්ථකව මුහුණදීම ජයග්‍රහණයේම වෙන්කළ නොහැකි කොටසකි.
50) ” ඔබ දිනුවොත් ” …සැබැවින්ම ඔබ දකින අරමුණු ,ඉලක්ක සාක්ෂාත් කරගනිමින් ඔබ ජයග්‍රහණය කළහොත් යන ධනාත්මක සිතිවිල්ල නිතර මනසේ තබාගන්න.
මෙම කෙටි රීති ජීවිතයට ආදේශ කරගනිමින් ඔබ ඔබේ ඉලක්ක සහ අරමුණු යථාර්ථයක් කරගැනීම උදෙසා පියවර තබන්න.
උපුටාගැනීම buzzfeed .lk වෙබ් අඩවිය. කතෲ අවිනිශ්චිතයි.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla
by admin | Jan 25, 2024 | Business HUB සිතුවිල්ල
ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට නම් විශේෂ දක්ෂතා පැවතිය යුතු යැයි ඇතැම්හු සිතති. එසේත් නැතිනම් අධ්‍යාපනයෙන් ඉහළ තත්ත්වයක් ලබා ගත යුතු යැයි සිතති. එහෙත් තම ජීවිත සාර්ථකත්වය කරා ගෙන ගිය සෑම පුද්ගලයකු ම එසේ විශේෂ දක්ෂතා හෝ උසස් අධ්‍යාපනය ලබා ගත් පුද්ගලයන් පමණක් ම නොවේ.
අපේ බොහෝ තරුණ පිරිස් තමාගේ නැතිකම්, නොහැකියාවන් පිළිබඳ සිතා දුක් වෙති. ජීවිතයේ ඉදිරියට යාමට තමාට නොහැකි බැව් සිතමින් ලතැවෙති. එහෙත් අද අප ඔබට පවසන්නේ එසේ සිතමින් සිටිය යුතු නැති බවයි. ‘සිත ඇත්නම් පත කුඩාද’ යන කියමන ඔබ අසා ඇතත් එයට අනුව කටයුතු කිරීමට නොසිතන්නට ඇති.
තමාට එතරම් ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැති වීම හෝ දැනට කුඩා රැකියාවක නියුතු වීම ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට බාධාවන් නොවේ. 1960 වසරේ පෙබරවාරි මස 29 වැනි දින අමෙරිකාවේ නෝර්ත් හොලිවුඩ්හි උපත ලද තරුණයකු මුළු ලොවට ම අගනා පාඩමක් ගෙන හැර පෑමට සමත් විය.
අද අප ඔබට ඉදිරිපත් කරන්නේද ඔහුගේ ජීවිතයෙන් අපට උගත හැකි දේ පිළිබඳයි.
මේ තරුණයා තම ජීවිකාව ලෙස සෞඛ්‍ය කම්කරුවෙක් ලෙස සේවය කළේය. මෙය සාමාන්‍ය මට්ටමේ රැකියාවක් වුවද අපේ රටවල මෙන් අමෙරිකාවේ කිසිම පුද්ගලයකු ඔහුගේ රැකියාව නිසා උසස් හෝ පහත් ලෙස නොසලකයි. විශාල පැය ගණනක් කය වෙහෙසමින් වැඩ කළ ද ඔහුට ලැබෙන්නේ කුඩා වැටුපකි.
ඔහු උසස් අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් පමණක් ලැබූ පුද්ගලයෙකි.
ඔහුට ද තරුණයෙක් ලෙස අනෙක් තරුණයන් තුළ තිබූ සිහින ම තිබුණ ද ඒවා යථාර්ථයක් කරගැනීම සිහිනයක් ම වේදෝයි සිතී තිබිණි. එමනිසා නිතර තම සිහින ගැන සිතමින් සිටින විට ඔහුට ඇසෙන්නේ තමා වැඩ කරන ගොඩනැගිල්ලට ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානාවක හඬයි.
එය ඇසෙන විට ඔහුගේ සිතේ ඇතිවන්නේ මම කම්කරුවකු ලෙස දවස පුරා වෙහෙසී වැඩ කිරීමටත් ඔවුන් අහසේ පියාසර කිරීමටත් යන මේ වෙනස නිර්මාණය වන්නට ඇත්තේ කුමක් මතද යන්නයි.
‘මේ සඳහා මම දන්නා දේට වඩා දෙයක් ඔවුන් දන්නවා වෙන්නට ඇති..’ තමා නොදන්නා දේ ඔවුන් දැන සිටීම යන මේ දැනුමේ වෙනස නිසා පවතින තත්ත්වයේ වෙනස ඇති වී තිබෙන බව ඔහු තේරුම් ගනී.
මේ නිසා ඔහු තමාගේ මාසික වැටුපෙන් සතියක වැටුපේ ප්‍රමාණය ඉතිරිකර එයින් විවිධ විෂයයන් පිළිබඳ හා පුද්ගලයන්ගේ සාර්ථකත්වයන් පිළිබඳ පොත පත කියැවීමට පටන් ගනී. ඔහුගේ ජීවිත කතාවට අනුව පොත් 700-800 ක් පමණ ප්‍රමාණයක් එම කාලයේ දී කියැවූ බව සඳහන් වේ.
ඉක්මනින් පොත් කියැවීමට අවශ්‍ය නිසා වේගයෙන් කියැවීම පුහුණු කිරීම සම්බන්ධ පාඨමාලාවකට පවා ඔහු සහභාගී වී ඇත. එසේ වේගයෙන් කියැවීමට ඔහු පෙලඹී ඇත්තේ වයසට ගොස් සාර්ථකත්වය ලබාගැනීමට වඩා තරුණ වියේ දී ම එය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.
තමාට ලබා ගත නොහැකි වූ අපේක්ෂිත දැනුම ලබා ගැනීම සඳහා ඔහු පොත් කියැවීමට පුරුදු විය. තමා සේවය කරන අතරතුර ලැබෙන හැම කුඩා විවේකයක් ම පාහේ ඔහු පොත් කියැවීම සඳහා යොදා ගනී.
මේ කියවූ පොත් ඔහුගේ ජීවිතය සැබැවින් ම වෙනස් කිරීමට සමත් වේ. එයින් ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වේ. එපමණක් නොව, පොත් ගණනාවක් ලියූ ලේඛකයකු බවට පත් වීමටත්, අමෙරිකාවේ පමණක් නොව ලොව පුරාම යමින් සාර්ථකත්වය පිළිබඳ දේශන පවත්වන ජනපි‍්‍රය දේශකයකු බවට පත් වීමටත් හේතු විය.
අපූරු සිද්ධිය වන්නේ තම ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලට ඉහළින් තම පෞද්ගලික ගුවන් යානයෙන් පියාසර කිරීමයි. තම රටේ අනෙකුත් ප්‍රාන්තවලට මෙන්ම වෙනත් රටවල ඇති දේශන සඳහා ඔහු පිටත්ව යන්තේ තම පෞද්ගලික ගුවන් යානයෙනි.
සෞඛ්‍ය කම්කරුවකු ලෙස සේවය කළ පුද්ගලයා තමාගේම ගුවන් යානයෙන් ගොස් දේශන පවත්වන්නකු, ව්‍යාපාරිකයකු, ලේඛකයකු බවට හා මඟ පෙන්වන්නකු බවට පත් වීම තමාගේම සිත අවධි කිරීමයි.
ඔහුගේ දේශනයක් සඳහා ඩොලර් ලක්ෂ 3 ක් අය කරයි.
එනම් ඔහුගේ එක් දේශනයක වටිනාකම වන්නේ ඩොලර් ලක්ෂ 3 කි. රුපියල්වලින් මෙය ගණනය කිරීමට අප ඩොලරයක් රුපියල් 318 ක් ලෙස ගළපා ගණන් බැලුවහොත් ඔහු යම් ආයතනයකින් දේශනයක් සඳහා ගෙන්වන්නේ නම් රුපියල් මිලියන 95 ක් පමණ වැය වේ. මෙය ඔහුගේ එක් දේශනයක ආදායම පමණි.
මේ ධෛර්යවත් පුද්ගලයා වන්නේ ටෝනි රොබින්ස් ය.
ඔහුගේ වත්කම අන්තර්ජාලයේ සඳහන් වන්නේ ඩොලර් මිලියන 500 ක් ලෙසයි. එනම්, ඔහු මේ වන විට ධන කුවේරයෙකි. මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය වන්නේ දැනට කුඩා රැකියාවක නියුතු වන අයකුට වුවද සාර්ථක පුද්ගලයකු විය හැකි බවයි.
තමාට යම් ඉලක්කයක් ලබා ගෙන එම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා කැපවීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කිරීමෙන් දිනෙක ජීවිතය දිනිය හැකි බව ටෝනි රොබින්ස් අපට තම ජීවිතය තුළින් ම ආදර්ශ සපයා තිබේ.
පුද්ගලයකුගේ සාර්ථකත්වය තීරණය වන්නේ වාසනාව, ග්‍රහතරු මත, දෛවය මත නොවේ. සාර්ථකත්වය තීරණය වන්නේ ඔහු කරන දේ හා එය කරන ආකාරය අනුවයි.
ටෝනි පොත් කියවා ජීවිතයට ඉලක්කයක් සකසා ගනියි.
එම ඉලක්කය ජය ගැනීම සඳහා අවශ්‍ය වන දැනුම සොයාගෙන අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාවට නංවමින් තම අරමුණ ජය ගැනීමට, තමාට අවශ්‍ය වූ ඉලක්කය වෙතට ගමන් කිරීමට ඔහුට හැකියාව ලැබේ.
ඇතැම් විට එය ඔහුගේ ඉලක්කය අබිබවා යන මට්ටමක් වූවාද විය හැකියි.
මන්ද ඔහු ව්‍යාපාරිකයෙක්, ලේඛකයෙක්, දේශකයෙක්, මාර්ගෝපදේශකයෙක් හා ධන කුවේරයෙක් බවට පත් වී ඇති බැවිනි.
එමනිසා අප කිසි විටෙකත් දැන් අප සිටින තත්ත්වය පිළිබඳ සිතා මන්දොත්සාහී වීමට හෝ මේ ලබා උපන් හැටි යැයි සිතා කිසිවක් නොකර සිටීමට නොපෙලඹිය යුතුය.
මන්ද අපට ලැබෙන්නේ අපගේ උත්සාහයේ තරමට ය. උත්සාහයකින් තොරව ලැබෙන දෙයට වඩා උත්සාහයෙන් ලබා ගන්නා දේ ආත්මතෘප්තියෙන් වැඩි ය.
මේ ආකාරයට කටයුතු කිරීමෙන් සාර්ථක පුද්ගලයකු ලෙස සමාජයේ වැදගත් තැනක් උරුමකර ගත හැකි වේ.
Business HUB තුළින් අපි හැම මොහොතකම ඔබේ දැනුම වර්ධනය කරන්න උත්සාහ කරන්නේ ඔබේ සාර්ථකත්වයට යන්න මං එලිපෙහෙලි කර දෙන්නටය…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. කතෲ අවිනිශ්චිතයි. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla
by admin | Jan 24, 2024 | Business HUB සිතුවිල්ල
ජීවිතයට සාර්ථක වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට විවිධ වූ ගැටලු ඇති.වෙනසක් යනු හුදෙක් මතුපිටින් පමණක් වියයුතු දෙයක් නොවේ.එය ඔබේ ඇතුළාන්තයෙන්ම පැමිණිය යුතු දෙයක්.එනම් වෙනස්වීමක් ඔබ අපේක්ෂා කරනවා නම් ඒ වෙනුවෙන් ඔබ මානසිකව වෙනස්වීම ඉතාමත් වැදගත්.එහිදී ඔබට ප්‍රශ්න රැසක් ඇති. එනම් ,
මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද? මම කැමති දේ වීමට නම් මගේ මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද? සෑම සාර්ථක පුද්ගලයෙකුටම පොදු වන්නේ කුමන ආකාරයේ මානසිකත්වයක්ද? වර්ධන මානසිකත්වය යනු කුමක්ද? මානසිකත්වය වර්ධනය කර ගන්නේ කෙසේද? මුදල් මානසිකත්වය යනු කුමක්ද? සාර්ථක මානසිකත්වය යනු කුමක්ද? සාර්ථකත්වය සඳහා මනසක් ඇති කර ගන්නේ කෙසේද? මනෝභාවය වෙනස් කිරීමෙන් ජීවිතය වෙනස් කරන්නේ කෙසේද? තිබිය යුතු හොඳම මානසිකත්වය කුමක්ද? සාර්ථකත්වය සඳහා වඩාත්ම බලගතු මානසිකත්වය කුමක්ද? ජීවිතය වෙනස් කළ හැකි මානසික වෙනසක් යනු කුමක්ද? මානසිකත්වය නැවත සකස් කරන්නේ කෙසේද? යනාදි වශයෙන් ඔබට ගැටලු රැසක් පැනනැඟිය හැක.මේ ඊට විසඳුම් සහිත වූ මනසින් වෙනස් වන ආකාරයයි.
01) ” මට මේක කරන්න තියෙනවා ” සිට “මට මේක කරන්න වෙනවා” ලෙස හිතමු
– From “I have to do this” to “I get to do this” –
යමක් කිරීමට තියෙනවා යැයි සිතමින් උදාසීන සිතිවිලි සහිතව සිටීම වෙනුවට ,මට මේක කරන්න වෙනවා යන ධනාත්මක සිතිවිලි සහිතව සිටීම ඔබව සැබැවින්ම වෙනස් කරයි.එය ඇත්ත වශයෙන්ම ජීවිතය කොතරම් පහසු කරනවාද යන්න ඔබට ක්‍රියාවෙන්ම වැටහෙන අතර, ඔබ තවදුරටත් යම් යම් දේ ගැන පැමිණිලි කිරීමට හේතු සෙවීමෙන් වැළකෙයි.
ඔබේ ජීවිතය දුෂ්කර යැයි ඔබට හැඟේ නම්, ඔබ කම්මැලිකම නිසා කල් දමා ඇති නමුත් ඔබ කළ යුතු දේවල් ගැන මදක් කල්පනා කරන්න.ඔබට එසේ කල්දැමූ දෑ කළ හැකි අතර ඔබ ඒවා කළහොත් ජීවිතය යහපත් අතට හැරෙනු ඇත. ඔබ මෙම දෘෂ්ටිකෝණයෙන් එය කිරීමට පටන් ගත් පසු, එය ඔබ සිතූ තරම් අපහසු දෙයක් නොවන බව ඔබටම පෙනී යනු ඇත.
02) ” ජීවිතය දුෂ්කරයි” සිට “ජීවිතය පහසු සහ උද්යෝගිමත් විය හැක” ලෙසින් ගමු
– From “Life is hard” to “Life can be easy and exciting” –
ජීවිතය දුෂ්කර බවත්, ඔබට යමක් කිරීමට අවශ්‍ය නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවත් යන සිතිවිල්ල අපගේ මනස තුළ ඇතිවන්නේ කුඩා කාලයේදීම ය.ඒ දෙමාපියන් සහ ගුරුවරුන් ඔබට ඇති කළ අදහස් අනුවයි.වෙහෙස මහන්සි වී වැඩ කරන තරමට ප්‍රතිඵල ලැබෙන බව පැහැදිලියි.එකී විනය ජීවිතය තුළ ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්.
නමුත් එයින් ද අපි තේරුම් ගතයුතු දෙයක් නම් , වෙහෙස මහන්සි වී වැඩ කිරීම සාර්ථක වීමට අත්‍යාවශ්‍ය නම් ලෝකයේ ධනවත්ම පුද්ගලයින් තෙල් කැණීම් කම්කරුවන් හා සමාන වනු ඇත.වැදගත් වන්නේ ඔබ ජීවත්වීම සඳහා කුමක් කළත් ඔබට එය කිරීමට වඩාත් බුද්ධිමත් හා පහසු ක්‍රමයක් තිබෙන බව තේරුම් ගැනීමයි.එය දැනටමත් හඳුනාගෙන ඇති පුද්ගලයන් ලොව සාර්ථකම පුද්ගලයන් බවට පත්ව ඇති අතර අපි කළ යුත්තේ ඔවුන් පිළිබඳව සොයා ගැනීමයි.කියවීමයි.හැදෑරීමයි.අනුගමනය කිරීමයි.ඔවුන් එය කළේ කෙසේදැයි සොයා බැලීමයි.
යමක් ආරම්භයේ දී අපහසු වියහැකිය.නමුත් කාලය ඉක්මවූ පසුවත් එය තවමත් දුෂ්කර නම්, ඔබ එය සිදුකරන ක්‍රමයේ යම් වරදක් තිබිය හැකිය.වැදගත් වන්නේ ඒ පිළිබඳව දැනුවත්ව ක්‍රියාත්මක වීමයි.මෙය ඔබගේ ජීවිතයේ සෑම දෙයකටම අදාළ වේ. ඔබ දේවල් කරන ආකාරය වෙනස් කිරීමට පටන් ගත් මොහොතේම, ජීවිතය වෙන කවරදාටත් වඩා පහසු සහ උද්යෝගිමත් එකක් බවට නිරායාසයෙන්ම පත්වේ.
03) “මම කවදාවත්..” සිට “මම කොහොමද..”
– From “I will never..” to “How can I..” –
මෙය මිනිසුන් තම ජීවිතයට මඟ පෙන්වන ප්‍රකාශන සහ විශ්වාසයන්ගෙන් සෘණාත්මකම එකකි.එනම් ‘ මම කවදාවත් පොහොසත් වෙන්නේ නැහැ ,මට එය කිසිසේත් දරාගන්න බෑ, මට ඒ කොටස කවදාවත් ලැබෙන්නේ නැහැ ‘ යනාදී වශයෙන් වූ සිතිවිලි සහිතව සිටීමයි. ජීවිතයේ ඇති විශාලතම අසමමිතික බව මෙලෙස සිතීමයි.එසේ නොසිතා ‘ මට මේ දේවල් කරන්න පුලුවන් කොහොමද ‘ ලෙස සිතීම ඔබ ඔබේ ජීවිතය වෙනස්කරගන්නා පළමු පියවරයි.
අවිනිශ්චිත ලෙස සිතීමේ ගැටලුව වන්නේ එය ඔබට චලනය වීම සඳහා කිසිදු ඉඩක් ඉතිරි නොකිරීමයි. යමක් සිදු නොවන බව ඔබ දැනටමත් තහවුරු කර ඇත්නම්, උත්සාහ කිරීමට පවා උනන්දුවක් ඔබ තුළ නැත.ඔබ “මම මෙය සිදු කරන්නේ කෙසේද” යන ආකල්පයට මාරු වූ මොහොතේ සිට එය යථාර්ථයක් බවට පත් කළ හැකි සැලැස්මක් හඳුනා ගැනීමට දේවල් හදිසියේම ඔබට විවෘත වේ.සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ ආශාවන් පමණි.නමුත් සාර්ථක මිනිසුන්ට සැලසුම් ඇත.එසේ නම් ඔබත් සැලසුම් කිරීම ආරම්භ කරන්න.
04) ” මට සියල්ල දැන ගැනීමට අවශ්‍යයි” සිට “මට පටන් ගැනීමට අවශ්‍යයි” දක්වා
– From “I need to know everything” to “I just need to start” –
බොහෝ මිනිසුන් කිසි විටෙකත් කිසිවක් නොකරන්නේ “එය සුදුසු කාලය නොවේ” යනුවෙන් සිතීමෙනි.”මම කවදාවත් ඒක කරන්න ගියේ නැහැ.අවස්ථාවක් උදාවන තුරු බලා සිටියා” මෙයත් ඔබට හුරුපුරුදු සිතිවිල්ලක් වියහැකිය.සත්‍යය නම් ඔබ කර ඇත්තේ යම් බාහිර බලයක් එනතුරු බලා සිටීමයි.වියයුත්තේ සියල්ලම සිදුවන තෙක් බලාසිටීම නොව කොතනකින් හෝ ආරම්භයක් ගැනීමයි.
ජනගහනයෙන් 3% ක් පමණක් තම අරමුණු සඳහා ක්‍රියා කරයි.අනෙක් සියල්ලෝම මධ්‍යස්ථභාවය තෝරාගනී. ජයග්‍රහණය කරන අය සහ අනෙක් සියල්ලන් අතර ඇති ලොකුම වෙනස නම් පළමුවැන්නා පළමු ස්ථානයේ ක්‍රීඩා කිරීමටම තෝරා ගැනීමයි.
05) “මට යමක් අවශ්‍යයි” සිට “මට යමක් අවශ්‍ය වන්නේ මන්දැයි සොයා බැලීම” දක්වා
– From “Wanting something” to “Figuring out WHY you want something” –
ඔබ කරන සෑම දෙයකම හරය තුළ ගැඹුරු හේතුවක් තිබේ.එය සොයා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගන්න.ඔබට ෆෙරාරියක් අවශ්‍ය යැයි සිතමු.ඉතින් ඔබ ඔබෙන්ම “මට ෆෙරාරි අවශ්‍ය ඇයි?” යන්න අසා බලන්න.පිළිතුර ලෙස “මට සාර්ථක බවක් දැනීමට අවශ්‍ය නිසා” යනුවෙන් සිතෙනු ඇත.දෙවැන්න ” ඇයි මට සාර්ථක බවක් දැනීමට අවශ්‍ය ” ඊට පිළිතුර ” මොකද මම කොච්චර හොඳින් ඉන්නවාද කියලා මිනිස්සු දකින්න ඕන නිසා ” වියහැකිය.තෙවනුව ” මා කෙතරම් හොඳින් කටයුතු කරනවාද යන්න මිනිසුන් දැන ගැනීමට මට අවශ්‍ය වන්නේ ඇයි? ” අවසාන පිළිතුර ” මන්ද , මට මා ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීමට අන් අයගේ අනුමැතිය සොයන බැවින් ” යනුවෙන් පිළිතුරු ලැබිය හැකිය.
මෙලෙස ඔබට දේවල් අවශ්‍ය වන්නේ ඇයිද යන්න ප්‍රශ්න කිරීමට ඔබ වැඩි කාලයක් ගත කරන තරමට, ඔබ ඔබ ගැන සහ ඔබව පොලඹවන්නේ කුමක් දැයි දැන ගැනීමට ඔබට ඇති හැකියාව වැඩි වේ.ඔබට ඕනෑම දෙයක් අවශ්‍ය වන්නේ මන්දැයි දැන ගැනීම ජීවන උපාය මාර්ග අනුව ඔබේ ජීවිතය වෙනස් කරන්නකි.එය ඔබගේ ඉලක්ක කරා යන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන අතර, එය ඔබගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හැකි උපරිම ආකාරයෙන් වෙනස් කරයි.එය පුද්ගල මට්ටමින් අරුමපුදුම දේ සිදු කරයි.
මෙම අභ්‍යාසය ඔබම කර අවසානය වන විට ඔබ සිටින්නේ කොතැනදැයි බලන්න.ඔබ බුද්ධිමත් නම් ඔබට මෙය පෙරළා ඔබේ ව්‍යාපාර සඳහා ද ඔබේ පෞද්ගලික ජීවිතය සඳහා ද භාවිතා කළ හැක.
06) ” සියල්ල ස්ථාවරයි” සිට “සියල්ල සාකච්ඡා කළ හැකි හෝ නම්‍යශීලී” දක්වා
– From “Everything is fixed” to “Everything is negotiable or flexible” –
ජීවිතය යනු ඔබ යමක් කරන ආකාරයයි. ඉරණම කලින් ලියා ඇතැයි සිතන මිනිසුන්ගේ ගැටලුව වන්නේ එය ජීවත්වීමේ සියලු ආශාවන් නැති කිරීමයි.එය යහපත් දෙයක් නොවේ.ඔබ කෙතරම් බලවත්ද යන්න සහ ඔබේ අභිමතය පරිදි යථාර්ථය වෙනස් කළ හැකි ආකාරය දැන ගැනීමට ඔබට අයිතියක් ඇත.
යථාර්ථය නම් ” සියල්ල සාකච්ඡා කළ හැකිය” මෙය මානසික ආකෘතියක් ලෙස ගෙන සාර්ථක ජීවිතයකට සාර්ථක මාර්ගයක් ලෙස සාකච්ඡා කිරීම තොරාගන්න.මුදල් පිළිබඳව සාකච්ඡා කරන්න, ජීවිතය සාකච්ඡා කරන්න, ආදරය සාකච්ඡා කරන්න, සෑම දෙයක්ම සාකච්ඡා කරන්න.ඔබට අවශ්‍ය දේවල් සටන් කරන්න, ලෝකය ඉදිරියේ නොසැලී සිටින්න.
ජීවිතය තුළ එක් දොරක් වැසුණු විට ,ඔබ වෙනුවෙන් තවත් දොරක් විවෘත කිරීමට හේතුවක් දෙන්න.එලෙස ජීවිතය සාකච්ඡා කිරීම ඔබව සැබැවින්ම වෙනස් කරයි.
07) ” තවත් බාධාවක්” සිට “මට අවශ්‍ය දැයි බැලීමට තවත් අභියෝගයක්” දක්වා
– From “Another Obstacle” to “Another challenge to see if I want it” –
කිසියම් බාධාවක් අපිට ඉදිරියට යාමට ඉඩ නොදෙන සෑම අවස්ථාවකම අපි සිතන්නේ මෙයයි, “අපි ඉවරයි , අපට ජයගත නොහැකියි , දුෂ්කරතා වැඩිය ” යනුවෙනි.නමුත් යමක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අනෙක් සියල්ලන්මත් මේ හා සමාන ක්‍රියාවලීන් හරහා කටයුතු කරන බව පසුව අපට වැටහෙනු ඇති.
මෙය ඔබට අවශ්‍යද නැතිනම් ඔබ නිකම් මවාපෑමක් දැයි බැලීම අභියෝගයකි.බාධක යනු අවසානයේ ත්‍යාගය ලැබිය යුත්තේ කාටද සහ නොලැබිය යුත්තේ කාටද යන්න සොයා බැලීමේ මාර්ගයකි.ඔබ දැනටමත් එහි ක්‍රියාත්මක වෙමින් සිටින අතර ඔබට බාධකයක් ඇති නම් ඔබ තීරණයක් ගත යුතුය.එනම් ” ඔබට එය අවශ්‍යද, නැතහොත්
එයින් ඉවත් වීමට ඔබ සූදානම්ද? ” යන්නයි. මක්නිසාද යත් ඔබට එය අවශ්‍ය නම්,ඔබට එය විසඳීමට ක්‍රමයක් සොයාගත හැකිය. එසේ නොවේ නම්, දේවල් සාර්ථක නොවූයේ මන්දැයි නිදහසට කරුණක් ලෙස ඔබ බාධකය භාවිතා කරනු ඇත.
ජීවිතයේ අභියෝගවලට ලක්වීම නොවැළැක්විය හැකිය.පරාජය වීම වෛකල්පිතය.මෙම කතාව අවසන් වන්නේ කෙසේදැයි ඔබම තීරණය කරන්න.මන්ද එය ඔබගේ කතාව වන නිසා, බුද්ධිමත්ව තෝරාගැනීම් සිදුකරන්න.
08) ” එය ඔව් හෝ නැත” සිට “සෑම විටම නිර්මාණාත්මක විකල්පයක් ඇත” දක්වා
– From “It’s either YES or NO” to “There’s always a creative option” –
ජීවිතය ද්විමය විය යුත්තේ ඇයි? සියල්ලම තනිකරම කළු සුදු නොවන බව සහතිකයි.එසේනම් සෑම දෙයක්ම මෙතරම් දෙබිඩි විය යුත්තේ ඇයි? සෑම දෙයක් තුළම නිර්මාණාත්මක විසඳුමක් පවතියි.ඔව් හෝ නැත යන සෘජු ස්ථාවරයන්ගේ නොසිට ඊට අදාළ නිර්මාණාත්මක විකල්ප කෙරෙහි යොමුවීම ධනාත්මක වෙනසක් ජීවිතයට ගෙන එයි.
ඉතින් ,ඔබට අවශ්‍ය ජීවිතය වෙනස් කරගැනීමට නම් පළමුව ඔබ කළ යුතු වන්නේ ඔබ තුළ ඇති සිතිවිලි වෙනස්කර බැලීම නොවේ ද ?
Business HUB පේජ් එකෙන් අපි දිනපතා අපි ඔබගේ සිතුවිලි වෙනස් කරන්න කටයුතු කරනවා. සාර්ථක වෙන්න අවශ්‍යයිනම් ඒ වෙනස කර බලන්න…
උපුටාගැනීම buzzfeed .lk වෙබ් අඩවිය. කතෲ අවිනිශ්චිතයි.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla
by admin | Jan 23, 2024 | Business HUB සිතුවිල්ල
සමහර අය හිතාගන්නවත් බැරි තරම් ධනවත් වෙන්නේ කොහොමද කියල ඔයා කවදා හරි සිතුවාද? අපි හැමදාම විවිධ ඇබ්බැහි වීම් මත තමයි ජීවත් වෙන්නේ. අපි හිතන රටාව සහ ජීවත් වන රටාව වෙනස් කරන්න පුළුවන් නම් අපට ඕනිම දෙයක් කරන්න පුළුවන්. අද මේ ගැන කතා කරන්නේ ඔබව මැජික් එකකින් වගේ එකපාරම පොහොසත් කරන්න නෙමෙයි. වැඩකට නැති, වියදම් අධික දේවල් වලින් ඉවත් වෙන්න, ඒ වගේම ඉතිරි කරන්න, ආයෝජනය කරන්න, මුදල් නිකරුනේ නාස්ති කරන එක නවත්තන්න, ඔයාට සාර්ථක වෙන්න පාර සුද්ධ කරල දෙන්න හිතපු නිසා.
01. විවේකය කළමනාකරණය කර ගැනීම
විවේකය කළමනාකරණය කරගැනීම සහ එය වඩාත් ඵලදායී විදියට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් දුප්පතුන් සහ පොහොසතුන් අතර ලොකු වෙනසක් තියෙනවා.
පොහොසතුන් විවේකයක් අවශ්‍ය වුනාම ඇවිදින්නට යනවා. ඒ සඳහා නිශ්චිත කාලයක් යොදා ගන්නවා.
“ෆ්‍රෙඩ්රික් නිට්ෂේ” ඇවිදීම ගැන මෙහෙම කියනවා,
“ඇත්ත වශයෙන්ම විශිෂ්ට සිතුවිලි සියල්ලම ඇවිදීමේදී පිළිසිඳ ගනී.”
–
ඒ වගේම රූපවාහිණිය මුලින්ම සොයා ගත් වෙලාවේ “සිතන සිත් නවතිනවා, ලියන අත් නවතිනවා. ” කියන කතාවත් කරලියට ආවා.
ඉතින් පොහොසත් මිනිස්සු මේ ගැන දන්නවා. එයාල රූපවාහිනිය ඉස්සරහට වෙලා කාලය කන්නෙ නෑ. දුප්පත් මනුස්සයෙක්ට විවේකයක් ඕනි වුනාම ඇදට වෙලා, netflix බලබලා, නැත්නම් වීඩියෝ ගේම් ගගහ, එහෙමත් නැතිනම් ෆේස් බුක් එකේ ඕපදූප හොයමින් කාලය කා දමනවා. මේ වැඩෙන් එයාට මොතුත්ම ලැබෙනව කියල ඔයාල හිතනවාද?
ගොඩක් වෙලාවට ධනවතුන් කාලය කා දමන කිසිදු වැඩකට නැති ඒ වගේ දේවල් කරන්නෙ නෑ. සාර්ථක මිනිස්සු විවේක ගන්න ඕනි වුනාම ඇවිදින්න යනවා. එහෙමත් නැතිනම් සන්සුන් සංගීතයකට ඇහුම්ක් දෙනවා. එයාල එයාලගෙ අවධානය වෙන වෙන දේවල් වලට යොමු වෙන්න දෙන්නෙ නෑ. ඒ නිසාම එයාලගෙ මනස තමන් බලාපොරොත්තු වන විවේකය නිසා යථා ස්වභාවයට පත් වෙනවා.
ඔයාටත් ඇත්තටම විවේක ගන්න ඕනි නම් නාගන්න, ඔයා කැමති පොතක් කියවන්න, ටිකක් ඇවිදින්න, ව්‍යායාම කරන්න. ඔයාගෙ අවධානය වෙන දේවල් වලට යොමු කරන දේවල් වෙනුවට ඇත්තටම ඔයාගෙ හිතටයි, ශරීර සෞඛ්‍යයි වැදගත් වන දෙයක් කරන්න. ඒක හෙට දවසට හොද ආයෝජනයක් වේවි.
02. මිල අධික දේපල
ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු සිල්ලර දේවල් වලට කැමතියි. මෝස්තරක් විදිහට තමන්ට ලැබෙන ආදායමට වඩා, තමන්ට දරා ගන්න බැරි මිල ගණන් වැඩි වාහන, ගෙවල්, බඩු මුට්ටු මිලදී ගන්නවා. මේ හේතුව නිසා වෙන්නේ ජීවිත කාලයේම ඒ ණය ගෙවන එක. ඔයාල දැකල තියෙනවද සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් පේලිවල එක දිගට කේබල් ටීවී ඇන්ටනා ගහල තියෙනවා. ඇත්තටම ටික කාලයයි ඒවා නඩත්තු කර ගන්න ඔවුන්ට හැකි වෙන්නේ. ගොඩක් ඒවයේ සම්බන්ධතාව අත්හිටවලා බිල් ගෙවා ගන්න බැරිව. මෙන්න මේ වගේ තමයි හැමදාමත් සාමාන්‍ය දුප්පත් මිනිස්සු තමන්ගේ ආදායමට වඩා වියදම් අධිකව දරන කන්ඩායමක්.
ඒත් ධනවතුන් කවදාවත් මේ වගේ දේවල් සිද්ධ තරන්නේ නෑ. එයාල හැම වෙලාවෙම තමුන්ට ඕනි, තමන්ට අවශ්‍යතාවය හා මුදලට සරිලන වාහන, නිවාස, ගෘහ භාණ්ඩ වලට කැමතියි. එහෙමත් නැතිනම් එයාල පැරණි දේපලක් මිලට අරගෙන ආර්ථික ප්‍රතිලාභ ලැබීමට තරම් යහපත් තත්වයට අලුත්වැඩිය කරන්න තමන්ගේ මුදල් ආයෝජනය කරනවා. ඒ වගේම වාහන සම්බන්ධයෙනුත් එහෙමමයි.
03. උගත් කම
ධනවත් මිනිසුන් නිතරම කියන කියමනක් තිබෙනවා. ඒ තමයි,
“ඔබ වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට ඔබ උපයා ගනී.”
ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආයෝජකයා වන Warren Buffett ගෙන් වරක් ඔහුගේ සාර්ථකත්වයේ යතුර මොකක්ද කියල ඇහුවා.ඔහුගේ උත්තරය වුනේ තම පොත් මිටිය පෙන්වා. “දිනපතා පිටු 500ක් කියවන ලෙස” පිළිතුරු දීමයි.
දැනුම අපව වඩා සංකීර්ණ උගුල් වලින් ගලවා ගන්නා බවත් ඔවුන් කියනවා. ඒ වගේම අපි කවුරුත් හොඳින්ම දන්න මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෘ වන බිල් ගේට්ස් සතියකට පොතකට ආසන්න වශයෙන් වසරකට පොත් 50 ක් කියවන අතර ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඔහු පෙළ පොත් කියවීමෙන් රොකට් සෑදීමට ඉගෙන ගත් බව කියන්නේ හරිම ආඩම්බරයකින්.
ඒත් දුප්පතුන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් දිනපතා ස්වයං-වැඩිදියුණු කිරීමේ කියවීමේ පුරුද්ද කරන බව තමයි සමීක්ෂණ වලින් කියවෙන්නේ. මේ දැනුමෙන් පොහොසත් නොවීම නිසා ඔවුන් මුදල් අතින් දියුණු තත්වයට යන තීරණ ගැනීමට දැනුමත් භාවයට පත් වෙන් නැති බවයි සඳහන් වෙන්නේ.
04. ඇදුම් සහ සපත්තු
කාලෙන් කාලෙට එන ඇඳුම් විලාසිතාව, හෙයාස්ටයිල් එක, එහෙමත් නැතිනම් අලුත්, අලංකාර විලාසිතාවලින් හැඩ වුන සුපිරි තරු දැක්කම ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන් ට්‍රයි කරන්නේ ණය වෙලා හරි ඒ මොස්තර ඇඳුම් පැළඳුම් මිලට ගන්න එක.
ඒත් ඇත්තටම ධනවතුන්, එහෙමත් නැතිනම් සාර්ථක මිනිසුන් මෙයට විරුද්ධ පැත්ත කරන්නේ. ඒ කිව්වේ එයාල සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ගේ පහසුව ගැන මිසක් අලුත් විලාසිතා ගැන නෙමෙයි. මොකද ඇත්තටම එයාලට එයාලගෙ බාහිර පෙනුම වෙනස් කරල සමාජයේ කැපී පේන්න උත්සහ කරන්න ඕනි නෑ. මොකද එයාල ගැන සමාජය දන්නවා. ඒ බාහිර පෙනුම නඩත්තු කරල ලෝකය ඉස්සරහ තමන් ගැන ඔප්පු කරන්න දෙයක් එයාලට නෑ.
05. ජය ගැනීමට තිබෙන අවස්ථා ගැන නොදැනීම
අපි දන්න ප්‍රසිද්ධ කතන්දරයක් තියෙනවා. ඒක නම්,
” පාවහන් වෙළෙන්දෙක් ඈත රටක ඉඳන් දූපතකට සපත්තු විකුණන්න ට්‍රයි කළා. ඒත් තියෙන එකම ගැටළුව වුනේ කිසි කෙනෙක් සපත්තු දාගෙන සිටියේ නැති එක. ඒක නිසා මේ වැඩේ හරිම දුෂ්කර වුනා.
මේ වෙළෙන්දා කලකිරීමෙන් සපත්තු වෙළඳාම අත්හැර දාල යන්න පිටත් වුනා. ඒ යන අතරතුර ඔහුට තවත් සපත්තු වෙළෙන්දෙක් හම්බ වුනා.
“ඔය පේන නගරයට යන්න කරදර වෙන්න එපා. ඒ මිනිස්සු සපත්තු දාන්නෙත් නෑ.” කියල පළමු වෙළෙන්දා කිව්ව.
දෙවන වෙළෙන්දාගේ ඇස් ලොකු වුනා. “ඈ කාටවත්ම සපත්තු නෑ!, එහෙනමි මට හැමෝටම සපත්තු කුට්ටමක් විකුණන්න පුළුවන්. අපි භාවිතා කරපු නැති වෙළඳපොළක අපි කොච්චර වාසනාවන්තද?”
ඉතින් ඔයාට මේ කතාව තේරෙනව නේද? දුප්පතුන් බොහෝ විට බාධක දකින අතර ඉක්මනින් අත්හරිනවා. පොහොසතුන් අවස්ථා දකින අතර බොහෝ දෙනෙක් සිහිනෙන්වත් නොසිතන ක්‍රීඩා පිටිවලට ක්‍රීඩා කරන්න හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්නවා.
06. අළුත් භාණ්ඩ මේනියාව
දුප්පත් අය ගොඩක් වෙලාවට අතේ තියෙන කිසිම ලෙඩක් නැති හොඳින්ම වැඩ කරන ෆෝන් එක අයින් කරලා අලුතෙන් එන එකකට මාරු වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ වගේ වැරදි, නිකරුණේ මුදල් නාස්ති කරන නවීනතම බඩු වලට මාරු වීමේදී ණය වෙන්න, අපසතු දෙවල් විකිණීමට සිදුවන අවස්ථා අපි අත්දැක තියෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ දුප්පතා ගොඩක් වෙලාවට ධනවත් කම, නවීනත්නව පෙන්නන්න උත්සහ කරන නිසා.
දුප්පතා නොදැනුවත් කමින් එහෙම කරද්දී ලෝකයේ ධනවත් හා බලවත් පුද්ගලයන් වසර ගණනාවක් තිස්සේ එදිනෙදා පාවිච්චි කරන්නේ තමන්ගේ පැරණි බඩු බාහිරාදිය සහ දුරකථනයි. එයාල කොයි වෙලාවකවත් අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැර මුදල් වියදම් කරන්නේ නෑ.
07. දුප්පතුන් කවදා, කොයි මොහොතක හෝ අවදි වේ. ධනවතුන් උදෑසන සිරිතක් විදියට අවධි වෙි
මේ ගැන ඩැනියෙල් හැන්ඩ්ලර් මෙහෙම කියනවා.
“උදෑසන යනු දවසේ වැදගත් වේලාව. මොකද ඔයා උදෑසන ගත කරන විදිහ ගොඩක් වෙලාවට ඔයාට මොනවගේ දවසක් ලැබෙනවාදැයි කියන්න පුළුවන්.”
දුප්පත් මිනිස්සු උදේ ඇහැරුනාම තමන්ට වෙන ඕනම දෙයක් ඉස්සෙල්ලම කරනවා. සාමාන්‍යයෙන් එයාල එයාලගෙ ෆොන් එක බලනවා. ඊට පස්සේ පැය භාගයක්, පැයක් ඒකෙ එල්ලිලා ඉන්නවා. ඊටත් පස්සේ ඇඳෙන් බැහැල කන්න, රූපවාහිණිය බලන්න,සමහර විට යාළුවො කිහිප දෙනෙකුට sms
පණිවිඩ යවන්න කාලය නාස්ති කරනවා.
දන්නවද ධනවත් මිනිස්සු මෙහෙම කරන්නෙ නෑ. එයාලට දවසේ පැය 24 ගොඩක් වටිනවා. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ සෞඛ්‍යට හිතකර වෙන විදියට, දවස ප්ලෑන් කරන එක උදේ නිවැරදිව කලමනාකරනය කර ගන්නවා.
බොහෝ ධනවතුන් උදේ 5 ට නැඟිට ව්‍යායාම් ශාලාවට යනවා. තවත් අය උදේ 10 ට නැඟිට උදේ ඇවිදින්න යනවා.
මේ මගින් දවස නැවුම්ම, ගත කරන්න ඒ වගේම ප්ලෑන් කරන්න එයාලට පුළුවන් වෙනවා.
08. ණය
ණය සම්බන්ධයෙන් නම් ලංකාව තුළත් තියෙන්නේ හරිම ඛේදවාචකයක්. ධනවතුන් බැංකු ණය , ක්‍රෙඩිට් කාඩ්, අතමාරු වගේ සියළු මුදල් ගැනීම් වලින් වැළකෙන්න උත්සහ කරනවා. ඒ අතරේ දුප්පත් සාමාන්‍ය මිනිස්සු දිගින් දිගටම ණය ගැනීම හා ගෙවීම සිදු කරන අතරම අවසානයේ එය ඉවරයක් නැති චක්‍රයක් බවට පත් වෙනවා. ඔයාල දන්නවද ලංකාවේ කුඩා ශුද්ධ මූල්‍ය සමාගම් ගම්වල දුප්පත් මිනිසුන්ගෙන් 24% වගේ ලොකු පොළියකට ණය දෙනවා. මේ වගේ ණය උගුල් වලට එයාල හිර වෙනවා. අවසානයේ මුළු ආදායමම ණය ගෙවන්න යට කරනවා. ඒ ණය ගෙවාගන්න බැරිව තවත් ණය වෙනවා.මෙහෙම වෙන්න හේතුව සොයා බැලීමක් නැතිව, හරි හමන් කළමනාකරණයක් නැතිව ණව ලබා ගන්න එක.
09. දුප්පතුන් සිතන්නේ වැඩ කරන පැය ගණන අනුව. ධනවතුන් සිතන්නේ නිෂ්පාදනය කරන ලද වටිනාකම අනුව
ඔබ උපයන මුදල් ඔබ නිර්මාණය කරන වටිනාකමේ සංකේතයකි.” කියල කියමනක් තියෙනවා.
දුප්පත් මනුස්සයෙක්ගෙන් අද දවස නොහොමද කියල ඇහුවොත් එයාල ගොඩක් වෙලාවට කියන්නේ වැඩ කරන පැය ගණන ගැන.. “මම අද පැය 7 ක් වැඩ කළා.” “මම මේ ව්‍යාපෘතිය සඳහා පැය 3ක් ගත කළා.” “අද මම පැය 2ක් වගේ ගෙව්වා ගෙදර සුද්ද කරන්න.”
ඔයා ධනවතෙකුගෙන් දවසේ ඵලදායීතාවය ගැන ඇහුවොත් ගොඩක් වෙලාවට එයාලගෙ උත්තරය. “මම අද අන්තිම ඇනවුමත් යැව්වා.” “මම මුළු ගෙදරම සම්පූර්ණයෙන් පිරිසිදු කළා.” වගේ උත්තර.
දුප්පත් මිනිස්සුන්ට පැයට වැඩ ලැබෙනවා. ධනවතුන්ට වැටුප් ලැබෙනවා. ධනවත්ම පුද්ගලයින්ට කොටස් හිමිවන අතර, පසුව ඔවුන් ව්‍යාපාරයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මත පදනම්ව ගෙවනවා.
ඔයත් වැඩ කරන කරන පැය ගණන ගැන සිතීම නවත්වන්න. ඔයා කරන ප්‍රමාණය මත පදනම්ව ඔයාගෙ ඵලදායිතාව තක්සේරු කිරීම ආරම්භ කරන්න.
10. දුප්පත් මිනිසුන් ඔවුන්ගේ මුදල් පාලනය නොකරයි. ධනවතුන් එසේ කරයි
දුප්පත් මිනිසුන් ගොඩක් වෙලාවට තමන්ගේ මුදල් ප්ලෑන් කරල වියදම් කරන්නෙ නෑ. ඒ වගේම ආදායම් සහ වියදම් ගැන සැලකිලිමත් නෑ. තමන්ගේ සල්ලි වියදම් කලේ මොකටද? ඒවා අනවශ්‍ය වියදම්ද, ඒවා අඩු කර ගන්න විදිහ ගැන ප්ලෑන් එකක් නෑ.
ඒත් ධනවතුන් තමන්ගේ මුදල් පාලනය කරනවා. හැම වියදමක් ගැනම සටහනක් තියා ගන්නවා. ඒ නිසා එයාල එයාලගෙ ආදායම සහ වියදම ගැන හොද අවබෝධයකින් ඉන්නවා. එයාල ආදායමක් ගත්ත ගමන් ගොඩක් වෙලාවට තමන්ගේ ඉතිරිකිරීම් වලට සහ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කරනවා. ඒ වගේම එයාල නියමිත වෙලාවට පෙරත් හොඳින් බිල් ගෙවනවා.
ඔයත් ඔයාගෙ මුදල් යන්නෙ කොහෙටද කියල හොයා බලන්න. හැම මාසෙකම ඔයා කොපමණ මුදලක් වියදම් කරනවාද කියල නිවැදිව ගණනය කරන්න. ඔයා ඒ මුදල් වියදම් කලේ කුමක් සඳහාද යන්න නිවැරදිව සොයා බලන්න. මේ නිසා ඔයාට ඔයාගෙ මුදල් හොඳින් කළමනාකරගෙන ඔයාට ඕන ටාගට් එකට යන්න, පොහොසතෙක් වෙන්න හීන දකින්න අඩිතාලම දා ගන්න පුළුවන් වෙනවා.
කතෲ අවිනිශ්චිතයි. Lifie .lk වෙබ් අඩවියේ පළවූ ලිපියකි.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla
by admin | Jan 22, 2024 | Business HUB සිතුවිල්ල
සාර්ථකත්වය කියන වචනයේ තේරුම් විවිධ පුද්ගලයන් , විවිධ ආකාරයට නිර්වචනය කරනවා. සමහරුන් සාර්ථකත්වය ලෙස හදුන්වන්නේ මුදල් අතින් ලබන දියුණුව. ඒ කියන්නේ මිලියන පතියෙක් , බිලියන පතියෙක් වීම වගේ දෙයකට. එත් සමහරුන් සාර්ථකත්වය ලෙස හදුන්වන්නේ ජයග්‍රහණ , කුසලාන , සම්මාන , ජනතා ප්‍රසාදය වගේ දේවල් වලට. උදාහරණ විදියට නළු නිලියන් , ක්‍රීඩකයන් , ප්‍රබල සමාජ චරිත වගේ පුද්ගලයන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහරුන්ට සාර්ථකත්වය කියන්නේ නිරෝගිව ජිවත් වීම , මනස සතුටින් තබා ගැනීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. මේ ආකාරයෙන් විවිධ අර්ථකතන ඔස්සේ සාර්ථකත්වය ලගා කර ගැනීමට අපි හැමෝම උත්සහ දරනවා. අන්න ඒ අයට අද විශ්ම ලෝකයෙන් අරන් ආවා වැදගත් ලිපියක්. ඒ තමයි ලොව අති සාර්ථක මිනිසුන් පමණක් අනුගමනය කරන පුරුදු 10ක් පිලිබදව විස්තර.
අංක 01 – පැහැදිලි අරමුණක් තියෙනවා.
ඔබේ අවසාන අරමුණ ස්ථාපිත කර නොමැතිව , සාර්ථකත වීමට උත්සාහ කිරීම හරියට කපිතාන් කෙනෙකු නොමැති නැවක ගමන් කිරීමක් වගේ. සාර්ථකත්වය ලගා කර ගැනීමට උත්සහ කරන සෑම කෙනෙක්ම මුලින්ම සිදු කල යුතු කාර්ය මෙයයි. ඔබේ අවසාන අරමුණ හෙවත් දිනුම් කණුව , එහෙමත් නැත්තම් ඔබ කවදාහරි ලගා වෙන උපරිම තත්වය මොන ආකාරයේ එකක් ද කියන එක ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ, ඒ අවසාන අරමුණ කරා ලගා වීමට , අද සිටම ආරම්භ කල යුතු වැඩ හෙවත් කෙටි කාලින අරමුණු පිහිටුවා ගෙන , සාර්ථකත්වයේ ගමන ආරම්භ කරන්න
අංක 02 – අනුන්ට වරද පටවන්නේ නෑ
සාර්ථක මිනිසුන් කවදාවත් තමුන්ගේ ජිවිතේ වෙන දේවල් වලට අනුන්ට වරද පටවන්නේ නෑ. අපේ ජිවිත වල ඇද වැටීම් වලට , පරාජයන් වලට වග කිව යුතු වන්නේ අපිමයි. වෙන කව්රුත් නොවෙයි. අරයා නිසයි මට මෙහෙම උනේ. එයා මට කලින් එක දීලා තිබුණා නම් මට මෙහෙම වෙන්නේ නෑ. වගේ දේවල් කිය කිය නිතරම තමා දෙසට අනුකම්පාව ගන්න හදන මිනිසුන් කවදාවත් සාර්තක වෙන්නේ නෑ. ඔවුන් හැමදාම අනුන්ට චෝදනා කර කර ඉදිවී. අව්වට වැස්සට කාලගුණේට බැන බැන ඉදිවී. එම නිසා ඔබට සාර්තක වෙන්න ඕනේ නම් , මුලින්ම ඔබේ ජිවිතයේ සිදු වන සියලුම දේවල් වල වගකීම , ඔබ සතු කර ගන්න පුරුදු වෙන්න. ඔබට වෙනස් වෙන්න පුලුවන් නම් , ශක්තිමත් වෙන්න පුළුවන් නම් ජයග්‍රහණ ඔබව සොයා ගෙන ඒවි. සියලු දේ පාලනය කරන්නේ ඔබේ මනසයි. ඒ හා ක්‍රියා කරන ඔබේ ශරීරයයි. බාහිර මිනිසුන් හෝ තත්වයන් නොවේ.
අංක 03 – ස්වයං විනයක් පවත්වා ගන්න
සෑම සාර්ථක මිනිසෙකු සතුවම හොද ස්වයං විනයක් පවතිනවා. ඔවුන් කිසිම අවස්ථාවක තම අනාගත අරමුණු වලින් පරිබාහිර වූ , වැඩකට නැති දේවල් සිදු කිරීමට තම කාලය නාස්ති කරන්නේ නෑ. හිතන්න, ඔබ මල් වවන්න ආස කෙනෙක් කියලා. ඔබේ අවසාන අරමුණ මෙරට විශාලතම මල් අලෙවි කරුවා වීමට නම් ඔබේ වටිනා කාලය, සෑම විටම ඒ හා සම්බන්ධ දැනුම වැඩි දියුණු කිරීම සදහා යොදවන්න ඕනේ. මේ සදහා කව්රුවත් ඔබට අනුබල දීමට අවශ්‍ය නෑ. ඔබ ස්වයං ශික්ෂණයකින් යුක්තව ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට සෑම විටම මහන්සි විය යුතුයි. උදාහරණයක් ලෙස ඔබ ෆේස්බුක් , යුටියුබ් වැනි සමාජ ජාල වල කල් ගත කිරීමේදී , ඒවායේද වැඩිපුර සොයන්නේ මල් වගාව ආශ්‍රිත දැනුම වැඩි දියුණු කරන දේවල් වගේ. මෙහි කෙටිම තේරුම නම් තම අනාගත අරමුණ වෙනුවෙන් තමා තුල හොද ස්වයං පාලනයක් පවත්වා ගැනීමයි
අංක 04 – අලුත් දේවල් ඉගෙන ගන්නවා සාර්ථකත්වයට ආශා කරන පුද්ගලයන් සෑම විටම අලුත් දෙවල් ඉගෙන ගන්නවා. තම අවසාන ඉලක්කයට අදාළ දේවල් පිළිබද සොයා බැලීම , පොත් කියවීම , ප්‍රවීණයන්ට සවන් දීම වගේ විවිධ ක්‍රම ඔස්සේ ඔවුන්ගේ දැනුම වැඩි කර ගන්නවා. ඔබගේ දැනුම වැඩිවන තරමට , ඔබේ අරමුණ වෙත ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ලැබේවි.
අංක 05 – කියවීමට බොහෝ ආශා කරනවා
ලොව පුරා සිටින සාර්ථක මිනිසුන් බොහොමයක් කියවීමට ඉතා ඇලුම් කරනවා. නමුත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙකු ස්මාර්ට් ජංගම දුරකථන වසංගතයෙන් හෙම්බත් වී සිටින අතර ඔවුන්ට කියවීමට තරම් මනස සන්සුන් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියලා කියමනක් පවා තිබෙනවා ඔබ අසා ඇති
අංක 06 – කාලයෙන් උපරීම ප්‍රයෝජනය ගන්නවා
සාර්තක මිනිසුන් ඉතාම කාර්යක්ෂම ලෙස තම කාලය කලමනාකරනය කර ගන්නවා. තත්පරයක් වටිනාකම ඔවුන් හොදින්ම දන්නවා. වැඩ සම්පුර්ණ කර ගැනීමට නොහැකිව දිනය අවසානයේ කවදාවත් ඔවුන් හඩා වැටෙන්නේ නෑ. දිනය තුල සිදු කල යුතු වැඩ සියල්ල ඔවුන් නියමිත කාලය තුලදී නිම කරනවා. ඒ වගේම සාර්තක මිනිසුන් අද දිනය තුල කල යුතු වැඩ , සැලසුම් කර තබන්නේ , දින සති මාස ගණනකට කලින් ඉදලයි. ඒ නිසා තම අරමුණ වෙනුවෙන් කල යුතු වැදගත් වැඩ , ඔවුන්ට කිසිම වේලාවක මග හැරෙන්නෙත් නෑ
අංක 07 – අවධානම් ගන්නවා
ලොතරැයි දිනුමක් ලබන්න නම් ඔබට ටිකට් පතක් මිලදී ගැනීමටම සිදු වෙනවා. ඒ වගේම තමයි ඔබට විශාල ලෙස මුදල් උපයන්න අවශ් නම් , ලොකු අවධානමක් ගැනීමටම සිදු වෙනවා. ලෝකයේ විසිරි සිටින බොහෝ සාර්තක මිනිසුන්ගේ ප්‍රධාන රහස වන්නේ මේ බය නැතුව අවධානම් ගැනීමේ හැකියාවයි. ඔබේ අනාගත ඉලක්ක වෙත ගමන් කිරීමට නම් , යම්කිසි අවධානමක් ගන්නම වෙනවා. එසේ නොමැති වුවහොත් ඔබට සිදු වන්නේ හැමදාම වගේ ඔබ ආශා නොකරන. ඒ නීරස ජිවිතයම මැරෙන තුරා ගත කරන්න.
අංක 08 – කවදාවත් අත අරින්න එපා
අසාර්තක වීම් කියන්නේ කාටත් පොදු දෙයක්. පලමු උත්සාහයෙන් සාර්තක වූ මිනිසෙකු මෙලොව නැති තරම්. පරාජයන් හමුවේ , නොසැලී ඉදිරියටම යන්න පුළුවන් නම් අවසන් අරමුණ වෙත යාම ඉතාම ලේසි වෙනවා. මොන දේ උනත් සටන අත අරින්නේ නැතුව , වැරදුණු තැන් නිවැරදි කරගෙන, ශක්තිමත්ව අරමුණ වෙත ගමන් කිරිමයි වැදගත් වෙන්නේ. ලෝකයේ බොහෝ සාර්ථක මිනිසුන්ගේ ජිවිත කතා වලට සවන් දුන්නොත් , මේ කවදාවත් අත ඇරියේ නැති පුරුද්ද (Never Give-up ) ගැන හොදින්ම ඉගෙන ගන්න පුලුවන් වේවි.
අංක 09 – සෑම විටම අලුත් පාරක් හොයා ගන්නවා
අරමුණු වෙත යාමේදී අභියෝග , බාධක පැමිණෙනවා. මේ බාධක නිසා සමහර වෙලාවට අපේ අරමුණු වෙත ගමන් කිරීම අසීරු වෙන්නට පුළුවන්. නමුත් සාර්ථක මිනිසුන් කවදාවත් බාධක හමුවේ සැලෙන්නේ නෑ. එක පාරක් වැහෙන කොට , ඔවුන් අරමුණ වෙත යා හැකි අලුත් පාරවල් 10 සොයා ගන්නවා. බාහිර පරිසරයේ වෙනස් වීම් අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා බාහිර පරිසර තත්ව වෙනස් වීම් වලට අනුගත වෙලා, සැම විටම අපේ ඉලක්ක වෙත ගමන් කල හැකි නව මං විවර කර ගැනීමයි අප කල යුතු වන්නේ.
අංක 10 – ඔබ ආදරය කරන දේ කරන්න ( Do What You Love )
මෙය ඉතාමත් වැදගත්. ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් , ඔබේ ජිවිතයේ කිරීමට ආශා කරන දෙයක් සිදු කල යුතුයි. ඔබ ආශා නොකරන දෙයක් සිදු කිරීමට ඔබේ ජිවිතයම කැප කිරීමේ කිසිදු පලයක් නැ. එය ඔබේ ජිවිතයට, ඔබ විසින්ම ශාප කර ගැනීමක් වගේ දෙයක්. ඒ නිසා ඔබ කුමන හෝ දෙයකට දස්කම් දක්වනවා නම් , අද සිටම ඒ හැකියාව තව තවත් දියුණු කරගෙන , එමගින් මුල්‍යමය ලාභ ඉපයිය හැකි ක්‍රමයක් සැලසුම් කරන්න. අනුන්ගේ අරමුණු වෙනුවෙන් ඔබේ ජීවිතය කුලියට විකිණීමෙන් වලකින්න. ඔබේ පාලකයා ඔබම වන්න. සාර්ථක ජීවිතයක සැබෑ අරුත විදින්නට හැකි වන්නේ එවිටයි.
පෞද්ගලිකව Business HUB අධ්‍යක්ෂ වන මාගේ ජීවිතයේ සාර්ථකත්වය මේ කරුණු 10 මත පදනම් වෙලා තියෙනවා. ඔබත් අදම උත්සාහ කරන්න…
උපුටා ගැනීම Elakiri වෙබ් අඩවිය, Original කතෲ Wishmalokaya .com
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla
by admin | Jan 21, 2024 | Business HUB සිතුවිල්ල, Uncategorized
දවසේ වැඩ අවසන් කර කාමරයට පැමිණි වාසනා ජංගම දුරකතනය අතට ගත්තාය. දවස පුරා ම කාර්ය බහුල වූ බැවින් ඇයට දුරකථනය බැලීමට වෙලාවක් වූයේ නැත. එහි මුහුණුපොතට පැමිණි නාදුනන මිතුරු ඇරයුමක් සමග මැසෙන්ජර් පණිවිඩයකි.
“අනේ මිස් මට උදව් කරන්න පුලුවන්ද?”
රූපිකා ලෙස නම සටහන් වෙද්දී ඇය විමසා තිබුණා ය. වාසනා ඇගේ විස්තර බැලුවේ ඇයව හදුනා ගැනීමේ අදහසිනි. තමා නාදුනන කෙනෙක් වුවද, ඇතුලත් කර ඇති විස්තර බොරු නොවන බව ඇයට පෙනී ගියා ය.
“මොකක්ද ඕන උදවුව? ඔයා මාව දන්නවද?” වාසනා අසා යැව්වාය.
“මම මිස්ව දන්නෙ නැහැ. එෆ් බී එකෙන් තමයි දැක්කෙ” තප්පර දහයක් යාමටත් ප්‍රථම පිළිතුරු ලැබුණේය.
“ඔයාට මොකක්ද ඕන උදවුව?”
“මගේ බබාට ඉස්කෝලේ යන්න පොත් ලැයිස්තුව ගන්න ඕන මිස්. පුළුවන්ද අරන් දෙන්න?”
“ආහ්. මාව දන්නෙත් නැතුව ඇයි මගෙන් ඉල්ලන්න හිතුණේ?”
“එෆ් බී පේජ් එකක අසනීප ළමයෙක්ට උදව් ඉල්ලලා දාල තිබුන පෝස්ට් එකකට මිස් ඒ ළමයගෙ විස්තර ඉල්ලලා කමෙන්ට් කරලා තිබුනා. එතනින් තමයි මම මිස්ව දැක්කෙ.”
“හ්ම්ම්. පොත්වලට කීයක් යනවද?”
ඉතින් විනාඩියක් ගත වීමටත් පෙර ඇය පොත් ලැයිස්තුවේ ඡායාරූපයක් එවා තිබුණාය. එයට අනුව පොත්වලට රුපියල් 3845 ක් වැය වේ.
“ඔයාගේ මහත්තයා මොකද කරන්නේ?”
“මේෂන් වැඩ මිස්. මේ දවස් වල වැඩ නැහැ.”
“ඔයා රස්සාවක් කරනවද?”
“නැහැ මිස්”
“හ්ම්ම්. ඔයාට මොනවද කරන්න පුළුවන්?”
“එහෙම මුකුත් කරලා නැහැ මිස්”
“ඔයා කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද?”
“සාමාන්‍ය පෙළ වෙනකන් ඉස්කෝලේ ගියා. ඒත් ෆේල්”
“හ්ම්ම්. කෑම බීම හදන්න, මහන්න ගොතන්න, මල් වවන්න මේ වගේ මොනවා හරි, එහෙම නැත්නම් වෙන මොනවාම හරි දෙයක් ඔයාට පුලුවන්ද?”
“බැහැ මිස්. මිස්ට පොත් ටික අරන් දෙන්න පුලුවන්ද” ඉතින් නිරූපා නොරිස්සුමින් බව වාසනා වටහා ගත්තාය.
“හ්ම්ම්. අරන් දෙන්නම්”
“ස්තුතියි මිස්”
නිරූපාට අනුව ඇයට කළ හැකි කිසිවක් නැත. එවැනි දෙයක් සොයාගැනීමටද ඇයට අවශ්‍යතාවයක් නැති ගානය. ඉතින් නිරූපාගේ ගිණුම් අංකය ලබා ගත් වාසනා ඇයට රුපියල් පන්දහසක් යවා නිහඬ වූවාය. ඉන් පසු පැමිණි ස්තූති කිරීමේ පණිවිඩ කිහිපයට ම, සිනහවකින් පමණක් පිළිතුරු යැවූ වාසනා ටික දිනකින් නිරූපා අමතක කර දැමුවා ය. මාසයක් පමණ ගත වන විට නිරූපා ගෙන් නැවත පණිවිඩයක් ලැබිණි.
“කොහොමද මිස් හොදින් ඉන්නවද?” ඇය අසා තිබිණි.
“හොඳින් ඉන්නවා.” වාසනා පිළිතුරු යාවා තවත් දෙදිනක් ගත විය.
“මිස් කරදරයක් නැත්නම් අනේ මට උදවුවක් කරන්න පුලුවන්ද?” ඇය නැවත ඇසුවාය.
“මොකක්ද?”
“දුවගේ බෑග් එකයි සපත්තු දෙකයි දෙකම කැඩිලා. මට අරන් දෙන්න පුලුවන්ද?”
“ඔයා රස්සාවක් කරන්න කැමතිද?”
“මම කරලා නැහැ මිස්”
“මම ඇහුවේ කරන්න කැමතිද කියලා?”
“දුවව දාල යන්නේ කොහොමද මිස්?”
“ඒක ඉතින් ඔයාගේ ප්‍රශ්නයක්. හැම ප්‍රශ්නෙ ම මට විසඳන්න බැහැ නේ.”
“දුවව බලන්න ඕන මිස්”
“එහෙනම් ඔයා මොනව හරි දෙයක් ගෙදර ඉඳගෙන කරන්න කැමතිද?”
“බිස්නස් එකක් ද මිස්?”
“ඔව්.”
“බලන්න ඕනේ මිස්. මිස් බෑග් එකයි සපත්තු දෙකයි?”
“මම අරන් දෙන්නම්”
ඉතින් නිරූපාගේ අංකයට නැවත මුදල් බැර විය. ස්තුති කිරීමේ පණිවිඩ කිහිපයක් ද ලැබිණි. තවත් ටික දිනක් ගතවිය.
“මිස්. සල්ලි ටිකක් තිබුණා නම්, කෑම ටිකක් හදලා කඩේට දාන්න පුළුවන්” නිරූපා කියා එවා තිබුණාය.
“කීයක් ඕනේද?”
“විස්සක් විසි පහක් වත් ඕන මිස් බඩු ටික ගන්න.”
“මම එවන්නම්”
ඉතින් තිස් දහසක් යැවූ වාසනා සතුටු වූවාය. පාඨක ඔබට, කිසිදු හැඳුනුම්කමක් නැති ගැහැනියකට සල්ලි දෙන වාසනා මෝඩයෙක් ලෙස සිතෙනු ඇත. නමුත් ඇයට අවශ්‍ය වූයේ හැමදාම අනුන්ගෙන් යැපෙන නිරූපා වෙනුවට, තම දෙපයින් නැගී සිටිය හැකි නිරූපා කෙනෙකු බිහි කිරීමය.
සැමියාගේ මරණයෙන් පසුව අසරණ වූ ගීතා නන්දනී ද එවැනි ගැහැණියකි. සැමියාගේ මරණයෙන් පසු ඇයට ඉතුරු වූයේ මාස හයක් වයසැති තමාගේ කුඩා දියණිය සහ මහ පාර පමණි. කිසිදා කර නොතිබුණ ද, ඇය තමාට ලැබෙන සියලු ම කුලී වැඩ කලාය. ඔෂින් කතාවේ ඔෂින්ව දැක තිබූ ඇය වරෙක ඔෂින් වූවාය. ඇයද තම දරුවා පිටේ ගැටගසාගෙන නිවෙස්වල වැඩ කළාය.
අවුරුදු තුනක් ගතවන විට කිසියම් මුදලක් තමා සන්තක කර ගැනීමට ඇය දැරූ උත්සාහය සාර්ථක විය. තනි ගැහැණියක් ලෙස සමාජයේ රැදී සිටීම පහසු නොවුවද, ගීතා නන්දනී එම අභියෝගය ද ජය ගත්තා ය. තමා ඉතුරු කරගත් මුදලින් කෑම ව්‍යාපාරයක් ආරම්භ කළාය. අනේකවිධ දුක් කන්දරා මැද තවත් අවුරුදු තුනකින් කෑම කඩයක් දැමීමට ඇයට හැකි විය. දියණිය පාසල් යන වයස විට ගීතා කුලියට ගත් කඩයක මුදලාලි විය. ඇය ශිෂ්‍යත්වය ලියනවිට, ගීතා තමාගේම කඩයක් ආරම්භ කළාය. ඉතින් දැනුම් තේරුම් ඇති වයසේ සිටි දියණිය ද මවට හැකි සෑමවිටම උදවු වූවාය.
දියණිය උසස් පෙළ හදාරා අවසන් වූ පසු කඩය කුඩා හෝටලයක් බවට වෙනස් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දියණිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගනිද්දී ගීතා නන්දනීට සෑහෙන තරම් විශාල හෝටලයක් අයිති විය. ඒ නිරූපාටත් වඩා අසරණව සිටි ගීතා නන්දනීගේ කතාවය.
ඉතින් වාසනාට අවශ්‍ය වූ ලෙසම නිරූපා ව්‍යාපාරය පටන් ගත් බවත්, ටිකෙන් ටික ඇය ව්‍යාපාරය දියුණු කරගත් බවත්, දැන් ඇයට ම කියා කඩයක් ඇති බවත්, සැමියා සමග එකතු වී ඇය එම කඩය කරගෙන යන බවත් ලියා තැබීමට ලැබෙන්නේ නම් වාසනා තවත් බෙහෙවින් ම සතුටු වනු ඇත.
“මම ඉගෙන ගත්ත ගෑනියෙක් නෙවෙයි. මම මහත්තයා එක්ක එනකොට වයස අවුරුදු දාසයයි. දුව ලැබුණේ අවුරුදු දහ අටෙන්. මහත්තයා නැතිවුණේ දුවට මාස හයෙන්. එදා ඉඳන් අවුරුදු විසි පහක් මම අනන්ත දුක් වින්දා, දුවත් හදාගෙන මේ මට්ටමට ජීවිතේ හදාගන්න. එදා මහත්තයා එක්ක එනකොට, දුවව බඩට ගන්නකොට, මට කවදාවත් හිතිලා තිබුනේ නැහැ මහත්තයා නැති වුනොත් මම කොහොමද ජීවත් වෙන්නේ කියලා. අපි කොහෙද වැටිලා ඉන්නේ කියලා. මම ඒ දවස්වල ම, අඩු තරමේ දරුවෝ හදා ගන්න කලින් හරි ඒවා හිතලා තිබුණා නම්, මට මෙච්චර දුක් විදින්න වෙන්නේ නැති වෙන්න තිබුණා.
ඉතින් මම මගේ දුවට කියන්නෙත්, ගෑනියෙක් විදිහට හැඟීම්වලට තැන දීලා, කාගේ හරි ජීවිතේට එකතු වෙන්න කලින්, එකතු වුනත් දරුවෙක් හදන්න කලින්, රජෙක්ව බැන්දත්, හිඟන්නෙක්ව බැන්දත්, ගෑණියෙක් තමන් හදන ඒ දරුවන්ගේ ජීවිතේ වගකීම තමන්ට තනියම ගන්න පුලුවන්ද කියලා බලලා ඉන්න ඕනේ. දරුවෝ දහයක් හැදුවත් කමක් නැහැ. හැබැයි දවසක ඕනේ වුනොත්, කාගෙවත් උදව්වක් නැතුව ගෑනියෙක්ට තනියම ඒ දරුවෝ දහ දෙනා ම හදාගන්න පුළුවන් වෙන්න ඕන. ජීවත් වෙන්න තැනක්, දරුවන්ට උගන්නන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඉතින් තව කෙනෙක්ගෙ වගකීම අරන් ජීවිතේ ඉස්සරහට යන්න කලින්, දෙමව්පියන්ගෙන් දෙයක් ලැබුනත් නැතත්, තමන්ට ඕන මූලික දේවල් ටික තමන් හදාගෙන ඉන්න එක හොදයි.” ගීතා දිනක් තම දියණියට කියා තිබුණා ය.
වාසනා හදුනන මිනිසුන් කොටසක් සිතා සිටින්නේ අසල්වැසියෙක්, මිතුරෙක් හෝ සහෝදරයෙක් විදේශගත වන්නේ තමා වටේ සිටින සියල්ලන් වෙනුවෙන් කියාය. ඔවුන්ට අනුව වාසනා විදේශගතව ඇත්තේ ඇයගේ වාසනාවට. ඉතින් ඇය අනිත් අයට ද උදවු කළ යුතුමය. වාසනා කැනඩාවට පැමිණ ගතවූ කාලයට ඇයගෙන් උදව් ඉල්ලා ලැබුණු පණිවිඩ රාශියකි. ඇය දන්නා සාමාන්‍ය පුද්ගලයන්, විදේශ රැකියා සොයා දෙන ලෙස ඉල්ලද්දී, තවත් අය නොයෙක් බඩු භාණ්ඩ සහ මුදල් ඉල්ලුවේය.
ඇත්තට ම මෙය අධ්‍යාපන මට්ටමේ නොව ආකල්පවල ප්‍රශ්නයක් බව වාසනා තේරුම් ගත්තාය. උගත් වූවද, නූගත් වුවද යැපෙන මිනිසුන් යැපෙනවාම ය. වාසනාගේ උගත් මිතුරු මිතුරියන් ඇයගෙන් තමන්ටද පී.එච්.ඩී එකක් සොයා දෙන ලෙස ඉල්ලා එවූ පණිවිඩ ද රාශියක් විය. ඔවුන් සිතන්නේ වාසනාගේ වාසනාවට ඇයට කැනඩාවේ පී එච් ඩී එක හදාරන්නට ලැබුණු බවය.
නමුත් එම අවස්ථාව ලබා ගැනීමට වාසනා මහාචාර්යවරුන් දෙසීයකට අධික පිරිසකට වසර දෙකක් පමණ ලියු බව ඔවුන් විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට එවැනි කැප කිරීමක් කිරීමට අවශ්‍යද නැත.
ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙයක් ලබා ඇති කෙනෙකුගෙන් ටිකක් ඉල්ලා ගැනීම ය.
දින කිහිපයක් ගත වූවද මුදල් ලබා දීමෙන් පසු වෙනදාට භාණ්ඩ මිලදී ගත් පසු එවන පින්තූර කීපය මෙවර නිරූපා ඒවා තිබුනේ නැත. ඉතින් වාසනා ඇයට පණිවිඩයක් තැබුවාය.
“බිස්නස් එක පටන් ගත්තාද?”
“නැහැ මිස්” දින කිහිපයකට පසුව පිළිතුරු ලැබී තිබුණි.
“ඇයි ඒ?”
“මිස් දුන්න සල්ලි ණයක් බේරන්න වියදම් වුණා.”
ඉතින් එපමණය. වාසනා නැවත නිරූපාට මෙසේජ් යැව්වේවත්, නිරූපා නැවත වාසනාට මෙසේජ් කළේවත් නැත.
තවත් දින කිහිපයක් ගතවන විට, වාසනා ගේ මිතුරිය ඇයව සොයා ආවා ය.
“වාසනා, ගෑනු කෙනෙක් ළමයෙක්ට උගන්නන්න උදව් ඉල්ලලා පෝස්ට් එකක් දාලා. මේ බලන්න. ඔයත් මේ වගේ අයට උදව් කරන නිසා මම පෙන්නන්න ගෙනාවේ”
ඉතින් වාසනා දුරකථනයට එබී බැලුවාය. නිරූපා ලෙස සඳහන් වී ඇති ගිණුමෙන් තම දරුවාට පොත්පත් ලබා ගැනීමට උදව් ඉල්ලා දමා තිබූ දැන්වීම දැක ගීතා නන්දනී නම් දිරිය කාන්තාවගේ දියණිය වූ වාසනා උදයංගී පෙරේරා ඉවත බලාගෙන සිනාසුනාය.
පසුවට යමක් ….
හිඟන්නාට තුවාලය මෙන් බොහෝ මිනිසුන්ට තම දුප්පත්කම විකුණාගෙන කතහැකි ඉල්ලමකි. ඔවුන් සිතන්නේ සල්ලිකාර මිනිසුන් සිටින්නේ තමන් වෙනුවෙන් වියදම් කිරීමට කියාය.
අවුරුදු දහ අට සම්පූර්ණ වන විට ම කිසිවෙකු සමග විවාහ වන, ජීවිතේ කිසිදු අරමුණක් නැති, ජීවත් වීමට රැකියාවක් පවා නොමැති තරුණ තරුණියන් සිතන්නේ, තමාගේ විවාහය අනිත් මිනිසුන් නඩත්තු කළ යුතු බවය. කිසිදු සූදානමක් නොමැතිව විවාහ වී, තමාගේ මගුල් ෆොටෝ එක පවා සහනාධාරයක් ලෙස ලබාගැනීමට පිරිසක් බලා සිටී. ‘මේ ෆොටෝ එඩිට් කරලා, අපේ මඟුල් ෆොටෝ එක හදා දෙන්න කෝ. මගේ නෝනා හරි ආසයි’ යැයි ඉල්ලා ඔවුන් ෆොටෝ කීපයක් මුහුණු පොතට එක් කරයි. ඉතින් අනුකම්පාව පිරුණු, යැපෙන්නන්ට ම රුකුල් දෙන මිනිසුන්, ඔවුන්ට සැබෑ ලෙස ම මඟුල් ඇඳුම් අන්දවා ෆොටෝ ද රැගෙන දෙමින් පනින රිලවුන්ට ඉනිමං තනයි.
එම සිදුවීම් දකින බොහෝ මිනිසුන් සිතන්නේ මෙය තමාටද යමක් ඇති අයෙකුගෙන් ටිකක් ඉල්ලා ගැනීමට සුදුසු ක්‍රමයක් බවය.
යැපෙන මානසිකත්වයක් නැති, දිනන මානසිකත්වයක් ඇති මිනිසුන්ට ජීවිතය දිනීමට එක් අවස්ථාවක් පමණක් ප්‍රමාණවත් වුවද, යැපෙන මානසිකත්වය ඇති මිනිසුන් තමාට අවස්ථා සියයක් ලැබුණද, යැපීම හැරෙන්න වෙනත් කිසිදු අවස්ථාවක් තෝරා ගන්නේ ම නැත.
සමහර පුද්ගලයන් යැපුම් මානසිකත්වයක් සහිත පෞරුෂත්ව ආබාධයෙන් (Dependency Personality Disorder) පෙලේ. ඔවුන්ට දෙයක් පිළිබඳව තීරණ ගැනීම, තමාගේ කාර්යයක් තනියෙන් ඉටුකර ගැනීම, තනිව ගමනක් යාම වැනි බොහෝ දේ තනිව කරගැනීම අපහසු වන අතර, සියලු දේ සඳහා දෙමාපියන්ගේ, මිතුරෙකුගේ හෝ තව කෙනෙකුගේ සහාය පතයි.
දරුවෙකුගේ යැපෙන මානසිකත්වය ඉවත්කල යුත්තේ කුඩා කාලයේ සිටමය. දරුවෙකුට කුඩා වයසේදීම ගැලපෙන පරිදි වගකීම් පවරා, ඔහු හෝ ඇය එම වගකීම් ඉටු කල පසු නියමිත අගය කිරීම ලබා දිය යුතුය. එවිට ක්‍රමයෙන් යැපෙන මානසිකත්වයක් නැති, දිනන මානසිකත්වයක් ඇති අනාගත පරපුරක් බිහිවනු ඇත.
බාලිකා හේවගේ විසින් ලියන ලද ලිපියකි.
Business HUB පේජ් එකේ සම්බන්ධ වෙලා ඉන්න බොහොමයක් අයත් යැපුම් මානසිකත්වය තියෙන අය. දියුණු වෙන්න ලබාදෙන එක අවස්ථාවක්වත් ප්‍රයෝජනයට ගන්නේ නෑ. දැනුම ලබාදෙන ලිපියක් කියවන්නේ නෑ. කම්මැලි කමට Details Please කියා පණිවිඩ එවනවා. හැමදේම පහලවෙනකම් බලාගෙන ඉන්න අය ඉන්නේ. අපේ පේජ් එකෙන් අපි ඔබට ආධාර දෙන්නේ නෑ. දියුණු වෙන්න මග පෙන්වනවා පමණයි. දියුණු වීමේ වගකීම ඔබ සතුය.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla